"එක කතෝලිකයෙක් එක ගහක්" - බංගලි දේශ රදගුරු මණ්ඩලය "වේ ප්‍රශංසා" දැක්ම ඔස්සේ පරිසර සංරක්ෂණ මෙහෙයුමක් අරඹයි

Bangladesh Bishops launch a  Laudato si’ drive: “One Catholic One Tree”

බංගලි දේශ රදගුරු හිමි වරුන් පැල සිටුවීම අරඹමින් 


(2021 මාර්තු 10) 

බංගලි දේශ කතෝලික සංඝය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ "ප්‍රශංසා වේ" විශ්ව ලේඛනයට ප්‍රතිචාරයක් ලෙස කතෝලික ප්‍රදේශ පුරා ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. "මැවුම්කරුවාණන්, මැවිල්ල සහ මානව ප්‍රජාව සමග තමන් සතු සම්බන්ධය ශක්තිමත් කිරීම" සඳහා සියලු විශ්වාසිකයන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව එරට පැට්‍රික් ද රොසාරියෝ කාදිනල් හිමි පවසයි. 

ගස් සිටුවීමේ ව්‍යාපාරය සංවිධාන  කරන්නේ බංගලි දේශ කතෝලික රදගුරු සමුළුවයි. ඪකා හි විශ්‍රාමලත් අගරදගුරු ද රොසාරියෝ කාදිනල් හිමි ඊට නායකත්වය දෙයි. 

ගස් සිටුවීමේ ව්‍යාපාරය ඪකා අගනුවර පිහිටි රදගුරු සමුළු කේන්ද්‍රයේ භූමි භාගයෙන් ආරම්භ විය. රදගුරු සමුළු සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන්  පැල තුනක් එහි සිටුවමින් බංගලි දේශ කාදිනල් හිමි ව්‍යාපාරයට මුල පිරුවේය. 

“One Catholic One Tree” හෙවත් "එක කතෝලිකයෙක් එක ගසක්' යන්න පැල සිටුවීමේ ප්‍රයත්නයේ තේමාවයි. මෙහි අරමුණ අවම වශයන් එක කතෝලිකයකු එක පැලයක් වත් සිටුවීමට කතෝලික ජනතාව උනන්දු කරවීමයි.  එරට අවසන් වරට සිදු කල ජන සංගණන දත්ත වලට අනුව බංගලි දේශයේ කතෝලික ජනගහනය 400,000ක් පමණ වේ. මේ අනුව එක් කතෝලිකයකු එක පැලයක් සිටුවූවොත් අවම වශයෙන් ගස් 400,000ක් පරිසරයට එක්වන බව කතෝලික රදගුරු සමුළුව කියයි. . 

දේවස්ථාන බිම්, කතෝලික පාසල් සහ ආයතන වල බිම්,  කන්‍යාරාම  සහ තාපසාරාම, පැවිදි ආයතන බිම් වල පැල සිටුවීමට ඉලක්ක කර තිබේ. ගම් ප්‍රදේශ වල ජීවත් වන කතෝලික ජනයාට සිය ඉඩමේ ඉඩ කඩ ඇති නම් ඒවායේ ගස් සිටුවීමට උනන්දු කෙරේ. නාගරිකව ජීවත් වන කතෝලිකයන් සතුව ගම්බද  ප්‍රදේශ වල ඉඩම් ඇත්නම් ඒවායේ ද ගස් සිටුවන ලෙස කතෝලික රදගුරු සමුළුව බංගලි දේශ කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනය නිකුත් කිරීමේ 5 වැනි සංවත්සරය සහ එතුමන් විසින් "වේ ප්‍රශංසා" පස් අවුරුදු  වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කිරීම පාදක කර ගනිමින් බංගලිදේශ කතෝලික සංඝය මෙම මිහිතලය සුරක්ෂිත කිරීමේ ප්‍රයත්නය  ආරම්භ කර ඇත. 

බංගලි දේශයේ කතෝලික රදගුරු සමුළුව මෙම ප්‍රයත්නය සඳහා 200,000ක් පමණ වන එරට ක්‍රිස්තියානි සංඝ  සාමාජිකයන් ද සම්බන්ධ කරගෙන තිබේ. මේ අනුව තමන් ද ඊට එක්  වන බව එරට එක්සත් සභා සංසදය ප්‍රකාශ කළේය. කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු ගිහි අපෝස්තලික සේවා ද මෙම ප්‍රයත්නය ක්‍රියාත්මක කිරීමට එක් වී සිටියි. 

ශිෂ්‍යයන් එක කතෝලිකයෙක් එක ගසක් පරිශ්‍රමයට එක වෙමින් 


සිය ජනගහනයට අනුව පැල කළ යුතු පැල සංඛ්‍යාව ගැන  බංගලි  දේශයේ පදවි 8 දැනුවත් කර ඇති බව ද රොසාරියෝ කාදිනල් හිමි වතිකාන ප්‍රවෘත්ති සේවාවට කියා සිටියේ ය. පළතුරු ශාක සහ තේක්ක වැනි ප්‍රයෝජනවත් ශාක පැල කිරීමට යෝජනා වී ඇත. 

පාරිසරික සිත් මාරුව 

තුරු ලතා සොබා දහමට පමණක් නොව මිනිසුන්ටත් සියලු ජීවීන්ටත් විවිධාකාරයෙන් අත්‍යවශ්‍ය මෙහෙවරක් ඉටු කරන බව පැට්‍රික් ද රොසාරියෝ  කාදිනල් හිමි පෙන්වා දුන්නේ ය. "ගස්වල ප්‍රධාන පාරිසරික මෙහෙවර වන්නේ පාරිසරික තුලනය යි. මෙය පාරිසරික අසමතුලිතතාවේ ප්‍රතිඵලයක් ලෙස හට ගෙන ඇති කාලගුණික විපර්යාස වලට ඵලදායි ප්‍රතිචාරයක්. බංගලි දේශය හරහා නිතර හමා යන සුළි සුළං වලින් ජනතාව සහ දේපොළ ආරක්ෂා කිරීමටත් තුරු පෙළ උපකාර වෙනවා. එපමණක් නොව වියලි කාලයේ වැසි ලබා දීමත්,  ග්‍රීෂ්මයට  සිසිල දීමත් තුරු පෙලින් ලැබෙන තවත් සහනයක්." 

 "එය පරිසරය ආරක්ෂා කොට රැකබලා ගැනීමට අප අසමත් වී ඇති ආකාරය අපට පෙන්වා දී, සොබා දහම පිළිබඳව අපගේ වගකීම් රහිත ක්‍රියා කෙරෙහි  අපගේ අවධානය යොමු කර, අප තුළ පාරිසරික සිත් මාරුවක් ඇති කරනවා."

පැල සිටුවීම හුදෙක් හුදෙකලා කෘෂිකාර්මික වැඩසටහනකට වඩා ඔබ්බට යන්නක් බව බංගලි දේශ කාදිනල් තුමා අවධාරනය කළේය. "එහි අරමුණ 'ලවුඩාටෝ සි' හෙවත්  'වේ ප්‍රශංසා' විශ්ව ලේඛනයෙන් පෙන්වා දී ඇති වර්තමාන පාරිසරික අර්බුදය කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමයි. එය පරිසරය ආරක්ෂා කොට රැකබලා ගැනීමට අප අසමත් වී ඇති ආකාරය අපට පෙන්වා දී, සොබා දහම පිළිබඳව අපගේ වගකීම් රහිත ක්‍රියා කෙරෙහි  අපගේ අවධානය යොමු කර, අප තුළ පාරිසරික සිත් මාරුවක් ඇති කරනවා. ඒ මගින් පරිසරය ඇතිදැඩි කිරීමේ, රැක බලා ගැනීමේ සහ පරෙස්සමින් එක්ව ප්‍රයෝජනයට ගැනීමේ මානසිකත්වයක් අප තුළ ප්‍රවර්ධනය කරනවා," යි එතුමා පෙන්වා දුන්නේය. 

"ඊට අමතරව මැවිල්ල, මැවිලිකරුවාණන් සහ මනුෂ්‍ය ප්‍රජාව සමග සම්බන්ධතාවක් ගොඩ නැගීමට අපට ඉගැන්වීමෙහි ලා ශික්ෂණ ක්‍රියාකාරකමක් ලෙස ද මේ වැඩපිළිවෙල උදව් වන" බව  එතුමා සඳහන් කලේ ය. 

" මිහි මව ගේ වේදනාවට ප්‍රතිචාර දක්වා, දෙවියන් වහන්සේට, අපගේ අසල්වැසියන්ට සහ මැවිල්ලට හෙවත් සොබා දහමට ප්‍රේම කරමින් සිය ආධ්‍යාත්මිකත්වය පෝෂණය කර ගැනීමට විශ්වාසිකයන් අභිප්‍රේරණය වනු ඇති." 

2015 වසරේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  විසින් Laudato si හෙවත් "වේ ප්‍රශංසා" ගද්‍ය කාව්‍යමය විශ්ව ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, එහි අනුශාසනා පාදක කරගනිමින්  බංගලි දේශ කතෝලික සංඝය පරිසරය සංරක්ෂණය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. සම්මන්ත්‍රණ, අධ්‍යාපන සැසි, "වේ ප්‍රශංසා" ඉගැන්වීම් ඇතුළත් පත පොත නිකුත් කිරීම ද ඊට ඇතුළත් වී තිබිණි. මේ ක්‍රියාකාරකම් වල අනුප්‍රාණය ලබා ගනිමින් "මිහි මව ගේ වේදනාවට ප්‍රතිචාර දක්වා, දෙවියන් වහන්සේට, අපගේ අසල්වැසියන්ට සහ මැවිල්ල හෙවත් සොබා දහමට ප්‍රේම කරමින් ආධ්‍යාත්මිකත්වය පෝෂණය කර ගැනීමට විශ්වාසිකයන් අභිප්‍රේරණය වනු ඇතැයි" ද රොසාරියෝ කාදිනල් හිමි බලාපොරොත්තු පළ කළේ ය. 

බංගලි දේශය ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රටකි. එරට සිතා මතා ම, ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් දැවැන්ත වනාන්තර විනාශයක් සිදු  කෙරෙන රටක් ද නොවේ. එහෙත් එරට කතෝලික සභාව "අපේ පොදු නිවහන" හෙවත් මිහිතලය විනාශයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා Laudato si හෙවත් "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනය මගින් ලබා දුන් උපදේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයන් ක්‍රියා කරන ලෙස ආසියානු රදගුරු සමුළු සාමුහිකය විසින් උපදේශයක් ද නිකුත් කර ඇත. පරිසර සංරක්ෂණය වෙනුවෙන් යාච්ඥා කිරීම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම අටවැනි ආත්මික  සහ ශාරීරික පුණ්‍ය ක්‍රියා ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇත. 

"පරිසර විනාශය නිසා මේ වේදනාවෙන් මොර ගසන්නේ දෙවියන් වහන්සේ ගේ මැවිල්ල ය."

එසේ වුව ද, ශ්‍රී ලංකාව තුළ සිත් පිත් නැති පාරිසරික සමූල ඝාතනයක් සිදු වෙමින් පැවැතුනත්, එම වේදනාවෙන් ලක් දෙරණ මොර දෙන හඬ ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට තවමත් ඇසෙන බවක් පෙනෙන්නට නැත. 

පරිසර විනාශය නිසා මේ වේදනාවෙන් මොර ගසන්නේ දෙවියන් වහන්සේ ගේ මැවිල්ල ය. ඉතා කුඩා ම ක්ෂුද්‍ර ජීවියා ගේ සිට රූස්ස ගස් සහ දැවැන්තයන් (අලි ඇතුන්) දක්වා වූ,  දෙවියන් වහන්සේ  සියල්ල මවා "ඉතා යහපත් බව" දුටු උන්වහන්සේ ගේ මැවිල්ල ය. මිනිසා විසින් සුරක්ෂිත කොට ප්‍රවර්ධනය කල යුතු උන්වහන්සේ ගේ මැවිල්ල ය. 

සංවේදී කිතුනු හදවතක් ඇත් නම්, දෑසක් තිබේ නම්, සංවේදී තියුණු කිතුනු හර්දය සාක්ෂියක් තිබේ නම්,  මිහි  මවගේ - මැවිල්ලේ - මේ මොර ගැසීම  ඇසිය යුතුය. ඊට ප්‍රතිචාර දැක්විය යුතු ය. 

පරිසර ඝාතකයන් සිය මැවිල්ල විනාශ  කරන විට අලස මුනිවතින්, නිෂ්ක්‍රීයව, උකටලීව බලා සිටින කිතුනුවන් දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවිද?

පරිසරය හෙවත් මැවිල්ල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය "අපි ඔක්කොම නෑදෑයෝ" විශ්ව  ලේඛනයේ විස්තර කරන්නේ "සොරුන්ගේ පහර දීමට ලක් වී මහ මග බාගෙට මිය ගොස් වැටී සිටින" ආගන්තුකයකු ලෙස ය. ඊට ප්‍රතිචාර දැක්විය හැකි මාර්ග කිහිපයක් තිබේ. 

එකක් නම්, කිතුනුවන් ද එම චෞරයනට එක් වීමය. දෙවැන්න ලෙවීතයා හෝ පූජක යා සේ 'පාරේ දැක්කත් නොදැක්කා  සේ "අනෙක් පැත්තෙන් මාරු වී" යාමය. මෙසේ පාරිසරික අයුක්තිය ඉදිරියේ නිහඬව සිටින්නන්, මාරු වී යන්නන් සුදොතුම් පියතුමා හඳුන්වන්නේ "චෞර -සහායකයන්" ලෙස ය. මන්ද නිහඬව සිටීමෙන් ඔවුන් සොරුන් දිරිමත් කරණ  නිසා ය. වක්‍රාකාරව ඔවුන් ගේ සොර කමට, ඝාතනයට ඉඩ දෙන නිසා ය. 

තෙවැනි මග, යහපත් සමරිතාන  වරයා සේ "එඩිතරව" තුවාල කාරයා බේරා ගැනීමට, රැක බලා ගැනීමට, යුක්තිය ඉටු කිරීමට, ඉදිරියට පැමිණීමය. 

පරිසර ඝාතකයන් සිය මැවිල්ල විනාශ  කරන විට අලස මුනිවතින්, නිෂ්ක්‍රීයව, උකටලීව බලා සිටින කිතුනුවන් දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවිද?


Comments

  1. Hats off...need of the hour...this invites us to evaluate ourselves

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය