"සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයට අසීසියේ ශා. ප්‍රැන්සිස් තුමන් ගේ සොහොන් ගැබ මත දී අත්සන් තැබේ; පශ්චාත් කෝවිඩ් 'අවුල' හමුවේ ලෝක 'සහෝදරත්වයට' අභියෝගයක්

Pope signs new Encyclical "Fratelli tutti" on St. Francis's tomb in Assisi




(2020 ඔක්තෝබර 5)
වසර පහකට පෙර නිකුත් කරන ලද "වේ ප්‍රශංසා" නම් වූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ  දෙවන විශ්ව ලේඛනයට අනුප්‍රාණය ලබාගත්තේ ශා. අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගෙනි. ප්‍රැන්සිස් අසීසි තුමන් තුළ සොබා දහමට, එනම් දෙවියන් වහන්සේ ගේ මැවිල්ලට තිබුණු අනූපමේය ප්‍රේමය සහ ගෞරවයෙන් අනුප්‍රාණය ලබා ගත් සුදොතුම් පියතුමා කාලීන අර්බුදයක් වන පරිසර විනාශය වලක්වා, අපේ පොදු නිවහන වන මිහිතලය සුරක්ෂිත කිරීමට කිතුනු ජනතාව ඇතුළු සමස්ත ලෝකයටම මග පෙන්වීමක් ලෙස එය එය නිකුත් කළේය. 

එතුමා ගේ තුන් වන විශ්ව ලේඛනයට ද අනුප්‍රාණය ලැබී ඇත්තේ එතුමා ගේ නාම සාන්තුවරයා වන ප්‍රැන්සිස් අසීසි තුමා ගෙනි. එම සාන්තුවරයා ලෝකය තුළ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත් මානව සහෝදරත්වය සහ සමාජ මිත්‍රත්වය ඊට පාදක වී තිබේ. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තෙවන විශ්ව ලේඛනය "සියල්ලෝ සොහොයුරෝ" ("Fratelli Tutti")යනුවෙන් නම් කර තිබේ. 

සුදොතුම් පියතුමා  ඉතාලියේ අසීසි නගරයේ ප්‍රැන්සිස් තුමාට කැපකළ බැසිලිකා දෙව්මැදුරේ ඇති එතුමන් ගේ සොහොන් ගැබ මත දී  ඔක්තෝබර 3 වන දා  එම විශ්ව ලේඛනයට අත්සන් තැබුවේය. 

විශ්ව ලේඛනයට අත්සන් තැබීම සඳහා සුදොතුම් පියතුමා රෝමයේ සිට අසීසියට ගියේ මෝටර රථයකිනි. අසීසි නගරයට ලඟා වීමෙන් පසුව එතුමා මුලින් ම ශාන්ත ක්ලෙයාර් මුනිවරිය විසින් ආරම්භ කරන ලද දිළිඳු ක්ලාරා පැවිදි සොහොයුරියන් ගේ ආරාමයට ගොස් එම සොහොයුරියන්ට සුබ පැතුවේ ය. 

ශාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකාවේදී අසීසි පදවියේ දොමෙනිකෝ සොරෙන්තිනෝ රදගුරු තුමන්, සාන්ත ප්‍රැන්සිස් බැසිලිකාවේ සසුන් පිය නියෝජිත අගොස්තිනෝ වැලීනි කාදිනල් තුමන් සහ ප්‍රන්සිකාන ආරාමයේ තාපසවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් එතුමන් පිළිගනු ලැබිණි. 

අත්සන් තැබීම 

බැසිලිකාවට ඇතුළුවුනු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි බිම් මහලේ ඇති ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ සොහොන් ගැබ මත දිව්‍ය පූජාව පැවැත්වූයේ ය. ඊට සහභාගී වූයේ තාපස වරුන්, පැවිදි වරියන් ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසකි. 

සුබ අස්න කියවීමෙන් පසුව දේශනාවක් හෝ  මෙනෙහි කිරීමක් කරනු වෙනුවට එතුමා විනාඩි කිහිපයක් නිහඬව සිට භාවනා කරමින් එසේ කිරීමට පූජාවට සහභාගී වන්නට ද ඉඩ හැරියේය. මෙවැනි ඉතා වැදගත් අවස්ථාවල සුවිශේෂයට පසුව නිශ්ශබ්දව සිටීම එතුමා මීට  පෙර ද කර තිබේ. එතුමා නිශ්ශබ්දතාවයෙන් දෙන පණිවිඩය කතා කිරීමෙන් දෙන පණිවිඩය තරම් ම, නැති නම් ඊටත් වඩා, බලවත් ය. 

දිව්‍ය පූජාවෙන් පසුව එම සොහොන් ගැබ මත  දී ම එතුමා නව විශ්ව ලේඛනයට අත්සන් තැබුවේ ය. ඊට කලින් එතුමා වතිකාන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම අංශයේ පරිවර්තන භාරව සිටින පඕලෝ බ්‍රයිදා මාහිමිපාණන්ට විශ්ව ලේඛනය රැගෙන එන ලෙස ඇරැයුම් කළේය. අනතුරුව  බ්‍රයිදා හිමිපාණන් සහ එහි සිටි එම දෙපාර්තමේන්තුවේ තවත් පියතුමන් ලා දෙදෙනෙකු හඳුන්වා දුන් එතුමා බොහෝ පරිවර්තන කරමින් මහත් සේවාවක් කරන  එතුමන්ලාට ස්තුතිය පුද කළේය. එතුමන්ලාට  මෙම අවස්ථාවට ආරාධනා කළේ ඔවුන් කරන සේවාවට කෘතවේදීත්වය  පුද කිරීමට බව එතුමා පැහැදිලි කළේය. 

එතුමා එම ලේඛනයට සිය අත්සන තැබුවේ ඉන් පසුව ය. 

සහෝදරත්වයේ සාක්ෂ්‍යය 

"සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයට අත්සන් තැබීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අසීසිය තෝරාගැනීම ස්වාභාවික බව අසීසි පදවියේ රදගුරු දොමෙනිකෝ සොරෙන්තිනෝ හිමි කියා සිටියේ ය. "මෙය සහෝදරත්වයේ විශ්ව ලේඛනයක්. එම සංකල්පය සාන්ත ප්‍රැන්සිස් තුමන්ට කෙතරම් වැදගත් වූවාද කියා අප දන්නවා" යි "ක්‍රක්ස්" කතෝලික වෙබ් අඩවියට කතා කරමින් එතුමා පැවසුවේ ය. 

"ප්‍රැන්සිස් අසීසි තුමා සිය ජීවිතයේ අතිශය තීරණාත්මක තෝරාගැනීමක් කළා. එනම්, දෙවියන් වහන්සේ, ජේසු සමිඳුන් සහ තම සහෝදරයන් පමණක් වෙනුවෙන් ජීවත් වන්නට තෝරා ගැනීමයි"

"ප්‍රැන්සිස් අසීසි තුමා සිය ජීවිතයේ අතිශය තීරණාත්මක තෝරාගැනීමක් කළා. එනම්, දෙවියන් වහන්සේ, ජේසු සමිඳුන් සහ තම සහෝදරයන් පමණක් වෙනුවෙන් ජීවත් වන්නට තෝරා ගැනීමයි. "Fratelli Tutti" හෙවත් "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනයට පදනම් වන්නේ එම තෝරා ගැනීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙහි පැමිණ එම විශ්ව ලේඛනයට අත්සන් තබන්නේ ප්‍රැන්සිස් අසීසි තුමා සුබ අස්නේ අරුතින් එම සහෝදරත්වයට සාක්ෂියක් නිසයි," යි සොරෙන්තිනෝ රදගුරු  හිමි පැහැදිලි කලේ ය. 

තවත් ඓතිහාසික "ප්‍රථම" අවස්ථා 

මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලය තුළ අසීසියට පැමිණි සිව් වන අවස්ථාව ය. එහෙත් එම චාරිකාවේ 'ප්‍රථම' පියවර කිහිපයක් ද තිබේ. 

ඉතාලිය වසාගෙන කෝවිඩ්-19 පැතිර යාමෙන් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයෙන් බැහැර ගමනක යෙදුනු ප්‍රථම අවස්ථාව මෙයයි. 

පාප් වහන්සේ නමක් අසීසි බැසිලිකා දෙව්මැදුරේ යටි මහලේ දිව්‍ය පූජාවක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. එපමණක් නොව රෝමයෙන් පිටත දී විශ්ව ලේඛනයක් අත්සන් තැබූ ප්‍රථම  අවස්ථාව ලෙස  ද මෙය සභා ඉතිහාසයට එක්වෙයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අසීසියට නිල ගමනක් පැමිණියේ ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ මංගල්‍යයට  පෙර දින සන්ධ්‍යාවේ ය. ඉන් පසු දා ඉතාලි අගමැති ජිසේප්පේ කොන්තේ මහතා රජයේ නිලධාරීන් ද සමග අසීසි බැසිලිකාවට පැමිණියේ ය. ඔවුන් එහි පැමිණියේ එම සාන්තුවර මංගල්‍යය සැමරීම සඳහා ය. 1939 දී 12 වැනි පියුස් පාප්තුමා සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා ඉතාලියේ ආරක්ෂක සාන්තුවරයා ලෙස නම් කළේය. එදා සිට  එරට රජයේ ගෞරවය ද ප්‍රැන්සිස් තුමාට  ට නිල වශයෙන් ම හිමිවේ. පාප් තුමකු අසීසි ගේ නිල ගමනකින් පසු දා ඉතාලි අගමැති වරයා නිල වන්දනා ගමනක යෙදුනු ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය අසීසියේ සහ ඉතාලියේ ඉතිහාසයට එක්වේ. 


"Fratelli Tutti" හෙවත් "සියල්ලෝ සොහොයුරෝ"  විශ්ව ලේඛනය පිළිබඳ තොරතුරු ලිපි කිහිපයකින් ඒමට "වතිකාන් සුළඟ අපේක්ෂා කරයි. 






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය