"වෙනස් ආගම්, සම්ප්‍රදායයන් හෝ සංස්කෘතීන් තුළ ජීවත් වන ජනතාව අතර ඇති වෙනස් කම් මුණගැසීමේ සංස්කෘතියක් ඇති කර ගැනීමට බාධාවක් නොවේ : "මානව සහෝදරත්වයේ සේවාව වෙනුවෙන්." - 2021 ජනවාරි සසුන් පිය යැදුම් අදහස

The differences among people of different religions, different traditions or faiths should not impede achieving a culture of encounter" : "At the service of fraternity"- Pope's January 2021 Prayer Intention 




(2021 ජනවාරි 7) 

"මානව සහෝදරත්වයේ සේවාව වෙනුවෙන්."

2021 නව වසරට මුල පුරමින්, වසරේ මුල් මාසය සඳහා  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහසේ තේමාව එයයි. ලොව පුරා විවිධ ආගම්, සංස්කෘතීන්, සම්ප්‍රදායයන් සහ විශ්වාසයන් අතර පාලම් ඉදි කරමින් මානව සහෝදරත්වය ගොඩ නැගීම වෙනුවෙන් යාච්ඥා කරන අතර ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නැයි  එතුමා ලොව පුරා වෙසෙන සියලු කතෝලික ජනයාට අරාධනා කරයි. "ඉතා වැදගත් මූලික දේ වෙත හැරෙන්න. එනම් අසල්වැසියාට ප්‍රේම කිරීමයි" යි එතුමා අභියෝග කරයි. 

2021 ජනවාරි මාසය සඳහා සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස අන්තර්ගත සසුන් පිය වීඩියෝව ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය සහ ඊට අනුබද්ධ සත්ප්‍රසාදීය යොවුන් ව්‍යාපාරය විසින් ඉකුත් දා නිකුත් කරනු ලැබිණි. මෙම යැදුම් අදහසට එතුමාට අනුප්‍රාණය ලැබී ඇත්තේ මානව සහෝදරත්වයේ අත්‍යවශ්‍යතාව අවධාරණය කරමින් ලොව පුරා පැතිර යන වසංගතය යි. ඔක්තෝබර මාසයේ නිකුත් කරන ලද "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයේ පණිවිඩය යළිත් පණ ගැන්වීම මෙවර යැදුම් අදහසේ එක් අරමුණක් වී තිබේ. එසේ ම ලබන පෙබරවාරි 4 වැනිදා සැමැරෙන ලොව ප්‍රථම "ජගත් මානව සහෝදරත්වයේ දිනයට" ජනතාව සූදානම් කිරීමත් මෙහි අරමුණක් බව පෙනෙන්නට තිබේ. 

එක පියෙකුගෙ දරුවෝ 

වීඩියෝ පණිවිඩය ආරම්භ වන්නේ යාච්ඥා කරන  විට  මනුෂ්‍යන් ලෙස ආධ්‍යාත්මිකව  අප අතර ඇති වන එක්සත් කම හුවා දක්වමිනි. යාච්ඥා කරන විට විවිධ විශ්වාසයන්, ආගම්, සම්ප්‍රදායන්  සියල්ලන් ගේ ම  යාච්ඥා වලට අපි එකමුතු වෙමු. "එවිට  ලොව සියල්ලන් ගේ පියාණන් වන දෙවියන් වහන්සේට අප විවෘත වන අතර අපගේ අනෙක් සහෝදරයා සහ සහෝදරිය තුළ සහෝදරයකු, සහෝදරියක දකින්නට අපි පෙළඹෙමු'" යි එතුමා පෙන්වා දෙයි. 

"යාච්ඥා කරන විට ලොව සියල්ලන් ගේ පියාණන් වන දෙවියන් වහන්සේට අප විවෘත වන අතර අපගේ අනෙක් සහෝදරයා සහ සහෝදරිය තුළ සහෝදරයකු, සහෝදරියක දකින්නට අපි පෙළඹෙමු"

"අපට එකිනෙකා සමග සාමයෙන් ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ අප අනාථයන් නොව දරුවන් ය යන මේ දැනුම්වත් වීම තුළපමණකි, වෙනස් ආගම් අනුයන  ජනතාව හෝ වෙනස් සම්ප්‍රදායයන් හෝ සංස්කෘතීන් තුළ ජීවත්  වන ජනතාව අතර ඇති වෙනස් කම් මුණගැසීමේ සංස්කෘතියක් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයට බාධාවක් නොවිය  යුතු ය.මන්ද, අප සියල්ලෝ යාච්ඥා කරන සොහොයුරු සොහොයුරියන් නිසා ය,"යි එතුමා කියයි. 

මානව ගරුත්වයේ උල්පත 

මානව සහෝදරත්වයක් වෙනුවෙන් දරන ප්‍රයත්නයේ  දී කිතුනුවන් විසින් අමතක නොකළ යුතු "වැදගත් මූලික දෙයක්" ඇති බව ද සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

"මානව ගරුත්වයේ සහ සහෝදරත්වයේ දිය උල්පත ඇත්තේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ සුබාරංචිය තුළ ය."

"එනම් මානව ගරුත්වයේ සහ සහෝදරත්වයේ දිය උල්පත ඇත්තේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ සුබාරංචිය තුළ ය. මේ නිසා අප අප ගේ විශ්වාසයේ වැදගත් දේ වෙත ආපසු හැරී යා යුතු ය. එනම් දෙවියන් වහන්සේට වන්දනා කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම යි."

එතුමා ගේ මේ අදහසට හේතුව  "සියල්ලෝ සොහොයුරෝ " විශ්ව ලේඛනයේ මෙසේ විස්තර කර තිබේ:"මේ නිසා වෙනත් ආගම් සමග සංවාදයේ දී මෙය මූලික  කාරණයක් වෙයි.  මන්ද සෙසු  ජනතාව වෙනත් දිය උල්පත් වලින් පානය කරනු ඇති නමුදු අපගේ දිය උල්පටත  වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ සුබාරංචිය ය යන්නයි." 

වීඩියෝ කතාව 

විවිධ ආගම් අනුයන තරුණ තරුණියන් පිරිසක් සිය යාච්ඥා වල නිරත වන ආකාරය දැක්වෙන දර්ශන කිහිපයකින් වීඩියෝව ආරම්භ වේ.  ඔවුහු යාච්ඥා කරන අතර ඩිජිටල් සන්නිවේදන තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වෙති. පසුව ඔව්හු දයාවේ ක්‍රියාකාරකම් වෙනුවෙන් එක්ව වැඩ කරන රූප රාමු කිහිපයකින් එය අවසන් වේ. 

2021 ජනවාරි "සසුන් පිය වීඩියෝවේ  පණිවිඩය මෙසේ ය:

"ජේසු සමිඳුන් අනුගමනය කරමින් අප දෙවියන් වහන්සේට යාච්ඥා කරන විට, වෙනස් සංස්කෘතීන්, වෙනස් සම්ප්‍රදායයන් සහ වෙනස් විශ්වාසයන් අනුව යාච්ඥා කරන සහෝදර සහෝදරියන් සමග අපි එකට එක් වෙමු. 

අපි යාච්ඥා කරන  සහෝදර සහෝදරියෝ ය. 

සියල්ලන් ගේ පියාණන්ට  අප විවෘත කිරීමටත්, අන්‍යයන් තුළ අපගේ සහෝදරයෙකු සහෝදරියක දකීමට සහ එකිනෙකාට උදව් කිරීමට,ප්‍රේම කිරීමට සහ එකිනෙකා ගැන දැන ගැනීමටත්   සහෝදරත්වය අප යොමු කරයි. 

කතෝලික සභාව වෙනත් ආගම් තුළ දෙවියන් වහන්සේ ගේ ක්‍රියාකාරීත්වය අගය කරන අතර කිතුනුවන් වන අපට මානව ගරුත්වයේත් මානව සහෝදරත්වයේත් උල්පත ජේසුස්   ක්‍රිස්තුන් වහන්සේ ය  යන්න අමතක නොකරයි.  

විශ්වාසිකයන් වන අප අප ගේ උල්පත් වලට ආපසු හැරී ගොස් අවශ්‍ය මූලික දේ කෙරෙහි අවධානය යොමු කල යුතු ය. අප ගේ විශ්වාසයේ ආවශ්‍යක දේ වන්නේ දෙවියන් වහන්සේට වන්දනා කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම යි. 

වෙනත් ආගම් අනුයන අප ගේ සහෝදර සහෝදරියන් සමග පූර්ණ සහභාගිත්වයෙන් ජීවත් වීමටත්, එකිනෙකා සමග ගැටුම් ඇතිකර නොගැනීමටත්, අප එකිනෙකා වෙනුවෙන් යාච්ඥා කිරීමට සහ අපව සියල්ලනට විවෘත කිරීමටත් ස්වාමීන් වහන්සේ අපට  වරම් දෙන සේක්වා යි අපි යාච්ඥා කරමු." 
 

Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය