"කතෝලිකයන් අතර භේද ඇති වෙලා" -මහ සිකුරාදා මෙහෙයේ ධර්ම දේශනාව : හේතුව? "දේව රාජ්‍ය ගොඩ නැගීමට වඩා දේශපාලන බැඳීම් ප්‍රමුඛත්වය ගැනීමයි" - සසුන් පිය නිවසේ දේශනාවාදී කාදිනල් හිමි

"Fraternity among Catholics is wounded," Papal Household Preacher says on Good Friday. Reason?  "Support for political candidates, parties are given priority over building up the kingdom of God"



(2021 අප්‍රේල් 6)

කතෝලිකයන් අතර සහෝදරත්වයට තුවාල සිදු වී ඇතැයි රැනියෙරෝ කැන්ටලමෙස්සා කාදිනල් හිමි ශෝක වෙයි.  

මෙම භේදයට එක් පොදු හේතුවක් වන්නේ ඇතැම් කතෝලික කොටස් වල දේශපාලනික තෝරා ගැනීම් ආගමික සහ ශාසනික ප්‍රමුඛතා වලට වඩා ඉහළට ගොස් තිබීම බව  එතුමා පෙන්වා දෙයි. මේ නිසා රදගුරු හිමිවරුන්, පුදැදුරු වරුන්  කතෝලික සභාවේ එක්සත්කමට හානි වන ආකාරයෙන් තමන් අතින් සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් සිය හෘදය සාක්ෂි පරීක්ෂා කළ යුතු යැයි සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමා වන කැන්ටලමෙස්සා කාදිනල් හිමි කියා සිටියි.  

රැනියෙරෝ කැන්ටලමෙස්සා කාදිනල් හිමි මේ බව කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 2, මහා සිකුරාදා, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පවත්වන ලද ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක්ප්‍රාප්ති මෙහෙයේ ධර්ම දේශනයේ දී ය. මහ සිකුරාදා මෙහෙය ශුද්ධෝත්තම පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනද සාම්ප්‍රදායික ලෙස එම මෙහෙයේ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමන් විසිනි. 

දේශනාවාදී කැන්ටලමෙස්සා කාදිනල් හිමි 


කතෝලිකයන් අතර සහෝදරත්වය තුවාල වෙලා 

මෙම මෙහෙයේ ධර්ම දේශනයට කැන්ටලමෙස්සා හිමි පාදක කර ගත්තේ මානව සහෝදරත්වය පිළිබඳව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් නිකුත් කළ "සියල්ලෝ සහෝදරයෝ"  ලේඛනයයි. 

සහෝදරත්වය සම්බන්ධයෙන් කල්පනා කරන විට කතෝලිකසභාව  තුළත් කතෝලිකයන් සහ කිතුනු සභා අතරත් සහෝදරත්වය පලුදු වී  ඇති බව දීර්ඝ විග්‍රහයක් කරමින්  එතුමා පෙන්වා දුන්නේ ය. ඒ අතරින් කතෝලික සභාව තුළ  කනගාටුදායක ලෙස භේද වර්ධනය වෙමින් පවත්නා බව කාදිනල් තුමා විස්තර කළේය. 

"සභා අතර භේදය ක්‍රිස්තුන් වහන්සේ ගේ වස්ත්‍රය  සිහින් තීරු වලට  ඉරා තිබේ. ඊටත් වඩා දරුණු ලෙස, එලෙස ඉරා දැමුණු  සිහින් තීරු පවා ඉතා කුඩා කැබලි වලට කපා දමා තිබේ."

"කතෝලිකයන් අතර සහෝදරත්වයට තුවාල සිදු වී තිබේ," යි එතුමා කීවේ ය. "සභා අතර භේදය ක්‍රිස්තුන් වහන්සේ ගේ වස්ත්‍රය  සිහින් තීරු වලට  ඉරා තිබේ. ඊටත් වඩා දරුණු ලෙස, එලෙස ඉරා දැමුණු  සිහින් තීරු පවා ඉතා කුඩා කැබලි වලට කපා දමා තිබේ," යි එදින සමිඳුන් ගේ දුක්ප්‍රාප්ති කියවීමේ චිත්ත රූපය සිහිපත් කරමින් කාදිනල් තුමා පැවසුවේ ය. 

"මා මේ පවසන්නේ එහි මානව අංශය ගැන ය. මන්ද,  ක්‍රිස්තුන් වහන්සේ ගේ සැබෑ වස්ත්‍රය, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින්  සප්‍රාණික කෙරෙන උන්වහන්සේ ගේ අභිරහස්‍යමය දේහය  ඉරා දැමීමට කවරෙකුටවත් නොහැකි ය. දෙවියන් වහන්සේ ගේ නෙත් ඉදිරියේ සභාව 'එකම, ශුද්ධ වූ, කතෝලික සහ අපෝස්තලික' වන අතර ලොකාන්තිමය  දක්වා එසේ ම පවතින්නේ ය" යි එතුමා පැහැදිලි කලේ ය. 

"දෙවියන් වහන්සේ කතෝලික සභාව ආරක්ෂා කරන්නේය යන සාධකය අපගේ භේද වල වරදින් අප නිදහස්  නොකරයි. ඒ වෙනුවට එය දඬුවම් ලැබීමට අප සුදුස්සන් කරයි. මේ සාධකය අපගේ භේද සුවපත් කර ගැනීමට අප පෙළඹවිය යුතුය." 


භේදයට හේතුව දේශපාලන බැඳීම් 

"කතෝලිකයන් අතර අමිහිරි භේද වලට අතිශයින් ම පොදු හේතුව වේද සත්‍යතා හෝ සක්‍රමේන්තු හෝ දූත සේවා නොවේ," යයි කැන්ටලමෙස්සා කාදිනල් හිමි කියා සිටියේ ය. 

"භේදයට හේතුව දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන්  අප පූර්ණ වශයෙන් ආරක්ෂා කරන එබඳු එකදු කාරනාවක් හෝ නොවේ. ඒ වෙනුවට කතෝලිකයන් ඈත් කරන  භේද වලට හේතුව පැණ නගින්නේ න්‍යායන් ලෙස වර්ධනය වන දේශපාලන තෝරාගැනීම් වලිනි. අවසානයේ එම තෝරාගැනීම් ආගමික හෝ ශාසනික වැදගත් කම් වලට වඩා වැඩියෙන් ප්‍රමුඛත්වයක් ලැබෙන තත්වයක් දක්වා  වර්ධනය වේ" යි එතුමා පැහැදිලි කළේය. 

"මූලික අර්ථය අනුව මෙය පාපයයි" යි දේශක පියනම කියා සිටියේ ය. 

"දේව රාජ්‍යය ගොඩ නැගීමත්  උන්වහන්සේ ගේ දේහය වන සභාවටත්   වඩා වැඩි ප්‍රමුඛතාවක් දේශපාලන අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ හෝ ප්‍රතිපත්ති වලට ලබා දෙන විට, බරපතල හෘදය සාක්ෂ්‍ය පරීක්ෂාවක් කරගෙන සිත් මාරුවක් ඇති  කර ගැනීමට කාලය පැමිණ තිබේ."

"දේව රාජ්‍යය ගොඩ නැගීමත්  උන්වහන්සේ ගේ දේහය වන සභාවටත්   වඩා වැඩි ප්‍රමුඛතාවක් දේශපාලන අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ හෝ ප්‍රතිපත්ති වලට ලබා දෙන විට, බරපතල හෘදය සාක්ෂ්‍ය පරීක්ෂාවක් කරගෙන සිත් මාරුවක් ඇති  කර ගැනීමට කාලය පැමිණ තිබේ." 

"භේදය වැපිරීම  'diabolos' හෙවත් භේද කරන්නා ගේ අති විශිෂ්ට කාර්යයයි. සුබ අස්නේ ජේසු සමිඳුන් වදාළ උපමාවේ ඔහු පෙන්වා දෙනු ලබන්නේ රාත්‍රියේ තිරිඟු අතර කිරිඳි වැපිරූ සතුරා ලෙස ය."

"තමන් සිය රැල ගෙන යන්නේ තමන් ගේ ආස්ථානයට  ද? නැතිනම් ජේසු ගේ ආස්ථානයට ද? යි කතෝලික  රදගුරු හිමිවරුන්  සහ පුදැදුරුවරුන් තමන්ගෙන් විමසා බැලිය යුතු ය."

"කතෝලික  රදගුරු හිමිවරුන් සග සහ පුදැ දුරුවරුන් ප්‍රථමයෙන් ම බරපතල හෘදය සාක්ෂිය පරීක්ෂාවක් කරගත යුතු ය. තමන් තම බැටළු රැල කැඳවා ගෙන යන්නේ කොහේට දැයි ඔවුන්  තමන්ගෙන් විමසා බැලිය යුතු ය. තමන් සිය රැල ගෙන යන්නේ තමන් ගේ ආස්ථානයට  ද? නැතිනම් ජේසු ගේ ආස්ථානයට ද? " යි එතුමා ප්‍රශ්න  කළේය.

කෙසේ නමුදු දෙවැනි වතිකාන කතිකාව  යහපත් දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදීමට කතෝලික ගිහි ජනතාව දිරිමත් කරන බව ද කාදිනල් තුමා පෙන්වා දුන්නේ ය. 

"සියලු කිතුනු ජනතාව අතර  සමගිය ඇතිකිරීමේ බලවේගයක් වීමට කතෝලික සභාව කැඳවීම් ලබා තිබේ. සිය ශ්‍රාවකයන් පිලිබඳව ක්‍රිස්තුන් වහන්සේ ගේ කැමැත්ත වූ සාමය සහ එකමුතු කම ඇති කිරීම වෙනුවෙන් කතෝලික ජනතාව යාච්ඥා කල යුතු ය. ක්‍රියා කල යුතු ය" යි රැනියෙරෝ කැන්ටලමෙස්සා කාදිනල් වැඩි දුරටත් කියා සිටියේ ය. 

අසූ හැවිරිදි කැන්ටලමෙස්සා හිමි  කාදිනල් නිල ගන්වන ලද නමුදු තවමත් කැපුචින් නිකායික පියතුමෙකි. එතුමන් සසුන් පිය නිවසේ දේශනාවාදී පියතුමන් ලෙස පත් කරන ලද්දේ 1980 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසිනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් 2020 දී එතුමන් කාදිනල් වර ගන්වන ලදී. 

 මෙවර වතිකානයේ ශුද්ධ වූ සතියේ සියලු දේව  මෙහෙයන් පවත්වන ලද්දේ ඉතාලි ආණ්ඩුව විසින්  ප්‍රකාශයට පත් කර ඇති කෝවිඩ් සීමා යට‍තේ ය.  මේ අනුව මෙම දේව මෙහෙයට සහභාගී වූවන්  ගේ සංඛ්‍යාව 150කට කර තිබිණි. එම මෙහෙය පැවැත්වුනේ ද  බැසිලිකාවේ ප්‍රධාන පූජාසනයේ නොව ඊට ඔබ්බෙන් පිහිටි අසුන් පුදසුනේ දී ය. 









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය