"නූතන ආර්ථික ක්‍රමය වෙනස් විය යුතු යි; අනාගත පරපුරට මිහිතලය ඉතිරි කරමින් නූතන පරපුරේ අවශ්‍යතා සපුරා ගන්නා ආර්ථික ක්‍රමවේදයකට වහාම අවතීර්ණ වෙමු" - පරිසර සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර ඩිජිටල් වේදිකාව අමතමින් සුදොතුම් පියතුමා යෝජනා කරයි

"Time is running out to fix economy and protect Earth" Holy Father says in TED vedio address



 (2020 ඔක්තෝබර 14)

"පූර්ණ පරිසර සමතුළිතතාවයක්" ඇති  කිරීම වෙනුවෙන් වහාම - හෙට නොවේ, අදම - ක්‍රියා කරමු යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින 'යහපත් සිත් ඇති' සියලු ජනතාවට ආරාධනා කරයි. අපේ පොදු නිවහන වන මිහිතලය විනාශයට ඇදී යාම වේගවත් වෙමින් පවතින බැවින් ප්‍රමාද වීමට කාලයක් නොමැති බව එතුමා පෙන්වා දෙයි. 

ලෝකයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන  ආර්ථික ක්‍රමය තවදුරටත් "පවත්වා ගත නොහැකි බව" ඔප්පු වී ඇතැයි එතුමා කියා සිටියි. "අප නිෂ්පාදනය කරන ආකාරය, පරිභෝජනය කරන ආකාරය, අපගේ විනාශයේ සංස්කෘතිය, දුප්පතුන් සූරා කෑම සහ ඔවුනට අසංවේදී වීම, අසමානතා වර්ධනය වීම සහ විනාශ කාරී බලශක්ති ජනනය කිරීම වැනි දේ ගැන යළි කල්පනා කිරීමට කාලය පැමිණ තිබේ" යි එතුමා පවසයි.  

"තෝරාගැනීම ඇත්තේ, වැදගත් වන්නේ කුමක්ද වැදගත් නොවන්නේ කුමක්ද යන කාරණාව තුළ ය. අප තෝරාගත යුත්තේ අන්ත දුප්පතුන් ගේ වේදනාවත් අපගේ පොදු නිවහන වන මිහිතලය දුෂ්‍ය කිරීමත් නොසලකා හරිමින් අප නොකඩවා දිගටම ක්‍රියා කරනවා ද ? නැතහොත්  සෑම තලයක ම අප ජීවත් වන සහ ක්‍රියා කරන ආකාරය පූර්ණ ලෙස වෙනස් කිරීමට ක්‍රියා කරනවා ද? යන  කාරනා දෙක අතරිනි" යි එතුමා පෙන්වා දෙයි. 

පූර්ණ සමාජ-පාරිසරික සමතුළිත බවක් ඇති කිරීම සඳහා  පියවර තුනක "සාමුහික ගමනක්' ද එතුමා යෝජනා කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ 'ටෙඩ්' ඩිජිටල් ජාත්‍යන්තර සංවාද පීඨය විසින් දියත් කරන ලද දේශගුණය වෙනස් වීම පිලිබඳ  "කවුන්ට්ඩවුන්" (TED DIGITAL EVENT "COUNTDOWN")  දේශන මාලාවේ සිය වීඩියෝ දේශනය ඉදිරිපත් කරමිනි. 

පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් සංවිධාන කෙරුණු  "COUNTDOWN" ඩිජිටල් සංවාද පීඨය ඔක්තෝබර 10 වන දා දියත් කෙරිණි. යූටියුබ් ඔස්සේ විකාශය කෙරුණු මෙම සංවාදයේ දී ලොව පුරා රටවල් රැසක වියතුන්, කලාකරුවන්, විද්‍යාඥයන්, මත සකසන්නන් ඇතුළු දේශකයෝ  50 කට වැඩි සංඛ්‍යාවක් අදහස් ප්‍රකාශ කළහ. මිහිතලය සුරක්ෂිත කිරීමට ඉවහල් වන, "ක්‍රියාත්මක කල හැකි, පර්යේෂණ මත පදනම් වූ, විද්‍යාත්මක දත්ත මත පිහිටි, අරුමය සහ අනුප්‍රාණය සහිත" යෝජනා එම දේශකයන් විසින් ඉදිරිපත් කෙරෙන බව  "COUNTDOWN" ඩිජිටල් වේදිකාවේ සංවිධායකයෝ ප්‍රකාශ කළහ. 

ලොව සියල්ලනට ආරාධනා

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය වීඩියෝ දේශනය එම වියත් සභාව ඔස්සේ ඉදිපත් කරමින් අමතන්නේ සමස්ත ලෝකයට ය. "කතෝලික හෝ කිතුනු"ප්‍රජාවෙන් ඔබ්බට යමින්, මෙම සාමුහික ප්‍රයත්නයට එක්වන ලෙස එතුමා ලොව පුරා සිටින සියලුම ආගම් අදහන , ආගම් නොඅදහන, "සුසිත් ඇති සියල්ලනට" මෙසේ ආරාධනා කරයි. 

"එකට එක්ව ගමනක් යන්නට ඔබට ආරාධනා කරන්නට මම කැමැත්තෙමි. එය පරිවර්තනයේ සහ ක්‍රියාකිරීමේ ගමනකි. එය වචන රාශියකින් යුත් ගමනක් නොවේ. එය සැබෑ සහ ක්ෂණික සහ වහා කල යුතු ක්‍රියා වලින් යුත් ගමනකි."

"කිතුනු වේවා කිතුනු නොවේවා , සියලු ආගම් අනුයන ජනතාවට ඊට එක්වන ලෙස ආරාධනා කිරීමට මම කැමැත්තෙමි. එසේම ආගම් නොඅදහන, සුසිත් ඇති සියලු ජනතාවට  ද මම ඊට ඇරැයුම් කරමි."

"කිතුනු වේවා කිතුනු නොවේවා , සියලු ආගම් අනුයන ජනතාවට ඊට එක්වන ලෙස ආරාධනා කිරීමට මම කැමැත්තෙමි. එසේම ආගම් නොඅදහන, සුසිත් ඇති සියලු ජනතාවට  ද මම ඊට ඇරැයුම් කරමි. ඔබට ආගමික විශ්වාසයක් ඇත්  නම් මේ  ගමන එතනින් ආරම්භ කරන්න . ඔබට ආගමික විශ්වාසයක් නොමැති නම් ඔබගේ යහපත් අදහස් තුළ එය ආරම්භ කරන්න. තනි තනිවත්, සාමුහිකව කණ්ඩායමක් වශයෙනුත් - එනම්, පවුල් වශයෙන් ආගමික ප්‍රජා වශයෙන්, ව්‍යාපාර, සමාජ සංවිධාන හෝ ආයතන වශයෙන් - අප සෑම සියලු දෙනාටම ඊට වැදගත් දායකත්වයක් ලබා දිය හැකි ය."

එබැවින් සුදොතුම් පියතුමා මිහිතලය ආරක්ෂා කිරීමේ ගමනට ආරාධනා කරන්නේ කතෝලික ජනතාව ගේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් පමණක් නොවේ. ආගමික සීමාවෙන් ඔබ්බට යමින් මිහිතලයේ හෙට දවස  බරපතල ලෙස සිතන වැඩිහිටියකු ලෙස ය. 

ඉලක්කය 

අන්ත දුප්පතුන් ගේ දුක් වේදනා වලටත් වර්ධනය වෙමින් පවත්නා ආර්ථික අසමානතා වලට සහ සමාජ අසාධාරණත්වයන්ටත් අසංවේදීව සිටීමට අපට නොහැකි බව අපගේ හෘද සාක්ෂ්‍ය අපට පවසන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "එසේ ම ආර්ථිකය හුදෙක් නිෂ්පාදනය සහ බෙදාහැරීමට පමණක් සීමා කළ නොහැකිය.එය පරිසරය මත කෙරෙන බලපෑම සේ ම මානව පුද්ගලයා ගේ ගරුත්වය ද සැලැකිල්ලට ගත යුතු ය. ආර්ථිකය එතුළමත්, එහි ක්‍රමවේද තුළත් එය ක්‍රියාත්මක වන ආකාරය තුළත්  නිර්මාණශීලී විය යුතු යැ"යි එතුමා පැහැදිලි කරයි. 

මේ තත්වය සැලකිල්ලට ගෙන "තනි තනිව සහ සාමුහිකව" ගමනක් යන්නට එතුමා ලොව පුරා වෙසෙන සුසිත් ඇති ජනතාවට ආරධාන කරන්නේ එයින් පසුව ය. 

මේ ගමනට ඉලක්කයක් ඇති බව එතුමා පෙන්වා දෙයි. එම ඉලක්කය නම්, අනාගත පරම්පරා වලට පිරිසිදු වාතය, පිරිසිදු ජලය, තුරු ලතා ඇතුළු ජීවත් වීමට අවශ්‍ය මූලික මූල ද්‍රව්‍ය විනාශ නොවන ආකාරයෙන් නූතන පරපුරේ අවශ්‍යතා සපුරා ගත හැකි ක්‍රමවේදයක් සහිත සමාජ ආර්ථික රටවාක් ගොඩ නැගීමය . එය එතුමා විස්තර කරන්නේ මෙසේ ය: 

"මේ ගමනේ ඉලක්කය නම් ඊළඟ දශකය තුළ දී සියල්ලන් අන්තර්ග්‍රහණය කර ගනිමින් වර්තමාන පරම්පරාවේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි, ඒ අතර ම , අනාගත පරම්පරාවලට  කළ හැකි දේ අනතුරේ නොවැටෙන ආකාරයේ  ලෝකයක් ගොඩ නැගීමයි,"  

"මේ ගමනට පැහැදිලි ඉලක්කයක් තිබේ. එනම්, ඊළඟ දශකය තුළ දී සියල්ලන් අන්තර්ග්‍රහණය කර ගනිමින් වර්තමාන පරම්පරාවේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි, ඒ අතර ම , අනාගත පරම්පරාවලට  කළ හැකි දේ අනතුරේ නොවැටෙන ආකාරයේ  ලෝකයක් ගොඩ නැගීමයි,"  යි එතුමා අවධාරණය කරයි. 

පූර්ණ පාරිසරික සමතුළිත බව  

මීට  වසර පහකට පෙර 'අපගේ පොදු නිවහන රැකබලා ගැනීම' පිළිබඳව  තමන් විසින් නිකුත්  ලද Laudato si හෙවත්  "වේ ප්‍රශංසා" නමැති ප්‍රථම සමාජ විශ්ව ලේඛනය ගැන එතුමා මෙහිදී  සිහිපත් කරයි. එම ලේඛනයෙන්  එතුමා "පූර්ණ පාරිසරික සමතුළිතතාවය" ("integral ecology") යන සංකල්පය හඳුන්වා දුන්නේ ය. මේ වචනයේ අරුත නම් "මිහිතලයේ විලාපයට සේ ම  විලාපයට ද එක්ව ප්‍රතිචාර දැක්වීම බව සුදොතුම් පියතුමා කියයි. 

"පූර්ණ පාරිසරික සමතුළිතතාව යනු ජීවිතය පිලිබඳ පූර්ණ දැක්මකට කෙරෙන ආරාධනයකි. මෙය ආරම්භ වන්නේ ලෝකයේ පවතින සියල්ල එකට සම්බන්ධය යන අවබෝධයෙන් සහ, වසංගතය අපට සිහිපත් කර ඇති ආකාරයට, අප සියලු දෙනා එකිනෙකා මත අන්‍යොන්‍ය වශයෙන් යැපෙන අතර  අප සියලු දෙනා මිහි මවගෙන් යැපෙන්නේ ය යන අවබෝධයෙනි."

ලෝකය විසින් සංවර්ධනය සහ ආර්ථික ප්‍රගතිය තේරුම් ගත යුත්තේත් නිර්වචනය කල යුත්තේත් මෙම 'අන්‍යෝන්‍ය පරායත්ත භාවයේ" සිට බව එතුමා පැහැදිලි කරයි. එසේ කිරීමේ දී ආර්ථික, තාක්ෂණික සහ මූල්‍ය දළ නිෂ්පාදිතයට අප සීමා කර නොගෙන ආචාරධාර්මික-සමාජයීය සහ අධ්‍යාපනික මාන වලට කේන්ද්‍රීය වැදගත් කමක් දිය යුතු බව එතුමා යෝජනා කරයි.  

මේ ගමනේ පියවර තුන 

මේ ඉලක්කය ජය ගැනීමට යන සාමුහික ගමන පියවර  සමන්විත විය යුතු බවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යෝජනා කරයි. 

ප්‍රථම පියවර "අපගේ පොදු නිවහන වන මිහිතලය රැකබලා ගැනීම පිළිබඳව" සෑම තලයකම අධ්‍යාපනයක් ලබා දීමයි."මෙම අධ්‍යාපනය මගින් පාරිසරික ප්‍රශ්න මානව අවශ්‍යතා හා බැඳී ඇති බවට පුළුල් අවබෝධයක් ලබා දිය යුතු ය. ..එම අධ්‍යාපනය  මත පදනම් විය යුතු අතර ඊට ආචාර ධාර්මික ප්‍රවේශයක් තිබිය යුතු ය. මෙම අංශ දෙකම වැදගත් ය." යෞවනයන් සහ තරුණ තරුණියන් බහුතරයක් මේ තත්වය අවබෝධ කරගෙන තිබීමත්, ඊට දැඩි ලෙස සංවේදී වීම සහ  ඔවුන් මේ වෙනුවෙන් සටන් කිරීමත්  ගැන තමන් සතුටට පත් සිටින බව ද සුදොතුම් පියතුමා සඳහා කරයි. 

දෙවැනි පියවර ජලය සහ පෝෂණය ගැන අවධාරණය කිරීම බව සුදොතුම් පියතුමා සිය වීඩියෝ පණිවිඩයේ ප්‍රකාශ කරයි. "පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති හැකියාව අනිවාර්ය විශ්වීය මානව අයිතිවාසිකමකි. ...විනාශකාරී නොවන කෘෂිකාර්මික ක්‍රමවේද මගින් නිෂ්පාදනය වන ප්‍රමාණවත් පෝෂණයක් ඇති කිරීම ආහාර නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ සමස්ත ක්‍රියාවලියේ ම මූලික අරමුණ විය යුතු ය."

"වහාම පොසිල ඉන්ධන භාවිත අතහැර පිවිතුරු බලශක්ති  ජනන ක්‍රම වලට මාරු විය යුතු ය."

තෙවැනි යෝජනාව බලශක්ති ජනන ක්‍රම මාරු කිරීමයි. "එනම් ක්‍රමානුකුලව එහෙත් වහාම පොසිල ඉන්ධන භාවිත අතහැර පිවිතුරු බලශක්ති  ජනන ක්‍රම වලට මාරු විය යුතු ය. හරිත නිවාස වායූන් ඉතා සීඝ්‍රයෙන් අඩු කිරීම සඳහා අපට ඇත්තේ ඉතා සුළු කාලයක් බව , වසර තිහකටත් වඩා  අඩු කාලයක් බව, විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙය ඉතා ඉක්මනින් සිදු විය යුතු  හා වර්තමාන සහ අනාගත බලශක්ති අවශ්‍යතා පිරිමසන පියවරක් පමණක් වීමේ නොසෑහේ. එය දුප්පතුන් මත ඇතිවිය හැකි බලපෑම සහ බලශක්ති අංශයේ රැකියා වල නිරටැහැ වූ ජනතාව මත එයින් වන බලපෑම ද සැලකිල්ලට ගත යුතු යැ"යි සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

වෙනස සිදු කල හැකි ප්‍රායෝගික මාර්ග 

මෙම වෙනස ප්‍රායෝගිකව සිදු කල හැකි මාර්ග  ද සිය TED "COUNTDOWN"  වීඩියෝ දේශනයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය. එක් අතකින් පරිසරය රැකබලා ගන්නා ව්‍යාපාර දිරිමත් කරන අතර අනෙක් අතින් එම පරාමිතීන්ට ගරු නොකරන  ආයෝජනයෙන් ඉවත් වීම ඉන් එක් යෝජනාවකි. එතුමා එය විස්තර කලේ මෙසේ ය: 

"මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා එක් අතකින්  පූර්ණ පාරිසරික සමතුළිතතා පරාමිතීන්ට ගරු නොකරන ව්‍යාපාර වල ආයෝජනය  කිරීමෙන් ඉවත් විය යුතු ය. ඒ වෙනුවට තිරසර සංවර්ධනය, , සමාජ සාධාරණත්වය සහ සමාජයේ පොදු යහපත ප්‍රවර්ධනය කිරීම වැනි පරාමිතීන් සිය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් බවට පත් කරන ව්‍යාපාර ඔරවර්ධනය  කොට ඔවුනට දිරිගැන්වීම්  ලබා දිය හැකිය."

"මේ වෙනස දිරිමත් කල හැකි එක මාර්ගයක් වන්නේ අපගේ පොදු නිවහන පූර්ණ ලෙස රැකබලා ගැනීමට ව්‍යාපාර යොමු කිරීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා එක් අතකින්  පූර්ණ පාරිසරික සමතුළිතතා පරාමිතීන්ට ගරු නොකරන ව්‍යාපාර වල ආයෝජනය  කිරීමෙන් ඉවත් විය යුතු ය. 

 ඒ වෙනුවට තිරසර සංවර්ධනය, , සමාජ සාධාරණත්වය සහ සමාජයේ පොදු යහපත ප්‍රවර්ධනය කිරීම වැනි පරාමිතීන් සිය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් බවට පත් කරන ව්‍යාපාර ඔරවර්ධනය  කොට ඔවුනට දිරිගැන්වීම්  ලබා දිය හැකිය."

 කතෝලික සහ වෙනත් ආගමික සංවිධාන රැසක් මේ වන විටත් මෙවැනි ව්‍යාපෘති වලට පවිස සිටින බ අව ද සුදොතුම් පියතුමා සඳහන් කරයි. 

නූතන ආර්ථික ක්‍රමය අසාර්ථකයි 

නූතන ආර්ථික ක්‍රමය පවත්වා ගත නොහැකි බව මේ වන විට ඒත්තු ගොස්  ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

"අප නිෂ්පානය කරන්නේ කෙසේ ද? අප පරිභෝජනය කරන්නේ කෙසේ ද? අපගේ නැති කිරීමේ සංස්කෘතිය, දුප්පතුන් සූරාකෑම , ඔවුන් කරෙහි අසංවේදී බව, සමාජ විෂමතා වර්ධන වීම සහ විනාශකාරී බලශක්ති මත යැපීම වැනි බොහෝ දේ ගැන අප සිතිය යුතු ය.  මේ යතාර්තයන් ගැන සිතන්නට ආචාර ධාර්මික අනිවාර්ය බවකටත් ඉතා හදිසි තත්වයකටත් අපි මුහුණ දී සිටිමු" යි සුදොතුම් පියතුමා සිය වීඩියෝ පණිවිඩයේ වැඩි දුරටත් කියා සිටියි.  

මෙම වීඩියෝ දේශනය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ "වේ ප්‍රශංසා" විශ්ව  ලේඛනයේ සාරාංශයක් වැන්න . එසේම එය "සියල්ලෝ සොහොයුරෝ" විෂ ලේඛනයට පිවිසුමක් සේ ය. 

ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවට මේ දිවැසිවර හඬ කෙතරම් දුරට ඇසෙන්නේ ද ? ඇසෙන්නේ නම්,  පරපුරේ අවශ්‍යතා සපුරා ගන්න නමුත් අනාගත පරපුර සඳහා, හුස්ම ගන්නට පිරිසිදු වාතය, පානය කරන්නට පිරිසිදු ජලය සහ මිහි මවට හුස්ම ගන්නට අවශ්‍ය පෙනහළු බඳු වනාන්තර ආරක්ෂා කර තැබීමට ගන්නා ප්‍රායෝගික පියවර කවරේ ද? 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය