පෙබරවාරි 4: "ජගත් මානව සහෝදරත්වයේ දිනය" ලෙස එජා සංවිධානය ප්‍රකාශයට පත් කරයි; සුදොතුම් පියතුමා ගේ "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයේ ප්‍රතිඵලයක්

UN declares 4 February 'International Day of Human Fraternity': A result of Fratelli tutti

2019 නොවැම්බර 22 වන දා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණු අන්තර් සාමයික හමුව 

(2020 දෙසැම්බර  24)

 ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මානව සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය සම්බන්ධයෙන් නිකුත් කල  අලුත්ම විශ්ව ලේඛනය වන Fratelli tutti හෙවත් "සියල්ලෝ සොහොයුරෝ"හි පණිවිඩයත්, එතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එජීප්තුවේ කයිරෝ නුවර අහමඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සමග අත්සන් තැබූ  "මානව සහෝදරත්වය පිලිබඳ ලේඛනයත්" එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ශාලා තුළ දෝංකාර දී ඇති බව දැන් තහවුරු වී තිබේ. 

එහි ප්‍රතිඵලය  ජාත්‍යන්තර "මානව සහෝදරත්වයේ දිනයක්" ප්‍රකාශයට පත් කරන්නට ජගත් සංවිධානය තීරණය කිරීමයි. 

මේ අනුව සෑම වසරක ම පෙබරවාරි 4 වන දා "ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දිනය" (International Day of Human Fraternity) ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය දෙසැම්බර 22 වනදා සම්මත කළේය. 2021 පෙබවාරි 4 වනදා සිට සෑම වසරකම එම දිනය මේ සඳහා වෙන් කිරීමට ද ජගත් සංවිධානය තීරණය කළේය.

රිස්සුම, අන්තර් සාමයික සහ අන්තර් සංස්කෘතික සංවාදය 

මේ දිනය රිස්සුමත්  (Tolerance), සමයාන්තර සහ අන්තර් සංස්කෘතික  සංවාදයත්  ප්‍රවර්ධනය කිරීම සඳහා කැප කරන්නැයි ජගත් සංවිධානය සිය සාමාජික රටවලින් සහ සිය ආයතන වලින් ඉල්ලා සිටියි. 

"ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දිනය" පිලිබඳ යෝජනාව තවත් සාමාජික රටවල් කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිතයා විසිනි. ඔහු කියා සිටියේ කෝවිඩ්-19 වසංගතය සමග ආගමික වෛරය උග්‍ර වෙමින් පවතින බවයි. ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම යෝජනාව ගෙන එන බව ඔහු කියා සිටියේ ය.  

රිස්සුමේ ජීව ගුණයත්  විවිධත්වයට ගරු  කිරීමත්  යටපත් කරන ආකාරයෙන් සිදු වන ආගමික වෛරය පැතිරවීමේ ක්‍රියා කෙරෙහි සිය සැලකිල්ල යොමු වී ඇතැයි එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් එම යෝජනාව කියා සිටියි. විශේෂයෙන් ම එක්සත්කම, සහයෝගීතාව සහ නැවුම් බහු පාර්ශවීය සහයෝගය පදනම් කරගත් ගෝලීය ප්‍රතිචාරයක අත්‍යවශ්‍යතාව පැන නැගී ඇති අනපේක්ෂිත  වසංගත අර්බුදයක් පවතින මේ වකවානුවේ එවැනි වෛරී ක්‍රියාකාරකම් සිදු වීම කනගාටුදායක බව එම යෝජනාව පෙන්වා දෙයි. සියලු ආගමකටම සහ ඇදහිල්ලකටම අයත් ජනතාව  විසින් මානව වර්ගයාට දායාද කර ඇති යහපත ජගත් සංවිධානය පිළිගනියි. එසේ ම සමස්ත මනුෂ්‍ය සංහතිය විසින් බෙදාගෙන ඇති පොදු සාරධර්ම පිලිබඳ වඩා වැඩි දැනුමක්, අවබෝධයක් සහ තේරුම් ගැනීමක් අතිකිරීම  සඳහා සියලු ආගම් විසින් ලබා දෙන දායකත්වය ද එම සංවිධානයේ  පැසසීමට ලක්ව තිබේ. 

අවබෝධය වැඩි කිරීමට  අධ්‍යාපනයේ සහය  

විවිධ සංස්කෘතීන්, ආගම් සහ විශ්වාසයන් පිළිබඳව ළමයින් සහ ජනතාව අතර ඇති අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත් කම ජගත් සංවිධානය අවධාරණය කරයි. එම කාරණා සම්බන්ධයෙන් අධ්‍යාපන වැඩපිළිවෙලක් ඇති කිරීම එහි එක් ක්‍රියා මාර්ගයකි. ආගමික සහ සංස්කෘතික විවිධත්වයටත් එම විශ්වාසයන් ප්‍රකාශ කිරීමේ සම්ප්‍රදායටත්  ගරු කිරීම ඇතුළත් වන රිස්සුම ප්‍රවර්ධනය කිරීම අධ්‍යාපන පාඨමාලාවල අරමුණ විය යුතු බව ද එක්සත් ජාතීන් ගේ සංවිධානය  පෙන්වා දෙයි. මම කාර්යයෙහි ලා පාසල් වලින් අති  විශාල කාර්ය භාරයක් ඉටු කල හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි.

කිතුනු-ඉස්ලාම් සංවාදයේ ඵලයක් 

එක්සත් ජාතීන් ගේ සංවිධානය ජගත් මානව සහෝදරත්වයේ දිනයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා  අනුප්‍රාණය ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුතුමන් විසින් නිකුත් කරන ලද "ෆ්රැතෙල්ලි තුත්ති" විශ්ව ප්‍රකාශනයෙනි. 

එහෙත් මේ සඳහා වූ යෝජනාව ඉදිරියට ගෙන ආවේ  මුස්ලිම් රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මුස්ලිම් රාජ්‍යයක් විසින් මෙම පියවර ගැනීමට හේතු වූ කාරණා කිහිපයක් විය. එහි මුල 2019 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම රාජ්‍යයේ කල අපෝස්තලික චාරිකාව ය. එම චාරිකාවේ දී සමයාන්තර සම්බන්ධතා පිලිබඳ වැදගත් සිද්ධි කිහිපයක් සිදුවිය. 

ඉන් එකක් වන්නේ,  ඊජිප්තුවේ අල්-අසාර් පල්ලියේ සහ ඉස්ලාම් විශ්ව විද්‍යාලයේ අග්‍ර ඉමාම් අහ්මඩ් අල්-ටයෙබ් ඉමාම් තුමා  සහ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අතර 2019 පෙබරවාරි 4 වන දා අබුඩාබියේ දී වූ හමුව සහ එයින් පසුව ඇති කරගන්නා ලද "ලෝක සාමය සහ එකට ජීවත් වීම සඳහා වූ මානව සහෝදරත්වයේ" සම්මුතිය යි. එම ලේඛනයේ ප්‍රතිඵලයක් ලෙස "මානව සහෝදරත්වය සඳහා වූ උසස් කමිටුව" පිහිටුවා ගන්නා ලදී. ජගත් සංවිධානයේ නව  තීරණයට මග පාදන ලද්දේ කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකත්වය අතර ඇති වූ මෙම සමීප සම්බන්ධතාව විසිනි.  

නත්තල් තෑග්ග 

ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දිනය ප්‍රකාශයට පත් වූයේ 2020 නත්තල දොරකඩ ය. එසේ ම ලෝක ප්‍රජාවේ සහයෝගිතාව අත්‍යවශ්‍ය වන වසංගතයක් පැතිර යන සමයක 'දුරස්ථ' සහ ආරක්ෂා සහිත නත්තලක් සැමරෙන අවස්ථාවක එම දිනය ප්‍රකාශයට පත්වීම ද විශේෂත්වයකි. 

මේ නිසා  මෙය පාප් වහන්සේ නමක් විසින් ලෝක මානව ප්‍රජාවට දුන් අනර්ඝතම  නත්තල් ත්‍යාගයක් ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත. 

පෙබරවාරි 4 - ශ්‍රී ලංකාව 

ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දිනය පෙබරවාරි 4 වැනිදාට යෙදීම ලංකාවට දෛවෝපගත සිද්ධියක් ලෙස පෙනෙන්නට තිබේ. 

පෙබරවාරි 4 ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි. ලෝකය පුරා මානව සහෝදරත්වයේ දිනය සැමරීමට ජගත් සංවිධානය ආරාධනා කරන්නේ ද එදිනට ම ය. 

ලංකාව මානව විවිධත්වයේ සෞන්දර්යය සහ ශක්තිය තේරුම් නොගත් රටවල් අතර ප්‍රමුඛයෙකි. අපේ දේශපාලකයන් පමණක් නොව ඇතැම් ප්‍රමුඛ පෙළේ ආගමික නායකයන් පවා -ඇතැම් විට කතෝලික ආගමික නායකයන් පවා - ජනතාවට හුරු කර ඇත්තේ වෙනත් සංස්කෘතීන් සහ ආගම් දෙස අඩු තක්සේරුවෙන් බලන්නට ය; ඔවුන් සතුරන් ලෙස දකින්නට ය; ඔවුන් කෙරෙහි වෛරයෙන් සහ සැකයෙන් බලන්නට ය. ඔවුන් ගේ ආගමික සහ සංස්කෘතික සිරිත් විරිත් වලට බාධා කෙරෙන ආකාරයේ නීති රීති සකස් කරන්නට ය. ඔවුන් 'සුළු' ජාතීන් හෝ 'සුළු' ආගම්  ලෙස සලකා ක්‍රියා කරන්නට ය. 

එක් අතකින් 21 වැනි සියවසට මේ ආගම්වාදී, ජාතිවාදී දේශපාලනය සහ ආගමික වෛරයන් වලංගු නොවන බව  ලෝක ජාතීන් ගේ ම එකමුතුව වන එක්සත් ජාතීන් ගේ සංවිධානය  පෙන්වා දෙයි. අනෙක් අතින් කවරකු හෝ සුළු ජාතීන් හෝ සුළු ආගම් වශයෙන්  සලකා කටයුතු කරන්නට හෝ වෛර කරන්නට හෝ කොන්කරන්නට හෝ  කතෝලික ජනතාවට නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයෙන් අවධාරණය කරයි. සිය ජාතික-ආගමික මිත්‍රත්වයන්  සහ සහෝදරත්වයන් අතික්‍රමණය කරන නව සමාජ මිත්‍රත්වයකට සහ මානව සහෝදරත්වයකට එළඹෙන්නට එතුමා "යහපත් සිත් ඇති" සියලු ජනතාවට ආරාධනා කරයි. 

මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ අනුප්‍රාණයෙන් ලෝක ජාතීන් සම්මත කරගත් මෙම යෝජනාව වූ කලී  අපේ නිදහස් දිනය වන පෙබරවාරි 4 දෙස නව නෙතකින් බලා, නව හදකින් නැගෙන නැවුම් සිතිවිලි වලින් එය  අලුතින්  අරුත් ගැන්වීමට ශ්‍රී ලංකාවට කෙරෙන අභියෝගයක්  වැන්න. 

මේ දිනය  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ අදහසක් අනුව එතුමන් සහ ඉස්ලාම් නායක අහ්මඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා ගේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් දියත් වුවකි. එබැවින් මේ දිනය ශ්‍රී ලංකාවේ අරුත් ගන්වා ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත්ව ක්‍රියා කිරීමේ වගකීමක් රටේ කතෝලික සහ ඉස්ලාම් නායකත්වය වෙත පැවරී තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අවංකව, පෞද්ගලික හෝ ශාසනික අභිලාශ වලින් තොරව ඉස්ලාම් නායකත්වය සමග සහෝදරත්වයෙන් එක්වුවා සේ, "සුළු ජාතික" "සුලු ආගමික" මුලාවෙන් තොරව, ජාතිවාදය සහ ආගම්වාදය හෙලා දකින වෙනත් ආගමික නායකයන් සමග සහෝදරත්වයෙන් එක්සත් වී "ජගත් මානව සහෝදරත්වයේ දිනය" අරුත් ගැන්වීමට කතෝලික නායකත්වයට හැකිවේවී  ද?  





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය