"සභාවට සමරිසි සමවායන් ආසිරි ගැන්වීම කළ නොහැකියි" - වතිකානය යළි අවධාරණය කරයි; "එහෙත් සමරිසි නැඹුරුවක් ඇත්තන් කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව කතෝලික සංඝයට උණුසුමින් පිළිගත යුතුයි"

"The Church cannot bless same-sex unions," Vatican reiterates; "Same sex persons must be welcomed with respect, compassion, and sensitivity avoiding all unjust discrimination” it adds



(2021 මාර්තු 16)

සමරිසි සමවායන් ('විවාහ') ආසිරි ගැන්වීමේ  බලයක් කතෝලික සංඝය සතුව නොමැති බව වතිකානය ඉකුත් දා යළිත් අවධාරණය කළේය. එබැවින් එවැනි යුවල් ආසිරි ගැන්වීම් "නීත්‍යානුකුල බවට නොපිළිගත හැකි බව"  සභා ඉගැන්වීම් පිලිබඳ ඉහළම ආයතනය මාර්තු 15 වන සඳුදා විශේෂ ලියැවිල්ලක් නිකුත් කරමින් කියා සිටියේ ය. 

මෙම විශේෂ ලියැවිල්ල නිකුත් කරන ලද්දේ වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදය  විසිනි. එම පර්ෂදයේ ප්‍රධානී ජේසු නිකායික ලුයිස් ලදරියා කාදිනල් හිමි සහ ලේකම් ජියාකොමෝ මොරන්දි අගරදගුරු හිමි ඊට අත්සන් තබා තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම නිර්දේශ පරීක්ෂා කළ අතර එතුමා ඊට සිය අනුමැතිය දානය කල බව ද එම නිවේදනය සඳහන් කරයි.  

මෙම පැහැදිලි කිරීම නිකුත් කරන ලද්දේ මෙම සිරිත සම්බන්ධයෙන් විශ්වාස ධර්ම පර්ෂද කාර්යාලය වෙත යොමු කර තිබූ ප්‍රශ්නයකට  (dubium) ප්‍රතිචාරයක් (responsum) වශයෙන් බව එම ලියවිල්ල  පැහැදිලි කරයි. එම ලියැවිල්ල සටහන් කර ඇති ආකාරයට:

ප්‍රශ්නය: "සම රිසි පුද්ගලයන් ගේ සමවායකට  (union) ආශීර්වාදය දානය  කිරීමේ බලයක් කතෝලික සභාව සතුව තිබේ ද?" 

ප්‍රතිචාරය: සරලව "නැත" යන්නයි. 

ඉන් පසුව එම  ප්‍රතිචාරයට පාදක වූ ධාර්මික පදනම එම ලියවිල්ලේ විස්තර කර තිබේ. 

"පුද්ගලයන්" සහ "සමවාය" 

මෙම ප්‍රතිචාරය කියැවීමේ දී "පුද්ගලයන්" සහ "සමවාය" (Union)  යන වචන අතර ඇති වෙනස්කම පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතු බව විශ්වාස  ධර්මය පිලිබඳ පර්ෂදය අවධාරණය කරයි. 'විවාහයනට" ආශීර්වාද කළ නොහැකිය යන ප්‍රතිචාරය සමරිසි නැඹුරුවක් ඇති පුද්ගලයන් විනිශ්චය කොට කොන් කිරීම සඳහා අවභාවිත නොකළ යුතු බව එම ලියවිල්ල සඳහන් කරයි. කතෝලික සභාවේ ඉගැන්වීම් අන්තර්ගත ලේඛන සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් නිකුත් කරන ලද "ප්‍රේමයේ ආනන්දය" (Amoris laetitia) අපෝස්තලික අනුශාසනා පත්‍රය උපුටා දක්වමින් එම ලියැවිල්ල ඒ සම්බන්ධයෙන් මෙසේ කියයි:

"මෙම ප්‍රතිචාරය ලබා දෙන්නේ, කතෝලික ඉගැන්වීම්, විශේෂයන්   "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික අනුශාසනා පත්‍රයේ විස්තර කෙරෙන විශ්වාසයේ මාර්ග ඔස්සේ ගමන් කිරීම සඳහා සමරිසි තැනැත්තන් උනුසුමින්  පිළිගෙන කැටුව යාමට ඇති අවංක අභිලාෂයෙන් යුතුව ය."

"ඔවුනට සිය ජීවිතය තුළ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත පිළිගෙන ඒ ඔස්සේ ක්‍රියා කිරීමට අවශ්‍ය සෑම උපකාරයක් ම කතෝලික සංඝය විසින් ලබා දිය යුතු ය....එවැනි නැඹුරුවක් ඇති තැනැත්තන් සහ සමවායන් ආසිරි ගැන්වීම අතර වෙනස හඳුනා ගත යුත්තේ ඒ නිසා ය."

සත්‍යය සහ ආසිරි ගැන්වීමේ  වටිනාකම 

ආසිරි ගැන්වීම යනු කතෝලික සභාවේ ජනවන්දනාත්මක ක්‍රියාවකි. එය සක්‍රමේන්තුවකි. එය වලංගු වන්නේ,  ආසිරි ගන්වනු ලබන දෙය හෝ තැනැත්තා මැවිල්ල තුළ දෙවියන් වහන්සේ ගේ සැලැස්මට අනුව, විෂය මූලකව සහ ධනාත්මකව දේව ප්‍රසාදය (Grace) ලබා ගැනීමටත් එය ප්‍රකාශනය කිරීමටත් හැකි තත්වයක සිටින්නේ නම්  පමණි."

මේ අනුව නිර්ණය කරන විට සමරිසි 'විවාහ', මැවිල්ල තුළ ප්‍රකාශිත දේව අභිමතය වන "ජීවිතය සම්ප්‍රේෂණය කිරීමට විවෘත වන මිනිසකු සහ ගැහැනියක අතර ඇති වන වෙන් කල නොහැකි බන්ධනයට" පරිබාහිර සම්බන්ධයක් බව පර්ෂදයේ ලියැවිල්ල පැහැදිලි කරයි. 

මේ නිසා එවැනි සම්බන්ධතා ස්ථාවර ඒවා වීම ඇතුළු වෙනත් ධනාත්මක සාධක  තිබිය හැකි නමුදු ඒවා දේව සැලැස්මට ප්‍රතිචාර නොදක්වන බව ලියැවිල්ල කියයි. මෙය අදාළ වන්නේ සමරිසි යුවල් සඳහා පමණක් නොවේ. ආශීර්වාදකාර බන්ධනයෙන් පරිබාහිර ලිංගික සම්බන්ධතා වලට ද එය අදාළ ය.

වියවුලක් ඇතිවීම වැලැක්වීම 

සමරිසි සම්බන්ධතා හුදෙක් ආසිරි ගැන්වීමට හෝ ඉඩ ලබා දුනහොත් එයින් හට ගත හැකි අවුල හෙවත් වැරදි අවබෝධයන් වැලැක්වීම ද මෙම තීරණයට පදනම් වූ තවත් හේතුවක් බව විශ්වාස ධර්මය පිලිබඳ පර්ෂදය  සිය ලියැවිල්ල මගින් පෙන්වා දෙයි. 

"එවැනි ආසිරි ගැන්වීම් 'ආශීර්වාදකාර බන්ධනය' ලෙස වරදවා තේරුම් ගැනීමට හෝ අර්ථ දැක්වීමට ඉඩ තිබේ." එවැන්නක් ඇති වීමට ඉඩ දිය නොහැකිය.

සමරිසි තැනැත්තන් කතෝලික සංඝය  තුළ පිළිගත යුතුයි; වෙනස් කොට නොසැලකිය යුතුයි. 

කෙසේ නමුදු සමරිසි තැනැත්තන් කතෝලික සංඝය විසින් ප්‍රේමයෙන් පිළිගත යුතු බව පර්ෂදය යළිත් පෙන්වා දෙයි. 

"ඔවුන් ගෞරවයෙන්, දයාවෙන් සහ සංව්දී බවින් යුතුව පිළිගත යුතුය. ඔවුන් කෙරෙහි කිසිදු ආකාරයක අයුක්තිසහගත වෙනස් කොට සැලකීමක් සිදු නොකළ යුතු ය," යි එහි සඳහන් වේ. 

ඉතා සරලව පවසන්නේ නම් , මෙම ලේඛනයෙන් පෙන්වා දෙන්නේ  සමලිංගික 'විවාහ' නොහොත් ඔවුන් ගේ සමවාය (unions) ආසිරි ගැන්වීම කතෝලික සභාවේ ඉගැන්වීම්  සහ ධර්මතා වලට පටහැනි බව ය. එසේ ම යමකු සමරිසි නැඹුරුවක් දක්වන නිසා එම තැනැත්තා හෝ තැනැත්තිය සභාවෙන් පිටමං කිරීම, වෙනස්කොට සැලැකීම හෝ රිදවීම ද කිතුනු ඉගැන්වීම් වලට ඉඳුරා ම පටහැනිය. සමරිසි තැනැත්තකු තනිව ආසිරි ගැන්වීමක් ඉල්ලා සිටියහොත් එය දානය කිරීමට පුදැදුරු වරු බැඳී සිටිති. 

කාදිනල් බෙර්ගොලියෝ හඳුනා නොගැනීම 

සමරිසි සම්බන්ධතා පිළිබඳව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ප්‍රකාශයක් ඉකුත් වසරේ දී රුපවාහිනි ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා සමරිසි විවාහ සම්බන්ධයෙන්  කතෝලික සංඝය තුළ වූ විවාද යළිත් උණුසුම් විය. 2019 දී මෙක්සිකෝවේ Televisa නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී සමරිසි සම්බන්ධතා සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා මෙසේ කීවේ ය. 

"පවුලක් වශයෙන් ජීවත් වෙන්නට සමරිසි ප්‍රජාවට අයිතිවාසිකමක් තිබෙනවා. ඔවුන් දෙවියන් වහන්සේ ගේ දරුවෝ...මේ නැඹුරුව නිසා ඔවුන් පවුලෙන් පන්නා දැමීමට හෝ ඔවුන් ගේ  ජීවිත කාලකන්නි කිරීමට අපට නොහැකියි... සිවිල් සමවාය නීතියක් අපට අවශ්‍යයි . ඒ මගින් ඔවුන් නෛතිකව ආරක්ෂා කරන්නට අපට පුළුවන්..." එතුමා කීවේය. 

"ඔවුන් දෙවියන් වහන්සේ ගේ දරුවෝ...මේ නැඹුරුව නිසා ඔවුන් පවුලෙන් පන්නා දැමීමට හෝ ඔවුන් ගේ  ජීවිත කාලකන්නි කිරීමට අපට නොහැකියි."

2019 දී පටිගත කරන ලද මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් හෙළිදරව් වූයේ 2020 දී ය. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "සමරිසි ආශීර්වාදකාර බන්ධනයක්" ගැන කතා කරන බවට ගතානුගතික මතධාරී කතෝලිකයෝ චෝදනා කරන්නට පටන් ගත්හ. විශ්වාස ධර්ම පර්ෂද  ලියවිල්ලට පදනම් වූ "ප්‍රශ්නය" ඉදිරිපත් වුයේ ඒ අනුව ය. 

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රකාශය ප්‍රශ්න කල ජනතාවට බුවනොස් අයරෙස් හි හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ කාදිනල් හිමි ක්‍රියා කල ආකාරය ගැන අවබෝධයක් තිබුණේ   නැත. මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් මතකය ගෙන ගියේ බෙර්ගෝලියෝ කාදිනල් හිමියන් ගේ ස්ථාවරය  වෙතට ය. 

ආජන්ටිනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරු  සමරිසි විවාහ නීතිගත කිරීමේ පනතක් සම්මත කර ගැනීමට කටයුතු කරමින් සිටියහ. ඒ අවස්ථාවේ ආජන්ටිනාවේ  කතෝලික සභාව සිය ධාර්මික ස්ථාවරය අනුව ඊට විරෝධය ප්‍රකාශ කළේය. 

එසේ වුව ද බුවනෝස් අයරෙස් අගරදගුරු බෙර්ගෝලියෝ කාදිනල් හිමි (වත්මන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා) ඊට වඩා වෙනස් අදහසක් ඉදිරිපත්  කළේය. එනම් "සිවිල් සහවාස නීතියක්" (Law of Civil Cohabitation ) මගින් සථිර සම්බන්ධතාවක් තුළ එක්වීමේ නෛතික ආවරණය සමරිසි යුවල් වලට ලබා දීමය. මෙයින් එක් අතකින් සමරිසි යුවල් වලට නෛතික ආවරණයක් ලැබුණු අතර සභාවේ ඉගැන්වීම් සහ සිරිත් වලට හානියක් වූයේ ද නැත. 

 



 



Comments

  1. බයිබලයේ පාවුළු තුමා ගේ කාලයේත් සම රිසි ජනයා සිටි බවට සාක්ෂි තිබේ. එහෙත් පාවුළු තුමා ඒ තත්ත්වයට එකඟව නැත. සම රිසි එක්වීම් විවාහ ලෙස සැලකිය නො හැක. ඒ තත්ත්වය තනිකරම රහස් තනි තීන්දුය. අපේ රටේ ආගමික පැවිද්දන් ද ඒ සිරිතට යොමුව සිටින බවට සාක්ෂි තිබේ. කොළඹ කතෝලික සභාවේ එබඳු එක් පූජක වරයෙකුට දැනටමත් පූජා පැවැත්වීම තහනම් කර, ඔහු හුදකලාව ජීවත්වන්නට විධිවිධාන සළසා ඇත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය