සුදොතුම් පියතුමාට උදර සැත්කමක් - එතුමා "සැත්කමට හොඳින් ප්‍රතිචාර දැක්වූවා" වතිකානය කියයි

Holy Father undergoes an intestinal surgery; He is 'doing well' after the procedure, says Vatican 

සුදොතුම් පියතුමන් ඇතුළු කල ජෙමෙල්ලි රෝහල අබියස 'රැකවල් ලා ගෙන'  සිටින ප්‍රවෘත්ති කලාවේදීන්   


(2021 ජූලි 4)

ඉරිදා (ජූලි 4 ) දහවල් වරුවේ සිදුකරණ ලද  උදර සැත්කමකට සුදොතුම් පියතුමා "ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන" බව වතිකානය ඉතාලි වේලාවෙන් ඉරිදා රාත්‍රියේ ප්‍රකාශ කළේය. 

මේ සම්බන්ධයෙන් වතිකාන මාධ්‍ය ප්‍රකාශක මත්තෙයෝ බෘනි නිකුත් කල ඉතා කෙටි නිවේදනයේ සඳහන් වන්නේ එය "කළින් සැලසුම් කරන ලද" ශල්‍ය කර්මයක් බවයි. 

එම සැත්කමට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉරිදා දහවල් සාම්ප්‍රදායිකව එතුමා මෙහෙයවන තුන් කාල ආරාධනා මරිය දැහැනට ද සහභාගී විය. එහිදී එතුමා කිසිදු විශේෂයක් පෙන්වූයේ නැත.

තමා ලබන සැප්තැම්බරයේ හංගේරියාව සහ ස්ලෝවැකියාව යන රටවල අපෝස්තලික සංචාරයක යෙදෙන බව ද තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව එතුමා ප්‍රකාශ කළේය. මේ නිසා එතුමා ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වතිකානය හදිසියේ නිකුත් කල මෙම නිවේදනය මාධ්‍ය ලෝකය මවිත කල කාරණයක් විය. 

ආහාර ජීරණ පද්ධතියේ අවසන් කොටස වන මහා අන්ත්‍රයේ ඇති වූ නෙරීම් ("symptomatic diverticular stenosis") ඉවත් කිරීම සඳහා රෝමයේ අගොස්තිනෝ ජෙමෙල්ලි රෝහලේ දී මෙම සැත්කම සිදු කරන ලද බව මත්තේයෝ බෘනී නිකුත් කල කෙටි නිවේදනය කියයි. සැත්කම සිදු කරන ලද්දේ සාමාන්‍ය නිර්වින්දනය යටතේ ය.  ඉරිදා සන්ධ්‍යාවේ සිදුකෙරුණු මෙම සැත්කමට සුදොතුම් පියතුමා "ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වී"යැයි එම නිවේදනය ප්‍රකාශ කරයි. 

වෛද්‍ය මහාචාර්ය වරුන්ගෙන් ද සමන්විත සිව් පුද්ගල ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ද, සිව් පුද්ගල නිර්වින්දන වෛද්‍ය කණ්ඩායමක් ද එතුමා ගේ සැත්කමට සභාගී වූහ. ඊට අමතරව සුදොතුම් පියතුමා ගේ පෞද්ගලික වෛද්‍ය වරයා ද එම අවස්ථාවේ ශල්‍යාගාරයේ සිටියේ ය. 

මේ වන විට අසූ හතර වියැති ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාමාන්‍යයෙන් යහපත් සෞඛ්‍ය  තත්වයෙන් සිටියි. වයස අවුරුදු 21 දී ඇති වූ දරුණු නියුමෝනියා තත්වයක්  නිසා  එතුමා ගේ එක් පෙනහල්ලකින් කොටසක් සැත්කමකින් ඉවත් කෙරිණි. මෑතක සිට එතුමා  ශියාටිකා තත්වයෙන් පීඩා විඳියි. ස්නායු පීඩනයක් නිසා ඇති වන ශියාටිකා තත්වය නිසා පාදයේ පහල කොටසේ අධික වේදනාවක් හට ගනියි.


 

  "පාප් වහන්සේ වෙනුවෙන් යදින්න"

ඉකුත් ජුනි 27 වැනි දා තුන්කාල ආරාධනාවෙන් පසුව වන්දනා කරුවන් ඇමැතූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "පාප් තුමන් වෙනුවෙන් යාච්ඥා කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතා විශේෂාකාරයෙන් යාච්ඥා කරන්න" යි ඉල්ලා සිටියේ ය. "පාප් තුමන්ට ඔබ ගේ යාච්ඥා අවශ්‍යයි. ඔබ එය කරන බව මා දන්නවා," යි එතුමා සඳහන් කළේය. එහෙත් මෙබඳු සැත්කමක් ගැන එතුමා එහිදී කිසිවක් සඳහන් කලේ නැත. 

මහාන්ත්‍රයේ ඇති වන නෙරීම් සාමාන්‍යයෙන් වයස් ගත වූ ජනතාවට ඇති වන තත්වයකි. මේ නිසා අන්ත්‍රයේ එම ප්‍රදේශය පටු වන අතර ආහාර ජීරණයේ අසාමාන්‍ය තත්වයන් ඇති වේ. ඊට බොහෝ විට ඇති ප්‍රතිකාරය සැත්කමකින් එම නෙරීම් ඉවත් කිරීමයි. 

සුදොතුම් පියතුමා සැත්කමින් පසුව නිර්වින්දන තත්වයෙන් මිදුනා ද, එතුමා සාමාන්‍ය වාට්ටුවකට  ඇතුලත් කරන ලද ද වැනි ප්‍රශ්න වලට පිළිතුරු වතිකාන නිවේදනයේ සඳහන් නොවේ. එහෙත් එතුමාට ජෙමෙල්ලි රෝහලේ පාප් වහන්සේට වෙන් කර  ඇති කාමරයක දින කිහිපයක් ගත කරන්නට සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෑත කාලීන පාප් වහන්සේලාට ප්‍රතිකාර කරන ලද රෝහල ජෙමෙල්ලි රෝහලයි. 

ලෝකයෙන් ප්‍රතිචාර

ලොව පුරා රාජ්‍ය නායකයන් සහ ජනතාව සුදොතුම් පියතුමා ගේ ඉක්මන් සුවය පතා යාච්ඥා කිරීමටත් 'සුව පැතුම්' එවීමටත්  පටන් ගෙන තිබේ. 

එතුමන් ගේ සුවය වෙනුවෙන් යාච්ඥා කරන්නැයි 'වතිකාන සුළඟ' සිය පාඨක සුහදයන්ගෙන් ඉල්ලා සිටියි. 

  

 

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය