"කුරුසය අහම්බයක් නොවේ," ශුද්ධවූ තෛලය ආසිරි ගැන්වීමේ මෙහෙයේ ධර්ම දේශනය: "දේව වචනය ප්‍රකාශ කිරීම, පීඩනය සහ කුරුසිය එක්ව ගමන් කරනවා "

Jesus’s cross is the ‘antidote’ to ‘venom’ of scandal, pope says



(2021 අප්‍රේල් 05)

පුදදුරුවරුන් ගේ සේවාව තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන ක්‍රිස්තුන් වහන්සේ ගේ කුරුසිය, "අපචාරවලින් ගහන" මේ යුගයේ සර්පයා (යක්ෂයා) ගේ "විෂ" සඳහා වන එක ම "ප්‍රතිගරලය" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

"කුරුසිය මත සිටි සමිඳුන් රැකවරණයක් නොමැතිව සිටිනු දුටු සර්පයා උන්වහන්සේට දෂ්ට කළේය. ඔහු ගේ වෑයම  වී තිබුනේ රැකවරණයක් රහිතව සිටි උන්වහන්සේ ගේ සියලු ක්‍රියාවලට විෂ කැවීම ය."

"අපගේ මානව තත්වය, අපගේ සීමා, සහ අපගේ දුර්වල බව තුළ කුරුසියේ පූර්ණ  අංශයක් දකින්නට තිබේ. එහෙත් (ක්‍රිස්තුන් වහන්සේ ගේ) කුරුසියේ සිදු වූ දේ අපගේ මානව දුර්වල බව නිසා සිදුවූවක් නොවේ. එය සිදු වූයේ සර්පයා ගේ දෂ්ට කිරීම නිසා ය. කුරුසිය මත සිටි සමිඳුන් රැකවරණයක් නොමැතිව සිටිනු දුටු සර්පයා උන්වහන්සේට දෂ්ට කළේය. ඔහු ගේ වෑයම  වී තිබුනේ රැකවරණයක් රහිතව සිටි උන්වහන්සේ ගේ සියලු ක්‍රියාවලට විෂ කැවීම ය," යි එතුමා විස්තර කළේය. 

"මේ දෂ්ට කිරීම දුරාචාරයන් ඇති කිරීමට උත්සාහ කරයි; මේ දුරාචාරවල යුගයක්," යි සුදොතුම් පියතුමා සිහිපත් කළේය . "මේ දෂ්ට කිරීම අබල දුබල කරයි; මේ දෂ්ට කිරීම අන්‍යයන්ට කරන සියලු සේවා සහ පරිත්‍යාග නිරර්ථක, නිෂ්ප්‍රයෝජන දේ බවට පත්කරයි. එය නම්, "නුඹව ගලවා ගනින්" යයි දිගින් දිගට ම බලකර සිටින නපුරා ගේ සර්ප විෂයි" යි එතුමා තව දුරටත් විස්තර කළේය. 

සුදොතුම් පියතුමා ගේ මෙම අනුශාසනය පසුගිය දශකයකට වැඩි කාලයක් පුරා ලෝක කතෝලික සංඝය මුහුණ දී සිටින අපචාර චෝදනා මාලාව සිහිපත් කරයි.  පුදැදුරු වරුන් ගේ ළමා අපචාර සහ රදගුරු වරුන් එවැනි පුදදුරු වරුන් ආරක්ෂා කරන්නට උත්සාහ ගත බව නැගෙන චෝදනා ඒ අතර මූලික වෙයි. වතිකානය ඇතුළු ලොව පුරා කතෝලික සභා වල මුදල් අපහරණය කිරීම චෝදනා එල්ල වන තවත් අපචාරයකි.  තවත් අතෙකින් කතෝලික සංඝය තුළ පවතින  භේද සහ  කතෝලික -කිතුනු විශ්වාසිකයන් අතර එකමුතුවීමේ ප්‍රයත්නයන්ට  විරුද්ධව නැගෙන භේදයේ අඬහැරය තවත්  අපචාරයක් ලෙස නැගී සිටියි. 

"සමිඳුන්ට විෂ ඇති කරනවා වෙනුවට, කුරුසියේ කොක්කට ඇමිනුණු යක්ෂයාට සිදු වූයේ  තමන් අනුභව කල  සමිඳුන් ගේ මාංශය තමන්ටම හලාහල විෂ බවට පත්වීම ය. අනෙක් අතින් අපට උන්වහන්සේ ගේ මාංශය නපුරා ගේ බලය නිෂ්ක්‍රීය කරන ප්‍රතිගරලය බවට පත් විය." 

 "

"අවසානයේ දෙවියන් වහන්සේ ගේ ජයග්‍රහණය දක්නට ලැබෙන්නේ, මරණය ගෙන ඒමේ වෑයමින් යක්ෂයා කරන මෙම දෂ්ට කිරීම තුළ ම ය." යි සුදොතුම් පියතුමා වැඩි දුරටත් කියා සිටියේ ය. "සමිඳුන් ගේ මාංශය දෂ්ට කිරීම මගින් උන්වහන්සේට විෂ ඇතුළු කිරීමට යක්ෂයාට නොහැකි විය. මන්ද උන්වහන්සේ තුළ යක්ෂයාට මුණගැසුනේ අනන්ත වූ කරුණාව සහ පියාණන් ගේ කැමැත්තට කීකරු වීම ය. මේ නිසා, සමිඳුන්ට විෂ ඇති කරනවා වෙනුවට, කුරුසියේ කොක්කට ඇමිනුණු යක්ෂයාට සිදු වූයේ  තමන් අනුභව කල  සමිඳුන් ගේ මාංශය තමන්ටම හලාහල විෂ බවට පත්වීම ය.  අනෙක් අතින් අපට උන්වහන්සේ ගේ මාංශය නපුරා ගේ බලය නිෂ්ක්‍රීය කරන ප්‍රතිගරලය වී තිබේ," යි එතුමා කීවේ ය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කළේ පාස්කු ත්‍රිත්ව දිනය ආරම්භ කරමින් සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද ශුද්ධ වූ තෛලය ආසිරි ගැන්වීමේ දිව්‍ය පූජා යාගයේ ධර්මානුශාසනය කරමිනි. අප්‍රේල් 1  වනදා, මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ මේ මෙහෙය පැවැත්විණි. වසංගතය නිසා ඉතාලිය පුරා බල පැවැත්වුණු දැඩි නීති හේතුවෙන් 2020 වසරේ මෙම මෙහෙය පවත්වන්නට ලැබුනේ නැත. මේ වසරේ ද එය පවත්වන ලද්දේ වසංගත රෙගුලාසි අනුගමනය කරමින් සීමා සහිත පුදැදුරු සහභාගීත්වයක් සහිතව ය. 

මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳාණන් විසින් පූජාත්වරයේ දේව ප්‍රසාද නිධානය  පිහිටුවනු ලැබීම සිහිපත් කරනු ලබන බැවින් සුදොතුම් පියතුමා මෙම දිව්‍ය පූජා යාගයේ දී රෝමයේ සහ ලොව පුරා සිටින සියලුම පුදැදුරු වරුන් අමතමින් සිය දේශනය සිදු කරයි. නූතන ලෝක සන්දර්භය ගත් කළ මෙවර ධර්ම දේශනය ලොව පුරා කතෝලික පුදැදුරු වරුන් ඇතුළු සමස්ත විශ්වාසික ජනතාවට අභියෝගාත්මක පණිවිඩයක් ගෙන එයි. 

"ඔබව ම සුවපත් කරගන්න"

මේ වසරේ ශුද්ධ වූ තෛලය ආසිරි ගැන්වීමේ මෙහෙයේ සුබ අස්න වූයේ ජේසු සමිඳුන් සිය ගම වූ නාසරෙතයේ දී සුබ අස්න ප්‍රකාශ කල අවස්ථාවේ උන්වහන්සේට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරයයි. (ලූක් 4: 16-30 ) සුබ අස්න කියවීමෙන් පසුව  එයට සවන් දුන් ජුදෙව් ජනයා අතර සැනෙකින් ඇති වූ ගෞරවය වැඩි වෙලාවක් පැවතුනේ නැත. කිසිවෙකු රහසින් මිමිනූ ප්‍රශ්නය ගින්නක් මෙන් පැතිර ගියේය: "මේ ජෝසප් ගේ පුතා නොවේ ද?" (ලූක් 4:22)

මේ ප්‍රශ්නය අරුත් දෙකකින් ඉදිරිපත් කල හැකිය. මුලින් ම, ජේසු  සමිඳුන් අනුමත කරන ආකාරයෙන් කෙනෙකුට මේ ප්‍රශ්නය  නැගිය  හැකි බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "මෙතරම් නිහතමානී පවුලකින් පැවැත කෙනෙක් මේ තරම් බලයකින් කතා කරන්නේ කොහොමද?" එහෙත් ජේසු සමිඳුන්ට අපහාස  වන ආකාරයෙන් ද එම කියමන ප්‍රකාශ කල හැකිය: "මේ තැනැත්තා? මෙයා ආවෙ කොහේ ඉඳල ද? තමන් කවුරු කියලද එයා හිතන්නේ?" යන සිතිවිල්ලය. පෙන්තකොස්ත මංගල්‍ය දවසේ උදෑසන අපෝස්තුලු වරුන් ශුද්ධාත්ම බලයෙන් පිරී දේශනා කරන විට ද ජනතාව මෙයාකාරයෙන් ම ප්‍රශ්න කළහ: "මේ කතා කරන සියලු දෙනා ගලීලයෝ නොවෙත් ද?" අපෝස්තුලු වරුන් වේලාසනින් ම "මධු විතෙන් මත් වී සිටින  බවට"  ද ඔවුන්ට සවන් දුන් කෙනෙකු සැක කල බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

ජේසු සමිඳුන් තමන්ට නැගෙන චෝදනා වලට පිළිතුරු නොදී නිහඬව නික් ම යාම ඇතැම්  අවස්ථාවල දක්නට ලැබුනත් උන්වහන්සේ මෙතනදී ඒ වචන වලට සුළඟේ  පාවී යන්නට ඉඩ නොහැරිය බව සුබ අස්න පැහැදිලි කරමින් එතුමා කීවේය. " 'වෛද්‍යවරයාණෙනි, ඔබ ඔබව ම සුවපත් කරගන්න යන ප්‍රස්තා පිරුළ ඔබ මට ගෙන හැර පා , කපර්නාවුමේ දී ඔබ විසින් කරන ලද බව අප ඇසූ ක්‍රියා ඔබේ ගම වන මෙහි දීත් කරන්නැයි ඔබ මට කියනු ඇත.' 'ඔබව ම සුවපත් කරගන්න."

"කිසිදු විටෙක  උන්වහන්සේ  නපුරා සමග කතා බහට නොයයි. උන්වහන්සේ පිළිතුරු දෙන්නේ ශුද්ධ ලියවිලි වචන වලින් පමණි."

" ඔහු තමාව ම ගලවා ගනීවා." විෂ ඇත්තේ මෙතැනයි. මේ වචන ම කුරුසිය දක්වා ස්වාමීන් වහන්සේ පසු පස පැමිණියේ ය. 'මොහු අනුන් ගැලවී ය. දැන් ඔහු තමා ම ගලවා ගනීවා.' (ලූක් 23: 25) 'ඔබවත් ගලවාගෙන අපවත් ගලවා ගන්න' යි (ලූක් 23:39) එක් සොරෙක් එතුමාට කීවේ ය." කිසිදු විටෙක  උන්වහන්සේ  නපුරා සමග කතා බහට නොයයි. උන්වහන්සේ පිළිතුරු දෙන්නේ ශුද්ධ ලියවිලි වචන වලින් පමණි." 

'සෑම මොහොතක් ම සමිඳුන් ගේ පැයයි ' 

"අපගේ සිත් පත්ලේ අප දරාගෙන සිටින දේ වලට ආලෝකය ගෙන ඒමට ජේසු සමිඳුන් ගේ වචනවලට බලයක් තිබේ. එය බොහෝ විට තිරිඟු සහ හිස් බර සමග මිශ්‍ර වී තිබේ. මෙය ආධ්‍යාත්මික ගැටුමක් හටගැනීමට හේතු වේ. ..මේ සිද්ධියේ දී ජනතාව උන්වහන්සේ ගේ වචන පිළිගත්තේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස සෙනග උන්වහන්සේ මරා දැමීමට උත්සාහ කළහ. එහෙත් උන්වහන්සේ ගේ "පැය" පැමිණ  නොතිබූ බැවින් 'උන්වහන්සේ ඔවුන් අතරින් ගමන් කර ඉවත්ව  ගිය' බව සුබ අස්න පෙන්වා දෙයි." 

"ප්‍රීතියෙන් (දේව වචනය) ප්‍රකාශ කිරීමේ පැය, පීඩනයේ පැය සහ කුරුසියේ පැය එකට ගමන් කරයි"

"එය උන්වහන්සේ ගේ පැය නොවූවත්, සෙනග සිය ක්‍රෝධයේ වේගය කෙතරම් වේගයෙන් මුදාහරින  ලද්දේ ද යත්   එම කෝපයේ  රුදුරු බවින් ඔව්හු සමිඳුන් එතැනම මරා දැමීමට සූදානම් වුහ. මෙයින් ප්‍රදර්ශනය වන්නේ සෑම  මොහොතක් ම උන්වහන්සේ ගේ පැය බවයි. මේ නිසා ප්‍රිය පුදැදුරු වරුනි, අද මා ඔබ සමග බෙදා ගැනීමට යන්නේ මේ පණිවිඩයයි: එනම්,  'ප්‍රීතියෙන් (දේව වචනය) ප්‍රකාශ කිරීමේ පැය, පීඩනයේ පැය සහ කුරුසියේ පැය එකට ගමන් කරයි ' යන්නයි" යි සුදොතුම් පියතුමා රෝමයේත් ලොව පුරාත් සිටින පුදැදුරු වරුන් අමතමින් කියා සිටියේ ය.  

දේව වචනයේ ප්‍රකාශනයට එරෙහිව කුරුසිය හා පීඩනය 

සුබ අස්න ප්‍රකාශනය සෑම විට ම නිශ්චිත කුරුසියක් වැලඳ ගැනීම හා බැඳී පවතින බව සුවිශේෂයේ විවිධ අවස්ථා ගෙන හැර පාමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. ඒමේ ය:

"පොළොවේ වපුරන ලද හොඳ බීජ තිස් ගුණයක්, හැට ගුණයක්, සිය ගුණයක් බැගින් ඵල දරයි. එහෙත් එය සතුරා තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරයි.සතුරා රාත්‍රියේ පැමිණ වල් පැල බීජ වපුරා යයි. (මතෙව් 13: 24-30; 36-43)

සිය අකීකරු පුත්‍රයා නොවැලක්විය හැකි ලෙස යළිත් ගෙදරට කැඳවා ගැනීමට කරුණාවන්ත පියා ගේ මෘදු ප්‍රේමය සමත් වෙයි. එහෙත් එය ම වැඩිමහල් පුතා ගේ කෝපයටත් අමනාපයටත් හේතු වෙයි. (ලූක් 15:11-32)

පව්කාරයන් සමග ආහාර ගනිමින් සිටි ජේසු සමිඳුන් ගේ සමීප බව, සකේවුස්, මතෙව් සහ සමරිතාන ලඳ වැනි අයගේ හදවත් දිනා ගනියි. එහෙත් එය ම තමන් යහපත් යයි සිතා සිටින්නන් ගේ අවඥාවට සහ අවමානයට ලක්වෙයි. 

බදුකාර ගොවීන් සිය පුතාට ගුරු කරනු ඇතැයි සිතූ උදාර ගුණයෙන් යුත් රජතුමා සිය පුත්‍රයා ඔවුන් වෙත  පිටත් කර යවයි.  එහෙත් ගොවීහු කිසිදු මිම්මකින් මිනිය නොහැකි රුදුරු  බවක් ඔහු  වෙත මුදා හරිති. මෙහිදී අපි යහපතාණන් ඝාතනය කරන ලද  විෂමතාවයේ  අබිරහස ඉදිරියේ සිටිමු.

"මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ සුපුවත දේශනා කිරීම, පීඩනය  සහ කුරුසිය සමග අභිරහස්‍යමය ලෙස බැඳී තිබෙන බවය"

ප්‍රිය සහෝදර පුදැදුරු වරුනි, මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ සුපුවත දේශනා කිරීම පීඩනය  සහ කුරුසිය සමග අභිරහස්‍යමය ලෙස බැඳී තිබෙන බවය" යි සුදොතුම් පියතුමා විස්තර කළේය. 

ශාන්ත ඉග්නේෂස් ලොයොලා තුමන් ගේ භාවනාවක් උපුටා දැක්වූ සුදොතුම් පියතුමා ජේසු සමිඳුන් ගේ උපතට පෙර සිට ම උන්වහන්සේත් මරිය තුමිය හා ජුසේ තුමාත් කුරුසියට බැඳී සිටි අයුරු විස්තර කළේය. 

ජේසු උපතටත්  පෙර සිට කුරුසිය වැළඳ ගත්තා 

මේ සාධකය කිතුනු ජනයාටත් පුදැදුරු වරුනටත් ලබා දෙන පාඩම ගැන භාවනා කරන ලෙස එතුමා ආරාධනා කළේය. ඒ සඳහා එතුමා මෙනෙහි කිරීම් දෙකක් ඉදිරිපත් කළේය.

"පළමුවැන්න නම්, ජේසු සමිඳුන් ගේ දූත සේවාවේ මුල සිටම කුරුසිය උන්වහන්සේ ඉදිරියේ තිබූ බව ය. එසේ ම උපතටත්  පෙර සිට ම උන්වහන්සේ කුරුසියට මුහුණ දුන්නේ ය. මරියාවන්ට දේව දූත පණිවිඩය ලැබුණු අවස්ථාවේ ඇය තුළ  වූ විමතිය, කාටවත් නොදන්වා මරිය තුමිය පිටත් කර  හැරීමට ජුසේ තුමන් අකමැත්තෙන් වුව ද තීරණය කිරීමෙන් පසු එතුමා ගත කළ නිදි නොමැති රාත්‍රීන් වල, ගමරට අතහැර මිසරයට පලා යන්නට සිදු වූ අවස්ථාවල පවා සමිඳුන් ඉදිරියේ තිබුනේ කුරුසිය ය. 

"කුරුසිය අහම්බෙන් දෘශ්‍යමාන වන්නක් නොවේ...කුරුසිය ගනුදෙනු කල හැක්කක් නොවේ"

මෙයින් අපට තේරුම් ගන්වන්නේ කුරුසිය සමිඳුන් ගේ ජීවිතයේ අහම්බෙන් හමු වූ දෙයක් නොවන බවය. ...කුරුසිය අහම්බෙන් දෘශ්‍යමාන වන්නක් නොවේ. මානව වර්ගයේ කුඩා සහ විශාල  කුරුස, අප සෑම දෙනෙකු ගේ ම කුරුස, අහම්බෙන් පහල නොවේ," යි සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය. 

ජේසු සමිඳුන් මුල සිට අග දක්වා ම කුරුසිය මුළුමනින් ම වැළඳ ගත්තේ මන්දැයි ප්‍රශ්නයක්  නගිමින් එතුමා එම අබිරහස  විස්තර කළේය. "තමන් ගේ පැය පැමිණි විට උන්වහන්සේ කුරුසිය මුළුමනින් ම වැළඳ ගත් සේක. මන්ද කුරුසිය මත කිසිදු ව්‍යාකුල බවක් තිබිය නොහැකිය. කුරුසිය ගනුදෙනු කල හැක්කක් නොවේ."

"යක්ෂයා ගේ විෂ පරාජය කළ හැක්කේ කුරුසිය වැළඳ ගැනීමෙනි"

එතුමා ඉදිරිපත් කල දෙවැනි භාවනාව මෙම ලිපියේ මුල විස්තර කල සර්පයාගේ හෙවත් යක්ෂයාගේ දෂ්ට කිරීමයි. එය පහදා දුන් සුදොතුම් පියතුමා ජේසු සමිඳුන් ට දෂ්ට කිරීමෙන් උන්වහන්සේ තුළට විෂ ඇතුළු කිරීම සර්පයා ගේ වෑයම වූවත් අවසානයේ යක්ෂයාට තමන් අනුභව කල  සමිඳුන් ගේ මාංශය තමන්ටම හලාහල විෂ බවට පත්වී වූ ආකාරය විස්තර කලේ ය. " අනෙක් අතින් අපට උන්වහන්සේ ගේ මාංශය නපුරා ගේ බලය නිෂ්ක්‍රීය කරන ප්‍රතිගරලය වී තිබේ," යි එතුමා පෙන්වා දුන්නේ ය. (පළමු කොටස කියවන්න.)

පුදැදුරු වරුන් සුබ අස්න දේශනා කරන විට කුරුසිය ඔවුන් ගේ ජීවිත වල පහල වන බව සුදොතුම් පියතුමා කියා සිටියේ ය. "එහෙත් ජේසු සමිඳුන් ගේ සමගි සන්ධානයේ රුධිරයට ස්තුති වන්ත වන්නට, එය ක්‍රිස්තුන් වහන්සේ ගේ ජයග්‍රහණයේ බලය අන්තර්ගත කුරුසියයි; නපුර පරාජය කරන , අප නපුරාගෙන් ගලවා ගන්නා  කුරුසියයි."

මේ නිසා අපචාරයේ විෂ පරාජය කල හැක්කේ කුරුසිය නොතකා සුපුවත  දේශනා කිරීමෙන් බව එතුමා අවධාරනය  කළේය. 

"අපගේ ජීවිතයේ අනපෙක්ෂිත  කුරුස පහල වන සමිඳුන් අපට පෙර කල සේ අප ද උන්වහන්සේ සමග කුරුසිය වැළඳ ගෙන, පිටතට ගොස් එය ප්‍රකාශ කල යුතුය. යක්ෂයා  අපට දෂ්ට කිරීමට උත්සාහ කරන  අපචාරයේ විෂ ප්‍රවිච කොට ප්‍රතික්ෂේප කිරීමට අපට එමගින් හැකි වනු ඇත." 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ මහ බ්‍රහස්පතින්දා සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන මහෝත්සව ස්තෝත්‍ර යාගික මෙහෙය පැවැත්වූයේ නැත. ටික කාලයක් තිස්සේ එතුමන් පෙළන සයටිකා වේදනාව නිසා ලැබී ඇති වෛද්‍ය උපදෙස් ඊට ප්‍රධාන හේතුවක් බව වතිකාන ආරංචි මාර්ග කියයි. ඉතාලියේ අලුතින් පැන  නැගී ඇති තුන් වන වසංගත රැල්ලේ තර්ජනයත්  ඒ නිසා රජය පනවා ඇති නව සීමාත් දෙවන හේතුවයි. 

කෙසේ නමුදු එතුමා මහා සිකුරාදා සමිඳුන්  ගේ දුක්ප්‍රාප්ති මෙහෙය පැවැත්වූ අතර සන්ධ්‍යාවේ පවත්වන ලද කුරුසියේ පාද නමස්කාර භාවනාවට ද සහභාගී විය. 






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය