සුදොතුම් පියතුමා ආදි පිතුරු ආබ්‍රහමුන් ගේ ගමට; ආබ්‍රහම් ගේ දරුවෝ මුණගැසෙති; එක්ව යදිති."වෛරය සිත් දොරකඩ සිට තට්ටු කරන විට අහස දෙස බලන්න. තාරකා දෙස බලන්න. අපි ඔක්කොම නෑදෑයෝ බව මතක් කර ගන්න" - ජුදෙව්, කිතුනු, මුස්ලිම් ආගමිකයන්ගෙන් ඉල්ලා සිටියි

Holy Father meets with interreligious representatives in Iraq: "Let us not allow the light of heaven to be overshadowed by the clouds of hatred!" 





(2021 මාර්තු 7)

"දරුණු ම දේව අපහාසය වන්නේ අපගේ සහෝදර සහෝදරියනට වෛර කිරීම මගින් උන්වහන්සේ  ගේ නාමය කෙලෙසීම බව ලෝකයට එකාවන්ව පෙන්වා දෙමු"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආබ්‍රහමික ආගම් තුනේ ජනතාව ගෙන් ඉල්ලා සිටියි."එදිරිවාදිකම, අන්තවාදය සහ හිංසනය ආගමික හදවතකින් උපත  ලබන්නක් නොව  ආගම පාවා දීමක්" බව ද එතුමා අවධාරණය කරයි. 

ආදි පිතුරු ආබ්‍රහමුන් සේ 'අහසට නෙත් ඔසවා, ඔහු දුටු  තාරකාම දැක, ඒවායේ රැඳී ඇති පොරොන්දුව දෙසම අවධානය යොමු කරමින්' එක පියෙකුගේ දරු කැල සේ සාමයේ ගමනක් ආරම්භ කරමුයි එතුමා  ආබ්‍රහමික විශ්වාසිකයන් ට අභියෝග කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශසනය කළේ ඉරාකයේ ඉපැරැණි කැල්ඩියානු ඌර් තැන්නේ දී ආබ්‍රහමික ආගම් වල නියෝජිතයන් කණ්ඩායමක්  මුණ ගැසුණු අවස්ථාවේ  දී ය.  
ආබ්‍රහමික ආගම් යනු ආදී පිතුරු ආබ්‍රහම් සිය ආදි පියා ලෙස සලකන ජුදෙව්, ක්‍රිස්තියානි  සහ මුස්ලිම් ආගම් අදහන ජනතා ව ය. ශුද්ධ බයිබලය ඊසාක් ආබ්‍රහම් ගේ  'එකම  පුත්‍රයා' ලෙස යළි යලිත් කියා සිටයි, ඔහු බිහිවූයේ ආබ්‍රහම් ගේ බිරිඳ වන සාරාගෙනි. එම පුත්  ඉසාක් ගෙන් තමන් පැවැත එන බව ජුදා සහ කිතුනු ජනතාව කියති. ශුද්ධ කුරානයට අනුව මුස්ලිම් ජනතාව පැවැත එන්නේ සාරා ගේ උපදෙස් මත දරුවකු ලබා ගැනීම සඳහා ආබ්‍රහම් හඳුනාගත් සාරා ගේ දාසිය වූ හාගර්  ගෙනි. 

එහෙත් ඉතිහාසය පුරා මේ  'එකම ආදී පියා ගේ පරපුර"  අතර උග්‍ර එදිරිවාදිකම් ඇති වෙමින්  තිබේ. මේ එදිරිවාදී කම මේ ආගම් තුනේ ම තිඹිරි ගෙය වන මැදපෙරදිගත් ලෝකයත් භේදයේ ගිණි අවුලන්නට හේතු වී තිබේ.  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉරාකයේ ඌර් තැනිතලාවට ආ ගමන 

ඉකුත් දා  ඉරාකයේ අපෝස්තලික ගමන ආරම්භ කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ගමනේ දෙවැනි දිනය වූ මාර්තු 6 වැනිදා සිය චාරිකාවේ වැදගත් ම අවස්ථාවට සහභාගී විය. 
එනම් එරට ඌර් තැන්නේ දී ආබ්‍රහමික ආගමික නායක නියෝජිතයන්  පිරිසක් හමු වීමයි. මෙය එතුමා කලයක්  තිස්සේ අතිශය බලාපොරොත්තුවෙන් සිටි මුණගැසීමක් විය. සාමයික සංහිඳියාව න්‍යාය පත්‍රයේ ඉහලම ප්‍රමුඛත්වයක්ව තිබෙන සුදොතුම් පියතුමා ආරම්භයේ සිටම ජුදා-කිතුනු-මුස්ලිම් ජනතාව අතර ඇති තාප්ප බිඳ දමා පාලම් ගොඩනැගීමේ ප්‍රයත්නයක යෙදී සිටියි. ඌර් ප්‍රදේශයේ දේ සිදු වූ මෙම හමුව එම ප්‍රයත්නයේ අති වැදගත්ම ඓතිහාසික අවස්ථාවකි. 

ඌර් ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ ටාල්-අල් මුකායර් නමිනි. එය පුරාණ දෙගම් මැදි රාජ්‍ය පිහිටි මෙසොපොතේමියාවේ දකුණු දිග පිහිටි නගරයකි. එය දැන් පිහිටා ඇත්තේ ප්‍රකට යුප්‍රටීස් නදී නිම්නයට කි. මී. 10 ක් දුරිනි. එහෙත් පුරාණයේ එම ගඟ ගලා ගියේ නගරය ආසන්නයෙන් ම බව විද්‍යාඥයෝ පවසති. 

ආදි පිතුරු ආබ්‍රහම් ගේ උපන් ස්ථානය ලෙස සැලැකෙන තැන 



ඉතිහාසය ඇරඹුණු ඌර් තැන්න  

ඌර්  වැදගත් වන්නේ එය ආදී පිතුරු ආබ්‍රහම් ගේ මුල් ගම වන නිසා ය. ඔහුට දෙවියන් වහන්සේ මුහුණට මුහුණ මුණ ගැසුණේ  එහිදී ය. අසූ විය ඉක්මවා සිටි ඔහුට දාව දරුවකු ලැබෙන බව දෙවියන්  වහන්සේ වදාළේ එහි දී  ය. ඒ අනුව මුලින්ම දාසිය හගාර් ගෙන්  ඉෂ්මායෙල්  ද  ඉන් පසුව දෙවියන් වහන්සේ සිය ගිවිසුම ඇති කරගත් ඊසාක් ද ඉපැදුණේ  මෙහිදී ය. "ඔබේ පරපුර අහසේ තරු සේ, පොළොවේ වැලි සේ " පොළොව පුරා පතුරුවන  බව දෙවියන් වහන්සේ පොරොන්දු ඔහුට වුණේ  මෙහිදී ය. ඔහු සිය ගම්  ප්‍රදේශය හැර දමා දේව කැමැත්ත අනුව දීර්ඝ ගමනක් ආරම්භ කලේ ඌර්  හි සිටය. 

මේ නිසා ජුදා, කිතුනු , මුස්ලිම් සියල්ලනට ඌර් යනු "මහ ගෙදර" ය. මේ  ජනතාවට කතා කරන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඌර් තැන්න තෝරා ගත්තේත්, යුද බිය සහ  වසංගත බිය පමණක් නොව මේ දිනවල එතුමන් පෙලන සයටිකාව නමැති වේදනාකාරී ස්නායු සම්බන්ධ රෝගී තත්වය ද  නොතකා එතුමා එම ප්‍රදේශයට පැමිණියේත් මේ නිසා ය.  

ඉරාක වැඩසටහනේ ප්‍රධාන ම අංගය වූයේ ආබ්‍රහමුන් ගේ  මුල් ගමේ දී, එනම් ඌර් තැන්නේ දී ජුදා, කිතුනු සහ මුස්ලිම් නියෝජිතයන් හමු වී, එම ප්‍රදේශයේ සහ ලෝකයේ සාමය ගැන කතා කර සියලු දෙනා එක්ව සිය ආදී පිතුරු ආබ්‍රහම් ගේ දෙවියන් වහන්සේට යාච්ඥා කිරීමයි. 

ඒ  සියල්ල ඉටු කර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි සිටි නියෝජිතයන් මෙන් ම ලෝකය අමතා කල දේශනය ආදී පිතුරු ආබ්‍රහම් සහ ඔහුගෙන්  පැවැත එන පරපුර ගැන ගැඹුරු භාවනාවකි. 

එසේ ම මේ ශුද්ධ ලියවිලි පාදක "නෑදෑකම" තේරුම් ගෙන, ඓතිහාසික එදිරිවාදිකම් දුරලා සාමය සහ යුක්තිය  කේන්ද්‍ර කරගත් ලෝකයක් වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නැයි එතුමා එම දේශනයෙන් ලොව පුරා සිටින "ආබ්‍රහම් ගේ දරුවන්ගෙන්" ඉල්ලා  සිටියේ ය. 

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති තත්වය විසඳීමට ආලෝකයක් ද ඉඟියක් ද මේ දේශනයේ අන්තර්ගත  වී තිබේ.  එබැවින් එම දේශනය, සංස්කරණයෙන් තොරව  වතිකාන සුලඟේ සම්පූර්ණයෙන් පල කෙරේ.   
 

"අපි අපේ මහ ගෙදර  ඇවිල්ලා" 


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනය ආරම්භ කළේ ඌර් තැන්නේ වැදගත්කම සහ මෙම ආගම් තුනේ ම ජනතාවට මෙහි ඇති හෘදීය  සමීප බව ගැන කතා කරමිනි. එම සමීප බව සම්බන්ධතා අලුතින් පටන්ගන්නට ආලෝකයක් සපයන බව එතුමා පෙන්වා දුන්නේ ය:

"සිය නෙත් අහස (ස්වර්ගය) වෙත ඔසවා එහි තාරකා ගණන් කරන්නැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කී සේක. ඒ තාරකා තුළ ඔහු දැක්කේ අපව ය. "

"මේ භාග්‍යවන්ත ස්ථානය අපගේ මූලාරම්භය වෙත, දෙවියන් වහන්සේ ගේ කාර්යයේ ප්‍රභවයන් වෙත, අපගේ ධර්මයන් ගේ උත්පත්තිය වෙත ආපසු  අප රැගෙනැ යයි. මේ අපේ පියා වන ආබ්‍රහම් උපන් තැනයි. ඉතින් මෙතැන සිටින අපි අපේ ගෙදර පැමිණ සිටිමු. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ගේ කැඳවීම ලැබුණේ මෙතැන දී ය; ඔහු ඉතිහාසය වෙනස් කළ ගමනක් පිටත්ව ගියේ මෙතැන සිට ය. අපි ඒ කැඳවීමේ, ඒ ගමනේ දරුවෝ ය. සිය නෙත් අහස (ස්වර්ගය) වෙත ඔසවා එහි තාරකා ගණන් කරන්නැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කී සේක. (උත්පත්ති 15:5) ඒ තාරකා  තුළ ඔහු ඔහු සිය පරපුර පිලිබඳ පොරොන්දුව දැක්කේ ය. ඒ තාරකා තුළ ඔහු දැක්කේ අපව ය. අද , අපි, ජුදෙව්වන්, කිතුනුවන් සහ මුසොල්මානුවන් එකට  එක්ව, වෙනත් ආගම් වල අපගේ සහෝදර සහෝදරියන් ද සමග, අපගේ පිය ආබ්‍රහම් කල දේ කරමින් ඔහුට ගෞරව කරමු; එනම්, අප මිහිමත ගමනේ යෙදෙන අතර අපි ස්වර්ගය දෙස නෙත් ඔසවමු. 

අපි ස්වර්ගය දෙසට නෙත් ඔසවමු. අවුරුදු දහස් ගණනකට පසුව අප ඒ අහස දෙසටම නෙත් ඔසොවන විට අප දකින්නේ එම තාරකා ම ය. ඒවා අන්ධකාර රාත්‍රීන් ආලෝකවත් කරයි. මන්ද ඒවා එකට එක්ව දිදුලන නිසා ය. මේ අකාරයෙන් අහස එක්සත් බවේ පණිවිඩයක් ලබා දෙයි. අපගේ අසල්වැසියන් ගෙන් අප වෙන් කර නොගන්නා ලෙස සර්ව බලැති තැනැන්වහන්සේ අපට අරාධනා කරන සේක. දෙවියන් වහන්සේ ගේ  අන්‍යබව (otherness of God) , අන්‍යයන් වෙත, අපගේ සහෝදර සහෝදරියන් වෙත, අපව යොමු කරයි.  අප අහස (ස්වර්ගය) වෙතින් නෙත් ඉවත් කර නොගත යුතු ය. ආබ්‍රහමුන්ගෙන් පැවැතෙන්නන් වන අපි, වෙනස් ආගම් වල නියෝජිතයන් වන අපි, සියල්ලටම වඩා, අප සතුව මේ කාර්යභාරය ඇති බව තේරුම් ගනිමු. එනම්, අපගේ නෙත් සහ යැදුම් අහස වෙත (ස්වර්ගය වෙත) එසවීමට අපගේ සහෝදර සහෝදරියන්ට උදව් වීමයි. මෙය අපට අවශ්‍ය ය. මන්ද අප ස්වයං පෝෂිත නොවන නිසා ය
"සැබෑ දැහැමියාව  නම් මෙයයි: එනම්, දෙවියන් වහන්සේට වන්දනා කිරීම සහ  අසල්වැසියාට ප්‍රේම කිරීමයි."

මිනිසා සර්ව බලධාරී  නොවේ.  දෙවියන් වහන්සේව බැහැර කල විට අපි මිහිමත ඇති දේ වන්දනා නමස්කාර කරන්නන් බවට පත් වෙමු.  බොහෝ ජනතාවකට දෙවියන් වහන්සේ සහ සහ සිය සහෝදර සහෝදරියන් ගැන නොසලකා හැරීමට  හේතු වී ඇති ලෞකික වස්තු අපගේ  මිහිමත ගමනේ හේතුව නොවේ. අප අහස දෙසට නෙත් ඔසොවන්නේ අපගේ අහංකාරකමේ පත්ලෙන් අප ඔසවා තබා ගැනීම සඳහා ය. අප තුළ වන  ස්වාර්ථයේ වහල්කමින් අප  නිදහස් කරගැනීම පිණිස අපි දෙවියන් වහන්සේට සේවාව කරමු. සැබෑ දැහැමියාව  නම් මෙයයි: එනම්, දෙවියන් වහන්සේට වන්දනා කිරීම සහ  අසල්වැසියාට ප්‍රේම කිරීමයි. අති උසස් තැනැන්වහන්සේව අමතක කරන, නොහොත්, උන්වහන්සේ ගේ ප්‍රතිරූපය  විකෘති කර දක්වන වර්තමාන ලෝකයට උන්වහන්සේ ගේ යහපත්කමේ සාක්ෂි කරුවන් වන්නට විශ්වාසකයෝ කැඳවීම් ලබා  සිටිති. එසේ කල හැක්කේ අපගේ සහෝදරත්වය තුළින් උන්වහන්සේගේ පිතෘක භාවය ප්‍රදර්ශනය කිරීමෙනි





"එදිරිවාදිකම, අන්තවාදය සහ හිංසනය ආගමික හදවතකින් උපත  ලබන්නක් නොවේ. එය ආගම පාවා දීමකි."
විශ්වාසය උපත ලැබූ මේ ස්ථානයේ සිට, අපගේ පියා වන ආබ්‍රහම් ගේ භුමියේ සිට, දෙවියන් වහන්සේ ගේ කරුණාබර බවත්, දරුණු ම දේව අපහාසය වන්නේ අපගේ සහෝදර සහෝදරියනට වෛර කිරීම මගින් උන්වහන්සේ  ගේ නාමය කෙලෙසීම බවත්   අපි තහවුරු කරමු. එදිරිවාදිකම, අන්තවාදය සහ හිංසනය ආගමික හදවතකින් උපත  ලබන්නක් නොවේ. එය ආගම පාවා දීමකි. ත්‍රස්තවාදය විසින් ආගම අපයෝජනය කරන විට අපට නිශ්ශබ්දව සිටිය නොහැකිය. ඇත්ත වශයෙන් ම, පැහැදිලි ලෙස ම අප කැඳවනු ලැබ සිටින්නේ අනවබෝධයන් පහ කරනු පිණිස ය. අහසේ (ස්වර්ගයේ) ආලෝකය වසා දැමීමට වෛරයේ වලාකුළු වලට අපි ඉඩ නොතබමු."

ආගමික අන්තවාදී ත්‍රස්තවාදය දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා   කළේය. එහෙත් එතුමා ISIS හෙවත් ත්‍රස්තවාදී ඉස්ලාම් රාජ්‍ය සංවිධානය එතුමා නමින් සඳහන්  කෙළේ නැත. එසේ වූවත් ඔවුන්  ගේ ත්‍රස්තවාදයෙන් දැඩි පීඩනයට පත් වූ අහිංසක, නිරායුධ ජන කොටසක් වන යසිදී ජනතාව එතුමා නමින් ම  සිහිපත් කළේය. 

"ත්‍රස්තවාදයේ, යුද්ධයේ සහ ප්‍රචණ්ඩත්වයේ කළු වලාකුළු මේ දේශය මත පැතිරී තිබේ. මෙරට සියලු ජනවාර්ගික සහ ආගමික ජන කොට්ඨාස මේ දුක් වේදනා වින්දේ ය. ඒ අතරින් විශේෂයෙන් ම යසීදී වරුන් ගැන මම කල්පනා කරමි. යසීදී ප්‍රජාව ඔවුන් ගේ පිරිමින් විශාල සංඛ්‍යාවක් මරා දමනු ලැබීම නිසා ද දස දහස් සංඛ්‍යාත කාන්තාවන්, ගැහැණු ළමයින් සහ ළමයින් පැහැරගෙන යාම, විකිණීම, ශාරීරික හිංසාවට, සහ බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීම වැනි දේ නිසා ද දුක් වින්දහ. මේ දුක් වේදනා දරා ගත් සියල්ලන් වෙනුවෙනුත්, තවමත් අවතැන් වූ සහ පැහැරගනු ලැබීමට ලක්ව සිටින සියලු දෙනා සිය මුල් වාසස්ථාන වෙත හැරී එනමෙනුත් අපි යාච්ඥා කරමු. සෑම ප්‍රදේශයක ම හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස පිළිගෙන ඊට ගෞරව කරන ලෙස අපි යාච්ඥා  කරමු. මේවා මූලික අයිතිවාසිකම් ය. මන්ද ඒවා අප මවනු ලැබ ඇති අරමුණ වන ස්වර්ගය ගැන මෙනෙහි කිරීමට අප නිදහස් කරන නිසා ය. 

ත්‍රස්තවාදය මේ ප්‍රේමනීය රට ආක්‍රමණය කළ කාලයේ එය ඉතා හිතුවක්කාරී ලෙස මේ රටේ දේවස්ථාන, තාපසාරාම, සහ විවිධ ආගමික ප්‍රජා වලට අයත්  විභූතිමත් ආගමික උරුමයන් විනාශ කළහ. එහෙත් ඒ අන්ධකාර කාලයේ පවා තාරකා  ස්වල්පයක් නොකඩවා බැබලුණේ ය. විනාශ කරන ලද දේවස්ථාන සහ තාපසාරාම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අත්වැල් බැඳගත් මොසුල් හි මුස්ලිම් ජනතාව සහ  මේ වන විට මුස්ලිම් පල්ලි සහ දෙව්මැදුරු ගොඩනැගීමට එක්ව වැඩ කරන ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව ගැන මම කල්පනා කරමි.  ඔව්හු  වෛරයේ සුන්බුන් මත සහෝදරත්වයේ මිත්‍රත්වය ගොඩ නගමින් සිටිති. 

අප එකිනෙකා ගේ ශුද්ධ වූ වන්දනා ස්ථාන සියල්ලන් සඳහාම සාමයේ සහ මුණගැසීමේ කෙම්බිම් බවට පත් කිරීමට අපගේ උතුම්  ආදි පිතුරු තුමා අපට උදව් කෙරේවා! දෙවියන් වහන්සේ වෙත විශ්වසනීය වීම නිසා ආබ්‍රහම් සමස්ත ජනතාවට ආශීර්වාදයක්  වූයේය.ඔහු ගේ මග යන මෙතනට රැස්වී සිටින අපි ඉරාකයටත්, මැද පෙරදිගටත් සමස්ත ලෝකයටත් ආශීර්වාදයේ සලකුණක් වෙමු.  අපි කිසි දිනෙකත් ස්වර්ගය දෙස බැලීමෙන්, එහි ඇති තාරක දෙස - අපගේ පියා වූ ආබ්‍රහම් එදා මෙනෙහි කල තාරකා දෙස- බැලීමෙන්  වෙහෙසට පත් නොවෙමු. 



"අප ආත්මාර්ථකාමී කරන සියලු බැඳීම් බිඳ ..'පිටතට' යමු"

"සියල්ල ආරම්භ වූයේ මෙතනදී ය. එනම් එනම් දෙවියන් වහන්සේ ආබ්‍රහමුන්ට ඌර්හි සිට ගමනකට කතා කල දිනයේ සිට ය. ඔහු ගේ ගමන පිටතට ගිය ගමනක්  විය. ඒ සඳහා බොහෝ දේ පරිත්‍යාග කිරීම අවශ්‍ය විය. ආබ්‍රහම්ට සිය ඉඩ කඩම්, සිය ගෙදර සහ සිය  පවුල, අතහැර යන්නට සිදු විය. අපට ද ඊට සාමාන දෙයක් සිදු වේ. අප අප ගේ ම කණ්ඩායම් තුළ වසා සිර කොට තබන, දෙවියන් වහන්සේ ගේ අසීමිත ප්‍රේමය ආදරයෙන් පිළිගැනීමත් අන්‍යයන් අපගේ සහෝදර සහෝදරියන් ලෙස සැලකීමත්  වලක්වන අපගේ සම්බන්ධතා සහ බැඳීම් අත්හැර දැමීමට අපි ද කැඳවනු ලැබ  සිටිමු. අපි අපෙන් ඉවතට ගමන් කල යුත්තෙමු. ...

'අන්‍යයන් 'අපි' නොව 'ඔවුන්'' ලෙස අප දකින තාක් කල් සාමය ඇති නොවේ.  අපගේ මිත්‍ර සන්ධානයන් අන්‍යයන්ට 'විරුද්ධ' වන තාක් කල් සාමය ඇති නොවේ. 

සාමය ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන "අප' යන මිත්‍ර සන්ධාන බැඳීම් හෙවත් තාප්ප බිඳ දමා අන්‍යයන්  වෙත හැරී දයාර්ද්‍රව බැලීමේ අවශ්‍යතාව සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය. 
"ස්වර්ගය අපට පෙන්වන මාර්ගය සාමයේ මාර්ගයයි. අප සියලු දෙනා ම වසංගතයේ අර්බුදයෙන් සමානව දුක් විඳ ඇති ආකාරය දුටු විට අපි අප ගැන ම පමණක් කල්පනා කරන්නේ නම් එය ලජ්ජා සහගතය. පිළිගැනීම සහ බෙදාගැනීමෙන් තොරව, අතිශයින් ම දුර්වල වූ තැනැත්තන් ගෙන් පටන් ගෙන සියල්ලන් ගේ ම යුක්තිය, සමානාත්මතාව සහ අභිවෘද්ධිය සහතික කිරීමට ක්‍රියා කිරීමෙන් තොරව සාමය ඇති නොවේ.  ජනතාව විසින්  ජනතාවට අත දීමෙන් තොරව සාමය ඇති නොවේ.  'අන්‍යයන් 'අපි' නොව 'ඔවුන්'' ලෙස අප දකින තාක් කල් සාමය ඇති නොවේ.  අපගේ මිත්‍ර සන්ධානයන් අන්‍යයන්ට 'විරුද්ධ' වන තාක් කල් සාමය ඇති නොවේ. මන්ද සමහර දෙනෙකු ගේ සන්ධානයන් අන්‍යයන්ට විරුද්ධ වන විට සිදු වන්නේ භේදය උග්‍ර වීම පමණක් බැවිනි. සාමය ඉල්ලා  සිටින්නේ ජයග්‍රාහකයන් හෝ පරාජිතයන් නොව සහෝදර සහෝදරියන් ය. මන්ද අතීතයේ සියලු සිත් රිදීම් සහ අනවබෝධයන් ගැටුම්වල  සිට එක්සත් බවට ගමන් කරන බැවිනි."
"දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තාට සටන් කරන්නට සතුරන් නොමැත. ඔහුට සිටින්නේ එක ම සතුරකු පමණි. ය. එම සතුරා නම්  වෛරයයි."

"අද අප එකට එක්සත්  කර ඇති ආබ්‍රහම් ආදී පිතුරු තුමා අති උසස් තැනැන්වහන්සේ ගේ දිවැසිවරයෙකි."ජනතාව සිය කඩුවලින් නගුල් ද හෙල්ල වලින් දෑකැති  ද  සාදනු ඇතැ"යි  පුරාණ දිවැසියෙක් කීවේ ය. (ඉසයියාස් 2:4)  මේ දිවැස් වැකිය තවමත් ඉටු වී නොමැත. එහෙත් ඊට පරස්පර ලෙස ජනතාව සිය කඩු සහ හෙල්ල, මිසයිල සහ බෝම්බ බවට පරිවර්තනය කරගෙන තිබේ. මේ අනුව, සාමයේ ගමන ආරම්භ කරන්නේ කොතනින්ද? ඒ ආරම්භ කල යුත්තේ සතුරන් ඇතිකර නොගැනීමට ගන්නා තීරණයෙනි. තාරකා  දෙස බලන්නට ධෛර්යය ඇති තැනැත්තාට, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තාට සටන් කරන්නට සතුරන් නොමැත. ඔහුට හෝ ඇයට මුහුණ දීමට සිටින්නේ එක ම සතුරකු පමණි. ඒ අපගේ හදවතේ දොරකඩ  සිට දොරට තට්ටු කරන සතුරා ය. එම සතුරා නම්  වෛරයයි. ...පොරොන්දුවේ තාරකා දෙස බලන්නෝ, දෙවියන් වහන්සේ ගේ මාවතේ ගමන් කරන්නෝ කිසිවෙකුටත්  විරුද්ධ නොවෙති;   සියල්ලන් වෙනුවෙන් ජීවත් වෙති. 

ඉතිහාසය පුරා අපි ලෞකික වූ අපේ මාවත් වල ගමන් කමින් සිටියෙමු. එහෙත් දෙවියන් වහන්සේ ගේ උපකාර ඇතිව අපට දැන් යහපතට හැරීමට හැකිය. වෛරයේ ආයුධ සාමයේ උපකරණ බවට පත් කර ගැනීම අද ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව වන අපගේ, විශේෂයෙන් ම ආගම් අදහන අපගේ වගකීම බවට පත් වී තිබේ. ආයුධ නිෂ්පාදනය සහ පැතිරීම නවත්වා එම සම්පත් සියල්ලනට ආහාර  බෙදාහැරීම සඳහා  යොදවන ලෙස අපගේ ජාතික නායකයනට බලකිරීම අපගේ වගකීමය. අති විශාල ජනතාවක් ආහාර, ඖෂධ, අධ්‍යාපනය,  ගෞරවය අහිමිව සිටිති; අපගේ ලෝකයේ පීඩාවට පත්  වූ සහ සමාජයෙන් බැහැර කරන ලද මේ ජනතාව ගේ මොර ගැසීමේ හඬ ඇසෙනු සඳහා අප අතර සිදුවන අන්‍යොන්‍ය චොදනා කර ගැනීම් නිශ්ශබ්ද කර ගැනීම අපගේ වගකීම ය. මුදල් වටා පරිභ්‍රමණය වන වංක ක්‍රියා හෙළිදරව් කොට, මුදල් නිරන්තරයෙන් ම අතලොස්සක ගේ සීමාවක් නැති සුඛවිහරණය  යළි සවිගැන්වීම තුළ අවසන් නොවිය යුතුය යන්න බල කිරීම අපට පැවරෙන වගකීම ය. අපගේ පොදු නිවහන අපගේ ම කොල්ලකාර අරමුණු  වලින් ආරක්ෂා කර ගැනීම අපගේ වගකීම ය. මනුෂ්‍ය ජීවිතය කළින් නොව මේ දැන් එහි  පූර්ණ වටිනාකමින් යුක්තය යන්න සිහිපත් කිරීම අපගේ වගකීමය. නූපන් දරුවන් ගේ ජීවිත ද, වියපත් අයගේ, සාංක්‍රමනිකයන්ගේ, ගැහැනුන් සහ මිනිසුන් ගේ, සමේ කවර වර්ණයක් හෝ දරන්නා වූ හෝ කවර ජාතියකට හෝ අයත් මනුෂ්‍යයන් ගේ ජීවිත ද අනෙක් සෑම කෙනෙකු ගේ ම ජීවිත බඳුව ම වටිනා බව තහවුරු කිරීම අපගේ වගකීම  ය. අපගේ නෙත් ඔසවා අහස බලා අපගේ පියා වූ ආබ්‍රහම් දුටු තාරකා, පොරොන්දුවේ තාරකා, දැකීමට තරම් ධෛර්යයක් තිබීම අප සතු වගකීම ය."

"දරුවකු පිළිබඳව ආබ්‍රහම් සතුව තිබු සියලු බලාපොරොත්තු අවසන් ව ඇති බව හැඟී ගොස් තිබූ අවස්ථාවක, දෙවියන් වහන්සේ  ආබ්‍රහම්ට  දරුවකුගේ ත්‍යාගය ලබා දුන්නේ මේ ප්‍රදේශ වල පවතින සුවිශේෂී ලක්ෂණයක් වන ආගන්තුක සත්කාරය නිසා ය. (උත්පත්ති 18:1-10) 

වෙනස් ආගම් වල සහෝදර සහෝදරියනි, මෙතැන අපට අපගේ ගෙදර ලෙස  හැඟේ. මේ නිසා, මානව පවුල  ආගන්තුක සත්කාරයෙන් පූර්ණව දෙවියන් වහන්සේ ගේ සියලු දරුවන් පිළිගනිමින්  උන්වහන්සේ ගේ සිහිනය ඉටු කිරීමට ක්‍රියා කිරීම සඳහා අපි මෙතන සිට දැඩි තීන්දුවක් ගනිමු. මේ අනුව එම අහස දෙසම නෙත් ඔසවා බලමින් එකම මිහිතලය මත සාමයෙන් ගමන් කිරීමේ අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. "
 
*******

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රයත්නය ආගමික අන්තවාදයට සහ අන්තවාදී ත්‍රස්තවාදයට විරුද්ධ ආබ්‍රහම් ගේ දරුවන් ප්‍රමුඛ සියලු ආගම් අදහන ජනතාව එක්සත් කිරීමය. 

කවර ආගමක් විසින් කල ද ආගමික අන්තවාදය එම ආගම විකෘති කිරීමක් බව සුදොතුම් පියතුමා මෙම කතාවේ දී පැහැදිලිව පෙන්වා දුන්නේ ය. එසේ ම ආගමික අන්තවාදයට එරෙහි, සාමයික සංවාදය ආත්ම කොටගත්   ආගමික නායකයන් සමග එතුමා අත්වැල් බැඳ ගනිමින් සිටියි. විශේෂයන් ම ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු මුලික අවශ්‍යතා අහිමි වූ දුප්පත් ජනතාව බලගන්වා, යුක්තිය අහිමි වූ ජනතාවට යුක්තිය ඉටු කිරීම අත්‍යවශය් වන්නේ ය. ආරක්ෂාවට වය කරන මුදලට වඩා වැඩි මුදලක්, කුස ගින්නේ නැති කිරීමට, අධ්‍යපනයට් සහ සියල්ලනට  සෞඛ්‍ය  පහසුකම් සැපයීමට ආයෝජනය කල යුතු ය. 
ලෝකයේ සාමය ඇති කල හැකි වන්නේ එසේ කිරීමෙන්  පමණක් බව  සුදොතුම් පියතුමා මෙම කතාවෙන් පෙන්වා දෙයි. එතෙකින් නොනැවතී  එතුමා එවැනි සන්ධාන ගොඩ නගමින් සිටියි. 

මේ කතාව කියවා අ වබෝධ කරගෙන ක්‍රියා කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ  කතෝලික නායකත්වයට සහ ජනතාවට ද අඳුරේ  අතපත ගාමින් නොසිට බොහෝ දේ ගැන බුද්ධිමත් තීරණ ගත හැකි වනු ඇත.  










 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය