සිකුරු මත ජීවයේ සලකුණු ? දෙවියන් වහන්සේ අප සිතනවාට වඩා විශාල බවට, අනන්ත බවට තවත් සාක්ෂියක් - වතිකාන තාරකා විද්‍යාඥයා කියයි. Vedio

"God is bigger than we think" -  Vatican astronomer explains the importance on finding signals of life on Venus





(2020 සැප්තැම්බර් 22)
පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් ගේ පැවැත්මක් තිබුණත් එම සාධකය නිසා හෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමග ඇති සම්බන්ධතාවයේ වෙනසක් සිදු නොවන බව වතිකානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥයා පවසයි. එසේ ම ලැබෙන විද්‍යාත්මක දත්ත මත අවශ්‍යතාවට වඩා අනුමාන කිරීම් වලින් වැළකී සිටීමේ වැදගත් කම ද තාරකා විද්‍යාඥයා පෙන්වා දෙයි. 

වතිකානයේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජේසු නිකායික ගයි කොන්සොල්මන්ඥෝ සහෝදරතුමා මේ බව ප්‍රකාශ කළේ වීනස් හෙවත් සිකුරු ග්‍රහයා මත ජීවීන් සිටින බවට අනුමාන කළ හැකි සොයාගැනීමක් සම්බන්ධයෙන් ජගත් විද්‍යාඥ කණ්ඩායමක් වාර්තා කිරීමෙන් පසුව ඒ ගැන අදහස් දක්වමිනි. ප්‍රකට කතෝලික ප්‍රකාශනයක් වන Cruxnow වෙබ් අඩවියට විශේෂ සාකච්ඡාවක් දෙමින් එතුමා මේ බව කියා සිටියේ ය. 

සිකුරු ග්‍රහයා ...

සිකුරු හෙවත් වීනස් යනු සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා ගේ සිට දෙවන ග්‍රහයා ය. එය රාත්‍රී අහසේ දීප්තියෙන් දෙවැනි වන්නේ චන්ද්‍රයාට පමණි. ඇතැම් විට දිවා කාලයේ ද පියෙවි ඇසින් දැකිය හැකි ග්‍රහයෙකි. 

සිකුරු ග්‍රහයා විශාලත්වය, ස්කන්ධය වැනි අංශ කිහිපයකින් ම පෘථිවියට සමානය . මේ නිසා එය හැඳින්වෙන්නේ 'පෘථිවියේ සොහොයුරිය' ලෙස ය.  එනමුදු එය  සෞර ග්‍රහ මණ්ඩලයේ අධිකම උෂ්ණත්වයකින් යුත් ග්‍රහයා වේ. ග්‍රහයා  මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 464 කි. (ෆැරන්හයිට් 867 යි.)  එම ග්‍රහයා නිරන්තරයෙන් ම සල්ෆියුරික් අම්ලයෙන් සෑදුනු  වලාකුළු වලින් වැසී තිබේ. එය මතුපිට මෙන් ම වායු ගෝලයේ පවතින අධික උෂ්ණත්වයත් සල්ෆර් ඩයොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායූන් බහුලව පැවතීමත් නිසා එමත  ආකාරයේ ජීවය  හැකියාව අතිශයින් දුරස්ථය යන්න විද්‍යාඥයන් ගේ මතය විය.  

ජීවයේ සලකුණු?


කෙසේ නමුදු සිකුරු ග්‍රහයා ගේ ඉහල වායු ගෝලයේ ෆොස්ෆීන් නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බව ඉතා ප්‍රබල දුරේක්ෂ යොදා ගනිමින් කරන ලද පරීක්ෂණ කිහිපයකින් තහවුරු වී ඇතැයි විද්‍යාඥයන් කණ්ඩායමක් ඉකුත් දා ප්‍රකාශ කළහ. 

ෆොස්ෆීන් වායුව මුදා හරිනු ලබන්නේ සිය පැවැත්ම සඳහා ඔක්සිජන් භාවිත නොකරන ක්ෂුද්‍ර ජීවීන් විසිනි. මේ නිසා සිකුරු ගේ ඉහළ වායු ගෝලයේ ෆොස්ෆීන් පැවැතීම යනු එම ග්‍රහයා මත හෝ එම ග්‍රහයාගේ වලාකුළු හෝ වායු ගෝලය මත ක්ෂුද්‍ර ජීවීන් සිටින බව පෙන්වන සංඥාවක් යයි එම විද්‍යාඥ කණ්ඩායම සිය පර්යේෂණ පත්‍රිකාව මගින් කියා සිටියේ ය. සිකුරු මත ජීවීන් දැක ගැනීමට මෙම විද්‍යාඥ කණ්ඩායමට මෙතෙක් හැකි වී නැත. එහෙත් ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත්තේ එහි වායු ගෝලය තුළ ජීවයේ 'සංඥාවක්' වන ෆොස්ෆීන් රසායනිකය හමු වීම නිසාය. 

මෙය පෘථිවියෙන් පිටත ජීවය සොයමින් සිටින විද්‍යාඥයන් තුළ සේ ම ඒ ගැන උනන්දුවක්  දක්වන සමස්ත ජනතාව  තුළ ද මහත් ආස්වාදයක් ඇති කරන ප්‍රවෘත්තියක් වී තිබේ.  මේ ඒ පිළිබඳව CBC රුපවාහිනියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය යි. 




පිටසක්වල ජීවය පැවතීම ක්‍රිස්තු ධාර්මික ඉගැන්වීමට පටහැනි ද ?

පෘථිවියෙන් පිටත ග්‍රහ ලෝක වල ජීවය ඇත්දැයි යන අනුමානය  නැගුනු වහාම ආගමික වශයෙන් නැගෙන  ප්‍රශ්නයක් තිබේ. එනම් පිට සක්වල ජීවීන් හා ක්‍රිස්තු ධර්මය අතර ඇති  සම්බන්ධතාවයි.

පිටසක්වල හෝ වෙන්ත ග්‍රහයකු මත ජීවීන් සිටිත් නම්  දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

"වෙනත් ග්‍රහලෝකවල ජීවත් වන ජීවීන් සහ පෘථිවිය මත ම ජීවත් වන වෙනත් ජීවීන් අතර කිසිදු වෙනස කමක් නැහැ," යි මේ සම්බන්ධයෙන් සිය විද්‍යාත්මක මතය ඉදිරිපත් කරමින් වතිකානයේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගයි කොන්සොල්මන්ඥෝ ජේ.නි. සහෝදරතුමා  කීවේය. "ඒ වගේම අප මතක තබා ගත යුතු කාරණය තමයි, වීනස් සහ පෘථිවිය යන ග්‍රහ ලෝක වගේම දුරේක්ෂයක් තුළින් අප දකින තාරකා සහ ග්‍රහ ලෝක සියල්ල ම ඇතුළත් විශ්වය ම මවන ලද්දේ එකම දෙවියන් වහන්සේ විසින් ය යන්න."
"(වෙනත් ග්‍රහ ලෝක වල) වෙනත් මනුෂ්‍යයන් ජීවත් වන්නේය යන්නෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ මට ප්‍රේම නොකරන බව නොවේ. දෙවියන් වහන්සේ අප සියලු දෙනාට ම, තනි තනිව, අසම සම ලෙස, අනූපමේය ලෙස, සම්පූර්ණයෙන් ම ආදරය කරනවා."
"එම සත්‍යතාව මත පදනම් වන විට (වෙනත් ග්‍රහ ලෝක වල) වෙනත් මනුෂ්‍යයන් ජීවත් වන්නේය යන්නෙන් අදහස් කෙරෙන්නේ දෙවියන් වහන්සේ මට ප්‍රේම නොකරන බව නොවේ. දෙවියන් වහන්සේ අප සියලු දෙනාට ම, තනි තනිව, අසම සම ලෙස, අනූපමේය ලෙස, සම්පූර්ණයෙන් ම ආදරය කරනවා. මන්ද උන්වහන්සේ දෙවියන් වහන්සේ යි. 'අනන්ත' (infinite) යන්නෙන් අදහස් කෙරෙන්නේ එයයි," එතුමා විස්තර කළේය. 

මානව අප දෙවියන් වහන්සේ තේරුම් ගන්නට උත්සාහ කරන්නේ අපගේ දෘෂ්ටි කෝණයෙන්, අපගේ බුද්ධියෙන් සහ අපගේ ප්‍රමාණයෙන් බවත් එය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බවත් මේ කාරණයෙන් ම අවබෝධ වන බව සහෝදර තුමා පැහැදිලි කෙළේය. එතුමා පෙන්වා දුන්නේ දෙවියන් වහන්සේ අප සිතින් සිතාගෙන සිටිනවාට වඩා විශාල සත්තාවක් බවයි: 
"මේ සොයා ගැනීම සමහර විට අපට යහපතක් සිදු කර තිබෙනවා. ඒ තමයි අප දෙවියන්  වහන්සේව උන්වහසේ ගේ සැබෑ ස්වරූපයට වඩා කුඩා කිරීම නැවැත්විය යුතු බවට අපට මතක් කර දීම."
"මේ සොයා ගැනීම සමහර විට අපට යහපතක් සිදු කර තිබෙනවා. ඒ තමයි අප දෙවියන්  වහන්සේව උන්වහසේ ගේ සැබෑ ස්වරූපයට වඩා කුඩා කිරීම නැවැත්විය යුතු බවට අපට මතක් කර දීම. උන්වහන්සේ අප සිතනවාට වඩා විශාලයි. අනන්තයි. අසීමිතයි."

ෆොස්ෆීන් සහ ජීවීන් අතර සම්බන්ධය 

ෆොස්ෆීන් යනු පොස්පරස් අනුවකින් සහ හයිඩ්‍රජන් අනු තුනකින් සෑදුනු වායුවකි. නූතන මයික්‍රොවේව් දුරේක්ෂ වලින් එම වායුවේ වර්ණාවලිය පහසුවෙන් දැකගත හැකිය. 

එහෙත් වීනස් හෙවත් සිකුරු ග්‍රහයා හේ ඉහල වායු ගෝලයේ මෙම වායුව දක්නට ලැබීමේ වැදගත්කම  තාරක විද්‍යාඥ කොන්සොල්මන්ඥෝ සහෝදර තුමා විස්තර කළේය. 
"හයිඩ්‍රජන් බහුල ලෙස තිබෙන පෘථිවිය හෝ සිකුරු මත ෆොස්ෆීන් වායුව ස්ථාවරව පැවතිය හැකි නමුත් සිකුරු ගේ අහසේ ඇති ආම්ලික වලාකුළු නිසා එම වායුවට බොහෝ කලක් පැවතිය නොහැකියි. මෙය වැදගත් දත්තයක්."
 
තවත් වැදගත් කරුණක් නම් මෙයයි: එනම්  පෘථිවිය මත මේ වායුව මුදා හරිනු ලබන්නේ නිශ්චිත ක්ෂුද්‍ර ජීවී විශේෂ කිහිපයක් විසින් වීමයි. 

මේ කාරනා දෙක පදනම්ව එක්  නිගමනයකට පැමිණිය හැකි බව එතුමා කීවේය:
"මේ වායුව සිකුරු මත පැවතීමෙන් අපට පෙනෙන්නට තිබෙන්නේ එය එම ග්‍රහයා ගේ උපතේ සිට පවතින එකක් නොවිය හැකි බවයි. එනම් එම වායුව එහි ආම්ලික වලාකුළු විසින් නිතර විනාශ කරනු ලබන නිසා එය නිරන්තරයෙන්  ම යළි යළිත් නිෂ්පාදනය වන බවයි. මේ නිසා එම වායුව ක්ෂුද්‍ර ජීවීන් විසින් නිතර මුදා හරිනු ලබන්නක් විය හැකියි. එය සිදු විය හැක්කක්."

එහෙත් මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණු ද තිබේ. 
"සිකුරු මත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 880 තරම් ඉහල නැගිය හැකි බැවින් ඒ ග්‍රහයා මතු පිට කිසිදු ජීවියෙකුට ජීවත් විය නොහැකියි. මේ නිසා කිසියම් ම හෝ ජීවියෙකුට ජීවත් විය හැකි වන්නේ උෂ්ණත්වය 'සීතල' තත්වයේ පවතින එම ග්‍රහයා ගේ   වලාකුළු වල පමණයි." 

සිකුරු ග්‍රහයා ගේ මට්ටමින් "ඉතා සීතල" යනුවෙන් අදහස් කෙරෙන්නේ පෘථිවිය මතුපිට උෂ්ණත්වයට සමාන තත්වයයි. වීනස් ගේ වලාකුළු වල ක්ෂුද්‍ර ජීවීන් සිටිය හැකි බවට මීට වසර 50කට පමණ පෙර විද්‍යාඥයන් අනුමාන කලේ ඒ නිසාය. 

කෙසේ නමුදු මෙම පර්යේෂණය සිදු කල විද්‍යාඥයන් පවා ඒ ගැන අවසන් නිගමනයකට පැමිණ නොමැති බවත්  වතිකානයේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ ගයි කොන්සොල්මන්ඥෝ ජේ.නි. සහෝදරතුමා පෙන්වා දුන්නේ ය. එම සොයාගැනීම තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පමණක් එවැනි ස්ථිර නිගමනයකට පැමිණිය හැකි බව එතුමා සඳහන් කළේය. 

නූතන විද්‍යාවේ හෝ තාරකා විද්‍යාවේ සොයා ගැනීම් ශුද්ධ බයිබලීය ඉගැන්වීම් සමග නොගැටෙන බව වතිකානයේ තාරකා විද්‍යා ආයතනය නිතර සිහිපත් කර දෙයි. මීට කලින් ද මෙවැනි අවස්ථා වලදී එම ආයතන මේ බව පැහැදිලි කර දී තිබේ. 

මේ සම්බන්ධතා වලින් එම තොරතුරු කියවන්න:



 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය