"නැගෙමින් ඇති ඇති තර්ජන වලට මුහුණ දීමට නොකඩවා ජපමාලය යදින්න" - සුදොතුම් පියතුමා කතෝලික ජනයාගෙන් ඉල්ලයි

"Pray the rosary amid looming threats” - Pope urges Catholics


(2020 ඔක්තෝබර 10)

ප්‍රේමවන්ත මරිය යැදුම වන ජපමාලය නොකඩවා යදින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලිකයනට උපදෙස් දෙයි. "විශේෂයෙන් ම ලෝකය ඉදිරියේ නැගී එන තර්ජන සහ ආපදා ඉදිරියේ ජපමාලය යදින" ලෙස එතුමා ඉල්ලා සිටියි. 

එතුමා මෙම අනුශාසනය කළේ ඔක්තෝබර 7 වන දින බදාදා පැවැත්වුණු පොදු හමුව අවසානයේ එහි රැස්ව සිටි ජනතාවගෙන් සහ ලොව පුර වෙසෙන කතෝලික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමිනි. 

ඔක්තෝබර මාසය ජපමාල මාසයයි. මේ මාසය විශේෂයෙන් ම ජපමාල මරිය යැදුම ඔප්පු කිරීම සඳහා කැප කර තිබේ. එසේ ම සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කල ඔක්තෝබර 7 වැනි දා ශුද්ධ වූ ජපමාල මෑණියන් ගේ මංගල්‍ය දිනය විය. 

වසංගතයේ දී ...

මරිය මෑණියන් දර්ශනය වූ අවස්ථා රැසක දී ම එතුමිය ඉල්ලා සිටි ප්‍රධාන කාරණයක් වූයේ "ජපමාලය යදින්න" යන්න බව සුදොතුම් පියතුමා සිහිපත් කලේ ය. "විශේෂයෙන් ම ලෝකය ආපදා සහ තර්ජන වලට මුහුණ පා සිටි අවස්ථාවලදී ජපමාලය යදින ලෙස සිය දර්ශන වලදී ඕ තුමිය ඉල්ලා සිටියා," යි එතුමා පෙන්වා දුන්නේ ය. 

"අද පවා, මේ වසංගත කාලය තුළ දී, ජපමාලය අතින් ගෙන, අප වෙනුවෙනුත් අප ආදරය කරන අය වෙනුවෙන් සේ ම සියලුම ජනතාව වෙනුවෙනුත් අපි යාච්ඥා කරමු"යි එතුමා ඉල්ලා සිටියේ ය. 

සොඳුරු භාවනාත්මක යැදුම 

ජපමාලය සොඳුරු, ගැඹුරු භාවනාත්මක යැදුමක්  බව ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. 

"ජපමාලය සෑම විට ම  සාක්කුවේ දමාගෙන යන්න" 

"ජපමාලය මරිය මෑණියන්ට ඔප්පු කල හැකි ඉතා සුන්දරම යාච්ඥාවක්. එය අපගේ ගැලවුම් කාරයාණන් වන ජේසු සමිඳුන් ගේ ජීවිතයේ අවධීන් මරිය මෑණියන් සමග මෙනෙහි  කිරීමට අපව යොමු කරනවා. ..එය නපුරෙන් සහ සහ පාප පරීක්ෂා වලින් අප ආරක්ෂා කරන අවියක්."

ජපමාලය නිතර යදින  අතර එය නිතරම තම සාක්කුවේ දමාගෙන යන ලෙස ද එතුමා විශ්වාසිකයන් ගෙන් ඉල්ලා සිටියේ ය.  

ජපමාලය ධ්‍යානශීලී යාච්ඥාවක් බව ද සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"ජපමාලයේ එන ගැලවීමේ අබිරහස් ගැන මෙනෙහි කරන විට  සදාතන ජීවිතයේ දී නිරන්තරයෙන් අප දකින්නට කැඳවීම  ලබා සිටින දෙවියන් වහන්සේ ගේ පෙම්බර වත මඬල වඩ වඩාත් හෙළිදරව් කරනු ලබනවා." යි එතුමා කීවේ ය. 

විශේෂයෙන් ම  ඉතාලියත් ලෝකයේ ප්‍රදේශ රාශියකුත් කෝවිඩ්-19 වසංගතයට දැඩි ලෙස ග්‍රහණය වී තිබූ මේ වසරේ මුල් භාගයේ ද දිනපතා ජපමාලය යදින ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. මේ වන විට එහි දෙවන රැල්ල ලෝකය පුරා  හමා යාමට  පටන් ගෙන තිබේ. මේ තත්වය තුළ එතුමා කතෝලික ජනයාගෙන් ඉල්ලා සිටින්නේ නපුරට එරෙහි ප්‍රබලම අවිය වන ජපමාලය අතින් බිම නොතබන ලෙසයි. 

ජපමාලයට පසුව ඔප්පු කිරීමට යාච්ඥාවක් ද එතුමා කතෝලිකයන්ට නිර්දේශ කළේය. එය මේ වසංගතය ම කේන්ද්‍ර කරගෙන ලියන ලද්දකි. එම යාච්ඥාව මෙසේ ය. 

"

වසංගතයෙන් ලෝකය නිදහස් කර දෙන ලෙස ඉල්ලා 
ජපමාලයෙන් පසු යදින ලෙස 
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දේශ කළ 
යාච්ඥාව 



පෙම්බර  මරිය මෑනියනි,
ඔබවහන්සේ  ගැලවීමේ සහ බලාපොරොත්තුවේ  සලකුණක් ලෙස
අපගේ ගමන නොකඩවා දීප්තිමත්  කරන සේක.

රෝගීන්ගේ  ආරෝග්‍යයෙනි,
කුරුසිය පාමුල සිට ජේසු සමිඳුන් ගේ දුක් වේදනාව හා සම්බන්ධ වෙමින්
සිය  විශ්වාසය නොපසුබටව රැකගත් ඔබට
අපි අපවම භාර කරමු.

“රෝමානු ජනතාවගේ ආරක්ෂිකාවෙනි”,
ඔබ අපගේ අවශ්‍යතාවන් දන්නීය.
මෙි නිසා ගලීලයේ කානා නුවර දී මෙන්
මෙම පරීක්ෂණයේ කාලයෙන් පසුව
ප්‍රීතියත් ජයෝත්සවයත් අපට ආපසු ලැබෙන ලෙස
ඔබ අපගේ අවශ්‍යතාවන් සලසා දෙන බව අපි දනිමු.

දිව්‍ය ප්‍රේමයේ මාතාවනි,
දෙවි පියාණන් ගේ කැමැත්තට  එකඟ වීමටත්
ජේසු සමිඳුන් අපගෙන් ඉල්ලන දේ ඉටු කිරීමටත් අපට උදව් වුව මැනව.
මන්ද උන්වහන්සේ අපගේ දුක් වේදනා තමන් පිට පවරා ගෙන
අපගේ දුක් දොම්නස් බර දරා ගත් සේක.
එසේ කළේ,  කුරුසිය  ඔස්සේ, උත්ථානයේ  ප්‍රීතිය වෙත අප රැගෙන යනු පිණිස ය.
ආමෙන්.

සුවිශුද්ධ වූ දේව  මෑනියනි, අපි ඔබ ගේ රැකවරණය කරා දිව එමු.
අහෝ මහිමෝත්තම  වූ ද භාග්‍යවන්ත වූ ද  කන්‍යාවෙනි,
අපේ උවමනා වලදී අප කරන යාච්ඥා ප්‍රතික්ෂේප නොකර
සියලු ආන්තරා වලින් අප ගලවා වදාළ මැනව.  
ආමෙන්.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය