"සියල්ලෝ සොහොයුරෝ" - නව විශ්ව ලේඛනයට අත්සන් තැබීමට සුදොතුම් පියතුමා අසීසියට

 "All Brothers": Pope to visit Assisi  to sign new encyclical



(2020 සැප්තැම්බර 5)

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා  විසින් තවත්  සමාජ විශ්ව ලේඛනයක් නිකුත් කිරීමට දැන් සියල්ල සූදානම්ව  තිබේ. 

එම විශ්ව ලේඛනයට පදනම වී ඇත්තේ 'සියලු මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බැවින් අප සියල්ලෝම සහෝදර සහෝදර සහෝදරියන් ය' යන කිතුනු ඉගැන්වීම තුළින් ගලාවිත් සෑම මානව පුද්ගලයකු වෙතම පැවැරෙන සමාජයීය, දේශපාලන, ආර්ථික සහ පාරිසරික වගකීම යි. 

නව විශ්ව ලේඛනය  "Fratelli Tutti" හෙවත් "සියල්ලෝ සොහොයුරෝ" (“All Brothers”)  යනුවෙන් නම් කර තිබේ. එම මාතෘකාව උපුටාගෙන ඇත්තේ  'ශා. ප්‍රැන්සිස් තුමන් ගේ අනුශාසනා' (Admonitions of St. Francis) නම් ග්‍රන්ථයෙනි.  එහි එක් ඡේදයක මෙසේ සඳහන් වෙයි: "අපි සියල්ලෝ, සහෝදරයෝ, ස්වකීය බැටළුවන් ගලවා ගැනීම සඳහා  කුරුසියේ දුක් ගාවිනා විඳි යහපත් එඬේරා දෙස බලමු." 

අත්සන් තැබීම අසීසියේ දී 

සුදොතුම් පියතුමන් විශ්ව  ලේඛනයට අත්සන් තබන්නේ ඔක්තෝබර 3 වනදා ය. එනම් අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන් ගේ මංගල්‍යයට පෙර දින ය. අත්සන් තැබීම සිදු වන්නේ අසීසි නුවර ශු. ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ සිරුර මිහිදන් කර ඇති  අසීසි  ආශ්‍රමයේ (Assisi convent) දී ය. 

ඉකුත් මාස 6ක කාලය පුරා කෝවිඩ්-19 සීමා නිසා වතිකානයට කොටු වී සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව විශ්ව ලේඛනයට අත්සන් තැබීම සඳහා ඔක්තෝබර 3 වනදා අසීසි නුවර එම ආශ්‍රමයට යාමට නියමිත ය. 

එදින සවස 3 ට ප්‍රැන්සිස් අසීසි මුනිඳුන් ගේ සොහොන් ගැබ අසල දිව්‍ය පූජා යාගය ඔප්පු කරන එතුමා ඉන් පසුව විශ්ව ලේඛනයට අත්සන් කරන බව අසීසියේ සාන්ත ප්‍රැන්සිස් අසීසි බැසිලිකා දෙව්මැදුරේ අධිනේතෘ එන්සෝ ෆෝටුනාටෝ ප්‍රන්සිස්කාන නිකායික පියතුමා ප්‍රකාශ කලේ ය. කෙසේ නමුත් මෙම දිව්‍ය පූජාව ඇතුළු සුදොතුම් පියතුමන් ගේ සමස්ත අසීසි චාරිකාව පෞද්ගලික එකක් ලෙස සිදුකෙරෙන බව එතුමා අවධාරණය කෙළ්ය. ඊට ජනතාව සහභාගී කර නොගැනේ. ඉතාලියේ තව දුරටත් පවතින කෝවිඩ් ආරක්ෂක සීමා ඊට හේතුව බව එතුමා පෙන්වා දුන්නේ ය. විශ්ව ලේඛනයට අත්සන් තැබූ වහාම සුදොතුම් පියතුමා පෙරළා රෝමය බලා පිටත් වෙයි. 

"අසීසියේ ප්‍රැන්සිස් තුමා ජේසු සමිඳුන් අනුගමය කරමින් මානව සහෝදරත්වය හඳුනා ගත්තා" - මෝරෝ ගම්බෙට්ටි පියතුමා

"ප්‍රැන්සිස් පාප් වහන්සේ අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගෙන් විශාල ලෙස අනුප්‍රාණය ලබන බවක් පැහැදිලි ලෙස ම පෙනෙන්නට තිබෙනවා" යි නව විශ්ව ලේඛනය, එහි නම සහ එය අත්සන් කරන ස්ථානය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන අසීසි ආශ්‍රමයේ භාරකරු මෝරෝ ගම්බෙට්ටි පියතුමා කියයි. "අසීසියේ ප්‍රැන්සිස් තුමා ජේසු සමිඳුන් අනුගමය කරමින් මානව සහෝදරත්වය හඳුනා ගත්තා; අන්‍යොන්‍ය සහ ප්‍රේමනීය සේවාවක් තුළ දිළිඳු, අල්පෙච්ඡ්  ජීවිතයක් ගත ගත කළා; ප්‍රේමය තුළ තෘප්තිමත් වූ ප්‍රීතිමත් මානව ප්‍රජාවක් වෙනුවෙන් ක්‍රියා කළා යි පියතුමා පෙන්වා දුන්නේ ය. 

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අපෝස්තලික දූත සේවාවේ ප්‍රමුඛත්වයන් ඒවාට සමානයි. මේ නිසා මානව සහෝදරත්වයේ වැදගත්කමත් අත්‍යවශ්‍යතාවත් අවධාරණය කෙරෙන මේ ලියවිල්ලට අත්සන් තැබීමට පෞද්ගලික චාරිකාවක් සඳහා අසීසියට පැමිණෙන සුදොතුම් පියතුමන් ආදරයෙන්  පිළිගැනීමට අපි ඉතා ප්‍රීතියෙන් බලා සිටිනවා," යි එතුමා කීවේ ය. 

ප්‍රැන්සිස්: දුප්පත්කම ..සාමය ...මිහිතලය 

ගම්බෙට්ටි පියතුමා පෙන්වා දෙන කාරණය සත්‍යයකි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රථම විශ්ව ලේඛනයට ද  ප්‍රන්සිස් අසීසි මුනිඳුන් ගේ සොබා දහම් ඉගැන්වීම් උපුටාගෙන සහ නිදර්ශන කරගෙන තිබිණි. එහි මාතෘකාව ලෙස ද යොදා ගන්නා ලද්දේ ප්‍රැන්සිස් මුනිඳුන් ගේ "ප්‍රශංසා වේ!" යන මිහිතල ප්‍රශංසා ගීයේ පළමු  වචන දෙක ය. 

අසීසියේ ප්‍රැන්සිස් තුමන් ගේ නම සිය සසුන් පිය ධුර නාමය ලෙස තෝරාගත් ප්‍රැන්සිස් පාප්වහන්සේ එම සාන්තුවරයාගෙන් මෙතරම්  අනුප්‍රාණය ලබන්නේ මන්ද?

2013 මාර්තු මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට පත් වූ පසු දෙවැනි දින එම අවස්ථාව ආවරණය කිරීමට රෝමයට පැමිණ සිටි 5000කට අධික මාධ්‍යවේදීන් හමුවේ  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ඉතිහාසයේ කිසිදු පාප්තුමකු යොදා නොගත් "ප්‍රැන්සිස්" යන නම සිය පාප්ධුර නාමය ලෙස යොදා ගත්තේ මන්දැයි එහිදී එක් මාධ්‍යවේදියෙක් එතුමා ගෙන් විමසුවේ ය. එය යොදා ගත්තේ එතුමන් අයත් ජේසු නිකායේ සමාරම්භකයකු සහ එඩිතර ධර්මදූතයකු වූ ශා. ප්‍රැන්සිස් ක්‍ෂේවියර් තුමන් අනුසාර කිරීමට දැයි ඔහු ඇසුවේ ය. 

ඊට  පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ තමා එම නම යොදා ගත්තේ ශා. ප්‍රැන්සිස් අසීසි තුමන් ගේ ආදර්ශය ලැබීමට බවය. ඒ නම තමන්ට මතක් කර දුන් "ප්‍රතිහාර්යාත්මක" සිද්ධිය ද එතුමා මෙසේ විස්තර කළේය. 

"නව පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දය ගණන් කරද්දී  තත්වය 'නරක  අතට' හැරෙමින් තිබුනා. (මෙයින් එතුමන් අසහස් කෙළේ තමන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව වැඩි වෙමින් තිබුණු බව ය.). ඒ වෙලාවේ මා අසල සිටි බ්‍රසීලයේ සාඕ පාඔලෝ හි ක්ලවුදියෝ හියුමෙස් සහෝදර කාදිනල් තුමා මා සැනසුවා. පාප් වහන්සේ නමක් තුනෙන් දෙකක වැඩි ඡන්ද මට ලැබෙද්දී එතුමා මා වැළඳගෙන සුබ පැතුවා. එසේම එතුමා මට රහසින් මෙසේ කීවා:'දුප්පතුන් අමතක කරන්න එපා!'" යි එම මොහොත සිහිපත් කරමින් එතුමා කීවේ ය. 

"ඒ වචන මට තදින් ම දැනුනා. දුප්පතුන් ...දුප්පතුන් ...එවිට ම, වහාම, දුප්පතුන් ගැන සිතන විට ම ගේ සිතට ආවා  සාන්ත අසීසියේ ප්‍රැන්සිස් තුමන්. ඒ වන විට ඡන්ද තවමත් ගණන්  කරමින් තුබුණා. ඒ අතර, මගෙ සිතට ආවා සියලුම යුද්ධ ගැන. මට අසීසියේ ප්‍රැන්සිස් යනු සාමයේ මිනිසෙක්."

" මගේ සිතට මේ නම පැමිණියේ එහෙමයි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කලේ ය. 

"සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමන් යනු දුප්පත් කමේ මිනිසෙක්...එතුමා දිළිඳු සභාවක් දැකීමේ අභිලාෂයෙන් සිටි මිනිසෙක්. ආ ! දුප්පත් සභාවකට දුප්පතුන් වෙනුවෙන් වූ සභාවකට මා කෙතරම් ආදරය කරනවා ද?"  

"සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමන් යනු දුප්පත් කමේ මිනිසෙක් ...සාමයේ මිනිසෙක් ...මැවිල්ලට ආදරය කරන, මැවිල්ල ආරක්ෂා කරන මිනිසෙක්. එතුමා දිළිඳු සභාවක් දැකීමේ අභිලාෂයෙන් සිටි මිනිසෙක්. ආ ! දුප්පත් සභාවකට දුප්පතුන් වෙනුවෙන් වූ සභාවකට මා කෙතරම් ආදරය කරනවා ද?" යි මාධ්‍යවේදියා ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එතුමා වැඩි දුරටත් කියා සිටියේ ය.  

ප්‍රැන්සිස්කාන හදවතක් ඇති ජේසුනු පාප් වහන්සේ  - Jesuit Pope with a Franciscan heart
ප්‍රැන්සිස්කාන හදවතක් ඇති ජෙසුනු පාප්වහන්සේ  

ශුද්ධ ලියවිල්ලෙන් ගලා එන කතෝලික සමාජ ධර්මය ජීවත් වීමත්, එය ඉගැන්වීම සහ දේශනා කිරීමත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අපෝස්තලික සේවා න්‍යාය පත්‍රයේ ඉහලම ප්‍රමුඛතාවක් බවට පත් වූයේ මේ හේතුව නිසා ය. දුප්පත්  (අල්පේච්ඡ) සභාවක්, දුප්පතුන් වෙනුවෙන් කැපවීම, යුක්තිය සහ 

සාධාරණත්වය, යුද්ධය නොව සාමය, මිහිතලය ආරක්ෂා කිරීම, මුස්ලිම් ජනතාව සමග සංහිඳියාව, වෙනත් කිතුනු සභා සමග සම්බන්ධතාව වැනි දූත මෙහෙවර පසුගිය කාලය තුළ කැපී පෙනේ. 

නව විශ්ව ලේඛනයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සාකච්ඡා කරන්නේ කෝවිඩ්19 වසංගතය හේතුවෙන් ඉස්මතු කර පෙන්වා ඇති සමාජ විෂමතා සහ ඒවා තුරන් කිරීම සඳහා ශුද්ධ ලියැවිල්ල සහ සභා පියවරුන් ගේ අනුශාසනා ඔස්සේ අපට උගන්වන මාර්ගය බව වතිකාන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 

විශ්ව ලේඛනය යනු ...

විශ්ව  ලේඛනය යන වචනයට පාදක වූ ග්‍රීක පදයේ ආසන්නම සිංහල අරුත "චක්‍ර ලේඛය" යන්න ය. එබැවින් විශ්ව ලේඛනය යනු "ධර්මය, ශීල ධර්මය සහ විනය අලලා කතෝලික සභාවේ දෘශ්‍යමාන නායකයා වන පාප්වහන්සේ විසින් ලොව පුරා කතෝලික ජනතාව වෙත නිකුත් කරනු ලබන චක්‍ර ලේඛය" ලෙස විස්තර කල හැකිය. එය පාප්වහන්සේ නමක් විසින් කතෝලික ජනතාව වෙතටත් ලෝකය වෙතත් නිකුත් කරන ගුරු බලයෙන් යුත් ඉහළම අනුශාසනා පත්‍රය යි. 

විශ්ව ලේඛනයෙන් පාප් වහන්සේ  නාමක් ආමන්ත්‍රණය කරන්නේ කතෝලික  ජනතාවට ය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ බොහෝ ලේඛන වල ඉලක්ක ග්‍රාහකයා ඊට වඩා පුළුල් ය. එතුමා සිය ලේඛන වල ආමන්ත්‍රණ පදය යොදන්නේ "සියලු විශ්වාසකයන් සහ යහපත් සිත් ඇති ජනතාව වෙත" යනුවෙනි. මෙය එක අතකින්  ලොව පුරා සිටින "සුසිත් ඇති සියලුමජනතාව"  වෙත  එතුමන් ගේ සමීප බව ප්‍රකාශ කරන ක්‍රමයකි. එසේ ම ආගමික විශ්වාසයේ භේදය නොතකා සමාජයට සහ ලෝකයට යහපත් යමක් කරන්නට අප සියල්ලනට එක්විය හැකිය යන සත්‍යය පසක් කරන මාර්ගයකි. නිදසුනක් ලෙස "වේ ප්‍රශංසා" විශ්ව ලේඛනයෙන් එතුමන් සාකච්ඡා කල අප ජීවත් වන පොදු නිවහන වන මිහිතලය රැක බලා ගැනීම යනු සමස්ත මානව ප්‍රජාවේ ම වගකීමකි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය නව විශ්ව ලේඛනයෙන් ද සාකච්ඡා කරන්නට යන්නේ එවැනි සමස්ත මානව ප්‍රජාවටම බලපාන අභියෝගයක් ගැන ය.   





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය