"සැමට නිදහස් සුව සේවාව ලොව පුරා අත්‍යවශ්‍ය සේවාවක් විය යුතුයි" - සුදොතුම් පියතුමා රෝහලේ සිට යැදුම් මෙහෙයවමින් කියයි

 "Healthcare for all is essential service" Pope says addressing pilgrims from the hospital balcony 



(2021 ජූලි 11)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උදර සැත්කමකට මුහුණ දීමෙන් පසු ප්‍රථම වරට අද, ඉරිදා, ජනතාව හමුවට පැමිණියේ ය. 

එතුමා සෑම ඉරිදා දහවලකම මෙහෙයවන තුන් කාල ආරාධනා මරිය යැදුම  මෙහෙය වීම සඳහා සිය උදර සැත්කම සිදු කරන ලද රෝමයේ ගෙමෙල්ලි රෝහලේ දසවැනි මාලයේ බැල්කනියකට ආවේ ය. ඒ වන විටත්  වන්දනා කරුවන් පිරිසක් එතුමා එන පොරොත්තුවෙන් රෝහල් පරිශ්‍රය  තුළ  රැස්ව සිටියහ.  

සුදොතුම් පියතුමා එහි පැමිණියේ තනිව නොවේ. මේ වන විට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් අතරින් කිහිප දෙනෙකු ද සමගය. 

බැල්කනියට පැමිණි සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස සිය අත වනමින් එහි රැස්ව සිටි සියල්ලන් ගේ ආචාරය සහ සුබ පැතුම් පිළිගත්තේ ය. 

"මට ඔබ සියලු දෙනා ගේ සමීප බවත් යාච්ඥා වල සහයෝගයත් ගැඹුරින් ම දැනුණා. ඔබ සියලු දෙනාට ම මගේ හදවතේ ගැඹුරින් ම ස්තුතියි" යි ලොව පුරා එතුමන් වෙනුවෙන් යාච්ඥා කල, සුබ පැතුම් එවූ සියල්ලන් වෙත සිය කෘතවේදී බව ප්‍රකාශ කරමින් එතුමා කියා සිටියේ ය.  

සිත ගත සුවපත් වන  "ආලේපය" 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුන්කාල ආරාධනා යැදුමට පෙර සුපුරුදු පරිදි ඉරිදා සුපුවත පදනම් කරගෙන කුඩා භාවනාවක් කළේය. තමා වටා සිටි එම රෝගී දරු දැරියන් ද ලොව පුරා සිටින සියලු රෝගීන් ගේ ද අවශ්‍යතාව එතුමා එම පණිවිඩයේ දී ලොව හමුවේ තැබුවේ ය. 

ක්‍රිස්තුන් වහන්සේ ගේ මුල් ශ්‍රාවකයන් උන්වහන්සේ ගේ ජීවිත කාලය තුළ දීම දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම සඳහා යවනු ලැබීම මේ ඉරුදින සුපුවතින් කියැවේ. එම ගමනේ දී ශ්‍රාවකයන් රෝගීන් තෙලින් ආලේප කර සුවපත් කල ආකාරය එම සිද්ධිය විස්තර කරයි. 

"මේ තෛලය යනු රෝගීන් ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානයයි. එය ශරීරයටත් ආත්මයටත් සුව සහනය ලබා දෙයි" යි සුදොතුම් පියතුමා එම සිද්ධිය විස්තර කරමින් කියා සිටියේ ය. 

"එසේ ම එය රෝගියාට සාත්තු කරන්නන් ගේ  සවන් දීමේ, සමීප බවේ, රැකබලා ගැනීමේ, සාත්තු කිරීමේ සහ කරුණාවේ ආලේපයයි. ඒ මගින් වේදනාව අඩු වන අතර රෝගීනට සුව පහසුවක් දැනේ."

අප සෑම කෙනෙකුට ම ජීවිතයේ කොයි යම් ම හෝ වෙලාවක මේ "ආලේපය" අවශ්‍ය වන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"රෝගී කෙනෙකු බලන්නට යාම , ඔවුනට දූරකතනයෙන් කතා කිරීම, හෝ ඔවුනට උදව් වීම වැනි ඉතා සරල ක්‍රියාවක් මගින් මේ 'ආලේපය' ඔවුන් මත ගැල්වීමට අපට පුළුවන්" යි එතුමා කීවේය. 

යහපත් නිදහස් සුව සේවාව සැමට ලැබිය යුතුයි

ගුණාත්මක සුව සේවාවක් නිදහස්ව ලබා ගැනීමේ අවකාශය  ලොව පුරා සියල්ලනට ලැබිය යුතු බව මේ දිනවල රෝහලේ ගත කරද්දී තමන් අත්දුටු වේ යයි ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා කීවේ ය. ඉතාලියේ සහ තවත් රටවල් රැසක මේ ප්‍රතිලාභය සෑම දෙනෙකුට ලැබෙන බව එතුමා පෙන්වා දුන්නේ ය. 

"මේ වටිනා ප්‍රතිලාභය නැති කර නොගත යුතු ය. එය ආරක්ෂා කර ගත යුතු ය. මේ සඳහා සියල්ලන් ගේ කැපවීම අවශ්‍ය ය. මන්ද එය සියල්ලන්ට උදව් වන අතර සියල්ලන් ගේ දායකත්වය ඊට අවශ්‍ය වන නිසා ය. ආර්ථික පීඩනය අත්‍යවශ්‍ය සුව සේවාව නිදහස්ව ලබා දීමට බාධාවක් කර නොගත යුතු ය" යි එතුමා අවධාරණය කලේ ය.  

කිසිවකු තනි නොකරමු 

තුන්කාල ආරාධනාව අවසානයේ සුදොතුම් පියතුමා සියලුම වෛද්‍යවරුනට, හෙද හෙදියනට, සහ වෙනත් සේවක සේවිකාවන්ට සිය ස්තුතිය ප්‍රකාශ කළේය. 

"කිසිවෙකුත් තනි නොකරමු. සාම කෙනෙකුට ම  සවන් දීමේ, සමීප බවේ, රැකබලා ගැනීමේ, සාත්තු කිරීමේ සහ කරුණාවේ ආලේපය ලබා දෙමු" යි එතුමා ඉල්ලා සිටියේ ය.   

    


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය