"2021-2022 ප්‍රේමයේ ආනන්දය පවුල් වසර" ප්‍රකාශයට පත් කෙරේ - "නාසරෙත් පවුල ලොව සියලු පවුල්වලට නියත සැඳහුම් ලක්ෂ්‍යයක්. අනුප්‍රාණයක්. ආදර්ශයක්"

Pope Francis announces 2021 the “Amoris laetitia Family” year; Studying  more deeply  is the aim




(2020 දෙසැම්බර 28)

ලබන වසර - එනම් 2021 "'ප්‍රේමයේ ආනන්දය' පවුල් වසර ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. එතුමා මේ බව ප්‍රකාශ කලේ සභාව ශුද්ධවූ පවුලේ මංගල්‍යය උත්සවාකාරයෙන් සැමැරූ දෙසැම්බර 27 වැනිදා ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුම අවස්ථාවේ දී ය. 

"ප්‍රේමයේ ආනන්දයේ පවුල"  (Amoris Laetitia Family) ලෙස මෙම වසර හැඳින්වේ. එය ආරම්භ වන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පවුල වෙනුවෙන් නිකුත් කරන  ලද Amoris Laetitia හෙවත් "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික සංදේශයට වසර 5ක් සපිරෙන 2021 මාර්තු මස 19 වැනිදා ය. ලොව පුරා කතෝලික ජනතාව ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යය පත්වන්නේ ද මෙදිනය. "ප්‍රේමයේ ආනන්දයේ පවුල" වසර 2022 ජුනි මස 26 වැනිදා පරිසමාප්තියට පත් වේ. දස වැනි ජගත් පවුල් හමුව රෝමයේ දී ආරම්භ වන්නේ එදින ය. "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික සංදේශයේ පණිවිඩය කේන්ද්‍ර කරගනිමින් පවුල පිළිබඳව වඩා ගැඹුරින්  භාවනා කිරීම මේ වසරේ අරමුණ වී තිබේ. 

"ගෘහාශ්‍රිත සභාව ලෙස පවුලේ කේන්ද්‍රීය භූමිකාව වසංගත අත්දැකීම විසින් වඩාත් අවධාරණය කර ඇතැ"යි  මේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් කල නිවේදනය මගින් ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුව කියයි. "එසේ ම මේ අත්දැකීම විසින් පවුල් අතර ප්‍රජා සම්බන්ධතා වල වැදගත්කම ද ප්‍රදර්ශනය කර ඇත. "ප්‍රේමයේ ආනන්දයේ පවුල" වසර තුළ සිදු කිරීමට සැලැසුම් කර ඇති ආධ්‍යාත්මික, දහම් සේවා සහ සංස්කෘතික මූලිකත්වයන් මගින් සෑම එක් එක් පුද්ගලයකු ම  පවුල් ප්‍රේමයේ සාක්ෂි කරුවකු වන ලෙස දිරිමත් කරමින්, ලොව පුරා සෑම ශාසනික ප්‍රජාවකට ම ආමන්ත්‍රණය කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බලාපොරොත්තු .වන්නේ යැ ," යි  එම දෙපාර්තමේන්තුව පවසයි. 

සැඳහුම් ලක්ෂ්‍යය සහ අනුප්‍රාණය 

"ප්‍රේමයේ ආනන්දයේ පවුල" වසර පිළිබඳව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට හෙළිදරව් කලේ කිතුනු පවුලේ ආදර්ශය වන ශුද්ධවූ පවුලේ මංගල්‍ය දිනයේ ය. එදින තුන්කාල ආරාධනා මරිය දැහැන අවස්ථාවේ එතුමා ශුද්ධ වූ පවුලේ ආදර්ශය ගැන ද භාවනා කරමින් පවුල් වසරට පදනමක් දැම්මේ ය.  


"දේව පුත්‍රයාට, සියලුම දරුවන් මෙන්, පවුලක උණුසුම අවශ්‍ය වුණා. ජේසු, මරියා සහ ජුසේ යන ශුද්ධවූ පවුල ලෝකයේ සියලු පවුල්වලට සිය නියත සැඳහුම් ලක්ෂ්‍යය සහ අනුප්‍රාණයත් ආදර්ශයත්  වන්නේ ඒ නිසයි" යි සිය භාවනාව ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කීවේය.  

"නාසරෙත් ගමේ ජීවත් වූ මේ පවුලේ ප්‍රමුඛ  ලක්ෂණයක් වූයේ ආනන්දය යි. තමා වට කරගත් මරියාවන් ගේ මව් සෙනෙහසත් ජුසේ තුමන් ගේ රැකබලා ගැනීමත් තුළ ළමා ජේසු දෙවියන් වහන්සේ ගේ මෘදු බව සහ කරුණාව දුටුවේ ය."  

පවුල් ඒකකයේ ඇති අධ්‍යාපනික වටිනාකම යළි සොයාගැනීමට අප  ද කැඳවනු ලැබ සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "පවුල් වල  පදනම විය යුත්තේ සම්බන්ධතා නිරන්තරයෙන් ප්‍රකෘතිමත් කරනු ලබන ප්‍රේමය ය. එවිට බලාපොරොත්තුවේ නව දිගන්තයන් නිතර විවර වන්නේ ය."

පවුලක් යාච්ඥාවේ, සෙනෙහසේ, සමාව දීමේ, කරුණාවේ, මෘදු බවේ සහ දේව කැමැත්තට එකඟ වීමේ ප්‍රජා බවට පත්වීමේ වැදගත් කම සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "පවුල මේ මාර්ගයේ පිය නගන විට, ප්‍රීතියෙන් දීමට  දන්නා වූ සියල්ලනට දෙවියන් වහන්සේ දානය කරන   ප්‍රීතියට එය විවෘත වේ."

'ප්‍රීතියෙන් සිටින පවුලක් මිත්‍රශීලීය; සුහද ය. පිටස්තර ලෝකයට සහ  අන්‍යයන්ට විවෘත වීමටත් සිය සහෝදර සහෝදරියනට සේවාව කිරීමට සහ නැවුම් සහ වඩා  යහපත් ලෝකයක් ගොඩ නැගීමටත්  අවශ්‍ය ආධ්‍යාත්මික බලශක්තිය එවැනි පවුලකට ලැබේ,' යයි එතුමා විස්තර කළේය.   

වැදගත් වචන තුනක් 

සෑම  පවුලකට ම ප්‍රශ්න තිබෙන බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. සෑම පවුලක් ම ගැටළු වලට, අර්බුද වලට මුහුණ දෙයි. "අපි  පවුල තුළ සටන් කරමු. ගැටුම්  ඇති කර ගනිමු. එසේ වන්නේ අප මනුෂ්‍යයන් නිසා ය; අප දුර්වල නිසා ය," යි එතුමා පැහැදිලි කලේ ය. 

එහෙත් එවැනි ගැටුම් වලට මහුණ දෙන අවස්ථා වල සම්බන්ධතා ප්‍රකෘතිමත් කරගත හැකි මෘදු බවේ සූත්‍රයක් එතුමා කියා දුන්නේ ය. එය වචන තුනකි: "මා ඔබට එක දෙයක් කියන්නම්. ඔබ පවුල තුළ  ගැටුම් ඇති කර ගත විට යළි සාමය ඇති කර ගැනීමෙන් තොරව දවස අවසන් නො කරන්න. ඒ සඳහා මේ වචන තුන ඔබේ පවුල් වල නිතර භාවිත කරන්න. එනම්, කරුණාකර, ස්තුතියි සහ සමාවෙන්න යන වචන තුනයි. මේ වචන තුන පවුල තුළ පවතිනවා නම්, පවුල යහපත් තත්වයේ පවතිනු ඇති."

ප්‍රේමයේ ආනන්දය වසර - කැප කිරීම 

ශුද්ධ වූ පවුලේ මංගල්‍යය අපට උගන්වන්නේ "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික  අනුශාසනයෙන් අවධාරණය කරනු ලැබූ වෛවාහික සහ පවුල් ප්‍රේමයේ වැදගත් කම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැවසුවේ ය. එම අනුශාසනා පත්‍රය නිකුත් කරන ලද්දේ  මීට වසර 5 කට පෙර ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේ ය. 

"ලබන වසර ප්‍රේමයේ ආනන්දය පිළිබඳව මෙනෙහි කිරීමේ වසරක් වනු ඇත. එය එම  ලේඛනයේ අන්තර්ගත කරුණු වඩා ගැඹුරින් හැදෑරීමේ අවස්ථාවක් උදා කරයි. මේ විශේෂ වසර තුළ එම අනුශාසනා පත්‍රය මත ගොඩ නැගුනු භාවනා සහ මෙනෙහි කිරීම් ශාසනික ප්‍රජා වලටත් පවුල් වලටත් ලබා දීමට කටයුතු කෙරේ. මෙහි අරමුණ පවුල් ඔවුන් ගේ ගමන තුළ ඔවුන් කැටුව යාම ය."

මේ නිසා 2021 පවුල් වසර වෙනුවෙන් ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ සසුන් පිය දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කෙරෙන වැඩසටහන් වලට පූර්ණ වශයෙන් සම්බන්ධ වන්නැයි සුදොතුම් පියතුමා සියලු පවුල් වලින් ඉල්ලා සිටියේ ය. 

"ප්‍රේමයේ ආනන්දයේ පවුල වසර තුළ සභාවේ ගමන නාසරෙතයේ ශුද්ධ වූ පවුලටත්, විශේෂාකාරයෙන් ලෙන්ගතු සැමියකු සහ පියකු වූ ශු. ජුසේ තුමන්ටත් කැප කරමු" යි ද එතුමා සඳහන් කලේ ය.   



    

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය