චීන ආණ්ඩුවේ පීඩා වලට ලක්වෙමින් සිටින "චීන කතෝලික ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන්න" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආයාචනා කරයි

"Pray for the church in China" - Pope appeals to Christians worldwide 


(2021 මැයි 24)

චීනයේ කිතුනු ජනතාව වෙනුවෙන් යාච්ඥා කරන ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා  ලොව පුරා කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

චීන ජනතාව මැයි 24 වනදා සලකන්නේ  චීනයේ  ආරක්ෂක සාන්තුවරිය සහ කිතුනුවන්ගේ සරණය වන භාග්‍යවන්ත කන්‍ය මරිය මෑණියන් ගේ මංගල්‍යය ලෙසයි. මේ උතුම් මංගල්‍යය දින  එරට කිතුනු ජනයා වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කරන්නැයි මැයි 23 වැනි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට එක්වෙමින් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය.  

"චීන කිතුනු පවුල් මේ දවසේ ෂැංහයි හි ෂෙශාන් සිද්ධස්ථානයට රැස්වෙමින් සිය ජීවිත අරගල සහ දිනපතා ජීවිතයේ බලාපොරොත්තු වලට සරණය පතා සමිඳුන් ගේ සහ සභාවේ මෑණියන් වන මරිය මෑණියන්ට ඉතා උද්‍යෝගයෙන් යාච්ඥා කරති" යි එතුමා වන්දනා කරුවන් අමතමින් කියා සිටියේ ය. 

ෂෙෂාන් සිද්ධස්ථානය චීන කතෝලික ජනතාව ගේ ගෞරවයට පත් ප්‍රධාන සිද්ධස්ථානයයි. මංගල්‍යය සැමරෙන මැයි 24 වැනිදා ආසන්න වන විට චීන පවුල් සිය දූ දරුවන් ද කැටුව සිද්ධස්ථානයට  පැමිණ යාච්ඥා කිරීම සහ එහි පෙරහරට සම්බන්ධ වීම සම්ප්‍රදායක් ව පැවතිනි. එහෙත් මෑත අවුරුදු ගණනාවක සිට වන්දනා කරුවනට එහි පැමිණීම තහනම් කර තිබේ. එසේ ම චීන ආණ්ඩුව එරට කතෝලික ජනතාවට, විශේෂයෙන්ම චීනයේ "සැඟවුණු සභාවේ" (Underground Church) කතෝලික ජනතාවට එල්ල කරන පීඩනය ක්‍රමයෙන් දැඩි කරමින් තිබේ. වයස අවුරුදු 18න් පහළ දරුවන් දේවස්ථාන වලට ගෙන ඒම සහ සභාවට හෝ ආගමට සම්බන්ධ කිසිදු අවස්ථාවකට  සහභාගී කිරීම තහනම් කිරීම ෂී ජින්පිං ආණ්ඩුව යට‍තේ පණවන ලද එවැනි එක් නීතියකි.  

එහෙත් මේ නීති සහ පීඩන නමින් සඳහන් නොකළ සුදොතුම් පියතුමා "පවුලක සාමාජිකයන් සහ කිතුනු ප්‍රජාවක සාමාජිකයන් ප්‍රේමයෙන් සහ සිය විශ්වාසය තුළ එකට එක්වී එකමුතු වී සිටීම කෙතරම් යහපත් ද! කෙතරම් අවශ්‍ය ද !" යි කියා සිටියේ ය. "මෙලස, පෙන්තකොස්ත මංගල්‍ය දින ශුද්ධාත්ම ආගමනය බලාපොරොත්තුවෙන් පළමු ශ්‍රාවකයන් එක්සත්ව මරිය මෑණියන් සමග එක්ව යාච්ඥා කරමින් සිටි ආකාරයෙන්,  දෙමාපියන් සහ දූ දරුවන්ටත්, ආච්චි -සීයලා සහ මුනුබුරු මිනිබිරියන්ටත්, පුදැදුරු වරුන් සහ විශ්වාසිකයන්ටත් එක්සත්ව සිටිය හැකියි," යි එතුමා පෙන්වා දුන්නේ ය. 

මහජන චීනයේ ජීවත් වන කිතුනු විශ්වාසිකයිනට ඉතා දුෂ්කර සමයක් වූ මේ කාලයේ "යාච්ඥාව තුළත් ප්‍රේමය සහ විශ්වාසය තුළත් එක්සත්ව එක්සිත්ව සිටින්නැයි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  එරට ජනතාව දිරිමත් කරමින් කියා සිටියේ ය. 

කතෝලිකයන්ට තවත් පීඩන 

සුදොතුම් පියතුමා චීනය සම්බන්ධයෙන් මේ හැඟුම්බර ඉල්ලීම කළේ එරට කතෝලික ජනයා පිලිබඳ තවත් සිත්  කම්පා කරවන පුවත් වාර්තා වෙමින් තිබෙන පසුබිමක ය. 

ෂින්ෂියෑන් සසුන් කලාපයේ ෂෑන් වෙයිෂු රදගුරු හිමියන් චීන කොමියුනිස්ට් ආණ්ඩුව විසින් මැයි 21 වන දා සිරභාරයට පත්කරන ලද බව ආසියානු කතෝලික පුවත් සේවා වාර්තා කර තිබිණි. ඊට කළින් දින හෙබෙයි පළාතේ ශාෂෙකියෝ හි කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවක් තුළ පවත්වාගෙන  යන ලද "සැඟවුණු සභාවේ" දෙව්සත්හලක් වැටලූ චීන බලධාරීහු  එහි සිටි පුදැදුරුවරින් 7 දෙනෙකු සහ දෙව්සත්හල් සිසුන් 10 දෙනෙකු ද අත්අඩංගුවට  ගත්හ. සිය කම්හල තුළ දෙව්සත්හල පවත්වාගැනීමට ඉඩ දුන් එහි හිමිකරු ද අත්අඩංගුවට  ගෙන තිබේ. රදගුරු තුමන් ඇතුළු මේ සියලු දෙනා "සැඟවුණු සභාවේ" විශ්වාසිකයෝ ය. 

පීඩා විඳින චීන කිතුනු ජනතාව වෙනුවෙන්  දෙවිඳුන් යදින ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කළේය. 

"මා මගේ හදවත ගැඹුරේ ඉතා ප්‍රේමයෙන් රඳවාගෙන සිටින අපගේ දයාබර සහෝදර සහෝදරියන් වන චීනයේ කිතුනු ජනතාව ඔබගේ  යාච්ඥා  තුළ කැටුව යන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ලෝකය තුළ සභාවේ දූත මෙහෙවර ක්‍රියාත්මක කරන්නා වන ශුද්ධාත්මයාණෝ සුපුවත රැගෙන යන්නන් වීමට චීන ජනතාවට මග පෙන්වා ඔවුනට සරණය වන සේක්වා ! ඔවුනට යහපත්කමේ සහ දයාවේ සාක්ෂිකරුවන් වීමටත් සිය රට තුළ  යුක්තිය සහ සාමය ගොඩනගන්නන් වීමටත් උන්වහන්සේ ඔවුනට මගපෙන්වා ශක්තිමත් කරන සේක්වා !"

චීනයේ කතෝලික ඉතිහාසය කෙටියෙන් ..

කිතු  දහම ප්‍රථමයෙන් චීනය පැමිණියේ 7 වැනි සියවසේ දී බව එරට ඉතිහාසය පෙන්වා දෙයි. එසමයේ  කිතු දහම එරටට හඳුන්වා දී ඇත්තේ නෙස්ටෝරියානු කිතුනුවන් ය. (අනුරාධපුර යුගයේ ලක්දිවට කිතු දහම ගෙන ආවේද නෙස්ටෝරියානුවන් බව ඉතිහාසඥයෝ විශ්වාස  කරති. අනුරාධපුරයෙන්  හමු වූ - දැන් කිතුනු කොඩියට එක්කර ඇති - නෙස්ටෝරියානු කුරුසිය ඊට සාක්ෂි සපයයි.) එහෙත් නෙස්ටෝරියානු කිතු දහම දිගු කලක් එරට පැවතුනේ නැත.  

කිතු දහම චීන දේශය තුළ දැඩි ලෙස මුල් බැස  ගත්තේ 1582 දී ඉතාලි ජාතික මැත්තෙයෝ රිච්චි ජේසු  නිකායික පියතුමා  එරටට පැමිණීමෙන් පසුව ය. චීන බස සහ සංස්කෘතිය හැදෑරු රිච්චි පියතුමා ඊට අනුරූපව ජීවත් වෙමින් එම සංස්කෘතිය තුළ කිතු දහම කුලවද්දන්නට ක්‍රියා  කළේය. එතුමා කොන්ෆියුසියස් දහම පිළිබඳ විද්වතකු ද විය. එතුමන් සහ එතුමා සමග පැමිණි ජේසු නිකායික සගයෝ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, භාෂා ශාස්ත්‍රය වැනි ක්ෂේත්‍ර  රැසක් පිලිබඳ විදවත්තු වූහ. ඔව්හු බටහිර විද්‍යාව සහ ගණිතය චීනයට හඳුන්වා දුන්හ. මේ විද්වතුන් පිලිබඳ ඉතා සතුටු වූ චීන අධිරාජයා ඔවුන් සතුටින් පිළිගත්තා පමණක් නොව සිය රාජකීය සභාවේ උපදේශකයන් බවට ද ඔවුන් පත් කර ගත්තේ ය. බටහිර ලෝකය  භාවිත කල ග්‍රෙගොරියානු දින දර්ශනය චීනයේ භාවිතයට  ගන්නා ලද්දේ ඒ කාලයේ ය. චීන සමාජය තුළ කිතු දහම සහ ජේසුනු පුදැදුරු වරුන්ට කෙතරම් පිළිගැනීමක් ලැබුණේද යත් ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු වූ ෆර්ඩිනන්ඩ් වර්බීස්ට් පියතුමාට බීජිං නුවර මධ්‍යයේ තිබූ ඉපැරැණි  අභ්‍යවකාශ නිරීක්ෂනාගාරයේ පාලනය භාර ගන්නා ලෙස අධිරාජයා ආරාධනා  කලේය. 

ඒ අධිරාජයන් ගේ සමයයි. 

එහෙත්  1949 දී චීන  කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවනු ලැබීමෙන් පසුව එරට සියලුම ආගම් ආගමික කටයුතු පිලිබඳ රාජ්‍ය පරිපාලක සභාව යටතට පත් කරනු ලැබිණි. ඒ යටතේ එරට කතෝලිකයන් පාලනය  කිරීම සඳහා "චීන කතෝලික දේශප්‍රේමී සංගමය" (Chinese Catholic Partiotic Association - CPA) නම් ආයතනය පත් කෙරිණි. ඍජුවම කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ පැවැති එම ආයතනය පාප් වහන්සේ ගේ නායකත්වයත් එතුමන් සමග කතෝලික ජනතාව ගේ සම්බන්ධතාවත් ප්‍රතික්ෂේප කළේය. ඔවුන් ගේ රදගුරු වරුන් පත් කරන ලද්දේ පේදුරු තුමන් ගේ ස්ථානයට පත්වන්න වන පාප් වහන්සේ ගේ අනුමැතියකින් තොරව ය. මේ නිසා ප්‍රථම වතාවට චීනයේ "සැඟවුණු කතෝලික" (Undergound Chruch) බිහිවිය. දේශප්‍රේමී කතෝලික සංගමයේ පාලනය ප්‍රතික්ෂේප කරමින්  පාප්වහන්සේට අවනත වූ රදගුරු-පුදැදුරු වරුන්ගෙන් සහ ගිහි ජනතාවගෙන් එම සංඝය සමන්විත විය.   

මාඕ සේතුං ගේ නායකත්වයෙන්  දියත් කරන ලද චීනයේ සංස්කෘතික විප්ලවයේ දී (1966-1976) දැඩි කිතුනු පීඩනයක් ක්‍රියාත්මක කෙරිණි. පුදැදුරු වරුන් මෙන්ම විශ්වාසිකයන් ද සිර ගත කරණ ලද අතර තවත් පිරිසක් ඝාතනය කරන ලදහ. ඇතැම් දෙව්මැදුරු විනාශ කරන ලද අතර තවත් ඒවා ආණ්ඩුවේ ගොඩනැගිලි බවට පත් කෙරිණි. මෙම පීඩන සහ හිංසාකාරී  තත්වය නිසා තවදුරටත් සැඟවී සිය ආගම ඇදහීමට කිතුනුවනට සිදු විය. 

සැඟවුණු කතෝලික සංඝයට, පුදැදුරු සහ රදගුරු වරුනට මේ දක්වා බොහෝ හිංසා වලට මුහුණ දීමට සිදු වී තිබේ. ඔවුන් ජීවිතයේ  දීර්ඝ කාලයක් ගත කරන්නේ බන්ධනාගාරයේ ය. රෝමය විසින් පත් කරනු ලබන රදගුරු හිමිවරුන් චීන  ආණ්ඩුව පිළිගන්නේ නැත. රහසින් ආගම අදහන්නන්, දෙව්සත්හල් සිසුන් සහ පුදැදුරු වරු දැඩි මර්දනයට ලක්වෙති. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධව කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ චීන  දේශප්‍රේමී කතෝලික සංගමයට පක්ෂපාතීත්වය දක්වන 'කතෝලික' ජනතාවට පූර්ණ අනුග්‍රහය ලබා  දෙති. එම කතෝලිකයන් ගේ රදගුරු වරුන් පත් කරනු ලබන්නේ තනිකරම චීන කොමියුනිස්ට් පක්ෂයේ අභිමතය අනුවය. 

මේ තත්වයට කිසියම් විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2019 දී චීන ආණ්ඩුව සමග ගිවිසුමකට පැමිණියේ ය. 

එම පුවත මෙතනින්: ශුද්ධාසනය හා චීනය අතර ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබේ - වතිකාන අනුමැතියෙන් තොරව චීන ආණ්ඩුව පත් කළ රදගුරුවරුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පිළිගනු ලබයි

මෙහි ප්‍රධාන අරමුණක් වූයේ රදගුරු වරුන් පත් කිරීම පිලිබඳ මත භේද විසඳා ලීමයි. මේ යටතේ සසුන් පිය අනුමැතියකින් තොරව චීන ආණ්ඩුව විසින් හිතුවක්කාර ලෙස පත් කිරීම නිසා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රදගුරු හිමිවරුන් තුන් නමක් පිළිගැනීමට තරම් වතිකානය නිහතමානී වූවත් චීනය එම ගිවිසුම පවා නොතකමින්  දිගින් දිගටම ශුද්ධෝත්තම පියතුමන් විසින් පත් කරනු ලැබූ රදගුරු හිමිවරුනට පීඩා කරමින් සිටියි. සැඟවුණු කතෝලික ජනයාට පීඩා කරමින් සිටියි. 

ලෝකය පුරා කතෝලිකයන් එම ජනතාව වෙනුවෙන් යාච්ඥා කල යුත්තේ ඒ  නිසාය.

 සංස්කාරක සටහන:

කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටි සැනින් දිව ආ චීන රජය තේවත්තේ පිහිටි ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව  ගේ බැසිලිකාව ප්‍රතිසංස්කරණය සඳහා ආධාර කළේය. ඔවුන් පාප් වහන්සේට කීකරු  ලංකාවේ පල්ලියකට ආධාර කලේ සිය රටේ සැඟවුණු සැබෑ කතෝලික සභාව අරභයා  සිදු කරන මේ දැඩි පීඩන අතරතුර ය. මීගමුවේ සිට හලාවත දක්වා කතෝලික ජනතාව කොළඹ වරාය නගරයට එරෙහි විරෝධතා ව්‍යාපාර වල නිරත  වී සිටියේ එම කාලයේ ය. කතෝලික රදගුරු -පුදැදුරු තුමන්ලා ද ඊට  නායකත්වය දුන්හ. එහෙත් බැසිලිකාව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලද "ආධාරය" සමගම එම විරෝධතා ද නිහඬ වී ගියේ ය. එසේ නම් සිය රටේ කතෝලික පීඩනයක නිරත  වී සිටින චීන රජය ලංකාවේ අප මෑණියන් ගේ බැසිලිකාවට  ආධාර කළේ කතෝලිකයනට ඇති ආදරයට ද ? මානසික  අල්ලසකට ද? එම 'අල්ලස' අපේ මව් බිම විකිණීමට මඟ පෑදුවේ ද?  

රාගම තේවත්තේ  ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව ගේ බැසිලිකා දෙව්මැදුර ඉදිකරන ලද්දේ දෙවන ලෝක යුද්ධයෙන් ලක්දිව  ගලවා ගැනීම වෙනුවෙන් මරිය මෑණියන්ට පුද දෙන ත්‍යාගයක්  ලෙස ය. එතුමිය විසින්  එසේ බේරා ගත් දේශයම ලෝකයේ  බලවත් රටකට - සිය රටේ ජීවත් වන සියලු ආගමික ජනතාවට හිරිහැර කරන බලවත් රටකට -  නතු කෙරෙන ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා ගත්   "අල්ලසකින්" එම බැසිලිකා දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම ගැන මරිය මෑණියන් ප්‍රසන්න වනු වනු ඇත්ද? 


 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය