"පෙළපාළිකරුවන් ගේ විරෝධතාවලට සවන් දෙන්න" සුදොතුම් පියතුමා ලෝක දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි; "විරෝධතාකරුවන් සහ පාලකයන් අතර සංවාදයට සහය වෙන්න" කතෝලික සභා නායකයන්ගෙන් ඉල්ලයි

Pope Francis urges that the voice of demonstrators be heard

යුක්තිය සහ සාධාරණ මැතිවරණයක් ඉල්ලා වීදි බට බෙලරූස ජනතාව 


(2020 සැප්තැම්බර් 14)

ලොව පුරා ප්‍රදේශ රැසෙක මේ වන විට සිදුවෙමින් පවතින උද්ඝෝෂණ, පෙළපාලි සහ ජනතා පෙළගැසීම් වලට සවන් දීමේ අවශ්‍යතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එතුමා පවසන්නේ මේ පෙළපාලි වලින් ප්‍රකාශ වන්නේ 'තීරණාත්මක දේශපාලනික  සහ සමාජයීය ගැටළු' සම්බන්ධයෙන් ජනතාව තුළ  පවතින  කලකිරීම බවයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව නැගෙන "ජනතාවගේ මානව අයිතිවාසිකම් පිලිබඳ ඉල්ලීම් වල හඬට" දේශපාලන නායකයන් සවන් දිය යුතු බව එතුමා කියා සිටියි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 13 වන ඉරිදා දහවල් සිය තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ දී ය. සුපුරුදු පරිදි අපොස්තලික මාලිගාවේ සිට කරනු  ලබන මෙම යාච්ඥාවට සහභාගී වීම සඳහා වන්දනාකරුවෝ 500ක පමණ පිරිසක් සාන්ත පීතර චතුරශ්‍රයට එක්රැස් වී සිටියහ. තවමත් බලපවත්වන  කෝවිඩ් 19 සීමා නිසා වෙනදා මෙන් චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව පිරී යන්නට සෙනග පැමිණෙන්නේ නැත. 

මේ දිනවල ලෝකයේ ප්‍රදේශ ගණනාවක විවිධාකාර හේතු මත සිදුකරනු ලබන විරෝධතා පෙළපාලි සහ ජනතා රැළි කෙරෙහි අවධානය යොමු කරන්නට කැමති බව තුන්කාල ආරාධනාව සහ භාවනාව අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. 

"මෙම උද්ඝෝෂණ වලින්  ප්‍රකාශ කෙරෙන්නේ නිශ්චිත තීරණාත්මක දේශපාලන සහ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව තුළ වර්ධනය වෙමින් පවතින කලකිරීමයි" යි එතුමා පෙන්වා දුන්නේ ය. 

විරෝධතා ප්‍රකාශ කරන්නන්ට 

සිය විරෝධතා ප්‍රකාශ කරන්නට පෙළ ගැසෙන ජනතාව වෙත සුදොතුම් පියතුමා මුලින්ම කතා කළේය. 

"විරෝධතා ප්‍රකාශ කරන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ  ප්‍රචණ්ඩත්වයේ හෝ ආරවුල් ඇති කිරීමේ පෙළඹවීම්  වලට හසු  නොවී, සිය ඉල්ලීම් සාමකාමීව ඉදිරිපත් කරන ලෙසයි"යි එතුමා කීවේ ය. 

පාලකයන් 

ජනතාව සම්බන්ධයෙන් වගකීම් වගකීම පැවරෙන ආණ්ඩු සහ දේශපාලන නායකයිනට එතුමා ඊලඟට ආමන්ත්‍රණය කළේය. 

"නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් වලට සහ සිවිල් නිදහසට ගරු කිරීම සහතික කරන ලෙස ද රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලමි."

"සිය පුරවැසියනට සවන් දී ඔවුන් ගේ සාධාරණ දුක් ගැනැවිලි පිළිගන්නැයි ආණ්ඩු සහ දේශපාලන නායකයින්ගෙන් මම ඉල්ලා සිටිමි. නිරන්තරයෙන් මානව අයිතිවාසිකම් වලට සහ සිවිල් නිදහසට ගරු කිරීම සහතික කරන ලෙස ද රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලමි."

කතෝලික සභා නායකත්වය සහ කතෝලික ප්‍රජාව වෙත 

විරෝධතා කරුවන් ගේ ඉල්ලීම් සම්බධයෙන් ක්‍රියා කිරීමේ දී කතෝලික ප්‍රජාව වෙත ද වගකීමක්  පැවැරී තිබෙන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. එනම් ඵලදායී සංවාදයක් සඳහා සක්‍රීයව ක්‍රියා කිරීමයි.

" ඵලදායී සංවාදයක් ඇති කිරීම සඳහා සහ සමගි සන්ධානය සඳහා තමන්ට හැකි උපරිම ශක්තියෙන් ක්‍රියා කරණ ලෙස  මෙවැනි විරෝධතා සිදුවන ප්‍රදේශවල පුදැදුරුවරුන් ඇතුළු කතෝලික ප්‍රජාවන්ගෙන් මම ඉල්ලා සිටිමි," යි එතුමා කීවේය. 

යුක්තිය වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ 

ගත වූ මාස තුන හතරක කාලය තුළ ලොව විවිධ ප්‍රදේශ වල ජනතාව සිය සාධාරණ අයිතිවාසිකම්  දිනා ගැනීම සඳහා කෝවිඩ්  තර්ජනය ද නොතකා මහා මාර්ග වලට රැස්වෙමින් සිටිති. 

ඇමෙරිකාවේ සුදු ජාතික පොලිසිය එරට  කලු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුකරන වෙඩි තැබීම් ඇතුළු හිංසන වලට එරෙහිව එරට යුක්තිය සහ සාමය ගරු කරන කළු-සුදු-ලැටිනෝ-ආසියානු වැනි සියලු ජනතාව වීදි වලට බැස උද්ඝෝෂණ  වලට එක්වී සිටිති. එහෙත් ශුද්ධ බයිබලය අතින් ගෙන පල්ලි ඉදිරිපිට ඡායාරූප ගත්තත් මානව භක්තියෙන් හෝ මානුෂවාදයෙන් හිස් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුව ඒ ගැන නොඇසු කන්ව නොදුටු ඇස්ව සිටියි. 

ඇමෙරිකාවේ දැල්වුණු වාර්ගික හෝ සමේ වර්ණයෙන් හෝ සුළු ජාතියක් වූ ජනතාව උදෙසා යුක්තිය ඉල්ලා සිටීමේ විරෝධතා පෙළපාලිවල ගිණි සිළු මේ වන විට ලොව පුරා පැතිර යමින් තිබේ. 

බෙලරූසය දැවැන්ත ජනතා රැළි ආරම්භ වී ඇති තවත්  ප්‍රදේශයකි. ඉකුත් දා එරට පැවැත්වුණු මැතිවරණයෙන් එරට ඒකාධිපති පාලකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ  යළිත් වරක් ජය ගත්තේ ය. ඒ අතර ඔහුට එරෙහිව තරග කළ ඛබරොවස්ක් පළාතේ ආණ්ඩුකාරවරයා වසර 2000 සිදු කල බව කියන මිනීමැරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අයුක්ති සහගත කාරණා දෙකට එරෙහිව දශ ලක්ෂ සංඛ්‍යාත බෙලරූස ජනයා මේ වන විට වීදි බැස තිබේ. ඔවුන් ගේ ඉල්ලීම සාධාරණ ඡන්දයක් පවත්වන ලෙසයි. එහෙත් රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ පූර්ණ සහාය ලබන ජනාධිපති ලුකෂෙන්කෝ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සිටියි. 

අලුතින් ම උද්ඝෝෂණ ආරම්භ වී තිබෙන්නේ ග්‍රීසියේ ලෙස්බොස් දුපතේ ය. තමන් යුරෝපා සංගමයේ රටවල් තුළට  ඇතුළු කරගන්නැයි  ඉල්ලමින් එහි රඳවා සිටින අප්‍රිකා රටවල සරණාගතයන්  මෙසේ උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. 

"උද්ඝෝෂකයන් ගේ ඉල්ලීම් වලට සවන් දෙන්න"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටින විට ප්‍රධාන වශයෙන් මේ ජනතාව සේ ම ලොව පුරා යුක්තිය උදෙසා සටන් කරන සියලු ජනයා එතුමන් ගේ සිතේ සිටියාට සැක නැත. 

 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය