මිලේනියල් පරපුරට ලැබෙන 'ටෙක් සැවි' භාග්‍යවරයා : ස්වර්ගයට අධිවේගී මාර්ගය පෙන්වා දෙන කාලෝ ඇකුටිස්

Carlo Acutis: The Blessed of the Millennial generation



(2020 ඔක්තෝබර 10) 

ලොව මිලේනියල් හෙවත් සහශ්‍රක පරපුරට අද (ඔක්තෝබර 10 ) තමන්ගේ ම සාන්තුවරයෙක් ලැබුනේ ය. ඒ භාග්‍යවන්ත කාලෝ ඇකුටිස් තුමන් ය. 

වයස අවුරුදු 15ක් තරම් සුන්දර ගැටවර වියේ දී ලියුකේමියා රෝගයෙන් මිය ගිය ඉතාලි ජාතික කාර්ලෝ ඇකුටිස් භාග්‍යවරයට එසැවීම ඉතාලියේ අසීසි නුවර සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකාවේ දී අද පෙරවරුවේ සිදු විය. 

මෙතෙක්  "වන්දනීය කාර්ලෝ ඇකුටිස්තුමන් " යන සභාවේ නිල  ගෞරව නාමයෙන් හඳුන්වන ලද  මෙම ගැටවරයා ගේ මැදිහත් කමින් සිදු වූ අලුත් ම ප්‍රාතිහාර්යය සභා නීතියට අනුව පිළිගනිමින් එතුමන් භාග්‍යවරයට එසවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  අනුමැතිය දානය කලේ ඉකුත් පෙබරවාරි 22 වන  දා.ය. 

සහශ්‍රක පරපුරට අභියෝගයක් 

නව භාග්‍යවර කාලෝ ඇකුටිස් එතුමන් ගේ වයසේ ම පසුවන නූතන මිලේනියල් පරපුර හෙවත් සහශ්‍රක පරපුරට දැවැන්ත අභියෝගයක් එල්ල කරන භාග්‍ය වරයෙකි. ඔහු ද මේ පරපුරේ සෙස්සන් සේ සුපර් මාරියෝට සහ පෝකිමොන්ට ආදරය කලේ ය. එහෙත් ඔහු එකම සැබෑ "සුපර් ස්ටාර්" වන ජේසු සමිඳුන් සමග පෙමින් බැඳුණේ ය. එම ප්‍රේමය නිසා ඔහු  ගමේ, අසල්වාසියේ සිටි නැති බැරි ජනතාවට දැඩි සේ ප්‍රේම කලේ ය. 

කාලෝ ඇකුටිස් ගැටවරයා භාග්‍යවරයට එසැවීමට ප්‍රැන්සිස්  පියතුමන් අනුමැතිය දුන් දා එය ප්‍රථම  වරට සිංහලෙන් වාර්තා කරන ලද්දේ "වතිකාන සුළඟ" විසිනි.  
 
අපේ මිලේනියල් පරපුරට අභියෝග කිරීම සඳහා එම වාර්තාවට ඇතුලත් වූ කාලෝ ඇකුටිස්, දැන් 'සගපුර ටෙක් සේවියා' සොයා ගත් "අධි වේගී මාර්ගය" පළිබඳ වාර්තාව මෙසේ සටහන්   කරමු:  

පරිගණක තාක්ෂණවේදී ගැටවරයා

කාර්ලෝ ඇකුටිස් කුඩා කළ සිටම පරිගණක විද්‍යාඥයකු තරම් විශිෂ්ට ලෙස පරිගණක තාක්ෂනය ගැනත් ඊට සම්බන්ධ ඩිජිටල් තාක්ෂනය, අන්තර්ජාලය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පිළිබඳවත් මනා දැනුමකින් යුතුව සිටියේ ය. මේ නිසා බොහෝ ගුරුවරුන් මෙන් ම ඔහුගේ ලබැඳි මිතුරන් ඔහු හැඳින්වුයේ "ප්‍රාඥයකු" ලෙස ය.

අපේ යුගයේ ලෞකිකත්වයේ සංකේතයක් ව පවතින පරිගණකයෙන් විස්කම් පෑ මේ යෞවනයා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දකින්නේ මෙසේ ය:
"කාර්ලෝ ඇකුටිස් ස්වයං ප්‍රලයනය, හුදෙකලා වීම සහ හිස් වින්දනය යන  උගුල් වලට හසුව පාප පරීක්ෂා වලට වැටෙන  අපේ යුගයේ තරුණ තරුණියන්ට දැවැන්ත ආදර්ශයකි."

එතුමා  එසේ කියන්නේ ඇයි? කවුද මේ කාලෝ ඇකුටිස්?

කාලෝ  ඇකුටිස් උපන්නේ 1991 මැයි  3 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ය. එංගලන්තයේ ජීවත් වුනත් ඔහුගේ දෙමාපියෝ ඉතාලි ජාතිකයෝ ය. ඔවුහු  ආගමට දහමට භක්තියක් තිබු යුවලක් නොවුහ. පසුව පෙරළා සිය මව් රටට පැමිණි ඔව්හු මිලානෝ නගරයේ පදිංචි වූහ.

පුංචි තාක්ෂණ වේදී යා 

කුඩා කළ සිටම කාලෝ තුළ විශේෂ ලක්ෂණ  දෙකක්  තිබුනේ ය.

එකක් නම් පරිගණක සහ ඩිජිටල් තාක්ෂනයට ඔහු තුළ වූ ශුර බවයි. ඔහු වයසින් වැඩෙත්ම මේ දක්ෂතාව ද දීප්තිමත් ව වැඩෙන්නට පටන් ගත්තේ ය.

පරිගණක තාක්ෂනය පිලිබඳ විශ්ව විද්‍යාල උපාධි සහිත බුද්ධිමතුනට පමණක් වැටහෙන ඇතැම් පරිගණක රහස් ඔහු දැන සිටින ආකාරය ගැන ඔහු ගේ මිතුරන්  මෙන්ම ගුරුවරු ද මවිත වූහ. මේ නිසා ඔහු ගේ මිතුරන් මෙන් ම පරිගණක පිලිබඳ ප්‍රාමාණිකයන  ද ඔහු සැලකූයේ ප්‍රාඥයකු ලෙසයි. පරිගණක වැඩසටහන් කරණය, චිත්‍රපට සංස්කරණය සහ  වෙබ් අඩවි නිර්මාණය  ඔහු උනදුවක් දක්වූ දේ අතර විය.

මේ පරිගණක වේදියාට හොඳ හදවතක් ද තිබුනේ ය. ඔහු ළමයින්, වැඩිහිටියන් සහ ආබාධිතයන් වැනි   සමාජයේ දුර්වල කොටස් වලට උදව් වීමට ද උනන්දු විය. ආබාධිත සහ වෙනත් දුර්වලකම් නිසා කොන් වී සිටින ළමයිනට අතවර කරන දාමරික ළමයිනට එරෙහිව ඔහු නොබියව හඬ නැගුවේ ය. දුර්වල ළමයින් ආරක්ෂා කලේ ය.

තාක්ෂණවේදී ජේසු ලබැඳියා

මේ ළමා පරිගණක ශුරයා කුඩා කල සිට ම ජේසු සමිදුන්ට  කිට්ටු ලබැඳි මිතුරෙක් වූයේය. එය ඔහු තුළ වූ දෙවැනි ලක්ෂණය යි.



කාර්ලෝ ඇකුටිස්  ඉගෙන ගත්තේ ජේසු නිකායට අයත් මිලානෝවේ 13 වන ලියෝ (Istituto Leone XIII ) පාසලේ ය. ඔහු කුඩා කාලයේ සිට ම දින පතා ම දිව්‍ය  පූජාවට ගියේ ය. වයස අවුරු 7 දී ඔහු ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තේ ය. ඉන් පසු දිගටම දිව්‍ය පූජාවට ගිය ඔහු සත්ප්‍රසාද වහන්සේ ලබාගෙන සත්ප්‍රසාද මංජුසාවේ වෙසෙන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ යාච්ඥා කරමින් සහ වන්දනාවෙන් බොහෝ වෙලා ගත කළේය. ඒ වයසේ අනෙක් ළමයින් තුළ නොවූ ආකාරයෙන් ඔහු තුළ පාපොච්චාරණයට ද බැඳීමක් විය. ඔහු සෑම සතියක ම සමගි සන්ධානයේ සක්‍රමේන්තුව (පාපොච්චාරනය) ලබා ගත්තේ ය.

පරිමිතයෙන් ඔබ්බට -  ''අනන්තයට"

ජේසු සමිඳුන් සමග කාර්ලෝ ඇති කරගෙන තිබු මෙම ලබැඳි මිතුදම ඔහු ගේ කුඩා සිත  මේ 'අන්තයක්' සහිත ලෝකයෙන් "අනන්තය" දක්වා රැගෙන ගියේ ය. "අපේ අරමුණ විය යුත්තේ  පරිමිතය නොව සදාතනය (අනන්තය) බවට පත්වීමයි. (Our goal must be the infinite and not the finite.) අපේ නියම මව් රට සදාතනය යි. ස්වර්ගය නිතරම අපව බලාපොරොත්තුවෙන් ඉන්නවා," යි මේ ගැටවර  විද්‍යාඥයා  කීවේ ය.

කාර්ලෝ තාක්ෂණික පද ආධ්‍යාත්මික සිතිවිලි හා යා කළේය.

"සෑම කෙනෙක් ම උපදින්නෙ මුල් පිටපත් හැටියට. ඒත් හුඟ දෙනෙක් මිය යන්නෙ ෆොටෝ කොපි වෙලා," (All people are born as originals but many die as photocopies”) යි  ඔහු කීවේ ය. "ෆොටෝ කොපි බවට පත් නොවී මුල් පිටපත් බව රැකගන්න නම්, දේව වචනය අපගේ මාළිමාව වෙන්න ඕනෑ. දේව වචනයේ මාලිමාව අපි ඉන්න තැන නිතරම පෙන්නනවා. ඒ වගේම  අපට සදාතනයට ලංවිය හැක්කේ යාච්ඥාව සහ සක්‍රමේන්තු නමැති මිනුම් වලිනුයි. විශේෂයෙන් ම ජීවිතයේ කේන්ද්‍රීය සක්‍රමේන්තුව දිව්‍ය සත්ප්‍රසාදය යි" ඔහු කීවේ ය. "ස්වර්ගයට මගේ අධිවේගී මාර්ගය දිව්‍ය සත්ප්‍රසාදය යි" යි මේ ඩිජිටල් ගැටවරයා පෙන්වා දුන්නේ ය.

මේ ගැටවර වෙබ් අඩවි නිර්මාපකයා, ග්‍රැෆික් ඩිසයින් කරුවා තුළ මෙවැනි මුහුකුරා ගිය ආධ්‍යාත්මික සිතිවිලි පහල වුයේ කෙසේද?

ඊට හේතුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත ඔහු තුළ වූ ප්‍රේමය යි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ වෙසෙන ජේසු සමිඳුන් කෙරෙහි ඔහු තුල බැතිබර, ප්‍රේමනීය විශ්වාසයක් තිබුනේ ය. යෞවනයේ ම වචන වලින් කියනවා නම් ඔහු සත්ප්‍රසාදීය ජේසු සමිඳුන් සමග පෙමින් බැඳුනේ ය.

"හැම වෙලාවේම ජේසු සමග සම්බන්ධ වී සිටීම: මගේ ජීවිතයේ සැලැස්ම ඒකයි" ඔහු ඒ පෙම් බැඳීම විස්තර කලේ එහෙම ය.

ජේසු ගේ හද බැඳී දුප්පතුන් වෙනුවෙන් ප්‍රේමය 

ජේසු සමිඳුන් වෙත ප්‍රේමයෙන් බැඳෙන හදවතක් සිය දුක් විදින සහෝදර සහෝදරියන් වෙනුවෙන්  විවෘත නොවන්නේ නම්, එම ප්‍රේමය අරුත් සුන් එකකි. ජේසු වෙත බැඳෙන ප්‍රේමය සහෝදරයන් වෙත ගල යාමෙන් ප්‍රකාශ විය යුතු ය. කාලෝ එය සිය ජීවිතයෙන්  ඔප්පු කළේය. 

ඔහු ගෙදර සිට පල්ලියට එන පාරේ සිටි ගෙදරක් අහිමි මිනිසෙකු නිතර ඔහු ගේ නෙත ගැටුණේ  ය. සීත කාලයේ ඔහු සීතලේ ගැහි ගැහී සිටිනු කාලෝ දුටුවේ ය. තමන් ඉතුරු කරගත් පළමු මුදලින් නිදන බෑගයක් මිලදී ගත්  කාලෝ  මේ ගෙදරක් නැති තැනැත්තාට එය තෑගි කලේ ය. කාලෝ වීඩියෝ ක්‍රීඩා වලට බොහෝ ඇලුම්  කළේය. මේ මුදලින් වීඩියෝ ක්‍රීඩාවක් මිල දී ගන්නට ඔහුට ඉඩ තිබිණි. එසේ නොමැති නම් දේවස්ථානයේ ගොඩනැගිලි අරමුදලට 'පරිත්‍යාග' කිරීමට ද ඔහුට අවස්ථාවක් තිබිණි. එහෙත් ඊට වඩා සීතලේ දුක් විදින ගෙදරක් නොමැති වැඩිහිටියා ගේ වේදනාව ඔහුට දැනුනේ ය. ඒ මිනිසා තුල දුක් විඳිමින් සිටි තුළ ජේසු සමිඳුන් ඔහු හඳුනා ගත්තේ ය. 

ඔහු ගේ උපකාර ලැබුවේ මේ ගෙදරක් නොමැති වැඩිහිටි මිනිසා පමණක් නොවන බව ඔහු ගේ ගමේ සහ පවුලේ ජනතාව දැනගත්තේ ඔහු මිය ගිය දා  ය.  ඔහු ගේ දේහය වෙනුවෙන් අවමංගල මෙහෙය ඔහු  ගේ ගමේ දෙව්මැදුරේ පවත්වන ලද මොහොතේ එම දෙව්මැදුර අසරණ දුප්පත් මිනිසුන් රාශියකගෙන් පිරී ගියේ ය. ඒ හැමෝම ඔහු ගේ ස්පර්ශය ලැබූවෝ  වූහ.  

ඔහු ගේ ගම ද අසරණයන් ගේ සාන්තුවරයා වන ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ උපන් ගම වන අසීසිය ය. මේ ටෙක් සැවි ගැටවරයාට ද ප්‍රැන්සිස් තරුණයා ගේ හදවත ලැබී තිබීම සුන්දර කාරණයක් විය. මේ නිසා භාග්‍යවරය ආසන්න වන විට ප්‍රැන්සිස් සහ කාලෝ  සම්බන්ධ කොට නිර්මාණය කෙරුණු පෝස්ටර නගරයේ තැන තැන දක්නට ලැබිණි. පහත දැක්වෙන්නේ එවැන්නකි . 




"අධිවේගී මාර්ගයේ" ගමන:  දිව්‍ය සත්ප්‍රසාදීය "අථත්‍ය කෞතුකාගාරය"   

දිව්‍ය සත්ප්‍රසාදීය සමිඳුන් වෙත වූ  පෙම් බැඳීම වෙබ් තාක්ෂණවේදී කාර්ලෝ  වටීනා දූත සේවාවක් වෙත යොමු කළේය. එනම් වෙබ් තාක්ෂණය භාවිත කරමින් දිව්‍ය සත්ප්‍රසාද  වහන්සේ පිලිබඳ තොරතුරු ලෝකයට ප්‍රකාශ කිරීමයි. වෙනත් වචන වලින් කියන්නේ නම්, සිය වෙබ් සහ පරිගණක  කුසලතා "වෙබ් ධර්මදානීය සේවාව" සඳහා භාවිත  කිරීමයි.

ක්‍රිස්තුන් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය තුළත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩමවා තිබෙන මංජුසාව තුළත් වැඩවෙසෙන බව ජනතාව සැබවින් ම තේරුම් ගන්නේ නම් සහ එය  අත්දකින්නේ නම්, දෙව්මැදුරු ජනතාවගෙන් පිරී යනු ඇති බව කාර්ලෝ විශ්වාස කළේය. ජනතාවට මේ බව තේරුම් කළ හැකි මාර්ග ගැන ඔහු කල්පනා කළේය. ලොව පුරා සිදු වී තිබෙන දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය ගැන ඔහු දැනගත්තේ මේ ගැන අධ්‍යයනය කරද්දී ය.

මේ අනුව  මෙතෙක් කතෝලික සභාව නිල වශයෙන් පිළිගෙන අනුමත කර තිබෙන දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය ගැන අධ්‍යයනය කල ඔහු ඒවා සූචි ගත කළේය. ඉන් පසුව ඔහු දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කලේ ය. ඉන් අනතුරුව ඔහු තමන් සූචි ගත කල ප්‍රාතිහාර්ය එකින් එක එම වෙබ් අඩවියට ඇතුළු කළේය.

එම වෙබ් අඩවියේ URL ලිපිනය http://www.miracolieucaristici.org/en/Liste/list.html   යන්නයි.

මේ වන විට එය ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විසින් කියවන ලද වෙබ් අඩවියක් බවට පත්ව තිබේ. දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය සිදු වූ ස්ථාන කිහිපයකට තමන් කැටුව යන ලෙස ඔහු සිය දෙමාපියන්ගෙන් ඉල්ලුවේය. ඒ අනුව ඒ බොහෝ තැන් සිය දෙනෙතින් දකින්නට ද ඔහු භාග්‍ය ලද්දේ ය.

ගත වූ සියවස් ගණනාවක කාලය පුරා  ලෝකයේ විවිධ ප්‍රදේශවල සභාව අනුමත කළ දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය 136ක් සිදු වී තිබේ. මෙම සියලු ප්‍රාතිහාර්ය පිලිබඳ තොරතුරු එක්වූ කාර්ලෝ ඇකුටිස් නමැති යොවුන් තාක්ෂණවේදියා ගේ වෙබ් අඩවිය දිව්‍ය සත්ප්‍රසාදය පිලිබඳ "අථත්‍ය  කෞතුකාගාරයක්"  (‘virtual museum’) ලෙස හැඳින්විය හැකි බව විශේෂඥයෝ පවසති.

ඔහු වෙබ් අඩවිය නිර්මාණය කිරීම ආරම්භ කලේ වයස අවුරුදු 11 දී ය. අවුරුදු දෙකහමාරක් තුළ ඔහු එය අවසන් කලේ ය.

"අප දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නා තරමට අපි  වඩ වඩාත් ජේසු සමිඳුන් බවට පත් වෙමු. මේ අනුව මේ ලෝකය තුළ අපට ස්වර්ගයේ රසය අත්දකින්නට වරම් ලැබේ" යි ඔහු වෙබ් අඩවියේ ලියා තැබුවේ ය.

මීට අමතරව ඔහු තවත් වෙබ් නිර්මාණ කිහිපයක් කළේය. "දේවදූතයන් සහ යක්ෂයෝ" සහ :ස්වර්ගය, නිරය සහ ශුද්ධිකාග්නිස්ථානය" ඒ අතර විය.

අවසන් නොවූ මරිය නිර්මාණය 

මෙවැනි බැතිමත් හදවතක් තිබුනත් කාර්ලෝ සම වයසේ අනෙක් ගැටවරයන් බඳුම සාමාන්‍ය යෞවනයෙක් විය. ඔහු සිය මිතුරන් සමග විනෝද විය.

එහෙත් තරුණ තරුණියන් වඩවඩාත් ලිංගික ආශා වලට නැඹුරු වන ලෝක සංස්කෘතියක් තුළ ඔහු සිය සම වයස් මිතුරනට වඩා ඔබ්බෙන් සිටියේ ය. "මගේ ජීවිතයේ සිටින එකම කාන්තාව මරිය අම්මා යි" යයි ඔහු කීවේ ය.

මේ අනුව සිය මීළඟ වෙබ් නිර්මාණය ලෝකයේ දේව මාතා දර්ශනය වීම් වලට කැප කරන්නට ඔහු තීරණය කළේය.

එහෙත් ඔහුට M3 ලියුකේමියාව නමැති රුධිර පිළිකා රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරුන් සොයා ගත්තේ ඔහු මෙම මරිය නිර්මාණය ආරම්භ කල මුල් කාලයේ ය. එය ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා විශේෂයකි. එසේම එය අතිශය දැඩි වේදනාවක් ද සහිත  රෝගයකි.

"කාර්ලෝට වේදනාව වැඩිද?" වරක් ඔහුගේ වෛද්‍යවරයා ඇසුවේ ය.
"මටත් වඩා වේදනාවෙන් ඉන්න අය ඉන්නවා," ඔහු පිළිතුරු දුන්නේ ය. "ජේසු වෙනුවෙන් මට විඳින්නට වෙන වේදනා සියල්ලම පාප් වහන්සේ වෙනුවෙනුත් සභාව වෙනුවෙනුත් මම ඔප්පු කරනවා."

මෙවැනි "කුඩා මල්" දෙවියන් වහන්සේ ට ඉතා ප්‍රසන්න ය. උන්වහන්සේ එවැනි පිවිතුරු කුසුම් තාරුණ්‍යයේ දී ම නෙලා ගනිති. ශු. ලිසුවෙක්ස් හි තෙරේසා තුමිය හෙවත් "ජේසු ගේ කුඩා මල" උන්වහන්සේ නෙලා ගත්තේ වයස අවුරුදු 25 දී ය. පිවිතුරු ජීවිතයක් ගත කරමින් අසරණයනට සරණය වූ ශු. ඇලෝසියස් ගොන්සාගා තුමන් සදාතනයට ඉගිල ගියේ වයස අවුරුදු 23 දී ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 කි.

මරිය දර්ශන නිර්මාණය අවසන් කරන්නට පෙර 2006 ඔක්තෝබර 12 වන දා කාලෝ ඇකුටිස් තමන් සිහින මැවූ "අනන්තය" හෙවත් "සදාතනය" වෙත කැඳවා ගනු ලැබුවේ ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15 කි.

සාන්තුවර ක්‍රියාමාර්ගයේ එක පියවරක් වශයෙන් ඔහු ගේ සිරුර මිහිදන් කළ ස්ථානයෙන් ගොඩ ගනු ලැබිණි. ඉන් පසුව එම සිරුර ඉතාලියේ අසීසි නුවර සාන්ත ප්‍රැන්සිස්  අසීසි තුමන් සිය උරුමයන් ප්‍රතික්ෂේප කල ස්ථානයේ ගොඩ නගා ඇති දේවමාතා දෙව්මැදුරේ තැන්පත් කරනු ලැබිණි. මෙම සිද්ධස්ථානය කාර්ලෝ ඉතා ප්‍රිය කල ස්ථානයකි.

"කාර්ලෝ ගේ සිරුර තැන්පත් කළ මෙම සිද්ධස්ථානය යොවුන් ජනතාව සිය කැඳවීම ප්‍රවිච කරන වටිනා ස්ථානයක් වේවා!" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තරුණයන්  පිලිබඳ සිනොඩ් සමුළුවෙන් පසුව නිකුත් කල අපෝස්තලික සංදේශයේ ප්‍රාර්ථනා කර තිබේ.
  
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2018 ජුලි 5 වැනිදා කාලෝ ඇකුටිස් ගේ "ආධ්‍යාත්මික වීර ගුණය" පිළිගනිමින් ඔහු "වන්දනීය" තත්වයට පත් කළේය. ඔහු ගේ  මැදිහත් කමින් සිදු වූ බව ප්‍රකාශ වූ සුවපත් වීම ප්‍රාතිහාර්යයක් බවට  වෛද්‍ය විශේෂඥයන් විසින් අනුමත කරන ලද්දේ 2019  පෙබරවාරි 21 වැනිදා ය. එම වාර්තාව පදනම් කරගනිමින් වන්දනීය කාලෝ ඇකුටිස් තුමන් භාග්‍යවරයට එසැවීමට වතිකානයේ සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ පර්ෂදය කළ නිර්දේශය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙබරවාරි 21 වැනිදා අනුමත කලේ ය.

භාග්‍යවරය


කාලෝ ඇකුටිස් ගැටවරයා භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව ශා. ප්‍රැන්සිස් අසීසි බැසිලිකාවේ භාරකරු වන අගෝස්තිනෝ වැලීනි කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. 

"ජනතාවට ආදරය කිරීමටත් ඔවුනට යහපත කිරීමටත් කෙනෙකු ජේසු සමිඳුන් ගෙන් ජීවය සහ ශක්තිය ලබා ගත යුතු බව කාලෝ ප්‍රත්‍යක්ෂ කරගෙන  සිටියා" යි පූජාවේ ධර්මානුශාසනය කරමින් කාදිනල් හිමි කියා සිටියේ ය. "හැකි තරම් විශාල ජනතාවක් සමිදුන් වෙත ආකර්ෂණය කර ගැනීමත් ඔහු ගේ බලාපොරොත්තුවක් වී තිබුනා" එතුමා කීවේ ය. 

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය