වතිකාන රේඩියෝව 90 වැනි වසර සමරයි - "සත්‍යය දැකීමට උදව් වන සන්නිවේදන රටාවක් ගොඩ නගන්න" සුදොතුම් පියතුමා සුබ පතමින් කියයි.

Vatican Radio celebrates 90 years on air;  "Strive to build up a medium capable of helping us see the truth of things” Pope says in his greetings 



(2021 පෙබරවාරි 12) 

වතිකාන පුර රාජ්‍යයේ පිහිටා ඇති වතිකාන රේඩියෝව පෙබරවාරි 12 වනදා 90 වැනි ජන්මෝත්සවය සමරයි. මෙම රේඩියෝව හඳුන්වනු ලබන්නේ පාප්වහන්සේ ගේ හඬ ලෙස ය. 

වතිකාන රේඩියෝව සැලැසුම් කොට ගොඩ නගන ලද්දේ රේඩියෝ විකාශනය සොයාගෙන සාර්ථක වෙළෙඳ ගුවන් විදුලි විකාශනය ලොවට  හඳුන්වා දුන් ගුග්ලිඑල්මෝ මාර්කෝනි විසින් ම වීම ඓතිහාසික කරුණකි. ඔහු විසින් මුලින්ම කතා කරන ලද මෛක්‍රොපෝනය  එම ගොඩනැගිල්ලේ  තවමත් සුරක්ෂිතව ප්‍රදර්ශනය කර තිබේ. 

1931 පෙබරවාරි 12 වනදා එවකට සසුනිසුරාණන් වූ එකොලොස් වන පියුස් පාප් වහන්සේ විසින් වතිකාන රේඩියෝව ගුවනට එක් කෙරුණු අතර එය පවත්වාගෙන යාමේ වගකීම ජේසු නිකායට භාර දෙනු ලැබීය. 2017 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ගුවන් විදුලිය සිය ප්‍රතිසංස්කරණ යට‍තේ අභිනවයෙන් පිහිටුවන ලද වතිකානයේ සන්නිවේදනය පිලිබඳ  දෙපාර්තමේන්තුව යටතට පත් කලේ ය. 

මේ වන විට එම රේඩියෝව ලොව පුරා භාෂා 41කින් වැඩසටහන් විසුරුවා හරියි. 90 වැනි ජන්ම දිනය සනිටුහන් වීම නිමිත්තෙන් එම රේඩියෝව නව වෙබ් අඩවියක් සයිබර් අවකාශයට එක් කරන අතර පැය 24 පුරා වැඩසටහන් විසුරුවා හරින වෙබ් රේඩියෝවක් ද ආරම්භ කරයි. 

11 වන පියුස් පාප් වහන්සේ සිය සසුනිසුරු හඬ ලොව පුරා විසුරුවා හැරීමෙන් ආරම්භ වූ සමය  වතිකාන රේඩියෝවේ ප්‍රථම  යුගය ලෙස සැලැකේ. 


රේඩියෝ ප්‍රවෘත්ති යුගය 

 එහි දෙවැනි යුගය "රේඩියෝ ප්‍රවෘත්ති යුගයයි". 

දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ වතිකාන රේඩියෝව තමන් සතු ශක්‍යතාව අත්දැකීමෙන් ම ඉගෙන  ගත්තේ ය. එතෙක් සසුනිසුරු හඬ වූ එය එම සමයට අත්‍යවශ්‍ය වූ ප්‍රවෘත්ති විකාශනය මගින් ප්‍රබල ජන සන්නිවේදන මාධ්‍යයක් බවට පත් විය. 

1957 ජනවාරි 1 වන දා එය තවත් නව පියවරක් තැබී ය. එනම් “Radiogiornale” නමින් මුද්‍රිත රේඩියෝ සඟරාවක් ප්‍රකාශයට පත් කිරීමයි. 

"ප්‍රවෘත්ති කලාවේදී පාප් තුමා"

ඉන් දශකයකට පසුව තෙවැනි යුගය උදා විය. එම යුගයට දොරටු විවර කළේ "ප්‍රවෘත්ති කලාවේදී පාප් තුමා" යන විරුදය ලද සවැනි පාවුළු සුදොතුම් පියතුමන් විසිනි. 

ඒ වසර වන විට නයිට්ස් ඔෆ් කලම්බස් නමැති ගිහි සංවිධානයේ අමෙරිකානු ශාඛාව විසින් වතිකාන රේඩියෝවට කෙටි තරංග මීටර ට්‍රාන්ස්මීටරයක් පිරිනමා තිබිණි. 

සවැනි පාවුළු පාප් තුමා මාධ්‍යයේ බලපෑම ගැන දැන සිටියේ ය. එතුමා ගේ පියා  ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ “Il Cittadino” නම්  කතෝලික පුවත් පතේ අධ්‍යක්ෂ වරයා විය. මේ නිසාම එතුමා ගේ නායකත්වය යට‍තේ මුළු දුන් දෙවන වතිකාන කතිකාවේ දී සන්නිවේදනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එහි අවසන් ප්‍රතිඵල වුයේ කතිකාව විසින් නිකුත් කරන ලද ප්‍රධාන ලේඛන අතරට සන්නිවේදන පිලිබඳ ලේඛනයක් ද ඇතුළත් වීමයි. එය Inter mirifica නම් ලේඛනයයි. 

මේ සියල්ල පදනම් කරගනිමින් වතිකාන රේඩියෝවට පැමිණි සවැනි පාවුළු පාප් තුමා  මෙසේ කීවේ ය. 

"මේ රේඩියෝව පාප්තුමන් ගේ දැවැන්ත හඬ පමණක් නොවේ. එය මත දැක්වීමේ තියුණු උපකරණයක් ද විය යුතු ය."

වතිකාන රේඩියෝවේ පාලන රටාවේ වෙනසක් සමග වැඩසටහන් වල  නිර්මානාත්මක වෙනසක් ද ඇති වූයේ එම යුගයේ දී ය. 

"සත්‍යය දැකීමට  උදව් වන්න"

අනූ වැනි වසරට පා  තබන මෙම ඓතිහාසික සන්නිවේදන මධ්‍යස්ථානයේ සමස්ත කාර්ය මණ්ඩලයට සුබ පතමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පණිවිඩයක් යවා තිබේ. 

"අප  අතීතය පිළිබඳව පාරට්ටු කරගනිමින් සිටිනවාට වඩා අප විසින් ගොඩ නැගීමට අපට භාර වී ඇති අනාගතය ආඩම්බර විය හැකි එකක් කිරීමට ක්‍රියා කල යුතු ය."

ඔවුන් ගේ නිර්මාණ ශීලී සේවාව තමන් අගය කරන බව එතුමා එම නිවේදනයේ ප්‍රකාශ කරයි. එහෙත් එතුමා අවධාරණය කරන්නේ මේ වැදගත් අවස්ථාවේ "අප  අතීතය පිළිබඳව පාරට්ටු කරගනිමින් සිටිනවාට වඩා අප විසින් ගොඩ නැගීමට අපට භාර වී ඇති අනාගතය ආඩම්බර විය හැකි එකක් කිරීමට ක්‍රියා කල යුතු බව" ය.

එසේ ම මේ යුගයේ  මාධ්‍ය විසින් නොසලකා හරින නොහොත් පාගා දමන කාරනාවක් පිළිබඳව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි. එනම් "සත්‍යය පතුරුවා හැරීම සහ සත්‍යය දකින්නට උදව් කිරීම" මාධයේ කාර්ය භාරය බවයි:

"දිරිමත්ව සහ නිර්මාණශීලීව ලෝකයට කතා කරමින් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්න. එසේ කරමින් ලෝකයේ සිදුවන දේවල සත්‍යය දකින්නට අපට උදව් කරන සහ සත්‍යය පතුරන ආකාරයේ සන්නිවේදනයක් ගොඩ නගන්න."

"ලෝකයේ සිදුවන දේවල සත්‍යය දකින්නට අපට උදව් කරන සහ සත්‍යය පතුරන ආකාරයේ සන්නිවේදන රටාවක් ගොඩ නගන්න."



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය