"විවාහයේ සෞන්දර්යය" :ජුනි මාසයේ සසුන් පිය යැදුම් අදහස . සසුන් පිය වීඩියෝවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජනයක්

Pope’s June prayer intention: ‘The beauty of Marriage’



 (2021 ජුනි 7) 

විවාහය වූ කලී "හදවතින් උපත ලබන දේව කැඳවීමක්" බව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා කියයි. මේ නිසා විවාහය හෙවත් ආශීර්වාදකාර බන්ධනයට සූදානම් වන යුවල් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ජුනි මාසය සාමාන්‍යයෙන් සැලැකෙන්නේ විවාහ මංගල්ල මාසය ලෙස ය. වසංගත තත්වය නිසා බොහෝ රටවල විවාහ  මංගල්ල සැමරීම සීමා වී තිබුණත්, එම සීමා වලට අනුගත වෙමින් ඉතා චාම්ව හෝ පසුගිය කාලය පුරාත් මේ ජුනි මාසයේත් ප්‍රේමවන්තයෝ විවාහ දිවියට එළඹෙමින් සිටිති. 

මේ සියල්ල සැලකිල්ලට ගනිමින් සුදොතුම් පියතුමා ජුනි මාසයේ සිය යැදුම් අදහස ප්‍රකාශයට පත් කරමින් කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විවාහ ජීවිතයට සූදානම් වන්නන් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙසයි. 

යොවුන් ජනතාව විවාහ වීම ප්‍රතික්ෂේප කරනවා ?

මේ යුගයේ ලොව ඇතැම් පිරිස් විවාහ ජීවිතයට ඇතුළු වීම සුළු කොට සළකතත් එය ඉතා අනගි ජීවිතයක් බව, යැදුම් අදහස ඇතුලත්ව නිකුත් කෙරෙන සසුන් පිය වීඩියෝවෙන්  සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

එතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ "තරුණ ජනතාව විවාහ වීම ප්‍රතික්ෂේප කරන බවට - විශේෂයෙන් ම මේ දුෂ්කර කාලයේ එසේ කියා සිටින බවට - සමහරෙකු කරන ප්‍රකාශය සත්‍යයක් ද" යි ප්‍රශ්න කරමිනි. 

" විවාහ වීමත් ඒ මගින් තවත් කෙනෙකු ගේ ජීවිතය ඇතුළු වීමත් බොහෝ සුන්දර දෙයක්"

විවාහ ජීවිතය "අභියෝග වලින් පිරි ගමනක්" බව එතුමා කියා සිටියි. ඇතැම් වකවානු වල එය සංකීර්ණ එකක් විය හැකිය. එහෙත් " විවාහ වීමත් ඒ මගින් තවත් කෙනෙකු ගේ ජීවිතය ඇතුළු වීමත් බොහෝ සුන්දර දෙයක්" බව එතුමා පෙන්වා දෙයි. 

"ජීවිතය පුරාවට  යන මේ ගමනේ දී සැමියා සහ බිරිඳ තනි නොවෙති; මන්ද ජේසු ඔවුන් කැටුව ගමන් කරන නිසාය," යි එතුමා අවධාරණය කරයි. 

ප්‍රේම කිරීමට කැඳවීම 

ඊළඟට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ආශීර්වාදකාර බන්ධන දේව ප්‍රසාද නිධානයේ වැදගත්කමත් සභා ජීවිතය තුළ සහ එම මාර්ගය තෝරා ගන්නා අය ගේ ජීවිත තුළ එහි ඇති කේන්ද්‍රීය බව ගැන පහදා දෙයි. 

"විවාහය  හදවතින් උපත ලබන දේව කැඳවීමකි; කෙනෙකු ගේ ජීවිතයේ ඉතිරි කාලය වෙනුවෙන් ගන්නා වූ, සූදානම් වීම අවශ්‍ය වන, සවිඥානික තීරණයකි." 

"විවාහය හුදෙක් 'සමාජයීය' ක්‍රියාවක් පමණක් නොවේ. එය හදවතින් උපත ලබන දේව කැඳවීමකි; කෙනෙකු ගේ ජීවිතයේ ඉතිරි කාලය වෙනුවෙන් ගන්නා වූ, සූදානම් වීම අවශ්‍ය වන, සවිඥානික තීරණයකි."

"දෙවියන් වහන්සේට අප වෙනුවෙන් සිහිනයක් තිබේ. එනම් ප්‍රේමයයි" යි එතුමා සඳහන් කරයි. 

සාංඝික උපකාරය 

කිතුනු ප්‍රජාවේ උපකාරය සමග විවාහ වීමට සූදානම් වන යුවල් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙස සිය යැදුම් අදහස් පණිවිඩය අවසානයේ සුදොතුම් පියතුමා කතෝලික ජනතාවගේ ඉල්ලා සිටියි.

"ඔවුහු ත්‍යාගශීලී බව, විශ්වාසවන්ත බව සහ ඉවසීම සමග ප්‍රේමය තුළ වර්ධනය වෙත්වා! " යි එතුමා ප්‍රාර්ථනා කරයි. 

"මන්ද ප්‍රේම කිරීම සඳහා ඉවසීම බොහෝ සෙයින් අවශ්‍යයි. ඒත් ඒක වටිනවා. නැද්ද ?" යි සිය සුපුරුදු හාස්‍ය රසය සමග එතුමා යැදුම් පණිවිඩය අවසන් කරයි.  

 පවුල් වසර 

මේ වසර සුදොතුම් පියතුමන් විසින් පවුල් වසර ලෙස නම් කර ඇති  බව සසුන් පිය වීඩියෝව සම්පාදන කිරීම භාරව සිටින  ලෝක ව්‍යාප්ත  සසුන් පිය යැදුම් ජාලය, ඒ සමග නිකුත් කර ඇති  නිවේදනයෙන් සිහිපත් කරයි.පවුල් වසර  ආරම්භ වූයේ ජුසේ මුනිදුන් ගේ මංගල්‍යය සැමරෙන මාර්තු 19 වන දා ය. 

1972 සිට ලොව පුරා විවාහ වීමේ අනුපාතය අඩුවෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අතර දික්කසාද වීමේ අනුපාතය සීඝ්‍ර ලෙස ඉහල යමින් තිබේ. 

සූදානම් කිරීමේ වැදගත්කම  

මේ පසුබිම තුළ යොවුන් ජනතාව විවාහ වීම සඳහා වන සිය කැඳවීම සොයා ගැනීමට උත්සාහ දරද්දී සභාව ඔවුනට උදව් කරමින් ඔවුන් කැටුව යාමේ වැදගත්කම සසුන් පිය යැදුම් ජාලය අවධාරණය කරයි. 

"ප්‍රමුඛතාව විය යුත්තේ යොවුන් ජනතාව සහ විවාහ වීමට ගිවිස ගෙන සිටින යුවල් සැබෑ විවාහ කැඳවීමට සූදානම් කිරීමයි"

"ප්‍රමුඛතාව විය යුත්තේ යොවුන් ජනතාව සහ විවාහ වීමට ගිවිස ගෙන සිටින යුවල් සැබෑ විවාහ කැඳවීමට සූදානම් කිරීම මිස හුදෙක් ඔවුන් විවාහ මංගල උත්සවයට පමණක් සූදානම් කිරීම නොවේ" යයි ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ  වතිකාන දෙපාර්තමේන්තුවේ උප ලේකම් ආචාර්ය ගේබ්‍රියෙලා ගැම්බිනෝ මහත්මිය අවධාරණය කරයි. 

සසුන් පිය වීඩියෝවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජනයක් 

ලොව පුරා  විවිධ රටවල, විවිධ සංස්කෘතීන් තුළ ආශීර්වාදකාර බන්ධනයට පිවිසෙන යුවල් වලින් සහ එම මෙහෙයන් ගේ රූප රාමු වලින් මෙවර සසුන් පිය වීඩියෝව නිර්මාණය වී තිබේ. 

ඊට ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජනයක් ඇතුළත් වීම මෙවර විශේෂත්වයකි.  

මේ සසුන් පිය වීඩියෝවේ කවරය සැරසී ඇත්තේ ශ්‍රී ලංකාවේ ෂෙරීන් ප්‍රබෝදනී සහ අමිල ප්‍රනාන්දු යුවල ගේ ආශීර්වාදකාර බන්ධන මොහොතේ සේයාරුවකිනි. ඔවුන් ගේ මේ මොහොත ආසිරි ගන්වන්නේ කුරුණෑගල පදවියේ ස්ටැන්ලි පීරිස් පියතුමා ය. 

ජුනි මස සසුන් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"තරුණ ජනතාවට  විවාහ වීමට ඕනෑ නැති බවට - විශේෂයන් ම මේ දුෂ්කර කාලයේ ඔවුන් විවාහ වීමට උනන්දු නොවන  බවට - සමහර දෙනෙක් කියන කතාව ඇත්තක් ද?  

විවාහ වීමත් ඒ මගින් කෙනෙකු ගේ ජීවිතය බෙදා ගැනීමත් සුන්දර දෙයක්. 

එය අභියෝග ගහන ගමනක්. ඇතැම් විට හුඟක් දුෂ්කරයි. ඇතැම් විට ව්‍යාකූලයි. එහෙත් ඒ ගමන යන්නට දරන උත්සාහය වටිනව. ඒ වගේ ම ජීවිතය පුරා දිවෙන මේ ගමනේ දී සැමියා සහ බිරිඳ තනි වන්නේ නැහැ. ජේසු ඔවුන් කැටුව යනව. 

විවාහය හුදෙක් 'සමාජයීය' ක්‍රියාවක් පමණක් නොවෙයි. එය හදවතින්ම උපත ලබන දේව කැඳවීමක්. එය කෙනෙකු ගේ ජීවිතයේ ඉතිරි කාලය වෙනුවෙන් ගන්නා වූ, සූදානම් වීම අවශ්‍ය වන, සවිඥානික තීරණයක්. 

කරුණාකර, කිසිදාක මෙය අමතක කරන්න එපා! දෙවියන් වහන්සේට අප වෙනුවෙන් සිහිනයක් තිබෙනවා -එනම් ප්‍රේමයයි - එම සිහිනය  අපේම කරගන්නා ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනව. 

දෙවියන් වහන්සේ ගේ අප වෙනුවෙන් තිබෙන සිහිනය වන ප්‍රේමය අපි අපේ ම කර ගනිමු. 

කිතුනු සංඝයක උපකාර සහ ආධාර සමග විවාහ ජීවිතයට සූදානම් වන තරුණ ජනතාව වෙනුවෙන් අපි යාච්ඥා කරමු: ඔවුන්  ත්‍යාගශීලී බව, විශ්වාසවන්ත බව සහ ඉවසීම සමග ප්‍රේමය තුළ වර්ධනය වෙත්වා! 

මන්ද ප්‍රේම කරන්නට ඉවසීම හුඟාක් අවශ්‍යයි. ඒත් ඒක වටිනවා. නැද්ද? "

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය