"අපි දුක් වේදනාවලට බිය නොවෙමු . මන්ද සමිඳාණෝ අප සමග කුරුසිය රැගෙන ගමන් කරති" - වියපත් සහ රෝගීව සිටින පියතුමන්ලා දිරිමත් කරමින් සුදොතුම් පියතුමා කියයි

“We are not afraid of suffering; the Lord carries the cross with us,” Holy Father sends a message to elderly Priests  

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩිහිටි පියවරුන් පිරිසක් බලන්නට ගිය අවස්ථාවක් 


(2020 සැප්තැම්බර 20) 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව  පුරා සිටින වැඩිහිටි, ගිලන් වූ පුදැදුරුතුමන්ට සිය සමීපත්වය ප්‍රකාශ කරයි.  ක්‍රිස්තු සමිඳුන් ඔවුන්ට සිය කුරුසිය රැගෙන යාමට සහය වන බැවින් තමන් විඳින වේදනා වලට ඔවුන් බිය නොවිය යුතු යැයි එම පියතුමන්ලා දිරි ගන්වමින් සුදොතුම් පියතුමා කියයි. 

"පුදැදුරුවරුනට බිඳෙනසුළු බව යනු පිරිපහදු කරන ගින්දරකි; පවිත්‍ර කරන පරිශුද්ධකාරකයකි; එසේ ම එය අප පිරිසිදු කොට ශුද්ධවන්තභාවයට පත්කොට දෙවියන් වහන්සේ වෙත ඔසවන සාධකයකි."

කෝවිඩ්-19 සහ එහි සීමා හේතුවෙන් වැඩිහිටි පුදැදුරුතුමන් ගේ ජීවිත  තව දුරටත් දුෂ්කර තත්වයට පත්විය. "එහෙත්  දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් එය පිවිතුරු කිරීමේ අත්දැකීමක් බවට පත් වනු ඇත. ..පුදැදුරුවරුනට බිඳෙනසුළු බව යනු පිරිපහදු කරන ගින්දරකි; පවිත්‍ර කරන පරිශුද්ධකාරකයකි; එසේ ම එය අප පිරිසිදු කොට ශුද්ධවන්තභාවයට පත්කොට දෙවියන් වහන්සේ වෙත ඔසවන සාධකයකි. අපි දුක් වේදනාවලට බිය නොවෙමු . මන්ද සමිඳාණෝ අප සමග කුරුසිය රැගෙන ගමන් කරන සේක," යි සුදොතුම් පියතුමා අවධාරණය කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 17 වැනිදා උතුරු දිග ඉතාලියේ ලොම්බාඩි පළාතේ පවත්වන ලද පුදැදුරුතුමන්ලා ගේ යැදුම් සහ සහෝදරත්වයේ දිනයකට පණිවිඩයක් යවමිනි. මෙම දිනය පවත්වන ලද්දේ වැඩිහිටි  සහ රෝගී වූ පියතුමන්ලා  වෙනුවෙන් යාච්ඥා කිරීම සහ ඔවුන් වෙත සහෝදරත්වය ප්‍රකාශ කිරීම සඳහා ය. 

යැදුම් දිනය පවත්වන ලද ලොම්බාඩි පළාත කොරෝනා වෛරසෙන් දැඩි ලෙස පීඩා විඳි ප්‍රදේශයකි. 

ගත වූ කාලය තුළ විශේෂයෙන් ඉතාලියේ  පුරා සෑම ප්‍රදේශයකම ජ්‍යෙෂ්ඨ, වියපත් සහ රෝගී පියවරුන් මුහුණ දුන් සහ අත්දුටු දුෂ්කරතා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා .සිය  පණිවිඩයේ  විස්තර කරයි. 

සිර වූ අවකාශ තුළ ඒකාකාරී ජීවිතය ...

"පසුගිය මාස කිහිපය පුරා අපි සියලු දෙනා විවිධ සීමා අත්දැක්කෙමු. සිර වූ අවකාශ තුළ අපේ දවස් ගෙවී ගියේ කෙතරම් කාලයක් මෙසේ සිර වී සිටින්නට ද යන සිතිවිල්ල අපේ සිත් තුළ නැගෙමිනි. අවසන් නොවන සේ දැනුනු ඒ කාලය ඒකාකාරී එකක් විය."

වියපත් පියවරුන් පෙළන  ශාරීරික වේදනාවට වඩා දරුණු මානසික වේදනා ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි.  

 "අපට දැඩිව ප්‍රේම කරන්නන් ගේ සහ මිතුරු මිතුරියන් ගේ සෙනෙහස අපට අහිමි විය. වෛරස අසාදනය වීමේ බිය අපට මතක් කර දුන්නේ අපගේ අස්ථිර බව ය. එසේ ම එය බොහෝ වියපත් තැනැත්තන් දින පතා අත්දකින දේ ජනතාවට මතක් කර දුන්නේ ය" යි එම පණිවිඩයේ සඳහන් වේ. 

මේ තත්වය අපට දෙන පණිවිඩයක් වන්නේ අපගේ කාලය නාස්ති නොකර උපරිම ලෙස භාවිත කිරීමේ වැදගත්කම බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

"අපට ලබා දී ඇති කාලය අපතේ නොදැමීම අත්‍යවශ්‍ය ය. ඒ මගින් වෙනත් අය මුණගැසීමේ ප්‍රීතියේ සුන්දරත්වය අත්දකීමටත්  ස්වයං-ප්‍රමාණවත්භාවයේ වෛරසෙන් සුවපත් වීමටත් අපට හැකියාව ලැබෙන්නේ ය."

වියපත් පියවරුන් වෙනුවෙන් දෙවිඳුන් යැදීමට සහ ඔවුන්ට සිය සහෝදරත්වය ප්‍රකාශ කිරීම සඳහා සිය රදගුරු තුමන්ලා ද සමග සහභාගී වන පියතුමන්ලා ට සුදොතුම් පියතුමා සිය ආශීර්වාදය පුද කළේය. ඔවුන් ගේ විශ්වාසවන්ත සහ නිශ්ශබ්ද සාක්ෂි දැරීම එතුමා ගේ ප්‍රශංසාවට ලක්විය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය