ජර්මනියේ මියුනිච් අගරදගුරු කාදිනල් මාක්ස් හිමි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: "ලිංගික අපචාර සම්බන්ධ සභාවේ සංස්ථායික පැහැර හැරීම් අප භාර ගත යුතුයි" සුදොතුම් පියතුමාට ලියමින් එතුමා කියයි

Germany's  Cardinal Reinhard Marx resigns; Cites institutional failures on sex abuse 


(2021 ජුනි 5)

ලොව කීර්තිමත් කතෝලික නායකයකු වන ජර්මනියේ මියුනිච් පදවියේ අගරදගුරු රේන්හාර්ඩ් මාක්ස් කාදිනල් හිමි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එතුමා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙත යවනු ලැබූ බව මියුනිච් අගරදගුරු පදවියේ වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. 

රදගුරු තුමකු අනිවාර්යයෙන් සිය තනතුරින් ඉල්ලා අස්විය යුත්තේ  වයස අවුරුදු 75 දීය. එම වයසට ලඟා වීමට මාක්ස් කාදිනල් හිමිට තවත් අවුරුදු 8ක් ගත වීමට තිබේ. මේ නිසා එතුමා ගේ හදිසි ඉල්ලා අස්වීම ලෝකයම කම්පනය කළ  සිද්ධියක් වී ඇත. 

ඉල්ලා අස්වීමට හේතුව ?

කතෝලික සභාවේ නියෝජිතයන් අතින් සිදු වී ඇති "ලිංගික අපයෝජන විපත්තියේ වගකීම" වෙනුවෙන් තමන් ගේ කොටස භාර ගෙන ඉතා හොඳින් කල්පනා කිරීමෙන් පසුව ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේන්හාර්ඩ් මාක්ස් කාදිනල් හිමි සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. 

ලිංගික අපචාර සම්බන්ධයෙන් මෙම කීර්තිමත් අගරදගුරු හිමියන්ට කිසිදු චෝදනාවක් එල්ල වී නැත. එසේ ම වෙනත් පුදැදුරු හෝ රදගුරු වරුන් සිදු කල ලිංගික අපචාර සැඟවීමට සිය බලය අවභාවිත කල බවට හෝ එතුමාට විරුද්ධව චෝදනා නැත. 

එහෙත් එතුමා කියා සිටින්නේ  සංස්ථාවක් ලෙස සභාව විසින් සිදු කරන ලද මේ අපචාර වල වගකීමේ කොටසක් රදගුරු තුමකු ලෙස තමා විසින්ද භාර ගත යුතු බවය. 

 "ඉකුත් දශක ගණනාව තුළ කතෝලික සභා නියෝජිතයන් සිදු කල මහා ලිංගික අපචාර විනාශයේ වගකීමේ මාගේ  කොටස  භාර ගැනීම වැදගත් බව මම  තීරණය කළෙමි. ලිංගික අපචාර විනාශයට හේතු වූයේ පෞද්ගලික පැහැර හැරීම් සහ පරිපාලන වැරැදි පමණක් නොව සංස්ථායික නොහොත් 'ක්‍රියා පටිපාටි' පදනම් කරගත් පැහැර හැරීම්   බව ද ගත වූ වසර දහයක කාලය තුළ  සිදුකළ විමර්ශණ සහ නිකුත් කෙරුණු වාර්තා වලින් නිරන්තරයෙන් පෙන්වා දී තිබේ," යි එතුමා එම ලිපියේ විස්තර කරයි. 

මැයි 21 වන දා දිනය සහිත මෙම ලිපිය "පෞද්ගලික සහ රහසිගත" එකක් ලෙස සඳහන් කර තිබුණත්  එය ප්‍රසිද්ධියට පත් කිරීමට සුදොතුම් පියතුමා ගෙන් අනුමැතිය ලැබුණු බව මාක්ස් කාදිනල් හිමි පසුව වාර්තා කරුවනට කියා සිටියේ ය. ජර්මනියේ කතෝලික සභාව ඉකුත් වසර ගණනාව තුළ දිගින්  දිගට ම අපචාර චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අරගලයකට මුහුණ දී සිටියි.  

මාක්ස් කාදිනල් හිමි සභා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට උපදෙස් දෙන කාදිනල් කවුන්සිලයේ සාමාජිකයෙක් ද වේ. 

"අර්බුදයට හේතු ගණනාවක් ම තිබේ. අප ගේ ම පැහැර හැරීම් සහ අපගේ ම වැරදි ද ඊට ඇතුළත් ය."

"ජර්මනියේ සභාව අර්බුදයක් තුළ ගමන් කරමින් සිටින බව නිසැකව ම පැවැසිය හැකිය" යි සිය ලියුම ආරම්භයේ එහිමි කියා සිටියි. "ඊට හේතු ගණනාවක් ම තිබේ. අප ගේ ම පැහැර හැරීම් සහ අපගේ ම වැරදි ද ඊට ඇතුළත් ය. සමස්තයක් ලෙස සම්පූර්ණ කතෝලික සභාව දෙස වර්තමානයේ පමණක් නොව ඉකුත් දශක ගණනාව දෙස ද ආපසු හැරී බැලීමෙන් මෙය මා හට ඉතා පැහැදිලි වී තිබිණි."

පාරේ අවසානය සහ හැරැවුම් ලක්ෂ්‍යය 

 "මගේ කල්පනාවේ හැටියට අපි දැන් පාරේ අවසානයට (dead end) පැමිණ සිටිමු. එයට  ම අප ගේ හැරැවුම් ලක්ෂ්‍යය වීමේ විභව්‍යතාව ද තිබේ. එසේ වනු ඇත යන්න මාගේ පාස්කු බලාපොරොත්තුවයි." යි මාක්ස් කාදිනල් හිමි පවසයි. ඉකුත් වසර පුරා තමන් මේ පියවර ගැනීම ගැන සිතා බලමින් සිටි අතර පාස්කු සමයේ ලැබුණු අනුප්‍රාණය තුළ එය සුදොතුම් පියතුමන් වෙත දීමේ ධෛර්යය තමා තුළ ජනිත වූ බව ද එහිමි සඳහන් කරයි. 

"ලිංගික අපචාර අර්බුදය සම්බන්ධයෙන් පොදු වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන පරිසක් ද සභාව තුළ සිටිති. එහෙත් මා විශ්වාස කරන්නේ සෑම  පැත්තක් ගැන ම කල්පනා කළ යුතු බව ය. එනම්, ඔබ පෞද්ගලිකව වගකිව යුතු අත්වැරදි සහ සභාවේ වෙනස් වීම් සහ ප්‍රතිසංස්කරණ ඇති විය යුතු සංස්ථායික පැහැර හැරීම් ය," යි එතුමා අවධාරණය කරයි. "අප සමස්තයක් ලෙස මුළු සභාව ම නියෝජනය කරන බව රදගුරුවරුන් ලෙස අපි පැහැදිලි ලෙස ම අවබෝධ කර ගත යුත්තෙමු."

"මගේ මතය නම්, මෙය මෙම අර්බුදයේ හැරැවුම් ලක්ෂ්‍යයක් කරගත හැක්කේ 'සෛනෝඩීය මාර්ගයක්' අනුගමනය කිරීමන් පමණි. 

"මගේ මතය නම්, මෙය මෙම අර්බුදයේ හැරැවුම් ලක්ෂ්‍යයක් කරගත හැක්කේ 'සෛනෝඩීය මාර්ගයක්' අනුගමනය කිරීමන් පමණි. ඔබ ජර්මානු සභාවට ඒවා තිබූ ලියුමේ යළි යළිත් අවධාරණය  කර ඇති ආකාරයට, "ආත්ම ප්‍රවිචකරණයක්' ඇතිවිය හැක්කේ  එවැනි මාර්ගයක් ඔස්සේ පමණි" යි මියුනිච් අගරදගුරු රේන්හාර්ඩ් මාක්ස් කාදිනල් හිමි සිය ඉල්ලා අස්වීමේ ලියුමේ පෙන්වා දෙයි. 

මෙම ලියුම ප්‍රන්සිස්  සුදොතුම් පියතුමාට ලැබී ඇති බව වතිකානය නිවේදනය කර තිබේ. 

එහෙත් එය එතුමන් විසින් පිළිගෙන ඇත්  ද යන්න ගැන නිල වශයෙන් දැනගන්නට නැත. ඒ ගැන තීරණය දන්වන තෙක් නිල සේවා වල දිගටම කටයුතු කරන්නැයි සුදොතුම් පියතුමා උපදෙස් දුන් බව මාක්ස් කාදිනල් හිමි වාර්තා කරුවනට කියා සිටියේ ය. 

මාක්ස් කාදිනල් හිමියන් සංස්ථායික සහ ක්‍රියා පටිපාටි වැරැදි පිළිගනිමින් ඉල්ලා අස්වැන්නේ ලිංගික අපචාර සැඟවීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වන ඇතැම් එඅදග්රු වරුන් ඉල්ලා අස්වීම  ප්‍රතික්ෂේප කරන තත්වයක් තුළ වීම සලකිලට ගත යුතු ය. විශේෂයන් ම පෝලන්තයේ රදගුරු වරු තමන්ට එල්ල වන චෝදනා වලට වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. තවත් රටවල් ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමේ ක්‍රියාමාර්ග සකස් කිරීම කල් මරමින් සිටියි. 

මෙම ලියුම ප්‍රසිද්ධ කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අනුමැතිය ලබා දුන්නේ ලොව පුරා කතෝලික ජනතාව ගේ නෙත් විවර කිරීමට යැයි විශ්වාස කල හැකිය. 

Comments

  1. ආත්ම ප්රවිචකරණයක්, යන්න තව සරල ලෙස දැක්විය හැකිනම්!

    ReplyDelete
  2. ඉහත සටහන යෙදූ මම, ශ්රී ලංකාවේ, සිරිල් එඬේරමුල්ල.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය