චීලියේ ළමා අපයෝජන අර්බුදයේ කේන්ද්‍රය වූ හිටපු පුදැදුරුවරයා මිය යයි: "අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම"- වින්දිතයෝ කියති

Former priest at center of Chile’s clerical abuse crisis dies

හිටපු පුදදුරු වරයකු වූ ෆර්නැන්ඩෝ කරදීමා 


(2021 ජූලි 29)

කාලයක් චීලියේ ජනප්‍රිය ම පුදැදුරු වරයා වූවත් පසු කාලයේ එරට නම ගිය ළමා අපයෝජකයකු ලෙස අගෞරවයට ලක්ව වූ ෆර්නැන්ඩෝ කරදීමා ජූලි 26 වැනි දා මිය ගිය බව ඔහු අවසන් කාලය ගෙවූ වැඩිහිටි නිවාසය නිවේදනය කළේය. සන්තියාගෝ අගනුවර පිහිටි Hogar San Juan de Dios වැඩිහිටි නිවාසයේ දී  මියයන විට ඔහු 90 වැනි වියේ පසුවිය. 

දේශනාවාදියකු ඇතුළු සසුන් සේවා රැසක් ගැන ගෞරවයට පත්ව සිටි (එවකට) ෆර්නැන්ඩෝ කරදීමා  පියතුමා, තමන් ගේ සේවා කටයුතු වලට පැවරෙන ළමයින් අපයෝජයනය කරන බවට චෝදනා එල්ල වුවද එම චෝදනා සියල්ල දශක කිහිපයක කාලයක් පුරා  එරට සභා නායකත්වය විසින්  යටපත් කෙරෙමින් තිබිණි. එහෙත් දැඩි බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙස වතිකානයේ දී පවත්වන ලද විමර්ශනයකින් සහ විභාගයකින් පසුව ඔහු ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වරදකරු බව වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය 2011 දී නිවේදනය කළේය. ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත් වී ජීවිතාන්තය දක්වා පශ්චාත්තාපී ජීවිතයක් ගත කරන ලෙස එම විභාගය අවසානයේ මෙම පුළුල් බලැති සසුන් නියෝජනය ඔහුට නියෝග කළේය. එහෙත් ඉන් පසුව ද ඔහු  විසින් කරන ලද අපයෝජන ගැන චෝදනා රැසක් ලැබෙන්න විය.   

2018 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සභා ඉතිහාසයේ මේ සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ "සුවිශේෂී" තීරණයක් ගත්තේ ය. එනම් කරදීමා පියතුමා ගේ පුදැදුරු වරය ඉවත් කිරීමයි. එය "හෘදය සාක්ෂියට එකඟව සභාවේ යහපත වෙනුවෙන් ගත තීරණයක්" යයි වතිකානය ඒ සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයේ ප්‍රකාශ කළේය.  

ආධ්‍යාත්මික පියතුමෙක් 

තරුණයන් විශාල පිරිසකට ආධ්‍යාත්මික පියතුමා වූ කරදීමා 1984 වැනි ඈත කාලයේ සිට ම අපයෝජන වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන්නට විය. එහෙත් ඔහු එක අතකින් එකල චීලිය  පාලනය කල ආඥාදායක මිලිටරි ජුන්ටාවේ නායක ඔගස්තෝ  පිනෝචේ ගේ සමීප මිතුරෙක් විය. අනෙක් අතින් ඔහු එකල චීලියේ සිටි වතිකාන තානාපති (පසුව කාදිනල් තුමකු වී වතිකාන රාජ්‍ය ලේකම්වරයා ද වූ ) ඇන්ජෙලෝ සොඩානෝ අගරදගුරු තුමන් ගේ ද සිත දිනාගෙන සිටියේ ය. එම සම්බන්ධතා ඔස්සේ වතිකානයට බලපෑම් කරමින් අදාළ චෝදනා යටපත් කිරීමට කරදීමා සමත් විය. 

එහෙත් අපයෝජන වින්දිතයන් තුන් දෙනෙක් - එනම් හුවාන් කාර්ලොස් කෘස්, හොසේ අන්ද්‍රේස් මුරිල්ලෝ සහ ජේම්ස් හැමිල්ටන් - යුක්තිය වෙනුවෙන් සිය අරගලය නොකඩවා ගෙන ගියහ. එසේ වුවත් චීලියේ සභාවත්, සභාවේ මතය පිළිගත් කතෝලික ජනතාවගෙන් අති  විශාල පිරිසකුත් කරදීමා සම්බන්ධයෙන් පියවරක්  ගන්නවා වෙනුවට එම තිදෙනාට චෝදනා කරමින් සහ ඔවුනට අපහාස කරමින් චෝදනා යටපත් කිරීමට ක්‍රියා කරමින් සිටියහ. 

1980 සහ  90 දශක වල ෆර්නැන්ඩෝ කරදීමා  කතෝලික තරුණ ව්‍යාපාරයකට නායකත්ව දුන්නේ ය. මේ අතරින් 40 දෙනෙක් පමණ පුදැදුරුවරය ද ලබාගත්හ. මේ අතරින් බොහෝ දෙනෙක් කරදීමා ගේ අපයෝජන ගැන දැනුවත්ව සිටින බවට වින්දිතයෝ ප්‍රකාශ කළහ. 

හුවාන් බරෝස් පියතුමා මේ ගැන දැන  සිටි එක් පුදැදුරු වරයකු බව හුවාන් කාර්ලොස් ඇතුළු වින්දිතයෝ කියා සිටියහ. 

මේ ගැටලුව සංකීර්ණ වූයේ හුවාන් බරෝස් පියතුමා රදගුරු නමක් ලෙස පත් කිරීමට 2015  දී ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා  තීරණය කිරීමත් සමග ය. මේ වන විට ළමා අපයෝජන රැල්ලේ බරපතල කම චීලි ජනතාවට අවබෝධ වී තිබිණි. මේ නිසා මෙම තීරණය වෙනස් කරන ලෙස එරට මැදිහත් මතධාරී දේශපාලකයන් සහ ජනතාව සුදොතුම් පියතුමාට ආයාචනා කළහ. 

චීලි අපෝස්තලික චාරිකාව 

2018 ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීලි රාජ්‍යයේ අපෝස්තලික ගමනට පැමිණි අවස්ථාවේ එම චාරිකාව මත වැටී තුබුණු දැවැන්ත කලු පැල්ලම වූයේ එරට පූජක වරුන්ගේ ළමා අපයෝජන, රදගුරු වරුන් විසින් ඒවා සැඟවීම සහ දැන දැනත් ඒවා සැඟවූ හුවාන් බරෝස් පියතුමා  රදගුරු වරයට එසැවීම යන කාරණායි. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. "මේවා මඩ ගැසීම්" එම චෝදනා වලට පිළිතුරු ලෙස එතුමා කීවේ ය. 

අපෝස්තලික ගමන නිමවා පෙරළා රෝමයට යන ගමනේ දී හොඳින් කරුණු හදාරා සිටි චීලි ජාතික යොවුන් පත්‍රකලාව්දිනියක සහ සුදොතුම් පියතුමා අතර සුන්දර සංවාදයක් සිදු විය. 

පත්‍ර කලාවේදිනිය: "හුවාන් බරෝස් පියතුමාට එල්ල වී ඇති චෝදනා නොතකා ඔබ එතුමන් රදගුරු වරයට පත් කරන්නේ ඇයි?"

සුදොතුම් පියතුමා: "එම චෝදනා මඩගැසීම්" 

පත්‍ර කලාවේදිනිය: "ඒවා මඩගැසීම් නොවෙයි. සත්‍ය  සාධක මත පදනම්  වූ තොරතුරු ." 

සුදොතුම් පියතුමා: "ඒවා ඇත්ත නම්, ඊට අවශ්‍ය සාක්ෂි ලබා දෙන්න"

පත්‍ර කලාවේදිනිය : (සුදොතුම් පියතුමා වෙත  ගෞරවය මුසු වූ, බිඳුණු, එහෙත් ස්ථිර හඬින්)  සුදොතුම් පියතුමෙනි, මෙච්චරත් සාක්ෂි ඉදිරිපත් කරලා තිබෙද්දිත්, ඔබට තවත් අවශ්‍ය මොන සාක්ෂි ද? 

යොවුන් පුවත් පත් කලාවේදිනිය ගේ එම ප්‍රශ්නයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිතුරක් දුන්නේ නැත. 

හෙළිදරව්ව 

එහෙත් යළිත් වතිකානයට ගිය පසු සුදොතුම් පියතුමා තුළ "සිත් හැරීමක්" සිදු වී තිබුනේ ය. 

මෙම චෝදනා ගැන පරීක්ෂා කර තමන්ට වාර්තා කරන ලෙස උපදෙස් දෙමින් එතුමා දැනට වතිකානයේ සිටින දක්ෂතම විමර්ශකයන් දෙනෙකු චීලියට පිටත් කළේය. ඔවුන් ගේ පරීක්ෂණ වාර්තාව පිටු 2,300කින් යුක්ත විය. එම වාර්තාව කියවීමෙන් පසුව සුදොතුම් පියතුමා වහාම ක්‍රියාත්මක විය. 

දීර්ඝ  ලියුමක් ලියූ එතුමා මේ සිද්ධි දාමය ගැන චීලි ජනයා ගෙන් සමාව ඉල්ලුවේය. 

එම තොරතුරු මේ දිගුවෙන්: පාප් වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි


වින්දිතයන් ගේ අරගලය ඉදිරියට ගෙන ගිය වින්දිතයන් තිදෙනා වතිකානයට ආරාධනා කර ඔවුන්ගේ කතාවට  පෞද්ගලිකව සවන් දුන්නේ ය. සිය පිය සෙනෙහසින් ඔවුන් සැනසුවේය. චීලියේ සියලුම රදගුරු වරුන් වතිකානයට කැඳවා සියලු දෙනා ගේ ම ඉල්ලා අස්වීමේ ලිපි  තමාට භාර දෙන මෙන් ඔවුන්ට නියෝග කළේය. ඒ අතරින් හුවාන් බරෝස් ඇතුළු රදගුරු වරුන්ගෙන්  තුනෙන් එකක ගේ ම ඉල්ලා අස්වීම් පිළිගත්තේ ය. 

එම තොරතුරු මේ දිගුවෙන්: චිලීයේ සියලුම රදගුරු හිමිවරු සිය ඉල්ලා අස්වීම් සුදොතුම් පියතුමාට භාර දෙති

ඒ සිද්ධි දාමය අවසානයේ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එවකට තාපසාරාමයක විශ්‍රාමිකව සිටි  ෆර්නැන්ඩෝ කරදීමා (පියතුමා) ගේ පූජක භාවය ඉවත් කලේ ය. 

එම තොරතුරු මේ දිගුවෙන්: චිලියේ ද්‍යෝෂිත ළමා අපයෝජක පූජකවරයා පූජකත්වයෙන් ඉවත් කෙරේ

මේ සිද්ධිය "වතිකාන සුලඟෙහි" සටහන් කරන්නේ කාරණා  දෙකක් නිසා ය. 

චීලිය කේන්ද්‍ර වූ මේ සිද්ධි දාමය ගැන "වතිකාන සුළඟ" දිගට ම වාර්තා කළේය. ෆර්නැන්ඩෝ කරදීමා ගේ මිය යාම එහි  අවසානය නොවිය හැකිය. එහෙත් එය මේ සිද්ධි දාමයේ එක වැදගත් සන්ධිස්ථානයකි. එය වාර්තා කිරීම අවශ්‍ය වන්නේ එබැවිනි. 

අනෙක්  කාරණාව, ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භයට මේ කතාවේ ඇති සමීප සම්බන්ධය යි. 

එක්තරා දේශපාලකයකු ගේ නිවසේ සිදු වූ ළමා අපයෝජන ගැන මේ දිනවල ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය වල පමණක් නොව පාර්ලිමේන්තුවේ ද උණුසුම් විවාද අසන්නට දකින්නට ලැබේ. එහෙත් ඒ කිසිවෙකුත් කතා නොකරන, නැති නම් වසා තබන්නට උත්සාහ කරන කාරණයක් තිබේ. එනම් ලංකාවේ ළමා ලිංගික අපයෝජන සිදුවන හෝ සිදු වූ එකම තැන එම නිවෙස  පමණක් නොවන බව ය. එහෙත් එම අපරාධ හෙළිදරව් වන්නේ නැත. හෙළිදරව් වන ලිංගික අපයෝජන  අපරාධ චීලියේ මෙන් ම දේශපාලන, ආගමික වැනි විවිධ බලපෑම් යොදා යටපත් කරනු ලැබේ. එසේ කරන්නේ එම  අපරාධ වල වින්දිතයන් ජීවිත කාලය පුරාම විඳවන්නන් බවට පත් කිරීමෙනි. 

අපයෝජනය  නිසා දරුවන්ට  ශාරීරික, මානසික, මනෝ විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික වශයෙන් සිදු වන යළි සුවපත් කල නොහැකි බරපතල තුවාල ගැන අප රට තුළ තවමත් සාකච්ඡාවක් නැත. එම  අපරාධය කරන්නන්ගේ දේශපාලන, ආර්ථික, සමාජයීය හෝ ආගමික තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කල හැකි ක්‍රම වේදයක් සකස් කොට නැත. දරුවන්ට ආදරය කරනවා කියන අපේ රට දැඩි ඇත්තට ම  දරුවන්ට ආදරේ නම් කල යුත්තේ ලිංගික විලෝපිකයන් ගෙන් ඔවුන් ආරක්ෂා කිරීමටත් එම විලෝපිකයන්ට දැඩි දඬුවම් පැමිණ වීමටත්  පියවර ගැනීමය. 

මෙම කාර්යයෙහි ලා කතෝලික සංඝය පෙරමුණේ සිටිය යුතු ය. මන්ද කතෝලිකයන් ආගමික සංඝයක් ලෙස සිය කැඳවීම තුළ  සදාචාරයේ සහ සියලු ආකාර අපරාධ විරෝධයේ   හඬත් බලවේගයත්  විය යුතු නිසාය. එසේම එම කැඳවීම තුළ කතෝලික සභාව රටක ජාතියක හෘදය සාක්ෂිය විය යුතු නිසාය. 

මෙවැනි විලෝපිකයන් සම්බන්ධයෙන් ක්‍රිස්තුන් වහන්සේ කල ප්‍රකාශය මෙම අරගලය තුළ කතෝලික ජනතාව ගේ ආදර්ශ පාඨය විය යුතුය: "මේ කුඩා වූවන්ගෙන් කෙනෙකු ගේ වැටීමට යමෙක් හේතු වනු ඇත්ද, ඔහු ගේ ගෙළ වට ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපත."  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික සභාව තුළ එම අරගලය  දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මෙම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ ෆර්නැන්ඩෝ කරදීමා  ගේ සේ ම කලින් ගෞරවයට ලක්ව සිටි  අමෙරිකාවේ (හිටපු කාදිනල්) තියඩෝර් මක්කෙරික්ගේ ද පුදැදුරු භාවය ඉවත් කරන ලද්දේ ය. ඊට ආදාලව නව නීති රැසක් ද හඳුන්වා දී තිබේ. ළමා විලෝපිකයන් සම්බන්ධයෙන් තරාතිරම නොසලකා නීතිය සහ යුක්තිය ඉටු කිරීම මේ ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආදර්ශයයි. 

තවත් තොරතුරු මේ දිගුවෙන්: "අපි දරුවන් කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූයෙමු; ඔවුන් අත්හැර දැමුවෙමු," පූජක ළමා අපචාර වැලක්වීමට එක්සත්ව ක්‍රියා කරන ලෙස සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි.

අරගලය නොකඩවා 

මේ අතර අපයෝජන සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන් තෙක් අරගලය ගෙන ගිය වින්දිතයන් වන  හුවාන් කාර්ලොස් කෘස්, හොසේ අන්ද්‍රේස් මුරිල්ලෝ සහ ජේම්ස් හැමිල්ටන් යන තිදෙනා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. '

"ෆර්නැන්ඩෝ කරදීමා යනු අපයෝජනය සහ ඒවා සඟවා ගැනීමේ සංස්කෘතියේ තවත් එක්  පුරුකකි,"යි  ඔවුහු එම නිවේදනයේ කියා සිටිති. 
"අපි සිත් සාමයෙන් සිටිමු. එසේ ම මෙවැනි අපරාධ යළි සිදු කිරීම වැලැක්වීම සඳහාත් මෙම අමිහිරි අත්දැකීම ලබා තවමත් ඊට යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි වූ ජනතාව වෙනුවෙනුත්  අපගේ සටන අඛණ්ඩව කරගෙන යාමට අප තුළ වූ අධිෂ්ඨානය වර්ධනය වී  තිබේ," යි  එහි වැඩි දුරටත් සඳහන් වේ. 


  

Comments

  1. ශ්‍රී ලංකාවේත් දැනට එක් පූජකවරයෙකුට දඬුවම් කරළා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය