"ගලීලයට යමු. අලුතින් පටන් ගනිමු. විශ්වාසය ඇල්බමයක බහා තැන්පත් නොකර ජීවත් කරවමු" - ක්‍රිස්තු උත්ථාන මහෝත්සව රාත්‍රී මෙහෙයේ ධර්ම දේශනය

“In the dark months of the pandemic, listen to the Risen Lord as He invites us to begin anew and never lose hope” Holy Father says at Easter Vigil Service 



(2021 අප්‍රේල් 03)

මානව ප්‍රජාව වසංගතය සහ වෙනත් අර්බුද වල අන්ධකාරය තුළ පොරබදන මේ පැයේ, ප්‍රථම පාස්කු රාත්‍රියේ දී දේව දූතයා කල ප්‍රකාශය  කිතුනු ජනතාව සිය හදවත් ගැඹුරේ සනිටුහන් කර ගත යුතු පණිවිඩය යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

"බිය නොවන්න," යි ගල් ලෙන වෙත පැමිණි ලඳුන් තිදෙනාට කී දේව දූතයා, "ගලීලයට යන්න. ස්වාමීන් වහන්සේ ඔබට කලින් එහි යනු ඇතැ"යි ඔවුනට දැන්වීය. ගලීලයේ දී ඔවුන් ගේ අපේක්ෂා ඉටු වනු ඇත, ඔවුන් ගේ කඳුළු වියැලෙනු ඇත, ඔවුන් තුළ වූ  බිය වෙනුවට  බලාපොරොත්තුවෙන් ජීවිත  පිරී යනු ඇත. ලෝකය මුහුණ දෙන මේ ව්‍යාකුල මොහොතේ 2021 පාස්කුව කිතුනු ජනතාව ඉදිරියේ තබන බලාපොරොත්තුවේ පණිවිඩය ද එයම යැයි සුදොතුම් පියතුමා කීවේය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කලේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රියේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පවත්වන ලද ක්‍රිස්තු වහන්සේ ගේ උත්ථානයේ මහෝත්සවය සමරන පාස්කු රාත්‍රී දිව්‍ය පූජා යාගයේ දී ය. 

මෙම ධර්මානුශාසනයට පදනම් වූයේ එම දිව්‍ය පූජාවේ සුපුවත වූ ජේසු සමිඳුන් ගේ දේහය ආලේප කරන්නට පැමිණි උන්වහන්සේ ගේ ශ්‍රාවක ලඳුන් තිදෙනා මුහුණ දුන්  සිද්ධිය ය. මහසිකුරාදා තැන්පත් කරන ලද ජේසු ගේ සිරුර ඔවුනට  එහි දක්නට නොලැබේ.ඒ වෙනුවට එහි සිටින්නේ දේව දූතයෙකි. බියටත් විමතියටත් පත් වූ ඔව්හු දේව දූතයා කල ප්‍රකාශය ගැන කල්පනා කරති: "බිය නොවන්න! ඔබ සොයන්නේ කුරුසපත් කරන ලද නාසරෙතයේ ජේසුස් ය. උන්වහන්සේ  උත්ථාන වූ සේක. ...උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහි දී ඔබට උන්වහන්සේ මුණගැසෙනු ඇත," යන්න එම පණිවිඩයයි. 

ගලීලය: ප්‍රථම ප්‍රේමය මුණ ගැසුණු තැන  

සුදොතුම් පියතුමා මෙම ධර්ම දේශනයේ දී භාවනා කළේ "ගලීලය" යන්නේ තේරුම කුමක් ද යන්නයි. 

ප්‍රථමයෙන් ම ගලීලය යනු අලුතින් ආරම්භ කිරීම යන්නයි. "මේ ශ්‍රාවකයන්ට සිය ප්‍රථම ප්‍රේමය වූ නාසරෙතයේ ජේසු මුණ ගැසුනේ ගලීලයේ දී ය. උන්වහන්සේ සුබාරංචිය දේශනා කරනු ඔවුන් අසා සිටියේ මේ නගරයේ දීය. උන්වහන්සේ කළ ප්‍රාතිහාර්ය ඔවුන් දුටුවේ මෙතැන  දී ය. ඔවුන් උන්වහන්සේ ගේ වචන  වරදවා තේරුම් ගත්තේ ද , කුරුසිය අබියස උන්වහන්සේ අතහැර පළා ගියේ ද  එහිදී ය. මේ සියල්ල නොතකා, ඔවුන් ආරම්භ කළ තැනින් යළිත් අලුතින් ආරම්භ කරන්නැයි සමිඳාණෝ ඔවුන්ට ආරාධනා කරති." 

"අපගේ හදවත් වල සුන්බුන් වලින් සොඳුරු කලා නිර්මාණයක් නිර්මාණය කරන්නට දෙවියන් වහන්සේට හැකිය."

මේ නිසා, "ආපසු ගලීලයට යන්නැයි ප්‍රථම පාස්කුවේ දී දුන් පණිවිඩය, අපගේ සියලු අසාර්ථකත්වයන් නොතකා, සෑමවිටම  යළිත් අලුතින් ආරම්භ කළ හැකි බව අවධාරණය කරන්නක්" යයි සුදොතුම් පියතුමා  කීවේය. "අපගේ හදවත් වල සුන්බුන් වලින් සොඳුරු කලා නිර්මාණයක් නිර්මාණය කරන්නට දෙවියන් වහන්සේට හැකිය. අපගේ මනුෂ්‍යත්වයේ නටබුන් වූ කොටස් වලින් නව ඉතිහාසයක් සූදානම් කිරීමට උන්වහන්සේට හැකිය."

"වසංගතයේ මේ අඳුරු මාස වල බලාපොරොත්තු නැති කර නොගෙන අලුතින් ආරම්භ කරන්නැයි  අපට ආරාධනා කරන සමිඳුන්ට අපි සවන් දෙමු" යි සුදොතුම් පියතුමා  කීවේ ය.


 

ගලීලය : විශ්වාසය හුදු මතක සටහනක්  නොව ජීවත් වීමයි 

ගලීලය යන්නෙහි තවත් තේරුමක් වන්නේ ගල් ලෙනෙන් ඉවත් වී නව මාවත් වලට අවතීර්ණ වීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. 

"බොහෝ දෙනෙකුට විශ්වාසය යනු හුදෙක් පුරුදු සහ චාරිත්‍ර රාශියකි. නැති නම් අතීතයේ සිදු වූ දෑ  ය. එසේත් නැති නම් ළමා වියේ සොඳුරු මතකයන්  ය. ඔවුනට විශ්වාසය යනු තමන් ක්‍රියා කිරීමට පොළඹවන .විශ්වාසයක් නොවේ.තමන්ට අභියෝග කරන විශ්වාසයක් නොවේ," යි එතුමා පෙන්වා  දුන්නේ ය.

"ගලීලයට යාම යනු  ආපසු පාරට බැසීම  ය. විශ්වාසය ජීවත් කරවීම ය."

"එහෙත් ගලීලයට යාම යනු  ආපසු පාරට බැසීම  ය. විශ්වාසය ජීවත් කරවීම ය. අප අපගේ ප්‍රථම මුණගැසීමේ දී ලැබූ මවිතවීම දිනපතා අලුත් කරගනිමින් දෙවියන් වහන්සේ ගේ මාර්ග වලින් අප විස්මයට පත් කිරීමට නිහතමානීව ඉඩ දිය යුතු ය...දෙවියන් වහන්සේ පරෙස්සමින්  තැන්පත් කර තැබිය යුතු අපගේ ළමා වියේ මතක ලිපි ගොනුවක්  නොවේ.  උන්වහන්සේ ජීවමාන ය. උන්වහන්සේ නිතර අප විස්මයට පත් කරන සේක. උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ අප පුදුමයට පත් කිරීම කිසි දා අවසන් නොකරන සේක" යි සුදොතුම් පියතුමා කීවේ ය. 

"සියල්ල අහිමි වී ඇතැයි ඔබට හැඟී යන අවස්ථා වලදී පවා ජේසු සමිඳුන් ඔබ වෙත ගෙනෙන නව්‍යතාවයෙන් පුදුමයට පත් වීමට විවෘතව සිටින්න."

ක්‍රිස්තුන් වහන්සේ යල් පැන ගිය මතක සටහනක් නොව, උන්වහන්සේ මේ දැන් මේ මොහොතේ ජීවමානව සිටින බව  එතුමා අවධාරණය කළේය. "විශ්වාසය අතීත සටහන් එකතු කල පින්තුර ඇල්බමයක් නොවේ. ජේසු සමිඳාණෝ යල් පැනගිය සංකල්පයක් නොවේ. උන්වහන්සේ  දිනපතා, ඔබ මුහුණ දෙන සෑම අභියෝගයක දී සහ පරීක්ෂාවක දීම, ඔබගේ ගැඹුරු බලාපොරොත්තුවක දී  සහ  සිහිනයක දී ම,  ඔබ සමග ගමන් කරන සේක. සියල්ල අහිමි වී ඇතැයි ඔබට හැඟී යන අවස්ථා වලදී පවා ජේසු සමිඳුන් ඔබ වෙත ගෙනෙන නව්‍යතාවයෙන් පුදුමයට පත් වීමට විවෘතව සිටින්නැ"යි එතුමා කීවේ ය. 

පරිධියේ ගලීලය  

ගලීලයට යාම යනු පරිධිය වෙත  හෙවත් පර්යන්ත වෙත යාම බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. 

ජේසු සමිඳුන් සිය දූත මෙහෙවර ආරම්භ කළේ ජෙරුසලෙමේ වත් පිළිවෙත් පාරිශුද්ධත්වයේ සිට බොහෝ දුරින් පිහිටි ගලීලයේ දී ය.  එහි දී උන්වහන්සේ "එදිනෙදා ජීවත් වීමේ අරගලයට මුහුණ දී සිටින ජනතාවට, සමාජයෙන් බැහැර කරන ලද ජනතාවට, දුප්පත් සහ දුර්වල වූවනට සිය පණිවිඩය දේශනා කරමින් සිය දූත මෙහෙවර ආරම්භ කළ" බව එතුමා පෙන්වා දුන්නේ ය. 

"දෙවියන් වහන්සේ වෙහෙස නොතකා අධෛර්යයට පත් වූවන් සහ නැති වූවන් සොයන්නේ පර්යන්ත වල ය. උන්වහන්සේ පැවැත්මේ ඈත පර්යන්ත වලට යන සේක. මන්ද උන්වහන්සේ ගේ නෙත් වලට කිසිවෙකුත් බැහැර කරන ලද්දෙක් නොවේ."

"දෙවියන් වහන්සේ වෙහෙස නොතකා අධෛර්යයට පත් වූවන් සහ නැති වූවන් සොයන්නේ පර්යන්ත වල ය. උන්වහන්සේ පැවැත්මේ ඈත පර්යන්ත වලට යන සේක. මන්ද උන්වහන්සේ ගේ නෙත් වලට කිසිවෙකුත් බැහැර කරන ලද්දෙක් නොවේ; කිසිවෙකුත් සුළු වූවෙක් නොවේ. මේ නිසා එදිනදා ජීවිත වටපිටා වලටත්,  අප එදිනෙදා පිය නගන මාවත් සහ වීදි වලටත් යන ලෙස  උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටියි."

"එහිදී උන්වහන්සේ අපට කලින් එහි ගොස්, අප වටා සිටින්නන් ගේ, අපගේ දවසේ ජීවිතය බෙදා ගන්නන් ගේ, අපගේ ගෙදර, අපගේ වැඩපළේ, අපගේ දුෂ්කරතා වල සහ බලාපොරොත්තු වල  ජීවමානව පෙනී සිටින සේක. ..දෙවියන් වහන්සේ ගේ  උතුම් බව  සුළු බව තුළ හෙළිදරව් වන ආකාරයත්, උන්වහන්සේ ගේ සුන්දරත්වය දුප්පතුන් සහ සරල වූවන් තුළ දිලෙන් ආකාරයත් දැකීමෙන් ඔබ මවිතයට පත් වනු ඇතැ"යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

"මේ නිසා තුන්වන පාස්කු පණිවිඩය උත්ථාන වූ ස්වාමීන් වහන්සේ අපට සීමා රහිතව ප්‍රේම කරන සේක; උන්වහන්සේ අප ගේ ජීවිතයේ සෑම මොහොතක ම අප සමග  වන සේක යන්නයි" යි එතුමා පැහැදිලි කළේය. 

"එදිනෙදා ජීවිතයේ දේව වරප්‍රසාද අලුතින් සොයා ගැනීම සඳහා බාධා  පැරදවීමටත්, පූර්ව විනිශ්චයන්  නෙරපා හැරීමටත්,  අපගේ එදිනෙදා ජීවිතයේ අප අවට සිටින්නන්ට සමීප වීමටත් දෙවියන් වහන්සේ අපට ආරාධනා කරන සේක. .."

"අපි උන්වහසේව මෙහි දී, අපගේ ගලීල වලදී, එනම්   අපගේ එදිනෙදා ජීවිතයේ දී හඳුනා ගනිමු.," යි එතුමා කිතුනු ජනතාවට ආරාධනා කළේය. "සියලු පරාජයන්ට ඔබ්බෙන්, සියලු නපුරට, අයහපතට සහ ප්‍රචණ්ඩත්වයට ඔබ්බෙන්, සියලු දුක්ඛ දෝමනස්ස සහ මරණයට ඔබ්බෙන් උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වෙමින් ඉතිහාසයට මග පෙන්වන සේක." 

"සියලු පරාජයන්ට ඔබ්බෙන්, සියලු නපුරට, අයහපතට සහ ප්‍රචණ්ඩත්වයට ඔබ්බෙන්, සියලු දුක්ඛ දෝමනස්ස සහ මරණයට ඔබ්බෙන් උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වෙමින් ඉතිහාසයට මග පෙන්වන සේක." 







Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය