"ඔබ 'උතුමාණන් වහන්සේ' කෙනෙකු ලෙස සිතීම අනතුරු දායකයි" - නව කාදිනල් වරුන් නිල ගැන්වීමේ මෙහෙයේ දී සුදොතුම් පියතුමා කාදිනල් හිමිවරුනට අනුශාසනා කරයි

"When you feel yourself 'Eminence', you are 'off the path" Pope warns Gregory Cardinals in part-virtual consistory



(2020 දෙසැම්බර 2 )

තම කාදිනල් නිලය, ගෞරවය ලැබීමේ සහ උසස් බවේ එකක් කර නොගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමිවරුන් ඇතුළු ලොව පුරා සිටින සියලු කාදිනල් හිමිවරුනට අනුශාසනා කරයි. ලොව ඉහළ ම පුදැදුරු වරුන් ගේ ජීවිත "තමන් ත්‍යාජ කිරීමේ සහ අන්‍යයන්ට සේවාව කිරීමේ" ජීවිත විය යුතු බව එතුමා පෙන්වා දෙයි. 

කාදිනල් හිමිවරුනට සාම්ප්‍රදායිකව ලැබෙන ගෞරව නාමය වන  "Eminences" හෙවත් 'උතුමාණන් වහන්සේ' යන ඇසින් තමන් දෙස නොබලන්නැයි සුදොතුම් පියතුමා ඔවුන්ගෙන්  ඉල්ලා සිටියි. 

"ඔබට එසේ සිතන මොහොතේ ඔබ මාර්ගයෙන් පිට පැනලා...එවිට ඔබ තවදුරටත් ජනතාවට සමීප පුදැදුරු තුමෙක් නොවේ," යි එතුමා කීවේ ය. තම යහපත සහ අරමුණුවලට  නොව තමන් සේවාව කරන ජනතාව ගේ යහපතට පමණක් ප්‍රමුඛත්වය දෙන ලෙස ද එතුමා ඔවුනට උපදෙස් දුන්නේ ය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ අනුශාසනය කළේ නව කාදිනල් හිමිවරුන් 13 නමක් නිල ගැන්වීම සඳහා  වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පැවැත්වුණු දිව්‍ය පූජා යාගයේ දී ය.    

නොවැම්බර 28 වැනිදා නව කාදිනල් හිමිවරුන් නිල ගැන්වීමේ දේව මෙහෙය පවත්වන ලද්දේ ඉතාලිය පුරා යළිත් ක්‍රියාත්මක දැඩි කෝවිඩ් ආරක්ෂණ විධි විධාන මධ්‍යයේ ය. සුදොතුම් පියතුමා හැර දිව්‍ය පූජාවට එක් වූ සියල්ලෝ - නව කාදිනල් හිමිරුන් ද ඇතුළුව - මුහුණු ආවරණ පැළඳගෙන සිටියහ. වතිකානයේ  පවත්වන ලද මෙහෙයට සහභාගී වී සිටියේ නව කාදිනල් හිමිවරුන් අතරින්  11 දෙනෙකු පමණි. කෝවිඩ් ආරක්ෂණ පියවර නිසා ඒ සඳහා රෝමයට පැමිණීමට නොහැකි වූ බෘනායිහි අපෝස්තලික නියෝජිත කොර්නේලියස් සිම් රදගුරු තුමා  සහ පිලිපීනයේ හොසේ ඇඩ්වින්කූලා අගරදරු තුමා සිය නිලය සංකේතවත් කරන බිරෙට්ටාව සහ මුදුව පිළිගත්තේ ඩිජිටල් සම්බන්ධතාව ඔස්සේ ය. නව කාදිනල් හිමිවරුන් නිල ගැන්වීමේ අවස්ථාවට ලොව පුරා සිටින සියලු කාදිනල් හිමි වරුන් සහභාගී වීම  සභා  සාම්ප්‍රදාය ය. එහෙත් වසංගත තත්වය නිසා තමන් සිටින රටවල සිට ඩිජිටල් සම්බන්ධතා ඔස්සේ ඊට සහභාගී වීමේ අවස්ථාව කාදිනල් හිමිවරුනට මෙවර ලබා දී තිබිණි. කාදිනල් නිල ගැන්වීමේ  අවස්ථාවක් මෙයාකාරයෙන් පවත්වන ලද සභා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව  මෙයයි. 

කුරුසිය ද ? වරප්‍රසාද  ද?  

සිය ධර්ම දේශනය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාදක කර ගත්තේ එදින දිව්‍ය පූජාවේ දී කියවන ලද මාර්කු තුමා ගේ සුබ අස්නේ එන පණිවිඩය යි. 

ජේසු සමිඳුන් ජෙරුසලෙමට යන ගමනේ දී සිය කුරුසියේ ගමන ගැන ශ්‍රාවකයනට කතා කරයි. "උන්වහන්සේ  ළඟ එන සිය දුක්ප්‍රාප්තිය සහ මරණයේ ස්වභාවය  ගැන ශ්‍රාවකයන්ට කලින් දැනුම් දෙන්නේ එම පරීක්ෂණයට මුහුණ දීමට ඔවුන් සූදානම් කිරීම පිණිස ය. මෙහි අරමුණ වූයේ දැනුත් විශේෂයෙන් ම සිය කුරුස ගමනේ දී ඔවුන් තමන් සමග සිටීම  පිණිස යැ"යි .  එතුමා පෙන්වා දුන්නේ ය. 

එහෙත් එම අවස්ථාවේ ජේම්ස් සහ ජුවාම් අපොස්තුළුවරු උන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කරති:

"ස්වාමීනි, ඔබ මහිමයට පමුණුවනු ලැබූ විට අප දෙදෙනාට එක් කෙනෙකු ඔබගේ දකුණු  පසිනුත් අනෙකාට ඔබගේ වම් පසිනුත් අසුන් ගැනීමට වරය දෙනු මැනැවි' යි ඔව්හු ඉල්ලා සිටිති.  

"ජේසු සමිඳුන් යන මාර්ගය කුරුසියේ මාර්ගය යි. එහෙත් ස්වර්ග රාජ්‍යයේ දී තමන්ට වරප්‍රසාද ලත් අසුන් ඉල්ලා සිටීමෙන් ජේම්ස් සහ ජුවාම් කියා සිටියේ තමන්ට වෙනත්  මාර්ගයක යන්නට - ජේසු සමිඳුන් ගේ මාර්ගයේ නොව වෙනත් මාර්ගයක යන්නට - ඕනෑ බව ය. මේ මාර්ගය නම්, ඇතැම් අය - සමහර විට නොදැනුවත්ව - තමන් ගේ ම අභිවෘද්ධියඋදෙසා 'පාවිච්චි කිරීමේ' මාර්ගය ය. ශු. පාවුළු තුමා පවසන ආකාරයට ඔවුන් ක්‍රියා කරන්නේ ස්වකීය අරමුණු සහ යහපත පිණිස මිස ක්‍රිස්තුන් වහන්සේ ගේ අරමුණු පිණිස නොවේ," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. 

මේ ඉල්ලීම නිසා ජේසු සමිඳුන් ඔවුන් සමග කේන්ති නොගන්නා බව එතුමා පෙන්වා දුන්නේ ය. උන්වහන්සේ ඔවුන් ගේ ඉල්ලීම ඉවසති. එහෙත් උන්වහන්සේ ඔවුන්ට තරවටු කරති: "ඔබ ඉල්ලන්නේ කුමක්දැයි ඔබ දන්නේ නැත." මෙහි අදහස නම්, "ඔබ මාර්ගයෙන් ඉවතට පැණ ඇති බව ඔබට වැටහී නැහැ" යන්න යැයි සුදොතුම් පියතුමා කීවේය. 

"පුදැදුරු වරයකු ගේ ජීවිතය තුළ දූෂිත වීම් සඳහා දුර්පරීක්ෂා රැසක් තිබේ.  කාදිනල් තුමකු ගේ සළු සහ පළඳන වල දක්නට ලැබෙන රුධිරය සංකේතවත් කරන රක්ත වර්ණයය ද එවැනි දුර්පරීක්ෂා වල උල්පතකි. ලෞකික ආත්මයකට එය ලෞකික 'උතුමාණන් වහන්සේ' යන්නෙහි වර්ණයක් විය හැකිය" යි එතුමා පහදා දුන්නේ ය.  

"ඔබටත් එහෙම සිතෙනවා ද? " යි සිය ධර්ම දේශනා පිටපතෙන් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා නව කාදිනල් හිමිවරුන්ගෙන් විමසුවේය. "එසේ නම් ඔබත් පාරෙන් පිට පැනලා," යි එතුමා කීවේ ය. 

සුදොතුම් පියතුමා සිය දේශනය අවසන් කලේ සුපුවතේ කියැවුණු "මාවත් දෙක" ගැන කතා කරමිනි: එනම්, ජේසු සමිඳුන් ගේ මාවත සහ ශ්‍රාවකයන්  ගේ මාවත යි. "වල්මත් වන සිය මිතුරන්, නැති වීමෙන් ගලවා  ගත හැක්කේ ජේසු සමිඳුන්ට පමණයි" එතුමා අවධාරණය කලේ ය. 

මේ අවස්ථාවේ ශ්‍රාවකයන් තුළ තිබූ අයහපත හෙළිදරව් වී තිබේ. එහෙත්  එය සුපුවතට  ඇතුලත් කර ඇත්තේ ජේසු සමිඳුන් සහ අප පිලිබඳ සත්‍යය ඒ මගින් හෙළිදරව් වන නිසා බව එතුමා කීවේ ය. 

"අපගේ කාලයේ අපටත් එය ගැලැවීමේ පණිවිඩයක්. නිතර ම මේ සත්‍යයේ වචනය තුළින් අප පිළිඹිඹු වන  ආකාරය  අපත්, පාප් තුමා සහ  කාදිනල් හිමිවරුනුත්,  දැකිය යුතු යි. එය ඉතා මුවහත් කඩුවකි. එය අප කපයි. එය ඉතා වේදනාකාරී ය. එහෙත් එය අප සුවපත් කරයි. අප නිදහස් කොට අප තුළ සිත් හැරීමක් ඇති කරයි. සිත් හැරීම යනු  මෙයයි: එනම්, මාර්ගයෙන් පිටට පැණ සිටින අප දෙවියන් වහන්සේ ගේ මාර්ගයේ ගමන් කිරීමට පැමිණීමයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සඳහන් කලේ ය. 

නව කාදිනල් හිමිවරු 

නව පාප් වහන්සේ නමක් තෝරාගැනීමේ ඡන්දය හිමි:

මෝල්ටාවේ මාරියෝ ග්‍රෙච් රදගුරු හිමි - රදගුරු සිනොඩ් කතිකාවේ නව මහා ලේකම් 

ඉතාලියේ මාර්සෙලෝ සෙමෙරාරෝ රදගුරු හිමි - සාන්තුවරුන් පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී 

ඇමෙරිකාවේ විල්ටන් ග්‍රෙගරි අගරදගුරු හිමි - වොෂින්ටන් හි අගරදගුරු 

රුවන්ඩාවේ ඇන්ටොයින් කම්බන්දා අගරදගුරු හිමි - කිගාලි හි අගරදගුරු 

පිලිපීනයේ හොසේ ඇඩ්වින්කුලා අගරදගුරු හිමි - කැපීස් හි අගරදගුරු හිමි (ඩිජිටල් සම්බන්ධතා ඔස්සේ)

චීලියේ සෙලස්තිනෝ බ්රාකෝ අගරදගුරු හිමි -සන්තියාගෝ හි අගරදගුරු 

බෘනායි හි කොර්නේලියස් සිම් අගරදගුරු හිමි (ඩිජිටල් සම්බන්ධතා ඔස්සේ)

ඉතාලියේ අගුස්තෝ පාඔලෝ ලොඩුජිචේ අගරදගුරු හිමි - සියෙනාහි අගරදගුරු 

ප්‍රන්සිස්කාන (කොන්වෙන්චුවල්) නිකායික මාවුරෝ ගම්බෙත්ති පියතුමා - අසීසියේ ආරාම පාලක 

ඡන්ද දායකයකු නොවන:

මෙක්සිකෝවේ ෆෙලිපේ එස්ක්විවෙල් රදගුරු හිමි 

සිල්වානෝ මරිය තොමාසි අගරදගුරු හිමි - එක්සත් ජාතීන් ගේ ජිනීවා මූලස්ථානයේ හිටපු වතිකාන ස්ථිර නිරීක්ෂක 

එන්රිකෝ ෆෙරෝචි පියතුමා - දිව්‍ය ප්‍රේමයේ අප මාතාවන් ගේ සිද්ධස්ථානයේ මීසම් සේවක 

ප්‍රන්සිස්කාන (කැපුචින්) නිකායික රැනියෙරෝ කැන්ටලමෙස්සා පියතුමා - සසුන් පිය නිවසේ ධර්ම දේශක 


සංයුතිය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් නිල ගන්වන ලද නව කාදිනල් හිමිවරුන් අතරින් ඡන්දය හිමි නව දෙනා සමග සසුන් පිය වරණ දැහැනකට සහභාගී විය හැකි හිමිවරුන් සංඛ්‍යාව 128 දෙනෙකි. ඒ අතරින් 60% ක් හෙවත් 73 නමක් ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පත් කරන  ලද්දෝ ය. 39 දෙනෙකු සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් තුමන් විසින් පත් කරන ලද්දන් වන අතර දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසින් පත්කරන ලද 16 දෙනෙක් ඒ අතර වෙති. 



 

 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය