"සමාජ විෂමතා යනු සමාජය රෝගී වීමේ රෝග ලක්ෂණයක්. රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසක් ඊට හේතුවයි" - 'ලොව සුවපත් කරන' සුදොතුම් පිය දැක්ම - " මිනිසා මිහිතලයේ හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවායි."

 “We are earth's stewards, not masters” Pope's vision for the post-pandemic world continued; 'Inequalities in the world reveal a social illness; it is a virus that comes from a sick economy.”

සුදොතුම් පියතුමා අපෝස්තලික මාලිගාවේ පුස්තකාලයේ සිට අගෝස්තු 26 වැනි දා පොදු හමුව පැවැත්වූ අවස්ථාව 


(2020 අගෝස්තු 30)

" මිහිතලය තමන්ට රිසි ලෙස ආත්මාර්ථකාමීව පරිභෝජනය කරන්නට  මිනිසා මිහිතලයේ  හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවාය."

"වඩා යුක්තිසගත සහ සධාරණ වූ, වඩා  යහපත් සහ වෙනස් දෙයක් ඇතිකරගැනීම සඳහා කිතුනුවා එක්සත්ව දෙවියන් වහන්සේ තුළ මුල් බැසගෙන ක්‍රියා කල යුතු ය."

ලෝකයේ දක්නට ලැබෙන සමාජ විෂමතා යනු සමාජයීය  රෝගීභාවයේ ලක්ෂණයකි. එය ඇතිවන්නේ රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසකිනි"

"ආර්ථික සහ තාක්ෂනික විෂමතා අපගේ සමාජ ජාලය ඉරාදමන තරමට විශාල වන විට,  භෞතික සංවර්ධනය මත යැපීම අපගේ පොදු නිවස වන මිහිතලයට තර්ජනයක් වන තරමට නැගී සිටින විට අපට ඒ  දෙස ඔහේ බලාගෙන සිටිය නොහැකිය."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දුන්නේ අගෝස්තු මස 26 වැනි බදාදා පැවැත්වුණු එතුමන් ගේ සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. "ලෝකය සුවපත් කිරීම" (Healing the World) යන්න එතුමා ගේ නව ධර්මෝපදේශ දේශනා මාලාවේ තේමාව ය. කෝවිඩ් වසංගතයෙන් පසු ව බිහිවන ලෝකයේ දැක්ම සහ මාවත ගැන එතුමා මෙම දේශනා මාලාවෙන් කරුණු දක්වයි. මෙම දේශනා වලට එතුමන් පාදක  කරගන්නේ කතෝලික සමාජ ධර්මයයි. කතෝලික සමාජ ධර්මයේ ඉගැන්වීම් සහ ඊට අදාළ වන කතෝලික ධර්මොපදේශයේ වගන්ති ද පාදක කර ගනිමින් එතුමා මේ සතියේ දේශනාව පැවත්වී ය. 

ක්‍රිස්තුන් වහන්සේ වෙතින් එන බලාපොරොත්තුව ආදරයෙන් පිළිගන්නැයි සිය දේශනය ආරම්භ කරමින් සුදොතුම් පියතුමා කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. "විශේෂයෙන් ම තවමත් අවසන් වී නොමැති, බොහෝ දෙනෙකු අපේක්ෂාභංගත්වයට පත්වන, මේ වසංගත කාලය තුළ, අප තුළ ආලෝකය දල්වන්නේ උන්වහන්සේ කෙරෙහි  වන බලාපොරොත්තුව ය. රෝගී භාවයේ, මරණයේ සහ අසාධාරණත්වයේ කුණාටු සහගත මුහුදු තරණය කිරීමට අපට සහය දෙන්නේ  උන්වහන්සේ යැ"යි   එතුමා කීවේ ය.

වසංගතය සහ සමාජ විෂමතා 

අපේ  ලෝකය  තුළ තිබූ සමාජ විෂමතා මෙම වසංගතය මගින්  ඉස්මතු කර පෙන්වනු ලැබූ අතර වසංගතය නිසා ඒවා උග්‍ර තත්වයට පත්වූ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනයේ දී පෙන්වා දුන්නේ ය. 

"ළමයින් රාශියකට සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කරගැනීමට නොහැකි වී ඇති අතර තවත් ළමයින් රාශියකට අධ්‍යාපනය තවදුරටත් කරගැනීමට හැකි වී තිබේ. ඇතැම් ජනතාවකට සිය වැඩ රාජකාරි ගෙදර සිට කරන්නට නොහැකි වී ඇති අතර තවත් ජනතාවකට එසේ කරන්න හැකි වී තිබේ. රටවල් රාශියකට සිය ආර්ථිකයට හානියක්  නොවී හදිසි තත්වයට මුහුණ දීම සඳහා මුදල් නිකුත් කිරීමට නොහැකි වී තිබේ; එහෙත් තවත් රටවල් රාශියක් එසේ කර ඇත."

"මේ සමාජ විෂමතාවයේ රෝග ලක්ෂණ හෙළිදරව් කරන්නේ සමාජයීය රෝගයකි. එය රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසකි; එය මූලික මානව වටිනාකම් නොසලකා හරින විෂම ආර්ථික වර්ධනයක ප්‍රතිඵලයකි"

"මේ සමාජ විෂමතාවයේ රෝග ලක්ෂණ හෙළිදරව් කරන්නේ සමාජයීය රෝගයකි. එය රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසකි; එය මූලික මානව වටිනාකම් නොසලකා හරින විෂම ආර්ථික වර්ධනයක ප්‍රතිඵලයකි," යි සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය. 

එක් කොටසක ගේ කෑදර කම නිසා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මුලික අවශ්‍යතා පවා අහිමි වී ඇති තත්වයක් ඉදිරියේ කිතුනු ජනතාවට අලසව බලා සිටිය නොහැකි යැයි එතුමා කියා සිටියේ ය. 

"බලාපොරොත්තුවෙන් එක්සත්ව, දෙවියන් වහන්සේ තුළ දැඩිව මුල් බැසගනිමින්, වඩා යුක්ති සහගත  වූ සහ වඩා සාධාරණ වූ, යහපත් වෙනස් දෙයක් ජනනය කරගැනීම  සඳහා කිතුනුවන් එක්ව අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු ය"

"අයිති කරගැනීමටත් පාලනය කිරීමටත්  ඇති බලවත් ආශාව විසින් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මූලික අවශ්‍යතාවන් පවා අහිමි වන විට, ආර්ථික සහ තාක්ෂනික විෂමතා අපගේ සමාජ ජාලය ඉරාදමන තරමට විශාල වන විට,  භෞතික සංවර්ධනය මත යැපීම අපගේ පොදු නිවස වන මිහිතලයට තර්ජනයක් වන තරමට නැගී සිටින විට, අපට ඒ  දෙස බලාගෙන අලසව සිටිය නොහැකිය. බලාපොරොත්තුවෙන් එක්සත්ව, දෙවියන් වහන්සේ තුළ දැඩිව මුල් බැසගනිමින්, වඩා යුක්ති සහගත  වූ සහ වඩා සාධාරණ වූ, යහපත් වෙනස් දෙයක් ජනනය කරගැනීම  සඳහා කිතුනුවන් එක්ව අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු ය" යි සුදොතුම් පියතුමා අවධාරණය කලේ ය.  

මිහිතලය සහ සම්පත් අපේ 'අයිතිය' නොවේ  

සුදොතුම් පියතුමා පොදු හමුවේ දී "සම්පත්වල පොදු ගමනාන්තය" (universal destination of goods) යන සමාජ දර්ශනයේ එන ඉගැන්වීම ගැන ද පහදා දුන්නේ ය. එය සමස්ත ශීල ධාර්මික සහ සමාජ ක්‍රමයේ ම ප්‍රථම මූලධර්මය  බව එතුමා කීවේ ය. 

"දෙවියන් වහන්සේ මිහිතලය සහ එහි ඇති සම්පත් මානව වර්ගයා ගේ පොදු භාරකාරත්වයට පැවරූ සේක. උන්වහන්සේ එසේ කළ සේක් මිනිසා විසින් එය රැකබලා ගනු පිණිස ය" යි කතෝලික සභාවේ ධර්මෝපදේශය උපුටා දක්වමින් එතුමා පැහැදිලි කළේ ය.

"පොළොවේ ඇති සියල්ල 'පාලනය' කරන්නැයි දෙවියන් වහන්සේ මිනිසාට දුන් උපදේශය වරදවා වටහා නොගත යුතු ය. එයින් අදහස් කෙරෙන්නේ මිහිතලය සම්බන්ධයෙන් 'ඕනෑම දෙයක් කරන්නට අසීමිත බලතල' මිනිසාට ලබා දුන් බව නොවේ. නැත. මෙම උපදේශයේ පවතින්නේ අප සහ සොබා දහම අතර පවතින සම්බන්ධතාව සහ අන්‍යෝන්‍ය වගකීමයි" 

"මානව ප්‍රජාවන් මිහිතලය ආරක්ෂා කල යුතු ය. ඔවුන් එයින් ගත යුත්තේ තමන් ගේ ජීවිත පැවැත්මට අවශ්‍ය දේ පමණි. මිහිතලයේ ඵල, ජනතාව ගේ සුළු පරිසකට පමණක් නොව, සියල්ලන්ට ලැබෙන බවට ඔවුන් වග බලා ගත යුතු ය" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"අපි සම්පත් වල හිමිකරුවෝ නොවෙමු. අප ඒවායේ භාරකරුවන් පමණක් ම ය. අපට ස්වාමිවරුන් සේ ආත්මාර්ථකාමීව අපගේ උවමනාවට පමණක් සම්පත් භාවිත කල  නොහැක්කේ එබැවිනි."

"කිසියම් දේපළක හිමිකාරත්වය එම අයිතිය දරන තැනැත්තා දිව්‍ය සංරක්ෂණයේ භාරකාරයකු බවට පත් කරන බව ධර්මෝපදේශය අපට උගන්වයි. ඒ මගින්  එම හිමි කරුට යම් කාර්යයක් පැවැරේ. එනම් එය ඵලදායක කොට එහි ප්‍රතිලාභ සෙසු ජනතාවට සන්නිවේදනය කිරීම යි. අපි සම්පත් වල හිමිකරුවෝ නොවෙමු. අප ඒවායේ භාරකරුවන් පමණක් ම ය. අපට ස්වාමිවරුන් සේ ආත්මාර්ථකාමීව අපගේ උවමනාවට පමණක් සම්පත් භාවිත කල  නොහැක්කේ එබැවිනි."

දේපළ සහ මුදල් 

දේපල සහ මුදල් ආත්මාර්ථකාමීව භාවිත කිරීම නිසා මිනිසා විරූපී වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එසේ වන්නේ මිනිසා තුළ පවතින"දිව්‍ය සමානකම" ඒ මගින් විකෘති වීම නිසා බව එතුමා පැහැදිලි කළේ ය.   

"දේපළ සහ මුදල් වල අරමුණ ඒවා සංවර්ධනයේ උපකරණ බවට පත් වීම ය. එහෙත් ජනතාව ඉතා පහසුවෙන් ඒවා තමන් ගේ ම ආත්මාර්ථකාමී අරමුණු වලට හරවා ගනිති. එසේ වූ විට  'දෙවියන් වහන්සේ ගේ ස්වරූපයට සහ සමාන කමට' මවන ලද මිනිසා ගේ ස්වරූපය විකෘති වෙයි."

"දේපළ සහ මුදල් වල අරමුණ ඒවා සංවර්ධනයේ උපකරණ බවට පත් වීම ය. එහෙත් ජනතාව ඉතා පහසුවෙන් ඒවා තමන් ගේ ම ආත්මාර්ථකාමී අරමුණු වලට හරවා ගනිති,"යි එතුමා කීවේ ය. 

"එසේ වූ විට  'දෙවියන් වහන්සේ ගේ ස්වරූපයට සහ සමාන කමට' මවන ලද මිනිසා ගේ ස්වරූපය විකෘති වෙයි. එහි ප්‍රතිඵලය මිනිසා සමාජයීය, නිර්මාණශීලී, සහයෝගීතාවයෙන් යුතු, 'ප්‍රේම කිරීමේ දැවැන්ත හැකියාවෙන් යුත්' දයාභරිත තැනැත්තෙකු වනු වෙනුවට, තමාගේ වාසිය සොයන, අනුන් මත අධිපතීත්වය පතුරන, තනිපුද්ගලභාවයට (individualistic) පත් වීමයි."

අතිනත ගත් සමාජ විෂමතාව සහ පරිසර විනාශය 

සමාජවිෂමතාව පරිසර විනාශය සමග කෙතරම් අන්‍යෝන්‍ය ලෙස බැඳී තිබේ ද යන්න ගැන ද ප්‍රැන්සිස් සුතුම් පියතුමා පැහැදිලි කළේය. 

"සමාජ විෂමතාව සහ පරිසර විනාශය අතිනත ගෙන  ගමන් කරයි. ඒවාට මූලික  හේතු ද එක මය. එනම්, තමන්ටම අයිති කරගැනීමට ඇති දැඩි කෑදර කම සහ පාලනය කිරීමට ඇති අභිලාෂයයි."

"සමාජ විෂමතාව සහ පරිසර විනාශය අතිනත ගෙන  ගමන් කරයි. ඒවාට මූලික  හේතු ද එක මය. එනම්, තමන්ටම අයිති කරගැනීමට ඇති දැඩි කෑදර කම සහ තමන් ගේ සහෝදර සහෝදරියනුත්, සොබා දහමත්, දෙවියන් වහන්සේත් පාලනය කිරීමට ඇති අභිලාෂයයි. එහෙත් එය සිය  මැවිල්ල වෙනුවෙන් දෙවියන් වහන්සේ ගේ සැලැස්ම නොවේ," යි එතුමා අවධාරණය කලේ ය. 

"රැක බලා ගැනීම සඳහා මැවිලිකරුවාණන් අපට භාර  කර ඇති දේ අප රැකබලා ගන්නේ නම්, කිසිවෙකුටත් හිඟයක් නොවන ආකාරයෙන් අප සතුව ඇති දේ අපට  පොදුවේ තබා ගත හැකි නම්,  එසේ නම් ,වඩාත් සුවදායක සහ සමානත්වයෙන් යුත් ලෝකයක් ප්‍රතිජනනය කරගැනීමට අපට අනුප්‍රාණය ලැබෙනු ඇති" යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය. 


  




 



  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය