සුදොතුම් පියතුමා ඉරාකයේ ඓතිහාසික සංචාරය අරඹයි: "ආගමික, සංස්කෘතික සහ ජනවාර්ගික විවිධත්වය මුලිනුපුටා දැමිය යුතු බාධාවක් නොව ප්‍රයෝජන ගත යුතු නිධානයකි."

Ethnic diversity: a precious resource to be drawn on, not an obstacle to be eliminated - Holy Father begins his Historical Apostolic Visit in Iraq

 


(2021 මාර්තු  5)

"සාමය,සහෝදරත්වය සහ සමගි සන්ධානය සොයා යන වන්දනාකරුවකු" ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා සිය ඓතිහාසික ඉරාක අපෝස්තලික චාරිකාව ආරම්භ  කරයි. 

සුදොතුම් පියතුමා රැගත් අලිතාලියා ගුවන් යානය බැග්ඩෑඩ්  ගුවන්තොටුපොළට මාර්තු 5 වැනිදා උදාසන ළගාවිය. ඉරාකයේ ක්‍රිස්තියානි ඉතිහාසය ක්‍රි.ව. 1 වැනි සියවස දක්වා දිවෙයි. එහෙත් ප්‍රැන්සිස් සුදතුම් පියතුමා එරටට සැපත් වුයේ ඉරාකයට පැමිණි ප්‍රථම පාප් වහන්සේ ලෙසය.මෙම සිව්  දින අපෝස්තලික චාරිකාව තුළ  එතුමා ඉරාකයේ ඓතිහාසික, කිතුනුවන්ට වැදගත් වන, එසේම ISIS කුරිරු ආක්‍රමණ සමයේ විනාශ කරන ලද නගර 6ක සංචාරය කිරීමට නියමිතයි. 

සුදොතුම් පියතුමන් ගමන් ගත්  ගුවන් යානයේ සිට ඉරාකයේ එතුමා යන සෑම  ස්ථානයකම කෝවිඩ්  ආරක්ෂණ ක්‍රම වේද  නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. එතුමා සහ  එතුමා සමග යන කණ්ඩායම මෙන් ම  ජනමාධ්‍ය වේදී   කණ්ඩායමට ද කෝවිඩ් එන්නත ලබාදී ඇත. මුහුණු ආවරණ පැළඳීම  සහ සමාජ පරතර නිර්දේශද අනුගමනය කෙරේ.

ගුවන්තොටුපොළේදී කොවිඩ් සමයට ගැලපෙන ඉතා චාම් පිළිගැනීමක් එතුමන්ට ලැබිණි. එහිදී එතුමන් පිළිගන්නා  ලද්දේ ඉරක අගමැති මුස්තාෆා අල්-කධීමි විසිනි.  ඉන් පසුව එතුමා  පෙරහරකින් නිල පිළිගැනීමේ උත්සවය කරා කැටුව  යන ලදී. 

රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදාය  අනුව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා මුලින්ම ජනාධිපති බර්හම් සලී මුණගැසුණේය. ජාන්ධිපති වරයා විසින් සුදොතුම් පියතුමන්  පිළිගන්නා  ලද්දේ එරට පැරණි රජ මාලිගාවේදී ය.  මැති ඇමතිවරුන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වුහ. 

පිළිගැනීමේ උත්සවයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉරාක දෙසහයේ ඇති ආගමික වැදගත්කම, එඅරට පීඩාවට පත් කරන ලද  සහ සාමය පදනම් කරගනිමින් දේශනයක් කළේය. 

ඉරාක  භුමිය ආදි  පිතුරු ආබ්‍රහම්ටත් දිවැසිවරුන් ගණනාවකටත් සම්බන්ධ ගැලවීමේ ඉතිහාසයේ වැදගත් සිද්ධි ගණනාවක් සටහන් වූ  දේශයක් සේ ම ශිෂ්ටාචාරයේ තොටිල්ලක් බව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා කීවේය. එමෙන්ම ජුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ශ්‍රේෂ්ඨ  ආගමික සම්ප්‍රදායන් තුනටම සම්බන්ධ මේ දේශයට පැමිණීම තමා  තුළවූ  දැඩි අභිලාශයක්  බව එතුමා කීවේය. එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට  ලැබීම ගැන තමා කෘතඥ වන බව ද එතුමා කීවේය. 

යුද්ධයේ ඵලය මරණය සහ විනාශයයි; මානව හදවත් තුවාල වීමයි 

ඉරාක ජනාධිපති වරයා සුදොතුම් පියතුමා පිළිගත් අවස්ථාවට එක්වූ සම්භාවනීයයන් අමතමින් ඉරාකයේ පැවැතුණු  යුද්ධය පදනම් කරමින් සුදොතුම් පියතුමා ලෝකයට ප්‍රබල පණිවිඩයක් දුන්නේ ය.ඉකුත් දශක කිහිපය තුල ඉරාකය බියෙන් තැති ගන්වා වේදනාවෙන් පීඩාවට පත්  කොට අකර්මන්‍ය කල අන්තවාදී ත්‍රස්තවාදය මෙම  දේශනයේදී එතුමා දැඩි ලෙස විවේචනය කළේය  එසේ ම යුද්ධය අවසන් වූ පසුව දේශයක් යළි ගොඩනැගීමට අවංක අධිෂ්ඨානායක  ඇති ජාතීනට එතුමා ආයාචනයක් ද කෙළ්ය.  එම පණිවිඩය සහ ආයාචනය,  වේදනාකාරී  යුද්ධයකින් පසුව තුවාල සුවපත් කරගැනීමට තවමත් අපොහොසත්ව සිටින, තම ජාතීන් අතර සහ දේශය පුරා  තවදුරටත් වෛරයම වපුරන බොහෝ ජාතීනට වැදගත් උපදේශයකි:

සුදොතුම් පියතුමා යුද්ධයේ කුරිරු බව මුලින්ම පහදා  දුන්නේ ය. 

"අන්තවාදීත්‍රස්තවාදය , යුද්ධය සහ ගැටුම්  සියල්ල විසින් ගෙන එන ලද්දේ, මරණය, විනාශය, තවමත් දක්නට ලැබෙන සුන් බුන් පමණක් නොවේ." 

"වෙනස් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම්, වෙනස් මතිමතාන්තර සහ සංස්කෘතීන්  අතර සාමකාමී සහජීවනය පිළිගැනීමට අසමත් වූ,  මූලධර්මවාදය  තුළ  මුල්බැසගත් ත්‍රස්තවාදී වසංගතයත් ,වර්ගවාදී ගැටුම් සහ යුද්ධයත්   නිසා ඉරාකය මහත් වේදනා වින්දේය. මේ සියල්ල විසින් ගෙන එන ලද්දේ, මරණය, විනාශය, තවමත් දක්නට ලැබෙන සුන් බුන් පමණක් නොවේ. එය භෞතික මට්ටම ද ඉක්මවා යයි. අති විශාල ජනතාවක  ගේ සහ ප්‍රජාවගේ හදවත් වලට සිදු වූ දරුණු තුවාල, සුවපත් කිරීමට  තවත් බොහෝ කාලයක් ඇත." 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම කතාවේ දේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් නමින් සඳහන් කලේ නැත. 

එහෙත් එතුමා එක් ජනකොට්ටාසයක් නමින් සඳහන් කළේය.  ඒ ISIS ත්‍රස්තවාදීන් අතින් සමූල ඝාතනය වීමට ආසන්න්න වූ යසිදි මුස්ලිම් ජනතාව ය. 

"මට යසීදී ජනතාව සිහිපත්  නොකර සිටිය නොහැකිය. අර්ථ ශුන්‍ය, අමානුෂික ම්ලේච්ඡත්වයේ  ගොදුරක්  බවට පත් වූ අහිංසකයයන් වූ ඔව්හු තමන් ගේ ආගමික විශ්වාසය නිසා වදහිංසාවටත් ඝාතනයටත් .ලක්වූහ ." 

මේ විනාශය සැලකිල්ලට ගෙන අප අතර ඇති වෙනස් කම් පරයා යන  මනුෂ්‍යත්වයේ සහෝදරත්වය  කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඉරාකයේ ජනාධිපති මාළිගයට පැමිණ සිටි සියල්ලන් අමතමනි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කළේය. 

"ආගමික, සංස්කෘතික සහ ජනවාර්ගික විවිධත්වය මුලිනුපුටා දැමිය යුතු බාධාවක් නොව ප්‍රයෝජන ගත යුතු මහාර්ඝ වූ නිධානයකි."

" වෙනස් කම් එසේ ම තිබිය දී, එකම මානව පවුලේ සහෝදර සහෝදරියන් ලෙස එකිනෙකා  දෙස අපට බැලිය හැකි නම් , ඉතා ඵලදායී යළි ගොඩනැගීමේ ක්‍රියාවලියකට  මුල පිරීමටත්  අනාගත පරම්පරා  සඳහා වඩාත්  සාධාරණ, යුක්ති සහගත සහ  මානුෂික ලෝකයක් ඉතිරි කිරීමටත්  අපට හැකි වනු ඇත. ...මේ අනුව, ආගමික, සංස්කෘතික සහ ජනවාර්ගික විවිධත්වය මුලිනුපුටා දැමිය යුතු බාධාවක් නොව ප්‍රයෝජන ගත යුතු මහාර්ඝ වූ නිධානයකි."

ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය සහ හිංසනය නිසා සිය පවුලේ සාමාජිකයන් සහ ප්‍රේම කරන්නන් ද ගෙවල් දොරවල් සහ දේපොළ ද අහිමි වූ සියල්ලන් වෙත තමා හදවතින් සමීප වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "එසේම දුප්පත්කම සහ විරැකියාව වැඩි වන අතර ආරක්ෂාව සහ ජීවත් වීමේ මාර්ග සොයා තැනින් තැන යමින් ජීවත් වීමේ අරගලයක නිරත  වී සිටින ජනතා ගැන ද මම නිතර සිතමි. මේ නිසා ආර්ථික වශයෙන් සහ අධ්‍යාපනය, මැවිල්ල රක බලා ගැනීම වැනි සියලු ක්ෂේත තුළ  සම අවස්ථා උදා කිරීම වැදගත් වන" බව ද එතුමා සඳහන් කළේය. 

ආගම: සහෝදරත්වය සහ  සාමය පිණිසයි. වෛරය සඳහා නොවේ. 

ආගම ස්වභාවයෙන් ම සාමයේ සහ සහෝදරත්වයේ සේවාව අරමුණු කරගත් එකක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය  කළේය. වෛරය හෝ යුද්ධය ආගමක අභිමතාර්ථ වලට පටහැනි බව එතුමා මෙහිදී යළිත් වරක් සිහිපත්  කළේය. 

"ඝාතනය, දේශයෙන් පලවා හැරීම්, ත්‍රස්තවාදය  සහ හිංසනය යුක්තිසහගත කිරීම පිණිස දෙවියන් වහන්සේ ගේ නාමය යොදා ගත නොහැකිය. 

"ඝාතනය, දේශයෙන් පලවා හැරීම්, ත්‍රස්තවාදය  සහ හිංසනය යුක්තිසහගත කිරීම පිණිස දෙවියන් වහන්සේ ගේ නාමය යොදා ගත නොහැකිය. ඊට පරස්පරව, සමාන ගරුත්වයෙන් සහ අයිතිවාසිකම් ඇතිව මනුෂ්‍යන් මවා  වදාළ දෙවියන් වහන්සේ ප්‍රේමය, ත්‍යාගශීලී බව සහ සුසංවාදය සඳහා අප කැඳවන සේක."

ඉරාකයේ ජීවත් වන කිතුනු ජනතාව ගේ අයිතිවාසිකම්  ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහිදී අවධාරණය කළේය. එරට කිතුනුවන් අති  පුරාණ කාලයේ සිට ඉරාකයේ  ජීවත්  බව මෙම හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි  කළේය. "ඔවුන් ගේ දායකත්වය ඉරාකයට ඉතා පිරිපුන් උරුමයක් දානය කර තිබේ. මේ දායකත්වය නොකඩවා මේ රටට ලබා දීම ඔවුන් ගේ අභිලාෂයයි.  පුරවැසියන්  ලෙස පූර්ණ අයිතිවාසිකම්, නිදහස් සහ වගකීම් භුක්ති විඳිමින්,  ඔවුන් මේ රටේ ප්‍රසිද්ධ ජන ජීවිතයට හවුල් වීම රට තුළ යහපත් ආගමික, වාර්ගික, සහ සංස්කෘතික විව්ධත්වයක් ඇති බවට සාක්ෂියක්" යයි ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා  දුන්නේ ය. 


 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය