"හිංසනයට ලක්වන කාන්තාවන් ගේ වේදනා වලින් හා මොර ගැසීම් වලින් අප ඉවත බලා නොගත යුතුයි" - පෙබරවාරි මාසයේ සසුන් පිය වීඩියෝවෙන් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "හිංසනයට ගොදුරුවූ කාන්තාවන් සමාජය විසින් ආරක්ෂා කරනු ලබන පිණිස...." අපි යාච්ඥා කරමු

Pope's prayer intention for February: For women who are victims of violence



(2021 පෙබරවාරි 4) 

2021 පෙබරවාරි මාසය සඳහා සිය යැදුම් අදහස නිකුත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාන්තාවනට එරෙහි හිංසනය පිලිබඳ ප්‍රබල පණිවිඩයක් ප්‍රකාශ කරයි. කාන්තාවනට එරෙහි හිංසනය සහ ප්‍රචණ්ඩ ක්‍රියා "බියසුලු කමක් සහ මානව සංහතියේ අවක්‍රමනයක්" බවඑතුමා අවධාරණය කරයි.  එතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ "කාන්තාවන් කී දෙනෙකු පහර දීමට, අවමානයට සහ ලිංගික දූෂ්‍ය කිරීමට ලක්වන්නේ ද යන්න සිත් කම්පනයට පත් කරන සුළු ය"යි පවසමිනි. 

මෙම සමස්ත පණිවිඩය දිනපතා ලොව පුරා හිංසනයට ලක්වන කාන්තාවන් පිලිබඳ ප්‍රබල පණිවිඩයකි. 

සුදොතුම් පියතුමාගේ පෙබරවාරි මාසයේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව ඉකුත් දා  නිකුත් කෙරිණී. එය නි කුත් කරන ලද්දේ සුදොතුම් පිය යැදුම් ප්‍රචලිත කිරීමේ දූත සේවාව භාරව සිටින සසුන් පිය  ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසිනි. සුදොතුම් පිය තුමා මෙම වීඩියෝ පණිවිඩය නිකුත් කරමින් එක් එක්  මාසයේ තමා  සමග යාච්ඥා කිරීමට එක්  වන්නැයි ලොව  පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පෙබරවාරි මාසයේ  සිය පණිවිඩයෙන් එතුමා කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ "හිංසනයට ගොදුරු වන කාන්තාවන් සමාජය විසින් ආරක්ෂා කරනු ලබන ලෙසත් සියල්ලන් විසින් ඔවුන් විඳින වේදනා කෙරෙහි අවධානය යොමු කර ඒවා සැලකිල්ලට ගනු ලබන ලෙසත් යාච්ඥා කරන" ලෙසයි . 

සිව් ආකාර කාන්තා හිංසන 

කාන්තාවන් සිවු ආකාර කුරිරු හිංසනයන්ට ලක්වන බව ප්‍රැන්සිස් පියතුමා සිය යැදුම් පණිවිඩයේ පෙන්වා දෙයි . මානසික හිංසනය, වාචික හිංසනය, ශාරීරික හිංසනය සහ ලිංගික හිංසනය ඒවා යි. කාන්තාවන් විශාල සංඛාවක් දුක් විඳින පීඩාවන්" බියගුළු ක්‍රියා බවත් ඒවා සමස්ත මානව සංහතියේම අවක්‍රමනයක්" බවත්  එතුමා අවධාරණය කරයි. 

කාන්තා  හිංසන වලින් අපගේ අවධානය ඉවතට නොගත යුතු බවද එතුමා පෙන්වාදෙයි. 

වීඩියෝවේ කතාව 

මෙවර වීඩියෝවේ දර්ශන  කාන්තා හිංසනයේ රුදුරු බව ප්‍රකට කරන අයුරින් නිර්මාණය කර තිබේ. එහි කතාව  මුළුමනින් ම  කළු සුදු කාටුන් වලින් නිර්මාණය කර ඇත. එය නිර්මාණය කරන ලද්දේ සජීවිකරණය පිළිබද මහාචාර්ය වරයකු මෙන්ම ජාත්‍යන්තර සම්මාන ලාභියකුද වන ඉතාලි ජාතික හර්මීස් මැන්ගියලාර්ඩෝ විසිනි. 

එම දර්ශන වලින් කියවෙන්නේ හිංසනයට ගොදුරු වූ කාන්තාවකගේ කතාවයි. ඇය  තමාගේම ශක්තිය සහ සමාජයේ සහයෝගයෙන් තමන්  සිරවී සිටි අපයෝජනයේ බිංගෙයින් ගැලවී පලායන්නට සමත් වෙයි. 

සිත් කම්පා කරන සංඛ්‍යා ලේඛන 

කාන්තාවන් විවිධාකාරයෙන් හිංසනයට ලක් වීම ඉතා සංවේගජනක යැයි සුදතුම් පියතුමා කරන ප්‍රකාශය සංඛාලේඛන වලින්ද තහවුරු වෙයි. 

එක්සත් ජාතීන්ගේ කාන්තා  සංවිධානයේ 2020 නොවැම්බර් වාර්තාවලට අනුව සෑම දිනකම කාන්තාවෝ 137 දෙනෙක් තමාගේම පවුලේ සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වෙති. කාන්තාවන් විකිණීමේ ජාවාරම් වලට වැඩියෙන්ම ලක්වන්නේ වැඩිහිටි කාන්තාවෝය. සෑම කාන්තාවන් තුන්දෙනකුගෙන්ම එක්කෙනෙක් ජීවිතයේ කිසියම්ම හෝ අවස්ථාවක ලිංගික හෝ ශාරීරික හිංසනයට ලක්වේ. වයස අවුරුදු 15ත් 19ත් අතර නව යොවුන් ගැහැණු ළමයි 15 ලක්ෂයක් බලහත්කාර ලිංගික සම්බන්ධතාවලට ගොදුරු වුහ. ඉකුත් වසරේ කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සිදු කරන ලද නගර වසා  දැමීමේ  හා හුදකලාකිරීම්  කාන්තා හිංසනයන් වඩාත් දරුණු කිරීමට හේතු වී ඇති බව ද එම වාර්තා වලින් හෙළි වී තිබේ. .

කාන්තා  හිංසනයන් සමාජයෙන් තුරන් කිරීමට සෑම රටක්ම ක්‍රියා කල යුත්තේ එබැවිනි. සුදොතුම් පියතුමා ගේ සසුන් පිය වීඩියෝ පණිවිඩය ඒ දෙස ලෝකයේ අවධානය යොමු කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ පෙබරවාරි යැදුම් අදහස් පණිවිඩය සම්පුර්ණයෙන් මෙසේය. 

"අද, කාන්තාවෝ නොකඩවා හිංසනයට ගොදුරු වෙති. ඔවුහු මානසික හිංසනයට, වාචික හිංසනයට , ශාරීරික හිංසනයට, ලිංගික හිංසනයට ලක්වෙති. 

කාන්තාවන් කෙතරම් සංඛ්‍යාවක්  පහරදීමට, අවමානයට සහ දූෂණයට ලක්වන්නේද යන්න සිත් කම්පාකරන  සුළුය. කාන්තාවන් වේදනා විඳින විවිධාකාරයේ හිංසනයන් බියසුලු ක්‍රියාය.ඒවා සමස්ත මානව සංහතියට අවමානයකි. සියලුම මිනිසුන්ගේ, සමස්ත මානව සංහතියේ  අවක්‍රමනයකි.

තම නිශ්ශබ්දතාව බිඳ දමන්නට තරම් එඩිතර වන හිංසනයට ගොදුරු වුවන්ගේ සාක්ෂි අපට නොසලකා හැරිය නොහැකි මොරගැසීමකි. 

එවන් අවස්ථාවලදී අප ඉවත බලා  නොගත යුතුය. 

හිංසනයට ගොදුරුවූ කාන්තාවන් සමාජය විසින් ආරක්ෂා කරනු ලබන පිණිසත් ඔවුන්ගේ වේදනා සැලකිල්ලට  ගෙන ඒවාට අවධානය යොමු කරන පිණිසත් අපි යාච්ඤා කරමු."  .


Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය