"මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නන් උදෙසා යාච්ඥා කරමු" - අප්‍රේල් මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස: "මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීත කමත් අධිෂ්ඨානයත් අවශ්‍යයි."

"Pray for those who Sacrifice their lives to defend human rights" Pope's Prayer intention for April:  “Defending fundamental human rights demands courage and determination.”  



(2021 අප්‍රේල් 06)

2021 අප්‍රේල් මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. ලොව පුරා මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ මානව අයිතිවාසිකම් උදෙසා "සිය ජීවිත පවා පරදුවට තබමින් සටන් කරන්නන් වෙනුවෙන් මේ මාසය පුරා යාච්ඥා කරමු" යි සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

"මූලික මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නිර්භීතකමත්  ප්‍රබල අධිෂ්ඨානයකුත්  අවශ්‍ය ය." 

සුදොතුම් පියතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ එසේ ය.  ඉන් පසුව එතුමා තමා එයින් අදහස් කරන්නේ කුමක්දැයි විස්තර  කරයි. 

මේ මගින් තමා අදහස් කරන්නේ "දුප්පත්කම, (සමාජ ) විෂමතා, රැකියා, ජීවත් වීමට අවශ්‍ය බිම් කඩක් සහ නිවසක් නොමැති වීම, සහ සමාජ සහ කම්කරු අයිතීන් ප්‍රතික්ෂේප කිරීම" බව එතුමා කියයි. 

මානව අයිතිවාසිකම් සියල්ලනට එක සමාන නොවන තත්වයක් උද්ගත වී තිබෙන බව එතුමා පෙන්වා දෙයි. "පළමුවන පන්තිය, දෙවන පන්තිය සහ තුන්වැන් පන්තිය වශයෙන් මානව හිමිකම් පවා බෙදී තිබේ. එසේ ම එහි 'වීසි කල හැකි පන්තියක්" ද දක්නට ලැබේ. එහෙත් මානව අයිතිවාසිකම් පන්ති වශයෙන් බෙදිය නොහැකිය. ඒවා සියල්ලනට සම විය යුතු" බව සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින හා  ඒ වෙනුවෙන් සටන් කරන තැනැත්තන්ට මුහුණ දෙන්නට වෙන අනතුරුදායක තත්වයන් ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කරයි. "ඇතැම්  ප්‍රදේශ වල  මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සිරගත කරනු ලැබීමට හේතු වේ. ඇතැම් විට එසේ සිරගත කරන්නේ අධිකරණ නඩු විභාගයකින් පවා තොරව ය. එසේත් නැතහොත් එවැනි තැනැත්තන් අපවාද, සහ නින්දා අපහාස වලට ලක් කරනු ලබති."

මේ නිසා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ මානව හිමිකම් වෙනුවෙන්  පෙනී සිටින්නන්  වෙනුවෙන්  මේ මාසය තුළ යාච්ඥා කරමු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

"ආඥාදායකයන්, ඒකාධිපති පාලකයන් මෙන් ම අර්බුදයට වැටී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල සිය ජීවිත පවා පරදුවට තබමින්, මූලික මිනිස් අයිතීන් වෙනුවෙන් සටන් කරන මිනිසුන් සහ ගැහැණුන් වෙනුවෙන් අපි යාච්ඥා කරමු. ඔවුන් ගේ පරිත්‍යාග සහ ක්‍රියාකාරකම් විපුල ඵල දරන ලෙස යදිමු."

නිසග මූලික අයිතිවාසිකම් 

සුදොතුම් පියතුමා ගේ යැදුම් පණිවිඩය ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරනුලබන්නේ සසුන් පිය ලෝක ව්‍යාප්ත  යැදුම් ජාලය විසිනි. "මුලික මිනිස් අයිතිවාසිකම් යන්නෙන් ගම්‍ය වන්නේ මනුෂ්‍යයන්  මනුෂ්‍යයන් ලෙස ජීවත් වීමේ සාධකය මූලික කොට ගෙන සියලු ජනතාවට හිමි වන හිමිකම්" බව  එම සංවිධානයේ ප්‍රධානී ෆ්‍රෙඩ්රික් ෆොරෝනෝ ජේ. නි. පියතුමා කියා සිටියි. එම හිමිකම් 1948 මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනයෙන් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද බව එතුමා සිහිපත් කරයි. 

වීඩියෝවේ සුදොතුම් පියතුමා ගේ කතාව සමග දිවෙන දසුන් මාලාව තුළ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සහ එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ අවස්ථා දිගහැරේ. 

මානව හිමිකම්: සභා ඉගැන්වීම 

මානව හිමිකම් ක්‍රිස්තු ධර්මයේ මූලික ඉගැන්වීමකි. එය ශුද්ධ බයිබලය පුරාම නිරන්තරයෙන් කතා කෙරෙන මාතෘකාවකි. කතෝලික සමාජ ධර්මය උගන්වන ආකාරයට මානව හිමිකම් පැන නගින්නේ මිනිසා තුළ නෛසර්ගිකව පවතින "මානව ගරුත්වය" තුළිනි. මානව ගරුත්වයට පාදක වන ශුද්ධ ලියැවිලි පදනම් තුනක් තිබේ. 

දෙවියන් වහන්සේ විසින් ස්වකීය ස්වරූපයට සහ සමාන කමට මිනිසා මවනු ලැබීම, ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙවන තෙම හෙවත්  දෙවියන් වහන්සේ ගේ  ශ්‍රී වචනය මාංශ ගත වීම සහ එම මිනිසත් බව ගත් දේව පුත්‍රයාණන් මිනිසා ගේ ගැලවීම උදෙසා දිවි පූජා කොට මරු පරදා උත්ථාන වීම එම පදනම් තුනයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් ඔක්තෝබර 4 වැනිදා නිකුත් කල "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයේ මානව අයිතිවාසිකම් ගැන මෙසේ කියයි:

"මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම  යනු රටක සමාජ සහ ආර්ථික සංවර්ධනය සඳහා ආවශ්‍ය මූලික කොන්දේසියයි. මානව පුද්ගලයකු ගේ ගරුත්වයට ගරු කළ විට, ඔහු ගේ හෝ ඇය ගේ අයිතිවාසිකම් පිළිගෙන සහතික කල විට, නිර්මානශීලීත්වය සහ අන්තර් සම්බන්ධතාව ඵල දරයි. එවිට පොදු යහපත ප්‍රවර්ධනය කරමින් මානව පුද්ගලයා ගේ නිර්මානශීලීත්වය මුදා හැරේ."  

මේ නිසා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමත්, එලෙස මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන්නන් ගේ අයිතිවාසිකම සහ ආරක්ෂාව වෙනුවෙන් නොබියව  ක්‍රියා කිරීමත් කතෝලික ජනතාව ගේ ක්‍රිස්තියානි වගකීමකි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2021 අප්‍රේල් මස සිය යැදුම් අදහස මගින් යලිත් කතෝලික ජනතාවට සිහිපත් කරන්නට උත්සාහ කරන්නේ තමන් සතු එම වගකීම ගැන ය. 

2021 අප්‍රේල් යැදුම් අදහස සම්පූර්ණයෙන් 

"මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිර්භීතකමත්  දැඩි අධිෂ්ඨානයත් අවශ්‍ය ය. 

මෙයින් මා අදහස් කරන්නේ, දුප්පත් කම, සමාජ විෂමතා, රැකියා නොමැති වීම, නිවාස සහ බිම් කඩක් නොමැති  වීම, සමාජ සහ කම්කරු අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම වැනි දේ  පරාජය කිරීමට ක්‍රියාකාරීව සටන් කිරීම ය. 

භාවිතය දෙස බැලීමේ දී මුලික මිනිස් අයිතිවාසිකම් සියල්ලනට එක සමාන නොවේ;

පළමුවන , දෙවන සහ තුන් වන පන්තියේ ජනතාවක් පමණක් නොව ඉවතට වීසි කල හැකි ජනතාව ද දක්නට ලැබේ. 

නැත. එසේ නොවිය යුතු ය. මානව හිමිකම් සියල්ලනට එක සමාන විය යුතුය. 

ඇතැම් ප්‍රදේශ වල ජනතා ගරුත්වය ආරක්ෂා කිරීම යනු සිරගත කරන්නට හේතු වන කාරණයකි; ඇතැම් විට සිරගත කරනු ලබන්නේ නඩු විභාගයකින් පවා තොරව ය. එසේ නැතහොත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට අපවාද සහ නින්දා අපහාස විඳින්නට ද සිදු වෙයි. 

සෑම මනුෂ්‍යකුට ම පූර්ණ ලෙස වර්ධනය වීමේ අයිතිවාසිකමක් තිබේ. මේ මූලික හිමිකම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු රටකට නොහැකිය. 

ආඥාදායක පාලයකන් සහ එකාධිපතීන් යට‍තේ මෙන්ම අර්බුද  වලට ලක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු යට‍තේ ද සිය ජීවිත පරදුවට තබා මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නන් වෙනුවෙන් අපි යාච්ඥා කරමු. ඔවුන් ගේ පරිත්‍යාගයන් සහ ක්‍රියාකාරකම් විපුල ඵල ලබන ලෙස අපි යදිමු." 

 







Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය