දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් ඝාතන තැතට වසර 40 යි - ඒ මොහොත ගැන ආවර්ජනයක් - : "අපගේ ජීවිතත් ලෝක ඉතිහාසයත් දෙවියන් වහන්සේ ගේ හස්තවල රැඳී පවතින බව උගන්වන සිද්ධියක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි

Pope recalls 40th anniversary of attack on Saint Pope John Paul II:  "This makes us aware that our lives and the history of the world are in God’s hands.”



(2021 මැයි 13)

දිනය  1981 මැයි 13 වනදා ය. 

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේට එය තවත් කාර්ය බහුල දිනයකි. 

උදෑසන එතුමා විවාහය සහ පවුල පිලිබඳ ආයතනය ස්ථාපිත කරයි.  දහවල් එතුමා  ප්‍රංශ ජාතික වෛද්‍යවරයකු සහ ජාන විද්‍යාඥයකු වූ ජෙරෝම් ලෙයෝන් සමග  දිවා ආහාරය ගනියි.  

එය  බදාදා දිනයකි. සුපුරුදු පරිදි සුදොතුම් පියතුමන් ගේ පොදු හමුව උදය වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත්  අනපේක්ෂිත ලෙස රෝමයේ උෂ්ණත්වය ඉහල යාම නිසා එය පස්වරුවට කල්දැමේ.  

රෝමයට මුදුන් වූ හිරු  අවරට යන්නට පටන් ගනියි.  දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමා සිය පොදු හමුව සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට පෝප් මොබයිල් රථයෙන් පැමිණෙයි. පොදු හමුව ආරම්භ කිරීමට පෙර එතුමා සුපුරුදු ලෙස එහි රැස්ව සිටි දස දහස්  සංඛ්‍යාත වන්දනාකරුවන් අතර එම රථයේ ගමන් කරමින් ඔවුන් ගේ සුබපැතුම් පිළිගනියි. එසේම  ඔවුනට සිය ආශීර්වාදය පිරිනමයි.  ඔවුහු සිය දරුවන් ඔසවා එතුමන් අතට දෙති.  එතුමා එම සිඟිත්තන් දෝතින් ඔසවා ගෙන සිප, ආසිරි ගන්වා, යළිත් ඔවුන් අතට ම දෙයි. සාන්ත පීතර චතුරශ්‍රය සුපුරුදු පරිදි අතුරු සිදුරු නැතිව වන්දනා කරුවන්ගෙන් පිරී තිබේ. 

"වෙලාව හවස පහයි  කාල පහුවුණා. දෙමාපියන්ගෙන් ඔසොවා දුන් කුඩා දැරියක්   පාප් වහන්සේ   සිය දෑත් වලට ගත්තා. එයාගෙ නම  සාරා බර්තෝලි. දැන් ඇයගේ වයස අවුරුදු 40කට ටිකක් වැඩියි,"  යි ඒ දවස සිහිපත් කරන ෂෝන්-පැට්‍රික් ලොවෙට් කියයි. ඒ වන විට ලොවෙට් ගේ වයස අවුරුදු 24 කි. ඔහු එවකට වතිකාන රේඩියෝවේ ඉංග්‍රීසි සේවයේ වාර්තාකරුවකු ලෙස සේවය කරමින් සිටියේ ය. (පසු කාලයේ එම සේවයේ  අධ්‍යක්ෂ වරයා වීමේ භාග්‍ය ලද මේ ප්‍රවෘත්ති කලාව්දියා  දැන් විශ්‍රාමිකව සිටියි.)

"ලොව පුරා ප්‍රචලිත වූ මේ සිද්ධියේ කළු-සුදු  සේයාරුවේ ඉන්න කැරළි හිසකෙස් සහිත පුංචි දැරිය සාරා.  වෙඩි පහරින් පාප් වහන්සේ ගේ ජීවිතය ගැලවුණේ මේ දැරිය නිසා කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඇත්තටම පාප් වහන්සේ විශ්වාස කරන්නේ  උන්වහන්සේ ගේ ජීවිතය ගලවා ගත්තේ පාතිමාවේ අප මෑණියන් කියලයි. මැයි 13 එතුමිය ගේ මංගල්‍ය දවස. ඒ විශ්වාසය නිවැරදියි. පාප් වහන්සේට වෙඩි තැබූ මෙහ්මට් අලි අග්කා ඒ මොහොතේ සිය ඉලක්කය එතුමන් වෙත එල්ල කරමින් සිටියා. එතුමා දැරිය ඔසවා සිපගෙන දෙමාපියන්ට යළිත් භාර දෙද්දී සාහසිකයා ගේ එල්ලය වැරදුණා. මේ නිසා ඔහු වෙඩි තැබුවත් ඉලක්කය 'මිස්' වුණා. පාතිමා මෑණියන් අග්කා ගේ ඉලක්කය 'මිස්' කරන්න සාරා බර්තෝලි යොදාගන්න ඇති," ලොවෙට් එම අවස්ථාව සිහිපත් කරමින් කියයි.

තුර්කි ජාතික මෙහ්මට් අලි අග්කා දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේට වෙඩි තැබුවේ ඒ මොහොතේ ය. 

"එතුමන්ට වෙඩි වදින විට වෙලාව හරියටම හැන්දෑවේ පහයි දාහතයි. මට කොහොමද එච්චර  මතක  තියෙන්නේ ? ජාත්‍යන්තර වේලාවෙන් පස්වරු 5.17 ලියන්නේ  17:17 කියලයි. බටහිර ලෝකය 13 අසුබ අංකයක් ලෙස සලකනව වගේ ඉතාලි ජාතිකයන් 17 සලකන්නේ අසුබ අංකයක් ලෙස. මට මේ වෙලාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ," ඔහු සිය මතකය අවදි කරයි. 

පෝලන්ත ජාතික ප්‍රවෘත්ති කලාවේදී ව්ලොද්සිමියෙර් රෙඩ්සියෝෂ් ඒ වන විට සිටියේ සාන්ත පීතර චතුරශ්‍රයේ ය. ඒ වන විට ඔහු ශුද්ධාසන පුවත් වත වන ලොසවතොරේ රොමානෝ පත්‍රයේ වාර්තා කරුවෙක් ව සිටියේ ය. 

"මට වෙඩි සද්දෙ ඇහුනේ නැහැ. ඒත් මට ඇහුන සාන්ත පීතර චතුරශ්‍රයේ සිටි සියක් සංඛ්‍යාත පරෙවියන් හදියේම එකවර පියාපත් සලන හඬ. මම දැක්කා ඔවුන් මහ කලබලයෙන් අසහට නගින අකාරය. මට හැඟුනා මොකක් හෝ  අනතුරක් සිදු වී ඇති බව," ඔහු තමා දුටු දේ මතක් කරයි. 

"මම බලද්දි, පාප් වහන්සේගේ ආරක්ෂක නිලධාරීන් එතුමා වත්තන් කරගෙන සිටින හැටි දුටුවා. එතුමා රැගත් පෝප් මොබයිල් රිය ආපසු හැරී එමින් තිබුනා. හැබැයි ඒ අය තවත් රවුමක් ධාවනය  කරලයි චතුරශ්‍රයෙන් පිට වුනේ. මන්ද තවත් වෙඩි තැබීම්  සිදුවනු ඇතැයි ඔවුන් සැක  කල බව පසුව දැනගන්නට ලැබුනා."

අලි අග්කා ගේ ගිනි අවියෙන් නිකුත් කෙරුණු උණ්ඩ සුදොතුම් පියතුමන් ගේ උදරය, දකුණු අතේ වැලමිට සහ වමතේ ඇඟිල්ලකට වැදී තිබිණි. එතුමා එවකට එතුමන් ගේ ලේකම් වරයා වූ ස්ටනිස්ලාව් ඩ්සිවිස් පියතුමන් ගේ (පසුව කාදිනල් තුමන් ගේ ) දෑත් මත ඇද වැටිණි. රථයේ සිටි ආරක්ෂක නිලධාරීහු එතුමන් වත්තන් කර ගත්හ. 

"සිදුවුනේ කුමක්ද කියා කාටත් සිතා ගන්න බැරි වුනා. ‘attentato!' (ප්‍රහාරයක්) කියා කටින් කට පැතිර ගියා. 

වෙඩි වැදුණු දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් රෝමයේ ජෙමෙල්ලි රෝහලට රැගෙන යන ලද්දේ ය. ඒ අතර තැති ගැන්මටත්, කම්පනයටත් පත් වූ චතුරශ්‍රයේ සිටි වන්දනා කරුවෝ ජපමාලය යාච්ඥා කිරීමට පටන් ගත්හ. 

මේ 1981 මැයි 13 වනදා දෙවන  ජුවාම් පාවුළු පාප්වහන්සේ මුහුණ දුන් ඝාතන තැත පිලිබඳ ඇසින් දුටු කිහිප දෙනෙකු ගේ ආවර්ජනයයි. මේ වසරේ දී එම සිද්ධියට වසර 40 කි. 



වසර 40කට පසුව ....

මේ සිද්ධිය සැමරීම සඳහා 2021 මැයි  12 වනදා පෝලන්ත ජාතික වන්දනා කරුවන් පිරිසක් රෝමයට පැමිණ සිටියහ. වසංගත සීමා නිසා මෙවර සුදොතුම් පියතුමන් ගේ පොදු හමුව පවත්වන ලද්දේ වතිකානයේ සාන්ත ඩැමේසස් මළුවේ දී ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම පෝලන්ත වන්දනා කරුවන් උණුසුමින් පිළිගත්තේ ය. 

"දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ විශ්වාසය  අපට උගන්වන්නේ අපගේ ජීවිතත් ලෝක ඉතිහාසයත් දෙවියන් වහන්සේ ගේ හස්තවල රැඳී පවතින බවයි."

"තමන් ගේ ජීවිතය ගැලවීම ගැන තමන් පාතිමාවේ අප මෑණියන්ට ණයගැති බව ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ නිශ්චිතවම විශ්වාස කළා," යි සුදොතුම් පියතුමා කීවේය. 

"එතුමා ගේ මේ විශ්වාසය අපට උගන්වන්නේ කුමක් ද? එය අපට උගන්වන්නේ අපගේ ජීවිතත් ලෝක ඉතිහාසයත් දෙවියන් වහන්සේ ගේ හස්තවල රැඳී පවතින බවයි," එතුමා පැහැදිලි කලේ ය. 

"අපි කතෝලික සභාවත්, අපගේ ජීවිතත් සමස්ත ලෝකයත් මරිය මෑණියන් ගේ නිර්මල හෘදයට කැප කරමු. අපි ලෝක සාමය වෙනුවෙන්, වසංගතයේ අවසානය වෙනුවෙන් අපගේ පාප් වලට පසුතැවීම සහ අපගේ සිත්හැරීම වෙනුවෙන් යාච්ඥා කරමු," එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. 

දෙවන ජුවාම් පාවුළු පාප්තුමා වෙත ගලා හැලුණු පෝලන්ත ජනතා ආදරය 

පෝලන්ත ජාතික පාප්වහන්සේට  එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය  වේදනාවට පත්ව සිටියේ පෝලන්ත ජාතිකයන් ය. ඔවුහු  දිගින් දිගටම එතුමන් වෙනුවෙන් යාච්ඥා කරන්නට පටන් ගත්හ. 

පෝලන්ත ජාතිකයන් තුළ එක් බලාපොරොත්තුවක් තිබුනේ ය. එනම් ජුවාම් පාවුළු පාප් වහන්සේ සිය රටේ  කොමියුනිස්ට් පාලනය වෙනස් කොට එරට ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට ක්‍රියා කරනු ඇති බවයි. මන්ද එතුමා ක්රැකෝ පදවියේ අගරදගුරු තුමන්ව සිටිය දී එරට ජන පීඩක කොමියුනිස්ට් පාලනයට විරුද්ධ අරගලයට නායකත්වය දී සිටි නිසා ය.  (පසුව එය ඉටු විය. ). එම බලාපොරොත්තු බිඳ වැටේදෝයි ඔවුන්  වේදනාවෙන් සිටි බව ප්‍රවෘත්ති කලාවේදී  ව්ලොද්සිමියෙර් රෙඩ්සියෝෂ් කියයි. පාප් වහන්සේ ඝාතනය කිරීමට තැත් කලේ සෝවියට් රුසියාව බව  තමා සේ ම බොහෝ පෝලන්ත ජාතිකයන් තවමත් විශ්වාස කරන බව ඔහු කියා සිටියි. සෝවියට් KGB රහස්  ඔත්තු සේවය ඊට සම්බන්ධ බවක් නිල වශයෙන්  ඔප්පු වී නැතත් පෝලන්ත ජාතිකයන් එම සැකය ඉවත ලෑමට සූදානම් නැත.  

ජෙමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් 


මේ අතර ජුවාම් පාවුළු පාප්වහන්සේ ප්‍රතිකාර  ලබමින් රෝහලේ ගත කළ දෙවැනි සතියේ වෝර්සෝ පදවියේ අගරදගුරු ස්ටෙෆන් විසින්ස්කි කාදිනල් හිමි මිය ගියේය. මිය යන්නට ටික කලකට පෙර සිට එතුමා රෝගීව සිටියේ ය. විසින්ස්කි කාදිනල් හිමි පෝලන්ත ජනතාව ගේ මහත් ප්‍රේමයට පාත්‍රව සිටි රදගුරු හිමි නමකි. යුක්තිය, සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් වූ සටනේ නායකත්වය ගත්  එතුමා  ජනතාවට ආධ්‍යාත්මික සහ සමාජයීය වශයෙන් මහත් ශක්තියක් වී සිටියේ ය. මේ නිසා  කාදිනල් විසින්ස්කි හිමියන් ගේ සුවය පතා  පෝලන්ත ජනතාව යාච්ඥා කරමින් සිටියහ. 

එහෙත් ජුවාම් පාවුළු පාප් තුමන්ට වෙඩි වැදුණු බව දැනගත් කාදිනල් හිමි "මගේ සුවය පතා ඔබ ඔප්පු කරන සියලු යාච්ඥා පාප් වහන්සේ ගේ සුවය පතා මා ඔප්පු කරනවා" යි එරට ජනතාවට කීවේ ය. 

කාදිනල් විසින්ස්කි හිමි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ ආධ්‍යාත්මික පියතුමා ය. 1978 සුදොතුම් පිය වරණයේ දී පාප් ධුරය පිළිගැනීමට පසු බාමින් සිටි කැරොල් වොයිටිලා කාදිනල් හිමියන් (පසුව දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන්)   ඒ සඳහා දිරිමත් කරන ලද්දේ එහිමියන් විසිනි. 

දෛවෝපගතව මෙන් 2021  සැප්තැම්බර 12 වන දා කාදිනල් විසින්ස්කි හිමියන් භාග්‍යවරයට එසවීමට නියමිත ය. 

මම ඔහුට සමාව දෙනවා ....

ඝාතන තැතින් දිවි ගලවා ගත් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා  වසර කිහිපයකින් පසුව සිය Memory and Identity නැමති කෘතියේ එම  සිද්ධිය ගැන සිය මෙනෙහි කිරීම් විස්තර කළේය. 

"රෝහලට මා ගෙන ගිය ගමන මට මතක තිබේ. බොහෝ වෙලාවක් යන තෙක්  මට සිහිය තිබුනේ ය. මේ සිද්ධියෙන් මගේ ජීවිතය ගැලවෙන බවට වූ හැඟීමක් මා තුළ විය. මම  ඉතා දැඩි වේදනාවක් වින්දෙමි. ජීවිතය ගැන බියට පත් වීමට හේතුවක් තිබිණි. එහෙත් මා තුළ අමුතු විශ්වාසයක් තිබිණි. මට වෙඩි තැබූ තැනැත්තාට  මම සමාව දෙන බව මම ස්ටනිස්ලාව් පියතුමන්ට කීවෙමි," යි එම කෘතියේ එතුමා සඳහන් කරයි. 

සුවය ලැබීමෙන් පසුව බන්ධනාගාරයට ගිය පාප්තුමා සිය ප්‍රහාරකයා වූ අලි අග්කා සමග සුහදව බොහෝ වෙලාවක් කතා කරමින් සිටියේ ය.  

දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා තමාට වෙඩි තැබූ සාහසිකයා බැලීමට සිර ගෙදරට යාම දැවැන්ත සිද්ධියක් වූ බව වතිකාන රේඩියෝවේ ඉංග්‍රීසි සේවාවේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ ෂෝන්-පැට්‍රික් ලොවෙට් සිහිපත් කරයි. 

"පාප්තුමා සහ අලි අග්කා එකිනෙකාට ඉතාමත් සමීපව වාඩි වී සිටියා. විටෙක පාප් වහන්සේ ගේ සිය අතින් අග්කා සෙනෙහසින් ස්පර්ශ කළා. පාප්තුමන් සිය දෙදන පවා නමමින් අලි අග්කාට සමීපව ඔහුට සවන් දෙමින්  සිටියා. අපට ලැබුණේ නිශ්චල සේයා රූ කිහිපයක් පමණයි. මයික්‍රපෝන, රෙකෝඩර කිසිවක් නැහැ. ඒ දෙදෙනා පමණයි. මේ නිසා ඒ අය කතා කල දේ ගැන අප කිසිවක් දන්නේ නැහ," ඔහු කියයි. 

වමේ: ලෙයින් තෙත්ව තිබූ ආරක්ෂක නිලධාරියකු ග කබාය. දකුණේ: අලි අග්කා හමුව.


ජුවාම් පාවුළු පාප් තුමා Memory and Identity කෘතියේ ඒ මොහොත ගැන ද කෙටි සටහනක් තබා තිබේ. "අප එහි දී කතා කළේ කුමක්  දැයි මට ප්‍රකාශ කල නොහැකිය" යි එතුමා කියයි. එහෙත් එතුමා එහිදී ඉතා වැදගත් කාරණයක් සඳහන් කරයි. ඒ මෙයයි:

තමාට වෙඩි තැබුවේ අලි අග්කා ම බව දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් පිළිගනියි. එහෙත් තමාට වෙඩි තැබීම පසු පස සිටි 'අබිරහස් හස්තය (එනම් වත්මන් බසින්  'මහ මොලකරු') ඔහු නොවන බව තමාට විශ්වාස යයි එතුමා අවධාරණය කරයි. 

තමාට වෙඩි තැබුවේ අලි අග්කා ම බව දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් පිළිගනියි. එහෙත් තමාට වෙඩි තැබීම පසු පස සිටි 'අබිරහස් හස්තය (එනම් 'මහ මොලකරු') ඔහු නොවන බව තමාට විශ්වාස යයි එතුමා අවධාරණය කරයි. 

ඒ 'මහ මොලකරු' තවමත් අබිරහසක්ව පවතියි.  

පාතිමා මෑණියන් ගේ කිරුල සරසන උණ්ඩය 

පූර්ණ සුවය ලද දෙවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා 1982 දී පෘතුගාලයේ පාතිමා අප මෑණියන් ගේ සිද්ධස්ථානයට තුති දීමේ වන්දනා ගමනක් ගියේය. එතුමන්  එහි ගියේ පාතිමාවේ මෑණියන්ට සිහිවටනයක් වන තෑග්ගක් ද සමගය. එම තෑග්ග නම් තමන්ට වැදී තිබුණු උණ්ඩයකි. 

තම ජීවිතය ගලවා දීමට ප්‍රශංසාවක් ලෙස එතුමා එම උණ්ඩය පාතිමා මෑණියන් ගේ කිරුළ මත තැන්පත් කළේ ය. 

එතුමන් වෙඩි තැබීමට  ලක්වූ  මැයි 13 වැනිදා පාතිමා මෑණියන්ගේ මංගල්‍ය දිනයයි. පාතිමා රහස් ගැන මෙනෙහි කල විට තමාට ජීවිත දානය ලැබුණේ එතුමිය ගේ මැදිහත් කමින්  බව එතුමා ප්‍රකාශ කළේය. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය