"ඇමේසන් රදගුරු කතිකාව පාර්ලිමේන්තුවක් බවට පත්වී තිබුණා ... ප්‍රවිචයෙන් හීනව තිබුණා... මෙය සභාවට අහිතකරයි" විවාහක පුදැදුරු වරුන් ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකි වීමට පසුබිම සුදොතුම් පියතුමා සටහන් කරයි

Pope says synod used ‘parliamentary logic’ when debating married priests


 


(2020 සැප්තැම්බර් 12)

විවාහක පුදැදුරුවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වූයේ, ඒ සම්බන්ධයෙන් ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාවේ සිදු  වූ සංවාදය "පාර්ලිමේන්තු විවාදයක් බවට පරිවර්තනය වූ නිසා" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

සිනොඩ් කථිකාවක් තුළ තිබිය යුතු වූ "එක්ව ගමන් කිරීමේ" ජීව ගුණයත් "ප්‍රවිචකරණයත්" එතුළ නොතිබූ අකාරය එතුමා පැහැදිලි කරයි. ඒ වෙනුවට සිනොඩ් කථිකාව තුළ දක්නට ලැබුණේ "පාර්ලිමේන්තු න්‍යාය ශාස්ත්‍රය යි."  පශ්චාත්-සිනොඩ්  අනුශාසනා පත්‍රය ලිවීමේ දී සිය අවසන් ප්‍රවිචය සඳහා අතිශයින් තීරණාත්මක සාධකයක් වූ එය නොතිබීම නිසා ඒ සම්බන්ධයෙන් අදහස් නොදක්වා සිටීමට සිදු වූ බව එතුමා පැහැදිලි කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු සඳහන්  කරන්නේ සිය පෞද්ගලික සටහනක ය. සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පියතුමන්ලා ගේ පෞද්ගලික සටහන් ජනතාවට කියවීමට ලැබෙන්නේ එතුමන්ලා ගේ අවෑමෙන් පසුව ය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ මෙම පෞද්ගලික සටහන ඉතාලියේ ජේසු නිකායික ප්‍රකාශනය වන  වන La Civilta Cattolica සඟරාවේ ප්‍රසිද්ධ කොට තිබිණි. දේව ධර්ම ශාස්ත්‍රවේදියකු සේම ප්‍රවීණ ප්‍රවෘත්ති කලාවේදියකු ද වන  ඇන්ටෝනියෝ ස්‌පැදේරෝ ජේ.නි.  පියතුමන් විසින් ලියන ලද "Francis’ Government: What is the driving force of his pontificate?" යන සිරසින් යුත් විශ්ලේෂණයට එම සටහනේ උපුටන ඇතුළත් කර තිබේ. (එය මෙතැනින් කියවන්න.)  

පසුබිම 

ඉකුත් වසරේ ඔක්තෝබරයේ වතිකානයේ දී පවත්වන ලද ඇමේසන් කලාපීය රදගුරු සිනොඩ් කථිකාවේ එක්  මාතෘකාවක්ව තිබුණේ පරිණත වූ විවාහක පිරිමින්ට (viri probati) පුදැදුරුවරය ලබා දීමේ අවශ්‍යතාව යි. එම කලාපයේ ඈත දුර බැහැර ප්‍රදේශ වල පවතින අධික පූජක හිඟයත් මේ නිසා විශ්වාසිකයන්ට දිව්‍ය පූජාවට සහභාගී වීම ඇතුළු ප්‍රධාන දේවප්‍රසාද නිධාන ලබා ගැනීමට නොහැකි වීමත් නිසා මෙය අත්‍යවශ්‍ය කාරණාවක්  වී තිබෙන බව සිනොඩ් පිය රදගුරු, පුදැදුරු , පැවිදි සහ ගිහි සාමාජිකයෝ පෙන්වා දුන්හ. එහෙත් සිනොඩ් කථිකාව තුළ සිටි  පිරිසක් දේව ධර්මශාස්ත්‍ර සහ සභා සම්ප්‍රදාය ගෙන හැර පාමින් ඊට විරෝධය ප්‍රකාශ කළහ. 

සිනොඩ් අවසන් ප්‍රකාශනයේ  ද සඳහන් වූ එම යෝජනාව ඉතා තීරණාත්මක ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය. එහෙත් සිනොඩ් කථිකාව තුළත් ඊට බාහිරවත් විවාහක පුදැදුරු වරුන් ඇති කිරීමට විරුද්ධව මහා ඝෝෂාවක් නැගිණ. 

සිනොඩ් කථිකාවේ දී  එම යෝජනාව සම්මත වීම නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි මහත් බලාපොරොත්තු පළ වී තිබිණි. එහෙත් "Querida Amazonia" නමැති සිය පශ්චාත් සිනොඩ් කථිකාවේ එතුමා ඒ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කලේ නැත. 

(එම වාර්තා මෙතැනින් කියවන්න:

විවාහ වූ පුදැදුරු වරුන් සහ කාන්තා ස්ථිර තේවාචාරී වරුන් : ඇමේසන් සිනොඩ් කතිකාවේ සාකච්ඡා වන අනෙක් උණුසුම් මාතෘකා දෙක

කතෝලික ධර්මයට 'පරිසර පාපය' හඳුන්වා දෙයි; සම්මානිත විවාහක පිරිමින්ට පුදැදුරු වරය ලබාදීමට පරීක්ෂාකාරී අනුමැතිය; කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනය යළි ඇරඹීමට යෝජනා; මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කිතුනු වගකීමක් බව අවධාරණය කෙරේ; "පූර්ණ පරිසර තුලනයක්" සහ ඇමේසන් ජන ප්‍රජාව කේන්ද්‍ර කරගත් නව ධර්මදාන තීරණ රැසක් සමග ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාව නිමාව දකියි

"ප්‍රේමවන්ත ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන)


සංවාදය සාරවත් - එහෙත් ප්‍රවිචයක් සිදු වුණේ නැහැ

තමන් ඒ සම්බන්ධයෙන් තීරණයක් නොගැනීමට හේතුව La Civilta Cattolica ප්‍රකාශනයේ පළ වූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම පෞද්ගලික සටහනේ දැක්වෙයි.

 "මේ කාරණාව  සම්බන්ධයෙන් සාකච්ඡාවක්, සාරවත් සාකච්ඡාවක්, හොඳ පදනමක් සහිත සාකච්ඡාවක් පැවැත්විණි. එහෙත් එහි ප්‍රවිචයක් තිබුණේ නැත."

"මේ කාරණාව  සම්බන්ධයෙන් සාකච්ඡාවක්, සාරවත් සාකච්ඡාවක්, හොඳ පදනමක් සහිත සාකච්ඡාවක් පැවැත්විණි," යි විවාහක පිරිමින්ට  පුදැදුරු වරය ලබා දීම පිළිබඳව සිනොඩ් සමුළුවේ ඇති වූ සංවාදය ගැන පෙන්වා දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සටහනේ සඳහන් කරයි. 

"එහෙත් එහි ප්‍රවිචයක් (discernment) තිබුණේ නැත. ප්‍රවිචය යනු යහපත් සහ සාධාරණ සම්මුතියක් හෝ සාපේක්ෂ බහුතරයකට වෙනස් වූ කාරණයකි," යි එතුමා පෙන්වා දෙයි. 

පාර්ලිමේන්තු න්‍යායෙන් වෙනස් වෙන්න බැරි වෙලා 

"සිනොඩ් කථිකාව යනු පාර්ලිමේන්තුවකට වඩා වැඩි  දෙයක් බව අප තේරුම් ගත යුතු ය; ඒ නිසා මේ විශේෂ සිනොඩ් කතිකාවේ දී ද අපට එම යාන්ත්‍රණයෙන් පළා යා නොහැකි ය. මේ මාතෘකාවේ දී ද ඉතා සාරවත්, ඉතා ඵලදායි සහ අත්‍යවශ්‍ය පාර්ලිමේන්තු යාන්ත්‍රණයක් තිබිණි. එහෙත් ඊට වඩා වැඩි යමක් නොතිබිණි. මා අපෝස්තලික අනුශාසනා පත්‍රය සකස් කරන විට අවසන් ප්‍රවිචය සඳහා එය තීරණාත්මක සාධකයක් ව තිබිණි,"  යි සුදොතුම් පියතුමා සිය සටහනේ පෙන්වා දෙයි. 

"සෛනෝඩීය ශික්ෂණ ක්‍රමවේදයේ එක් සම්පතක්  වන්නේ මෙම පාර්ලිමේන්තු  න්‍යායෙන් ඉවත් වී, ශුද්ධාත්මයාණන් වහන්සේ සභාවට කියන්නේ කුමක්දැයි සංඝය තුළ සවන් දීමට ඉගෙන ගැනීම යි."  මේ සාධකය සැලකිල්ලට ගෙන තමන් සෛණෝඩීය ක්‍රම වේදය වෙනස්  කල බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සටහනේ සඳහන් කරයි. මේ අනුව සහභාගී වන්නන් ගේ කථා කිහිපයකින් පසුව දැන් නිශ්ශබ්ද කාලයක් ඇතුළත් කර තිබේ. එම නිශ්ශබ්ද කාලයේ අරමුණ එම කතා සම්බන්ධයෙන් නිශ්ශබ්දව මෙනෙහි කිරීමයි. 

ආත්මයාණන්ට සවන් නොදීම සභාවට අහිතකරයි 

ශුද්ධාත්මයාණන්ට සවන් දෙමින් සිදුවන ප්‍රවිචයක් නොමැති වීම නිසා සභාවේ ක්‍රියාකාරීත්වයට ඇති විය හානිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සටහ පැහැදිලි කරයි.

 "අයහපත් ආත්මය, ප්‍රවිචය සකස් කොට, දෙපාර්ශවයේ ම න්‍යායාත්මක ස්ථාවර වලට සහ  පාර්ශව අතර වෙහෙසකාරී ගැටුම් වලට අනුග්‍රහය දක්වා, ඊටත් වඩා, සෛනොඩීය ගමනට ඉතා වැදගත් වන ආත්මයේ  නිදහස  දුර්වල කොට සියල්ල අවසානයකට  ගෙන  එයි..මෙය සභාවේ දූත මෙහෙවරට කිසි සේත්ම පිටිවහලක් නොවේ."

"අයහපත් ආත්මය, ප්‍රවිචය සකස් කොට, දෙපාර්ශවයේ ම න්‍යායාත්මක ස්ථාවර වලට සහ  පාර්ශව අතර වෙහෙසකාරී ගැටුම් වලට අනුග්‍රහය දක්වා, ඊටත් වඩා, සෛනොඩීය ගමනට ඉතා වැදගත් වන ආත්මයේ  නිදහස  දුර්වල කොට සියල්ල අවසානයකට  ගෙන  එයි"

"මෙය සිදු වූ විට, සංවාදය විකෘති කර, ලුහු කොට සිනොඩ් ශාලාව මතභේදාත්මක සහ එදිරිවාදී ස්ථාවරවලට  බෙදා අවසන් කරන වාතාවරණයක් එම ශාලාව තුල ජනිත වේ. මෙය සභාවේ දූත මෙහෙවරට කිසි සේත්ම පිටිවහලක් නොවේ," යි එතුමා පෙන්වා දෙයි. 

 " මෙහි අරුත නම් සෑම කෙනෙකුම තමන් ගේ ම 'සත්‍යය' තුළ ගොඩ නගන 'බලකොටුවකට' කොටු වන බව ය; තමන් ගේ ම සහ තම ආස්ථානවල සිරකරුවන් වන බව ය; ඒ මගින් බොහෝ අවස්ථා සම්බන්ධයෙන් තමන් ගේ ම ව්‍යාකුල බවත් තමන් ගේ ම නොසතුටත් ප්‍රක්ෂේපනය කරන බව ය. මේ ආකාරයෙන් 'එකට ගමන් කිරීම' කළ නොහැකි වෙයි," යි එතුමා පැහැදිලි කරයි. 

"සිනොඩ්" යන්නෙහි අරුත "එක්ව ගමන් කිරීම" යන්නයි. 

"එක්ව ගමන් කිරීම" ("walking together")

"එක්ව ගමන් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ අවංක සවන් දීමට කැප වීමයි. එනම්, අපගේ ස්ථාවරවල පෙනෙන්නට ඇති පරිශුද්ධත්වයේ වෙස්මුහුණු ගලවා දමා සියල්ල හෙළිදරව් කිරීමටත්  - අවම වශයෙන් අවංක වීමටත්  -  සෑම විටම තිරිගු අතර කිරිඳි වැවෙන බව ප්‍රවිච කිරීමට උදව් වන අවංක සවන් දීමකට හැකියාව ලබා ගැනීම යි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය සටහනේ වැඩි දුරටත් සඳහන් කර තිබේ. 

විවාහක පුදදුරු යෝජනාව අත්‍යවශ්‍ය වූයේ ඇමේසන් කලාපයේ පූජක හිඟයෙන් පෙළෙන ජනතාවට දේවප්‍රසාද නිධාන ලබාගැනීමට  සහ දිව්‍ය පූජාවට සහභාගී වීමට අවස්ථාව ලබා දීමේ අරමුණ ඇතිවය. 

රදගුරු සිනොඩ් කථිකාව තුලින් ඊට එල්ල වූ විරෝධයට වඩා වැඩි විරෝධයක් ඊට පිටතින් එල්ල වූයේ ය. විශේෂයෙන් ම රෝම කියුරියාවේ සම්ප්‍රදාය මතවාදීහු ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් ගෙන ගියහ. ඊට දැඩි ම ප්‍රහාරයක් එල්ලේ කලේ උග්‍ර ප්‍රැන්සිස් සසුන් පිය විරෝධියකු බවට පතල රොබට් සේරා කාදිනල් තුමන් විසිනි. ඊට එතුමා සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේව ද සම්බන්ධ කරගත්තේය. සේරා හිමි විශ්‍රාමික පාප් වහන්සේ සමග 'එක්ව' ලියන ලද පොතක් මගින් විවාහකයන්ට පූජාත්වරය නොදෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට බල කර සිටියේය. 

එම දෙනම එසේ කළේ වත්මන් කතෝලික සභාව තුළ ම විවාහක පූජක වරුනට පමණක් නොව විවාහක රදගුරු හිමි වරුනට ද නිදර්ශන පවතිද්දී ය. කෙසේ නමුදු, මේ සම්බන්ධයෙන් නැගුනු පරස්පරතා සහ විරෝධතා මධ්‍යයේ  විශ්‍රාමික සොළොස්වන බෙනඩික් පාප් තුමා පසුව එම පොතේ කර්තෘත්වයෙන් සිය නම ඉවත් කර ගත්තේ ය. 

ඒ තොරතුරු මෙතනින්: "විවාහක පූජක වරුන් සභා පිළිවෙතට පටහැනියි": විශ්‍රාමික පාප්තුමාගේ පොතෙන් සසුන් නායකත්වය, ගුරු බලය, සහ "විශ්‍රාමික සසුන් පිය" පදවිය ගැන ගැටළු මතුවෙයි 

විවාහක පුදැදුරු ප්‍රශ්නය තවමත් විවෘතයි 

කෙසේ නමුදු විවාහක පිරිමිනට පුදැදුරු වරය ලබාදිය හැකිද යන ප්‍රශ්නය සහ ඊට අදාළ කථිකාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වසා දැමුවේ නැත. එතුමා කර ඇත්තේ සිය "ආදරණීය ඇමසෝනියා" යන අපෝස්තලික අනුශාසනා පත්‍රයෙන් එම කථිකාවේ දොරටු තව දුරටත් විවෘතව තැබීම යි. 

එතුමා එසේ කලේ සිනොඩ් කථිකාවේ අවසන් ප්‍රකාශනය සිය අනුශාසනා පත්‍රයේ ඇමුණුම ලෙස එකතු  කිරීමෙනි. (ඉහත පෙර ලිපි කියවන්න)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය