සමගි සන්ධානයේ සක්‍රමේන්තුවේ ගැඹුරු ආනන්දය අලුතින් අත්දකිමු: සුදොතුම් පියතුමා මාර්තු මස සසුන් පිය යැදුම් අදහස ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියි

Pope's prayer intention for March: That we may experience the Sacrament of Reconciliation with renewed depth



(2021 මාර්තු 3)

සමගි සන්ධානයේ සක්‍රමේන්තුව හෙවත් පාපොච්චාරණ දේව ප්‍රසාද නිධානය තුළ අන්තර්ගත ආත්ම නවෝදයේ සෞන්දර්යය යළි සොයා ගන්නැයි සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන සියලු කතෝලික ජනතාව ගෙන් ඉල්ලයි. 

එසේ ම, "පියාණන් ගේ දයා කරුණාවේ සාක්ෂි කරුවන් වන්නැ"යි ලොව පුරා සිටින සියලුම කතෝලික පුදැදුරු වරුන්ගෙන් එතුමා ඉල්ලා සිටියි. පාපොච්චාරණ හෙවත් සමගි සන්ධාන ආසනය "හිංසන මැදිරියක්" කර නොගන්නා ලෙස ද එතුමා පුදැදුරු වරුනට යළිත් උපදෙස් දෙයි.

සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කරන්නේ මාර්තු මාසය සඳහා සිය යැදුම් අදහස් ඇතුළත් 'සසුන් පිය වීඩියෝව' නිකුත් කරමිනි. එතුමන් ගේ මාසික යැදුම් අදහස අන්තර්ගත සසුන් පිය වීඩියෝව සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසින් ඉකුත් දා නිකුත් කෙරිණි. 

2021 මාර්තු මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම්  අදහස "සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය නැවුම් ගැඹුරකින් අත්දකින ලෙසත්, දෙවියන් වහන්සේ ගේ අනන්ත වූ දයාව සහ සමාව රස බලන  ලෙසත් යාච්ඥා කරමු" යන්නයි. එසේම "දයා කරුණාබර පුදැදුරු වරුන් ලබා දෙන ලෙස දෙවියන් වහන්සේට යාච්ඥා කරමු" යි ද එතුමා කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

"ජේසු අප එන තෙක් බලා සිටියි. අපට සවන් දෙයි. අපට සමාව දෙයි"

වීඩියෝව ආරම්භ වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාපොච්චාරණය කිරීමට යන දර්ශනයකිනි. "මා පාපොච්චාරණයට යන්නේ සුවපත් වීම සඳහායි; මගේ ආත්මය සුව කරගැනීමටයි" යි එතුමා කියයි. 

"දෙවියන් වහන්සේ ගේ හදවත තුළ අපගේ වැරැදි වලට වඩා ඉදිරියෙන් සිටින්නේ අපයි"

"දෙවියන් වහන්සේ ගේ හදවත තුළ අපගේ වැරැදි වලට වඩා ඉදිරියෙන් සිටින්නේ අපයි" යි එතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මෙයින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය  අපගේ ක්‍රියා සහ ජීවත් වීමට වඩා කෙතරම් බලවත් ද යන්නයි. මෙම දේවප්‍රසාද නිධාන ආසනයට ලඟා විය යුත්තේ විනිශ්චයකාරයකු ඉදිරියට යන තැනැත්තකු ලෙස නොවේ. සෑම අවස්ථාවක ම අප පිළිගෙන සමාව ලබා දීමට බලා සිටින කරුණාබර පියෙකු මුණ ගැසීමට යන ආකල්පයෙනි. 

"අපගේ පාපොච්චාරණයේ කේන්ද්‍රය අප ප්‍රකාශ කරන පාප නොව අප ලබා ගන්නා දේව ප්‍රේමය ය"

"අපගේ පාපොච්චාරණයේ කේන්ද්‍රය අප ප්‍රකාශ කරන පාප නොව අප ලබා ගන්නා දේව ප්‍රේමය ය" යි මේ සුන්දර සත්‍යතාව තව දුරටත් පහදමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

කරුණාබර පුදැදුරු වරු 

"පාපොච්චාරණ ආසනය වදහිංසාවේ කුටීරයක් කරගන්න එපා!" යන්න දයාවේ වසරේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා පුදදුරු වරුනට නිතර සිහිපත් කල උපදේශයකි. ඇතැම් පුදදුරු වරුන්  පාපොච්චාරණය ලබා ගැනීමට එම  අසුන වෙත පැමිණෙන සැදැහැවත් ජනතාව දේව දයාවෙන් ස්පර්ශ කරන මෘදු  සෙනෙහසේ ස්ථානයක් කරනු වෙනුවට ඔවුනට හිංසා කරන ස්ථානයක් බවට පත් කර ගන්නා බව එතුමා පෙන්වා දුන්නේ ය. එතුමා කියා සිටියේ  එය නොකළ යුත්තක් ලෙස ය. 

"හිංසා කරන්නන් නොව දයා කරුණාබර පුදැදුරු වරුන් සභාවට ලබා දෙන ලෙස දෙවියන් වහන්සේට යාච්ඥා කරමු"

මේ නිසා "සභාවට හිංසා කරන්නන් නොව දයා කරුණාබර පුදැදුරු වරුන් ලබා දෙන ලෙස දෙවියන් වහන්සේට යාච්ඥා කරමු" යි එතුමා මේ යැදුම් වීඩියෝව අවසානයේ ඉල්ලා සිටියි. 

"සුදොතුම් පියතුමා මේ වරප්‍රසාදය වෙනුවෙන් යාච්ඥා කරන පළමු අවස්ථාව මෙය නොවේ" යි සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලයේ අධ්‍යක්ෂ ජේසු නිකායික ෆ්‍රෙඩ්රික් ෆොර්නෝස් පියතුමා කියයි.  එතුමා එඬේරෙකු ලෙස ජනතාව විඳින වේදනා, ඔවුන් ගේ පව්බර, ඒ වගේ ම පුදැදුරු වරයකු හමුවීමට ඔවුන් තුළ පැන  නගින  අවශ්‍යතාව  හඳුනනවා. මේ නිසා මේ නිසා දයානුකම්පාවෙන් සහ ඉවසීමෙන් පූර්ණව ජේසු සමිඳුන් බඳු වන්නැයි දයාවේ ජුබිලි වසර නිමාවට පත් කරමින් නිකුත් කළ Misericordia et misera නම් අපෝස්තලික සංදේශයෙන් එතුමා පුදැදුරු වරුනට ආරාධනා  කළා. 'පිතෘක දයාවේ සාක්ෂිකරුවන් වීම සෑම පුදැදුරු වරයෙකු ගේ ම සිත් මාරුවේ මාර්ගයයි. ප්‍රවිචයේ දූරදර්ශී භාවය සහ දෙවියන් වහන්සේ ගේ සමාව ප්‍රදානය කිරීමේ ත්‍යාගශීලී භාවය ඔවුන් සතුව් තිබිය යුතු' බව ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නා" යි ද ෆොර්නෝස් පියතුමා පෙන්වා දුන්නේ ය. 

මාර්තු මාසය සඳහා සසුන් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන් මෙසේ ය: 

සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය 

මා පාපොච්චාරණය කිරීමට යන්නේ සුවය ලැබීමට ය. මගේ ආත්මය සුවපත් කර ගැනීමට ය. 

වඩා මහත් වූ ආධ්‍යාත්මික සුවයක් සමග පිට වීම සඳහා ය. කාලකන්ණි කමින් දයා කරුණාව වෙත එතෙර වීම සඳහා ය. 

පාපොච්චාරණයේ කේන්ද්‍රය අප ප්‍රකාශ කරන පව් නොවේ. අප ලබා ගන්නා දේව ප්‍රේමය ය. එය අපට සෑම විටකම අවශ්‍ය ය. 

පපොච්චාරණයේ කේන්ද්‍රය අප එනතෙක් බලා සිටින, අපට සවන් දෙන, අපට සමාවදෙන ජේසු සමිඳාණෝ ය. 

මෙය මතකයේ තබා ගන්න: දෙවියන් වහන්සේ ගේ හදවත තුළ අපේ පාප වලට වඩා ඉදිරියෙන් සිටින්නේ අප ය.   

දෙවියන් වහන්සේ ගේ සමාව සහ අනන්ත වූ දයාව රස බැලීම පිණිස, වඩාත් නැවුම් ගැඹුරකින් සමගි සන්ධානයේ සක්‍රමේන්තුව අත්දැකීමට අපට වරම් ලැබේවා යි අපි යාච්ඥා කරමු. එසේ ම දෙවියන් වහන්සේ  හිංසා කරන්නන් නොව දයා කරුනාබර පුදැදුවරුන් සිය සභාවට ලබා දෙත්වා යි ද අපි යාච්ඥා කරමු."




  

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය