පවුල් වසරට අතිරේකව: 2021 - ශු. ජුසේ මුනිඳුන් ගේ වසරයි - "ජුසේ මුනිදුන් ජේසු සමිඳුන්ට දැක්වූ පිතෘක බව වූ කලී ස්වර්ගීය පියාණන් ගේ මිහිමත සෙවනැල්ලයි"

2021 is also the Year of St Joseph:  "Joseph’s fatherhood of Jesus is “the earthly shadow of the heavenly Father," says the Holy Father



(2021 ජනවාරි 1)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් දා “Patris corde”  හෙවත් "පියකු ගේ හදවතින්" (“With a Father’s Heart”) නම් අපෝස්තලික ලිපිය ප්‍රකාශයට පත් කළේය. එතුමා මේ අපෝස්තලික හසුන නිකුත් කළේ සභා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සිහිපත් කරනු සඳහා ය. එනම් 9 වන පියුස් පාප් වහන්සේ විසින් ශු. ජුසේ තුමන් විශ්ව සභාවේ ආරක්ෂක මුනි වරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවයි. 2020 දෙසැම්බර 8 වනදා එම සිද්ධියට වසර 150ක් සපිරිනි.  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා “Patris corde”  හෙවත් "පියකු ගේ හදවතින්" ලිපිය නිකුත් කරමින් එම සිද්ධිය ගෞරවයෙන් සිහිපත් කරයි. එසේ ම එම ලිපිය නිකුත් කරන එතුමා විශේෂ ශු. ජුසේ තුමන් ගේ වසරක් ද  ප්‍රකාශයට පත් කරයි. 

ශු. ජුසේ මුනිඳුන් ගේ වසර 2020 දෙසැම්බර 8 වනදායින් ආරම්භ විය. 2021 වසර පුරා දිවෙන එම උත්සවාකාර වසර පරිසමාප්තියට පත් වන්නේ 2021 දෙසැම්බර 8 වන දා ය. 

සන් ජුසේ පිය ගුණ

"පියකු ගේ හදවතින්" අපෝස්තලික ලිපිය මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ශු. ජුසේ තුමන් ගේ පිය හදවතේ සුන්දරත්වය ස්පර්ශ කරන්නටත් එම හදවතේ උණුසුම අත්දැක එතුමන්  අනුගමනය කරන්නටත් ලෝකයට ආරාධනා කරයි. 

නාසරෙතයේ ජුසේ පියා "පෙම්බර  තාත්තා කෙනෙකි, කරුණාවන්ත සහ සෙනෙහෙබර තාත්තා කෙනෙකි, කීකරු තාත්තා කෙනෙකි, බාරගන්නා (පිළිගන්නා) තාත්තා කෙනෙකි, නිර්මානශීලීව දිරිමත් තාත්තා කෙනෙකි, වැඩ කරන තාත්තා කෙනෙකි, මුවාවූ තාත්තා කෙනෙකි" යි එතුමන් ගේ පිය ගුණ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ලිපියේ විස්තර කරයි.  

සුදොතුම් පියතුමා මෙම ලිපිය ලියුවේ කෝවිඩ්-19 වසංගතය පසුබිමේ සිටිය දී ය. "කීර්තියෙන් හෝ ප්‍රසිද්ධියෙන් තොරව, යශෝ ප්‍රභාවෙන් බොහෝ ඈත්ව  සිට, ඉවසීමෙන් ක්‍රියා කරමින් සෑම දවසකට ම බලාපොරොත්තුව පිරිණමන, සාමාන්‍ය මිනිසුන් ගේ වැදගත්කම දකින්නට මේ වසංගතය අපට උදව් කරයි" යි එතුමා එම ලිපියේ පෙන්වා දෙයි. "ඔවුහු ජුසේ තුමන්ට සමාන වෙති. ජුසේ තුමා වූ කලී අපගේ ඇසට නොපෙනී සිටි තැනැත්තා ය; දිනපතා නුවණින් ක්‍රියා කරමින් සෙවනැල්ලක් මෙන් සැඟවී  පෙනී සිටි තැනැත්තා ය. එසේ වුවත් ගැලවීමේ ඉතිහාසය තුළ අනුපමේය භූමිකාවක් ඉටු කළ තැනැත්තා යැ"යි   සුදොතුම් පියතුමා කියයි. 

ශු. ජුසේ මුනිඳුන් ගේ වසර ප්‍රකාශයට පත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් නිකුත් කළ “Patris corde”  හෙවත් "පියකු ගේ හදවතින්" නම් අපෝස්තලික ලිපිය බොහෝ දේව ධර්ම විශාරදයන් ගැඹුරින් කතා නොකරන ජුසේ තුමන් ගැන කරන ගැඹුරු භාවනාවකි. පුළුල් හැදෑරීමකි. නූතන පවුල, සභාව සහ ලෝකය මුහුණ දෙන ගැටළු දෙස ජුසේ තුමන් ගේ ජීවිතය ඇසුරින්  එල්ල කෙරෙන ආලෝකා දහරකි. එපමණක් නොවේ. 2013 ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දින සසුන් පිය පදවි ප්‍රාප්තව වී, 2015 එම මංගල්‍ය දින "ප්‍රේමයේ ආනන්දය" පවුල පිලිබඳ අපෝස්තලික සංදේශය නිකුත් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අපෝස්තලික හසුන ඇසුරින් "ජුසේ අධ්‍යයනයකට" දොරටු විවර කරන බවක් ද කෙනෙකුට හැඟී යා හැකිය. 

මේ නිසා "පියකු ගේ හදවතින්" අපෝස්තලික හසුනේ එන සන් ජුසේ භාවනාව මෙසේ සැකෙවින් ඉදිරිපත් කරමු. 

පෙම්බර, කරුණාබර, කීකරු තාත්තා කෙනෙක් 

සුබ අස්න තුළ සහ සභා සම්ප්‍රදාය තුළ අපට හමුවන ජුසේ තුමා  පෙම්බර, කරුණාබර, කීකරු පියෙකු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "පියෙකුගේ හදවතින්" අපෝස්තලික ලිපියේ  විස්තර කරයි. 

"ඇත්ත වශයෙන් ම ජුසේ තුමා ප්‍රේමය තුළ තමා ම පූජා කිරීම මගින් සිය පිතෘත්වය ප්‍රත්‍යක්ෂ ලෙස ප්‍රකාශ කළේය. එය කෙබඳු ප්‍රේමයක් ද යත්, තමාගේ ගෙදර වැඩෙමින් සහ  මුහුකුරා යමින් සිටි ගැලැවුම්කාරයාණන් ගේ සේවාව වෙනුවෙන් පුදන ලද ප්‍රේමය" යයි සවැනි පාවුළු පාප් වහන්සේ ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කරයි. 

"පුරාණ සහ නව ගිවිසුම අතර සන්ධිස්ථානයේ ජුසේ තුමන් ඉටු කළ කාර්ය භාරය නිසා කිතුනු ජනතාව එතුමන්ට ගෞරව කළේ පියකු ලෙස ය. අපට අපගේ දුර්වලතා පිළිගැනීමට උදව් කරන දෙවියන් වහන්සේ ගේ මෘදු ප්‍රේමය ජේසු දරුවා එතුමන් තුළ දැක්කේ ය. මන්ද, දේව සැලසුම් බොහොමයක් ඉටු වන්නේ අපගේ බිය, දුර්වලතා සහ වරදෙහි වැටෙන  සුළු බව තුළිනි, එසේ ම ඒවා නොතකා ය." 

"චෝදකයා" හෙවත් නපුරා ගේ මලපත් වලින් අපට ගැලවිය හැකි වන්නේ විශේෂයෙන් ම සමගි සන්ධානයේ දේවප්‍රසාද නිධානය (පාපොච්චාරණය) තුළින් ප්‍රකාශිත වන දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමය සමග මුණගැසීමෙන් බව සුදොතුම් පියතුමා පෙන්වා  දෙයි.  "මන්ද, දෙවියන් වහන්සේ ගේ සත්‍යය අප වරදකරුවන් ලෙස තීන්දු නො කරයි; ඒ වෙනුවට එය අප උණුසුමින් පිළිගෙන, අප වැළඳගෙන, පෝෂණය කර, අපට සමාව දෙයි." 

"දේව අභිමතයට තමා දුන් "ආමෙන්" යන එකඟ වීම මගින්, එතුමා මරියාවන් සහ ජේසු දරුවා ආරක්ෂා කරයි. ඒ අතරම එතුමා පියාණන් ගේ අභිමතයට කීකරු වීමට ජේසු පුතාට උගන්වයි."

ජුසේ තුමා දෙවියන් වහන්සේට 'කීකරු වීමේ පියාණන්' කෙනෙක් ද වේ. දේව අභිමතයට තමා දුන් "ආමෙන්" යන එකඟ වීම මගින්, එතුමා මරියාවන් සහ ජේසු දරුවා ආරක්ෂා කරයි. ඒ අතරම එතුමා පියාණන් ගේ අභිමතයට කීකරු වීමට ජේසු පුතාට උගන්වයි. ජේසු සමිඳුන් ගේ දූත මෙහෙවරට සම්බන්ධ වීමට දෙවියන් වහන්සේ විසින් කරනු ලබන කැඳවීම පිළිගන්නා ජුසේ තුමා ගැළවීමේ අබිරහසට සහයෝගය දෙයි. ශු. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් පෙන්වා දුන් ආකාරයට එතුමා 'සත්‍ය වශයෙන් ම ගැළවීමේ අබිරහසේ සේවකයෙකි'" යි සුදොතුම් පියතුමා පහදා දෙයි. 

දේව කැමැත්ත පිළිගන්නා පියෙක් 

ජුසේ තුමා ගේ තවත් ගුණයක් වන්නේ එතුමා "පිළිගන්නා" (බාරගන්නා) පියකු වීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අපෝස්තලික ලිපියේ පෙන්වා දෙයි. මන්ද එතුමා කොන්දේසි විරහිතව මරියාවන් පිළිගත් බැවිනි. 

කාන්තාවන්ට එරෙහි ශාරීරික, මානසික සහ මනෝ භාවික වූ, වාචික සහ වෙනත් හිංසන වලින් පිරුණු අපගේ වර්තමාන ලෝකය දෙස බැලූ  විට මේ පිළිගැනීම කෙතරම් බරපතල කාරණයක් වී ද යන්න පැහැදිලි වන බව එතුමා පහදා දෙයි. 

එම තත්වයන්ට පරස්පරව "මරියාවන් ගේ මනාලයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුතුව, තම අදහස් සියල්ල පසෙක තබා,  සිය ජීවිතයේ තමාට අවබෝධ කරගත නොහැකි සිද්ධීන් පිළිගනියි.  ජුසේ තුමන් ගේ මාර්ගය විස්තර කරන මාර්ගයක් නොව පිළිගන්නා මාර්ගයකි; යටහත් පහත්  තැනැත්තෙකු ය යන්න නොවේ. ඒ වෙනුවට එතුමා ධෛර්යවන්ත සහ දැඩි ප්‍රකීයක (proactive)  තැනැත්තෙකි ය යන්නයි. මන්ද එතුමා ශුද්ධාත්මයානන් ගේ තිළිණයක් වන ධෛර්යයෙන් සහ බලාපොරොත්තුවෙන් පූර්ණව, ජීවිතයේ සියලු පරස්පරතා, අපේක්ෂා භංගත්වයන් සහ කළකිරීම් යන සියල්ල සමග ජීවිතය පිළිගනියි." 

"ප්‍රායෝගිකව කතා කරන විට, 'බිය නො වන්නැ'යි  දෙවියන් වහන්සේ ජුසේ තුමන් මගින් අපට කතා කරනවා වැන්න. මන්ද, කිසියම් සිද්ධියක්  කෙතරම් සතුටුදායක හෝ ශෝකජනක හෝ වේවා ඇදැහිල්ල එම සිද්ධියට අරුතක් ලබා දෙන බවත්  'දෙවියන් වහන්සේට ගල් සහිත පොළොව මත මල් විකසිත කළ හැකි' බවත් එතුමා අපට පහදා දෙයි. ජුසේ තුමා කෙටි පාරවල් සොයා යනවා වෙනුවට විවෘත දෙනෙතින් යථාර්ථයට මුහුණ දෙමින් ඊට පෞද්ගලිකවම වගකීම භාර ගත්තේ ය. මේ හේතුව මත කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව අන්‍යයන් ඔවුන් සිටින ආකාරයෙන් ම පිළිගැනීමටත්, දුර්වල වූවනට විශේෂ සැලැකිල්ලක් දැක්වීමටත් එතුමා අප දිරිමත් කරයි" යි ජුසේ තුමන් ගේ මේ ගුණය විස්තර කරමින්  සුදොතුම් පියතුමා කියයි. 

නිර්මාණශීලීව ධෛර්යසම්පන්න, ප්‍රේමයේ ආදර්ශයක් වන තාත්තා කෙනෙක් 

ජුසේ තුමන් නිර්මාණශීලීව ධෛර්යසම්පන්න පියකු ලෙස Patris corde ලිපියේ සුදොතුම් පියතුමා විස්තර කරයි. එතුමා ගේ මෙම ගුණය තහවුරු  වන්නේ එතුමා දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරයෙන් බව සුදොතුම් පියතුමා කියයි. 

"දිව්‍ය සංරක්ෂණය කෙරෙහි  විශ්වාසය තබමින් ගැටළුවක් ශක්‍යතාවක් (කළ හැකි දෙයක්) බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් නාසරෙතයේ වඩු කාර්මිකයාට තිබිණි. එතුමාට තම පවුල මුහුණ දුන් ප්‍රායෝගික ප්‍රශ්නවලට, වෙනත් පවුල් මුහුණ දුන් ප්‍රශ්නවලට මෙන් ම ලෝකය, විශේෂයන් සරණාගතයන් ගේ ප්‍රශ්න වලට ද මුහුණ දීමට සිදු වූ" බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

"මේ අර්ථය තුළ, ජුසේ තුමා,  යුද්ධ, වෛරය, වදහිංසාවට ලක්වීම්  සහ දුප්පත් කම වැනි විවිධ හේතු නිසා සිය මව් රටවල්  හැර යාමටසිදු වූ සියල්ලන් ගේ අරග්ගත් මුනි වරයා යැ"යි එතුමා අවධාරණය කරයි. 

"ජුසේ තුමා,  යුද්ධ, වෛරය, වදහිංසාවට ලක්වීම්  සහ දුප්පත් කම වැනි විවිධ හේතු නිසා සිය මව් රටවල්  හැර යාමටසිදු වූ සියල්ලන් ගේ අරග්ගත් මුනි වරයා ය"

"ජේසු ගේ සහ මරියාවන ගේ ආරක්ෂකයා ලෙස ජුසේ තුමා අනිවාර්යයෙන් ම සභාවේ ආරක්ෂකයා ය, සභාවේ මාතෘක භාවයේ ආරක්ෂකයා ය,  ක්‍රිස්තු දේහයේ ආරක්ෂකයා ය. එහි ප්‍රතිඵලයක් ලෙස, සෑම දුප්පතෙක් ම, අවශ්‍යතාවෙන් පෙළෙන සෑම  පුද්ගලයෙක් ම, දුක් විදින සහ මරණාසන්න සෑම කෙනෙක් ම, සෑම අමුත්තෙක් ම, සෑම සිරකරුවෙක් ම, තුවාල ලැබූ සෑම කෙනෙක් ම ජුසේ තුමන් නොකඩවා ආරක්ෂා කරන 'දරුවෙකි'. 

"සභාවටත් දුප්පතුන්ටත් ප්‍රේම කරන ආකාරය අප  ජුසේ තුමන්ගෙන් ඉගෙන ගත යුතු ය" යි සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

වැඩකිරීමේ අගය, ගරුත්වය සහ ප්‍රීතිය උගන්වන තාත්තා කෙනෙක් 

ජුසේ තුමන් වැඩකිරීමේ අගය, ගරුත්වය සහ ප්‍රීතිය අසම සම ලෙස උගන්වන තාත්තා කෙනෙකු ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හඳුන්වා දෙයි. 

"ජුසේ තුමා වඩු වැඩ කරමින් සිය පවුල රැක බලා ගැනීමට අවංකව මුදලක් ඉපයූ තැනැත්තෙකි. එලෙස එතුමා තමන් ගේ ම ශ්‍රමයෙන් ලැබෙන ඵලයෙන් එදිනෙදා බත් පත උපයා ගැනීම සඳහා වැඩකිරීමේ අගය, ගරුත්වය සහ ප්‍රීතිය කෙතරම් දැයි අපට උගන්වයි."

"ජුසේ තුමා වඩු වැඩ කරමින් සිය පවුල රැක බලා ගැනීමට අවංකව මුදලක් ඉපයූ තැනැත්තෙකි. එලෙස එතුමා තමන් ගේ ම ශ්‍රමයෙන් ලැබෙන ඵලයෙන් එදිනෙදා බත් පත උපයා ගැනීම සඳහා වැඩකිරීමේ අගය, ගරුත්වය සහ ප්‍රීතිය කෙතරම් දැයි අපට උගන්වයි."

වැඩ කිරීම සහ රැකියා අද ලෝකයේ  ප්‍රශ්නයක් වී ඇති බව සුදොතුම් පියතුමා කියයි. මේ නිසා සෑම  රැකියාවකට ම වෘත්තීයකට ම නිසි ගරුත්වයක් ලබා දෙන්නැයි එතුමා සියලු ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටියි. "ජුසේ තුමා රැකියා ගරුත්වයේ ආදර්ශය වන සාන්තුවරයා ය," යි එතුමා සඳහන් කරයි. 

"වැඩ කිරීම යනු ගැලවීමේ ක්‍රියාවේ කොටස් කරුවකු බවට පත් වීමය; දේව රාජ්‍යයේ ආගමනය කඩිනම් කිරීමට අවස්ථාවකි; අපගේ හැකියාවන් දියුණු කරගෙන එය සමාජයේ සහ සහෝදර ප්‍රජාවේ සේවාව වෙත යොමු කිරීමේ අවස්ථාවකි. වැඩ කරන පුද්ගලයෝ දෙවියන් වහන්සේ සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් කිසියම් ආකාරයෙන් අප වටා ඇති ලෝකයේ මැවුම් කරුවන් බවට පත්වෙති."

මේ ගුණය සැලකිල්ලට ගෙන වැඩකිරීමේ අගය, වැදගත්කම සහ අත්‍යවශ්‍යතාව යළි සොයා ගනිමින් නව 'සාමාන්‍යයක් ' බිහි කිරීමට ක්‍රියා කරන්නැයි සුදොතුම් පියතුමා ඉල්ලා සිටියි. විශේෂයෙන් ම කෝවිඩ්-19 හේතුවෙන් අති විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බව එතුමා පෙන්වා දෙයි. මෙය සැලකිල්ල ගෙන "අපගේ ප්‍රමුඛතා හඳුනාගෙන කිසිදු තරුණයකු, කිසිදු පුද්ගලයකු, කිසිදු පවුලක් රැකියාවක් අහිමිව නොසිටින ආකාරයෙන් ක්‍රියා කරන්නැ"යි   සුදොතුම් පියතුමා සියල්ලන්ට ආයාචනා කරයි. 

ජේසු සහ මරියාවන්ට කේන්ද්‍රව  සෙවනැල්ලේ, පසුබිමේ සිටි පියෙක් 

ජුසේ තුමන් ගේ තවත් ගුණයක් මෙන් ම කාර්යභාරයක් විස්තර කිරීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෝලන්ත ජාතික ගත්කතුවර ජෑන් ඩොබ්රාසින්ස්කි ගේ "The Shadow of the Father" නම් කෘතියෙන් ඉඟියක් ගෙන තිබේ. ඒ අනුව එතුමා ජුසේ තුමන් ගේ පිතෘක භාවය අපූර්ව උපමාවකින් ගෙන හැර දක්වයි. 

එතුමා පවසන්නේ "ජුසේ මුනිදුන් ජේසු සමිඳුන්ට දැක්වූ පිතෘක බව වූ කලී ස්වර්ගීය පියාණන් ගේ මිහිමත සෙවනැල්ල" ලෙස විස්තර කල හැකි බවයි. 

"හුදෙක් දරුවෙකු මෙලොවට ගෙන ඒම නිසා පමණක් කෙනෙකු පියෙකු  වන්නේ නැත. කෙනෙකු පියකු වන්නේ එම දරුවා රැකබලා ගැනීමේ වගකීම භාර ගැනීම මගිනි."

"තාත්තලා උපදින්නේ නැත. ඔවුහු සාදනු ලබති. හුදෙක් දරුවෙකු මෙලොවට ගෙන ඒම නිසා පමණක් කෙනෙකු පියෙකු  වන්නේ නැත. කෙනෙකු පියකු වන්නේ එම දරුවා රැකබලා ගැනීමේ වගකීම භාර ගැනීම මගිනි. එහෙත් කනගාටුදායක ලෙස නූතන  සමාජය තුළ  දරුවෝ  පියවරුන් නොමැති අනාථයන් බවට පත් වී සිටිති....දරුවන්ට පියවරුන් අවශ්‍ය වන්නේ ඔවුන් පාලනයකිරීමට නොවේ. ඒ වෙනුවට ඔවුන්ට තමන් ගේ ම තීරණ ගන්නට හැකියාව ලැබෙන අයුරින්, නිදහස භුක්ති විඳිමින්, නව ශක්‍යතා සොයා බලන්නට හැකි වන ආකාරයෙන් ඔවුන් හදා වඩා ලන්නට ය" යි සුදොතුම් පියතුම් අවධාරණය කරයි. 

ජුසේ තුමන් "අති වෘත ශුද්ධවත් පියාණන්" ලෙස හැඳින්වීමේ අර්ථය මෙය බව සුදොතුම් පියතුමා පැහැදිලි කරයි. "එය පාලනය කිරීම සහ තමන්ට අයිති කරගැනීමට විරුද්ධ ගුණයයි. අති  විශේෂ නිදහස තුළ ප්‍රේම කරන්නේ කෙසේදැයි ජුසේ තුමා දැන සිටියේ ය. එතුමා කිසි විටෙකත් තමා වේදිකාවේ කේන්ද්‍රය බවට පත් කර නොගත්තේ ය. එතුමා කිසි විටෙකත් තමා ගැන  නොසිතුවේ ය.ඒ වෙනුවට එතුමා නිරන්තරයෙන් ජේසු සහ මරියාවන් වෙත අවධානය යොමු කලේ ය" යි සුදොතුම් පියතුමා පහදා දෙයි. 

"එතුමා කිසි විටෙකත් තමා වේදිකාවේ කේන්ද්‍රය බවට පත් කර නොගත්තේ ය. එතුමා කිසි විටෙකත් තමා ගැන  නොසිතුවේ ය.ඒ වෙනුවට එතුමා නිරන්තරයෙන් ජේසු සහ මරියාවන් වෙත අවධානය යොමු කලේ ය"

"ජුසේ තුමන්ට සතුට යනු තමාව ම තිලිණ කොට  පුද කිරීම ය" යි සුදොතුම් පියතුමා මෙම ගුණය තව දුරටත් විස්තර කරමින් කියයි. "එතුමන් තුළ  අප දකින්නේ අසහනය නොව නිරන්තර විශ්වාසය පමණි." 

"මේ නිසා ජුසේ තුමන් යනු අපගේ යුගයේ, අපට අවශ්‍ය ප්‍රතිරූපයයි."

"මේ නිසා ජුසේ තුමන් යනු ඒකාධිපතියන් වෙනුවට පියවරුන්  අවශ්‍ය වී ඇති අපගේ යුගයේ ,  අධිකාරීත්වය සහ බලාධිකාරී වාදයත්, සේවය සහ  දාසභාවයත්, සාකච්ඡාව සහ පීඩනයත්, දයාව සහ සුබ සාධනයත්, බලය  සහ විනාශයත්  පටලවාගෙන ඇති  අපගේ යුගයේ, අපට අවශ්‍ය ප්‍රතිරූපයයි.

"පියකු වීම යනු අයිති කරගැනීමක් නොවේ. එය වූ කලී ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ පිතෘක භාවයක්  අප පෙන්නුම් කරන්නකි. එය නම්, ස්වර්ගීය පියාණන් ගේ පිතෘක  භාවය යැ" යි ජුසේ තමා තුළින් දිස්වන ස්වර්ගීය පියාණන් ගේ සෙවනැල්ල පැහැදිලි කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය  ලිපියේ සඳහන් කරයි. 

මේ වසරේ ශු. ජුසේ තුමන්ට ඔප්පු කල හැකි යාච්ඥාවක් ද සුදොතුම් පියතුමා මේ අපෝස්තලික ලිපියට ඇතුළත් කර තිබේ. එය වෙනම වතිකාන සුළඟින් ගෙන එන්නෙමු. 


 

   


 


 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය