2021 පෙබරවාරි 4: ලොව ප්‍රථම ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දින සැමරුමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාත් එක්වෙයි - වීඩියෝ

Pope Francis to participate in the first ever  International Day of Human Fraternity



(2021පෙබරවාරි 2)

එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ජගත් මානව සහෝදරත්වයේ දිනය පෙබරවාරි 4 දිනට යෙදී තිබේ. මෙය ජාත්‍යන්තර ඉතිහාසයේ ප්‍රථම මානව සහෝදරත්වයේ දිනයයි. 

මේ වෙනුවෙන් පවත්වනු ලබන නිල අථත්‍ය (virtual) උත්සවය, එම  දිනය එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලයට යෝජනා කල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ. 

එක්සත් ජාතීන් මහ ලේකම් අන්තෝනියෝ ගිතෙරෙස් සහ එජිප්තුවේ කයිරෝ හි අල් අසාර් මහ පල්ලියේ අහ්මඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සහභාගී වන මෙම උත්සවයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද වතිකානයේ සිට සහභාගී වීමට නියමිත ය. රෝමයේ වේලාවෙන් පස් වරු 2.30 ට හෙවත් ලංකාවේ වේලාවෙන් පස්වරු 7 ට මෙම උත්සවය සජීවීව විකාශ කිරීමට කටයුතු යොදා ඇති බව වතිකානය නිවේදනය කරයි. 

"මෙම උත්සවය සහ දිනය වූ කලී ලෝකය තුළ සාමය ඇති කිරීමටත් මිනිසුන් එකිනෙකා මුණ ගැසීමටත් ප්‍රැන්සිස් පාප් වහන්සේ සමස්ත මනුෂ්‍යත්වයට කරන ආරාධනයේ ප්‍රතිඵලයක් සහ ඊට ප්‍රතිචාරයක් වන්නේ ය"යි අන්තර් සාමයික සංවාදය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති මිගෙල් අයුසෝ ගුවික්සො කාදිනල් හිමි ප්‍රකාශ කෙළ්ය. 

ජගත් මානව සහෝදරත්වයේ දිනය පිලිබඳ යෝජනාව එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලයට යෝජනා කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසිනි. එය කාරණා දෙකක ප්‍රතිඵලයකි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම රාජ්‍යයට කරන ලද අපෝස්තලික සංචාරයේ දී අහ්මඩ් අල් ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සමග අත්සන් කරන ලද මානව සහෝදරත්වයේ ලේඛනය ඉන් පළමුවැන්නයි. දෙවැන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ "ෆ්රැතෙල්ලි තුත්ති " හෙවත් "සියල්ලෝ සොහොයුරෝ" නමැති සමාජ විශ්ව ලේඛනයෙන් ලද අනුප්‍රානයයි. 

" මේ දිනය සහ උත්සවය ප්‍රැන්සිස් සුදුතුම් පියතුමා ඉල්ලා සිටින සමාජ මිත්‍රත්වය ගොඩ නැගීමට  මාවතක් වනු ඇතැයි අපේක්ෂා කරන බව" ද ගුයික්සෝ කාදිනල් හිමි කියා සිටියේ ය. 

මෙහි දැක්වෙන්නේ ජගත් මානව සහෝදරත්වයේ දිනය වෙනුවෙන් අන්තර් සාමයික සංවාදය  පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාව නිකුත් කල වීඩියෝව යි. 

සබැඳි පුවත:

පෙබරවාරි 4: "ජගත් මානව සහෝදරත්වයේ දිනය" ලෙස එජා සංවිධානය ප්‍රකාශයට පත් කරයි; සුදොතුම් පියතුමා ගේ "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයේ ප්‍රතිඵලයක්


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය