කාදිනල් රොබට් සේරා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි

Pope accepts resignation of Cardinal Robert Sarah

කාදිනල් රොබර්ට් සේරා හිමි 


(2021 පෙබරවාරි 22)

දේව වන්දනාව සහ සක්‍රමේන්තු ශික්‍ෂණය පිලිබඳ වතිකාන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා පිළිගත්තේය. මේ බව  බව වතිකානය ඊයේ නිවේදනය කළේය.

මේ අනුව  ගෝලීය සභාවක් පිලිබඳ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දැක්මට බාධා කරන වතිකාන  මෙන් ම ලෝක බලවේගයේ නායකයකු  ලෙස ලෝකයේ අවධානයට ලක්ව සිටි මෙම කාදිනල් තුමා ගේ ධුර කාලය නිමාවට පත් වෙයි. 

කාදිනල් සේරා හිමි ගේ ධුර කාලය අවසන් වුයේ මන්දැයි වතිකානය විසින් නිකුත් කරන ලද නිවේදනය පැහැදිලි නොකරයි. එහෙත් සේරා හිමි ට්වීට් පණිවිඩයකින් කියා සිටියේ තමා පසුගිය වසරේ 75 වැනි වියට පා තැබූ බව ය. එය සාම්ප්‍රදායික ලෙස රදගුරු හිමි වරුන් සිය සේවාවෙන් විශ්‍රාම ගත යුතු වයසයි. 

ගීනියා ජාතිකයකු වන රොබර්ට් සේරා හිමි ශු. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් විසින් 1979 දී එරට කොනාක්‍රි හි අගරදගුරු තුමන් ලෙස පත් කරනු ලැබීය. වසර 2001 දී එතුමා වතිකානයේ ජනතා ධර්මදානය පිලිබඳ පර්ෂදයේ මහ ලේකම්  ලෙස ද 2010 දී 'කෝර් ඌනුම්" සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති ලෙස ද  පත් කරන ලද්දේ ය. එම වසරේ දීම එතුමා කාදිනල් නිල ගන්වනු ලැබිණි.  

එතුමා දේව වන්දනාව සහ සක්‍රමේන්තු ශික්‍ෂණය පිලිබඳ පර්ෂදයේ  ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. 

එහෙත් ආරම්භයේ  සිටම කාදිනල් සේරා හිමි ක්‍රියා කළේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ගෝලීය දැක්මට සහ දෙවන වතිකාන කතිකා දැක්ම ආපසු හැරවීමට ක්‍රියා කරමින් සිටින  බලවේගයේ නායකයකු ලෙස ය. 

මහ බ්‍රහස්පතින්දා පාද දෝවන චාරිත්‍රය සඳහා කාන්තාවන්  ද ඇතුළත් කරගන්නා  ලෙස සුදොතුම් පිය නියෝගයක් තිබුණත් කාදිනල් සේරා හිමි එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළේය. මෙය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාදිනල් හිමියන් වෙත නියෝගය නිකුත් කළේ 2014 දෙසැම්බර මාසයේ ය. එහෙත්  2016 ජනවාරිය දක්වා සේරා හිමි එම නියෝගය ක්‍රියාත්මක කරන උපදේශය නිකුත් කලේ නැත. එතුමා එම උපදේශය නිකුත් කළේ ද ලොව පුරා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්  සිදුවීමෙන් පසුව ය. 

කිසියම් පුදැදුරු වරයකු හෝ රදගුරු තුමකු අභිමත වන්නේ නම් දෙවන  වතිකාන කතිකාවට පෙර පැවති ක්‍රමයට "පෙරදිගට මුහුණ ලා" (එනම් ජනතාවට පසු පස හරවා)  දිව්‍ය පූජාව ඔප්පු කල හැකි බව සේරා කාදිනල් හිමි ප්‍රසිද්ධ කතාවක දී කියා සිටියේ ය. එහෙත් මෙය දෙවන වතිකාන කතිකාවේ සම්ප්‍රදායට පමණක් නොව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම කතිකාවට දක්වන පක්ෂපාතීත්වයට ද ප්‍රතිවිරුද්ධ බව සේරා හිමි දැන සිටියේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට පත් වී කාදිනල හිමිවරුන්  සමග සිය ප්‍රථම දිව්‍ය පූජාව ඔප්පු කිරීම පෙර සිස්ටයින් පල්ලියේ පුදසුන ජනතාවට මුහුණ පාන ලෙස වෙනස් කරවා ගත්තේ දෙවන වතිකාන කතිකා නිර්දේශ අනුමත කිරීම පැහැදිලිව ප්‍රදර්ශනය කරනු පිණිස ය. මේ තත්වය නිසා කාදිනල් සේරා හිමියනට පෞද්ගලිකව ම කතා කර ඒ සම්බන්ධයෙන් කතා නොකනරන ලෙස දැනුම් දීමට වතිකානයට සිදු විය. 

ලතින් බසින් ස්වදේශීය භාෂා වලට දිව්‍ය පූජාව පරිවර්තනය කරද්දී අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය පිළිබඳව කාදිනල් සේරා හිමි නිකුත් කල නිවේදනයක් නිවැරැදි කරමින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට 2017 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට සිදුවිය. 

2019 ඔක්තෝබරයේ වතිකානයේ දී පවත්වන ලද මහා ඇමසෝනියාන රදගුරු සංසදයේ දී ඉදිරිපත් වූ එක් යෝජනාවක් වූයේ එම කලාපයේ පවතින උග්‍ර පුදැදුරු හිඟයට පිළිතුරක් ලෙස "යහපත් චරිතයක් පවතින බවට සාක්ෂි සහිත විවාහක වැඩිහිටි පිරිමින්ට" පුදැදුරු වරයා දානය කරන ලෙසයි. එය ගෝලීය වශයෙන් කරන ලද ඉල්ලීමක් නොවේ. එම කළාපය සඳහා කරන පමණක් ලද ඉල්ලීමකි. එම යෝජනාව සංසදය අවසානයේ සම්මත විය. මේ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුබවාදී තීරණයක් ගනු ඇති බවට ප්‍රබල විශ්වාසයක්‌  පැවැතිනි. 

ඒ අතර 2020 ජනවාරි මාසය මුල සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප්තුමන් ගේ සහ රොබර්ට් සේරා කාදිනල් හිමියන් ගේ සම කර්තෘත්වයෙන් පොතක් ප්‍රකාශයට පත් කෙරිණි. "අපගේ හද පත්ලෙන් ම: පුදැදුරු වරය, පුදැදුරු බඹසර සහ කතෝලික සභාවේ අර්බුදය" නමැති එම පොතේ අරමුණ  තිබුණේ "විවාහක ගිහියන්ට පුදැදුරු වරය දාන නොකළ යුත්තේ මන්ද" යන්න විග්‍රහ කිරීමයි. එහෙත් එම පොතට එරෙහිව ලොව නන්  දෙසින් දැඩි විවේචන එල්ල වන්නට පටන් ගත්තේ ය. ඊට  අමතරව තමා ගේ නම එහි කර්තෘත්වය සඳහා  යොදවන්නට තමා අවසර නොදුන් බව විශ්‍රාමික පාප්තුමා කියා සිටියේ ය . මේ නිසා එතුමන් ගේ නම පසු මුද්‍රණ වලින් ඉවත් කරන්නට ද සිදුවිය.

ඒ තොරතුරු මේ සබැඳියාවෙන් කියවන්න: "විවාහක පූජක වරුන් සභා පිළිවෙතට පටහැනියි": විශ්‍රාමික පාප්තුමාගේ පොතෙන් සසුන් නායකත්වය, ගුරු බලය, සහ "විශ්‍රාමික සසුන් පිය" පදවිය ගැන ගැටළු මතුවෙයි

 ඉහත සඳහන් කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ගමනට හරස් කැපීමට රොබට් සේරා කාදිනල් හිමි විසින් කරන ලද ක්‍රියා කිහිපයකි. 

කාදිනල් සේරා හිමියන් ගෙන් හිස්වූ එම තනතුරට මෙතෙක් කිසිවෙක් පත් කර නොමැත. 

 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය