"මැවිල්ල කොල්ලනොකමු. රැකබලා ගනිමු. හෙට නොවේ අද, ඒ වෙනුවෙන් ක්‍රියා කරමු" මාසික යැදුම් අදහස් වීඩියෝව නිකුත් කරමින් සුදොතුම් පියතුමා ඇරැයුම් කරයි

"No to plundering; not tomorrow; today, we have to take care of Creation responsibly" Holy Father's September prayer intention 



(2020 සැප්තැම්බර 1)

මිහිතලයේ සම්පත්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් අවධාරණය කරයි. ඇතැම් බලවේග මේ සම්පත් "මිරිකා' සූරාකමින් ද, කොල්ලකමින් සහ බලහත්කාරයෙන් පැහැරගනිමින් ද සිටින බව එතුමා පෙන්වා දෙයි. මේ නිසා මිහි මවට ගෙවිය යුතු "පාරිසරික ණයක්" පවතින බව ද එතුමා පවසයි. මේ නිසා "හෙට නොවේ අද" පරිසරය රැකබලා ගැනීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාව එතුමා අවධාරණය කරයි. 

මේ තත්වය සැලකිල්ලට ගෙන සැප්තැම්බර මාසය තුළ පරිසරය රැකබලා ගැනීම පිණිස යාච්ඥා කිරීමට් තමා සමග එක්වන ලෙස ද  ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස  ද එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට  ආරාධනා කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ආරාධනය කරන්නේ සැප්තැම්බර මාසයේ සිය යාච්ඥා අදහස අඩංගු "සසුන් පිය වීඩියෝව" නිකුත් කරමිනි.  "යාච්ඥාවේ අපෝස්තලිකත්වයේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසින් සුදොතුම් පියතුමා ගේ මාසික යාච්ඥා අදහස ලොව පුරා ගෙන යන මෙම වීඩියෝව සම්පාදනය කර බෙදා හරිනු ලබයි. 

සැප්තැම්බර මාසය සඳහා සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස, "මිහිතලයේ සම්පත් බලහත් කාරයෙන් පැහැර නොගෙන, සාධාරණව සහ ගෞරවාන්විතව එම සම්පත් බෙදා ගැනීම පිණිස" යන්නයි. 

එම පණිවිඩය ඇතුළත් වීඩියෝව ආරම්භ වන්නේ ගස් කපා, වනාන්තරය මුළුමනින්ම හෙළිකර වැඩබිමක් කිරීම නිසා කටුක කාන්තාරයක් වූ ප්‍රදේශයක දර්ශනයකිනි. පරිසරයට අතිශයින් ම ආදරය කරන මිහි දරු ප්‍රජාව වන ආදිවාසී කාන්තාවක්, කාර්මිකයකු සහ ව්‍යාපාරික නියෝජිතයකු එක්ව "ධරණීය සංවර්ධනයක්" වෙනුවෙන් මුණගැසෙන දසුනකින් මේ කෙටි වීඩියෝව අවසන් වේ. 

එම දසුන් පෙළ ඔස්සේ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා සිය මාසික යැදුම් අදහස විස්තර කරයි.

එම පණිවිඩය මෙසේ ය. 

"අපි මිහිතලයේ සම්පත් මිරිකා උකහා ගනිමින් සිටිමු. මිහිතලයේ සම්පත්  අප එසේ මිරිකමින් සිටින්නේ එය දොඩම් ගෙඩියක් ලෙස සලකා ගෙන ය. 

ගෝලීය උතුරේ රටවල් දකුණේ රටවල ස්වාභාවික සම්පත් සූරාකමින් තමන් ධනවත් කරගනිමින් සිටියි. මේ නිසා "පාරිසරික ණයක්" ඇති වී තිබේ. මේ ණය ගෙවන්නේ කවුද?

බහුජාතික සමාගම් තම රටවල නොකරන දේ විදේශ රටවල කරන්නට යාම නිසා මේ ණය වැඩි වෙමින් තිබේ. මෙය සාහසික ය. 

අද. හෙට නොවේ, අද, මැවිල්ල වගකීමෙන් රැකබලා ගැනීමට අප ක්‍රියා කළ යුතු ය. 

මිහිතලයේ සම්පත් කොල්ලනොකන පිණිසත්, ඒ වෙනුවට, යුක්තිසහගත සහ ගෞරවනීය ආකාරයෙන් ඒවා බෙදා ගන්නා පිණිසත් අපි යාච්ඥා කරමු. 

කොල්ලනොකමු. බෙදා ගනිමු." 

සැප්තැම්බර් 1 - ඔක්තෝබර 4 

ලෝක ව්‍යාප්ත පරිසරය සුරැකීමේ සමය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය යැදුම් වීඩියෝව නිකුත් කළේ කතෝලික සභාව ලෝක ව්‍යාප්ත පරිසරය සුරකීමේ සමය ආරම්භ කරන සැප්තැම්බර 1 වන දා ය. එම සමය කුඨප්‍රාප්තියට පත් වන්නේ ඔක්තෝබර 4 වනදා ය. 

සැප්තැම්බර පළමු වන දා පරිසරය රැකබලා ගැනීමේ ලෝක ව්‍යාප්ත දිනය යි. 

ඔක්තෝබර 4 වැනිදා සභාව ශු. අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන් ගේ මංගල්‍යය සමරයි. එතුමා සහාවේ බුහුමනට පාත්‍රව සිටින්නේ සාමයේ, දුප්පත්කමේ  සහ පාරිසරික සමතුළිත බවේ සාන්තුවරයා ලෙසයි.  

අසීසියේ ප්‍රැන්සිස් තුමා හිරු, සඳු, සුළඟ, තුරු ලතා, සතා සිව්පාවන්, පක්ෂීන් වැනි සමස්ත සොබා දහම ම - කතෝලිකයන් හඳුන්වන ලෙස සමස්ත මැවිල්ලම - සැලකූයේ "සොයුරන් සහ සොයුරියන්" ලෙස ය. එසේ එතුමා මානවයාට සේම සොබා දහමට ද පෙම් බැන්දේ ය. මන්ද මැවිල්ල තුළින් දෘශ්‍යමාන  වන්නේ දෙවියන් වහන්සේ ම නිසා ය. 

සභාව පරිසරය රැකබලා ගැනීමේ සමය මේ කාලය තුළ යොදා ගන්නේ  ඒ නිසාය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද සිය පාප් ධුරයේ නාම සාන්තුවරයා වන ප්‍රැන්සිස් අසීසි තුමන් සේ ම පරිසරය සුරැකීම සිය සසුන් පිය ධුර න්‍යාය පත්‍රයේ ඉහලම ප්‍රමුඛතාවක් බවට පත්කරගෙන තිබේ. 

එතුමාගේ ප්‍රථම සමාජ විශ්ව ලේඛනය,  "වේ ප්‍රශංසා"  ලියන ලද්දේ පරිසරය සුරැකීම සම්බන්ධයෙනි. ඇමේසන් කලාපීය රදගුරු කතිකාවෙන් පසු නිකුත් කෙරුණු අපෝස්තලික අනුශාසනා පත්‍රයේ  ප්‍රධාන කොටසක් ද එතුමා පරිසරයට වෙන් කර තිබේ. 

මේ මාසය පුරා එතුමා පරිසරය ගැන  විවිධ තේමා ඔස්සේ කතා කිරීමට නියමිත ය. 

මේ මාසයේ අපේ වනාන්තර, සුළඟ (වාතය), ගංගා ඇල දොල, සතා සිව්පා,  විහඟ කැල පමණක් නොව ඇසට නොපෙනෙන තරම් කුඩා, එහෙත්  වැදගත්, ජීවීන් ඇතුළු , මිනිස් අපේ 'සොබා දහම් සොයුරු සොයුරියන්' විනාශයෙන් ආරක්ෂා කිරීමට කතෝලිකයන් ලෙස අප කරන්නේ කුමක් ද? 


Comments

  1. Great translation done.. excellent.. appreciate much Saman n champa.. blessings

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය