"මාෆියා ග්‍රහණයෙන් මරිය මෑණියන් නිදහස් කරගන්න!" නව කාර්ය සාධක බලකායට සුදොතුම් පියතුමා උපදෙස් දෙයි

Pope calls for ‘freeing’ the Virgin Mary from the devotion of the Mafia

තරණයන් මාෆියාවෙන් ගලවා ගැනීමට දැරූ උත්සාහය නිසා මාෆියා කරුවන් විසින් මරා දමන ලද ඉතාලියේ පැලමෝහි  පයිනෝ පුග්ලිසි පියතුමන් ගේ ස්මාරකය අබියස 2018 දී මල් කලඹක් තබා බුහුමන් දක්වන සුදොතුම් පියතුමා  

(2020 අගෝස්තු 22)

නිර්මල මරිය මෑණියන් ගේ ප්‍රතිරූපය "අපරාධකාරී සංවිධාන වල බලපෑමෙන් නිදහස් කරගන්නැ"යි ළඟදී පිහිටුවන්නට යන වතිකාන ප්‍රති -මාෆියා කාර්ය සාධක බලකායෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා තිබේ. 

එතුමා මෙම ඉල්ලීම කර ඇත්තේ තම ආයතනයට අනුබද්ධව  නව ප්‍රති-මාෆියා කාර්ය සාධක දෙපාර්තමේන්තුවක් පිහිටු වූ සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනයේ සභාපති ප්‍රන්සිස්කාන නිකායික ස්ටෙෆානෝ සෙච්චින් පියතුමා වෙත ලියුමක් යවමිනි. කන්‍ය මරිය මෑණියන් ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරන අගෝස්තු 15 දාතමින් යුතුව එම ලියුම යවා තිබේ. 

පසුබිම: සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනය - Pontifical International Marian Academy

1946 දී ප්‍රන්සිකාන නිකායික (OFM) පී. කාලෝ බැලිච් පියතුමන් විසින් මෙම ආයතනය  ආරම්භ කරනු ලැබිණි. එහි ආරම්භක නම ජාත්‍යන්තර මරිය ආයතනය විය. කන්‍ය මරිය වහන්සේ පිළිබඳව විද්‍යාත්මක, කාල්පනික සහ ඓතිහාසික-විචාරාත්මක අධ්‍යයනයන් ප්‍රවර්ධනය කිරීම එම ආයතනයේ අරමුණ විය. එය ලොව වටා පවතින මරියවේදී ආයතන සහ සංගම් වල ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානය බවට පත් වූයේය. (මරියවේදය යනු මරිය මෑණියන් පිළිබඳව අධ්‍යයනය කරන දේව ධාර්මික විෂයයි.) 1959 දී ශු. 23 වන ජුවාම්  පාප්තුමා  සසුන් පිය ආඥාවක් මගින් ඊට "සසුන් පිය" ("Pontifical") යන අභිධානය ලබා දෙමින් එහි කටයුතු වලට සභාවේ නිල තත්වය ලබා දුන්නේ ය. මරියවේදී අධ්‍යයනය  ප්‍රවර්ධනය කරන අතර එතුමිය සම්බන්ධයෙන් පැණනගින ධාර්මික කරුණු පැහැදිලි කරමින් විග්‍රහ කිරීමට එම ආයතනය ක්‍රියා කරයි. 

තම ආයතනයට අනුබද්ධව ප්‍රති-මාෆියා කාර්ය සාධක බලකායක් පිහිටුවන බව  සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනයේ වත්මන් සභාපති ප්‍රන්සිස්කාන නිකායික ස්ටෙෆානෝ සෙච්චින් පියතුමා ඉකුත්දා ප්‍රකාශ කළේය. ලොව පුරා ඇති අපරාධකාරී කල්ලි  රැසක් මරිය මෑණියන් ගේ සැබෑ භූමිකාවත් එතුමිය ගේ ප්‍රතිරුපයත් විකෘති කිරීමට ක්‍රියා කරමින් සිටින බව එම ආයතනය පෙන්වා දුන්නේ ය. එම ආයතනය කියා සිටියේ එම  අපගාමී නැමියාවට එරෙහිව සටන් කිරීම  නව ප්‍රති-මාෆියා කාර්ය සාධක බලකාය  පිහිටුවීමේ අරමුණ වූ  බවයි.  "මාෆියා වලට සම්බන්ධ සංසිද්ධි විශ්ලේෂණය, අධ්‍යයනය සහ නිරීක්ෂණය කිරීමත්, මාෆියාවෙන් විමුක්තිය ලැබීමේ දේවධර්මයක් ප්‍රවර්ධනය කිරීමත්" මෙම නව බලකායේ අරමුණ බව ද සසුන් පිය  ආයතනය සඳහන්  කළේය. 

නව කාර්ය සාධක බලකාය  නම් කර ඇත්තේ "අපරාධ සහ මාෆියා සංසිද්ධි  නිරීක්ෂණ සහ අධ්‍යයන දෙපාර්තමේන්තුව" යනුවෙනි. නිල වශයෙන් එය ආරම්භ කිරීමේ සම්මන්ත්‍රණය සැප්තැම්බර 18 වැනි දින පැවැත්වීමට නියමිතය. 

මරිය බැතියේ නිර්මලත්වය සුරැකීම අවශ්‍යයි 

සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනයේ මෙම නව පියවර "ඉතා වැදගත් මූලිකත්වය ගැනීමක් " යැයි ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා, එම ආයතනයේ සභාපති ස්ටෙෆානෝ සෙච්චින් පියතුමාට යැවූ ලිපියෙන්  කියා සිටියි. දෙපාර්තමේන්තුව පිහිටුවීමේ සම්මන්ත්‍රණයට ද එතුමා සිය සුබපැතුම්  පළකරයි. 

"මරිය බැතිය වූ කලී ප්‍රකෘති නිර්මලත්වය සුරක්ෂිත කළ යුතු ධාර්මික- සංස්කෘතික උරුමයකි.  යුක්තිය, නිදහස, අවංක බව සහ සහෝදරත්වය වැනි සුපුවත් නිර්ණායකයන්ට පටහැනිව මරිය බැතිය  හා සම්බන්ධ වී ඇති ආටෝපකාරී අංග, බලවේග සහ සමාජ තත්වාරෝපණ වලින් එම නිර්මල බැතිය ආරක්ෂාකර ගත යුතු යැ" යි සුදොතුම් පියතුමා සිය ලියුමේ පෙන්වා දෙයි.  

සුදොතුම් පියතුමා යැවූ සම්පූර්ණ ලියුම මරිය මෑණියන්ට ම කැප වූ ඉතාලි භාෂා ප්‍රකාශනය වන Maria con te පුවත් පතේ පලකිරීමට නියමිත ය. වතිකාන මාධ්‍ය අංශය  මෙතෙක් නිකුත් කර ඇත්තේ එහි උපුටන කිහිපයක් පමණි. 

නිමල මරිය ප්‍රතිරූපය කිලිටි කරන 'පාතාලයේ සම්බන්ධතා' 

ජනතාව ඉතා  යටහත් පහත් තත්වයට පත්කොට ඔවුන් " වහලුන්"  කරගැනීම සඳහා අපරාධකාර කල්ලි මරිය තුමිය ගේ ප්‍රතිරූපය විකෘති කරන බව සෙච්චෙනි පියතුමා වතිකාන ප්‍රවෘත්ති සේවාවට පැවසීය. 
"මරිය මෑණියන් දේව කැමැත්ත  පිළිගත් ආකාරය විකෘති කරන ඔවුන් එතුමිය තුළ අසත්‍ය වූ  කාන්තා ආදර්ශකයක් නිර්මාණය කරනවා. ඔවුන් පෙන්නුම් කරන්නට උත්සාහ කරන්නේ එතුමිය බලවතුන් ගේ හස්ත යටතේ මිය ගිය සිය පුතනුවන් ගේ ඉරණමට ඉඩ දී වහලියක් සේ එකඟව, යටහත්ව, වහල්ව , උදාසීනව, නිෂ්ක්‍රීයව සිටි බවයි," යි එතුමා පැහැදිලි කළේය. 

"ඔවුන් ජනතාවට අව්‍යාජ ධාර්මිකත්වය ජීවත් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආගම යොදා ගන්නේ ජනතාව වහලුන් බවට පත්කර ගැනීමටයි."

බලවතුන්ද ගේ සහාය ලබමින් දුරාචාර වලට සම්බන්ධව සිටින  මේ පාතාල කල්ලි ආගම පත් කර ඇති තත්වය ද සසුන් පිය මරිය ආයතනයේ සභාපති පියතුමා මෙසේ විස්තර කළේය: "ඔවුන් ජනතාවට අව්‍යාජ ධාර්මිකත්වය ජීවත් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආගම යොදා ගන්නේ ජනතාව වහලුන් බවට පත්කර ගැනීමටයි."

මිථ්‍යා ඇදහිලි

මාෆියා සංවිධාන විසින් කතෝලික විශ්වාසයට ප්‍රතිවිරුද්ධ දේ ඊට මුසු කර ඇති ආකාරය ද  සෙච්චෙනි පියතුමා විස්තර කළේය. 
"ඔවුන් ජනතාව බිය කර පාලනය කිරීමේ අරමුණින් මිථ්‍යා ඇදහිලි, විජ්ජා, ඉන්ද්‍රජාලික ක්‍රියා වැනි දේ කතෝලික විශ්වාසයට සම්බන්ධ කරගන්නවා.  මෙවැනි මිථ්‍යා ක්‍රම සහ ගුරුකම් මගින් ඔවුනට සුවය ලබා ගත හැකි බවටත් ඔවුන් ගේ ප්‍රශ්න විසඳා ගත හැකි බවටත් ඔවුන් පොරොන්දු  දෙනවා."

මේ නිසා මෙම දෙපාර්තමේන්තුවේ අරමුණ කතෝලික විශ්වාසයත් මරිය තුමියත් විකෘති කර ඇති මේ තත්වයන් ඉවත් කර නිසි අවබෝධයක් ජනතාවට ලබා දීම බව පියතුමා කීවේය. 

මංගල්ල, පෙරහැර

විශේෂයෙන් ම මරිය මෑණියන්ට සම්බන්ධ මංගල්‍ය, පෙරහැර සහ වෙනත් අවස්ථා ද මාෆියා සංවිධාන විසින් සිය බලය සහ ව්‍යාජ 'ආගමිකත්වය' ප්‍රදර්ශනය කිරීම සඳහා යොදා ගන්නා බව පියතුමා පෙන්වා දුන්නේ ය. 
පෙරහැර  වීදි සංචාරය කරන අවස්ථාවල මාෆියා බලවතුන් ගේ නිවෙස් ඉදිරිපිටින් යද්දී දෙව් මව් ප්‍රතිමාව එම නිවෙස් ඉදිරිපිට නවත්වා, නිවෙස් වෙත ප්‍රතිමාව හැරවීම මෙවැනි එක් කුප්‍රකට චාරිත්‍රයකි. මෙය දෙව්මව් බැතියට අපහාසයක් බව පියතුමා අවධාරණය කළේය.  

මේ තත්වයන් සැලකිල්ලට ගෙන නව ප්‍රති-මාෆියා දෙපාර්තමේන්තුවට සිවිල් සමාජයේ වියත් පුද්ගලයෝ රැසක් ඇතුලත් කරනු ලැබ  සිටිති. අධිකරණ  විනිසුරු වරුන්, අපරාධ විද්‍යාවේදීන්,නීතිය ආරක්ෂා කිරීමේ නිලධාරීන්, රජයේ සහ සභාවේ නියෝජිතයෝ ඒ  .අතර වෙති. 

ශුද්ධෝත්තම පියවරුන් ගේ ප්‍රතිචාරය 

ඉතාලිය භීෂණයෙන් බියට පත් කරමින් සිටිය ද කතෝලික  සභාවටත් දේවස්ථාන වලටත් සම්බන්ධ වී ඒවායේ  ප්‍රධාන දායකයන් බවට පත් වී ජනතාව ගේ බුහුමනට පත් වී සිටින මාෆියා කරුවන්ට එරෙහිව ඍජුව, නිර්භයව කතා කල පාප් වහන්සේ දෙනම වන්නේ ශු. දෙවැනි ජුවාම් පාවුළු සහ වත්මන් ප්‍රැන්සිස් පාප්වහන්සේලා ය. 

"මාෆියා සංවිධාන යනු මරණයේ සංස්කෘතියකි. ..ඔවුන් මානව ගරුත්වයේත් සමාජ සාමයේත් සතුරෝ ය." -ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ 
මාෆියා නගරයක් වන අග්‍රිගෙන්ටෝ නගරයේ  1993 මැයි මාසයේ දී අපෝස්තලික චාරිකාවක යෙදුනු ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා තම  ලියාගත් කතා පිටපත ඉවතට  දමා මාෆියා සංවිධාන වලට දැඩි ලෙස අභියෝග කරමින් ඍජුව කතා කළේය. කතෝලික සභාව මාෆියාවලට එරෙහිව නිර්භීතව නැගී සිටිය යුතු බව එතුමා කීවේය. 
"මාෆියා සංවිධාන යනු මරණයේ සංස්කෘතියකි. ..ඔවුන් මානව ගරුත්වයේත් සමාජ සාමයේත් සතුරෝ ය. ක්‍රිස්තුන් වහන්සේ ගේ නාමයෙන් මේවාට වගකිව යුත්තන්ට මම මෙසේ පවසමි: සිත් හැරීමක් ඇති කරගන්න! නැතහොත් දිනෙක ඔබට දෙවියන් වහන්සේ ගේ විනිශ්චයට මුහුණ දීමට සිදුවනු ඇත," යි එතුමා අවධාරණය කළේය. 

"ඔබගේ ලේ සල්ලි පල්ලියට දී ස්වර්ගයට යා හැකි යයි ඔබ සිතන්නේ නම්,  ඔබට වැරදිලා" - ප්‍රැන්සිස් පාප් වහන්සේ 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2014 දී  මාෆියාවට කුප්‍රකට දකුණු දිග ඉතාලියේ කැලබ්‍රියාවේ අපෝස්තලික චාරිකාවක නිරත  විය. "නපුරට එරෙහිව  යුතුයි.   අයහපතට අප විරුද්ධ විය යුතු ය. අයහපත තුරන් කර යහපත ඇති කිරීම සභා ක්‍රියා කල යුතු ය. ...මාෆියා කාරයන් සභාවෙන් නෙරපා හරිනු ලැබේ. ඔවුනට සභාව සමග සමවායක් නැත." යි එතුමා එහිදී කියා සිටියේ ය. 
"ඔබගේ ලේ සල්ලි පල්ලියට දී ස්වර්ගයට යා හැකි යයි ඔබ සිතන්නේ නම්,  ඔබට වැරදිලා" යි එතුමා එහිදී මාෆියා කල්ලි  වලට අනතුරු අඟවා සිටියේ ය. 

 සභා මෑණියන් "මාෆියා" ග්‍රහණයෙන් නිදහස් කරගැනීම 

පසුගිය දශකයක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ ද මරිය බැතිය  පමණක් නොව සාන්තුවර සාන්තුවරියන් ගේ බැතිය ද 'දේශපාලන මාෆියා' විසින් විකෘති කිරීම ඉඩ දී  තිබෙන බව පෙනෙන්නට තිබේ. 

තේවත්තේ ලංකා අප ස්වාමිදුව සහ මරුද  මඩු මෑණියන් ගේ සිද්ධස්ථාන පමණක් නොව නිර්මලව සුරක්ෂිත කල යුතු ආගමික උරුමයන් වන සන්තානම් මෑණියන්, සන්තන්තෝනි මුනිඳුන් ගේ සිද්ධස්ථාන ද දෙවිඳුන් ගේ අසීමිත දයාව  ගලා හැලෙන සිරි කුරුස සිද්ධස්ථාන ද  මෙසේ "දේශපාලන මාෆියා" අවතීර්ණ වීම නිසා කිලිටි වී ඇති ශුද්ධ වූ ස්ථාන අතර වේ. ඇතැම් දෙව්මැදුරු වලට අතිරේක දේ ඉදිකරමින් ඒවා වඩා අලංකාර කරනු ලබන්නේ කළු සල්ලි, කුඩු සල්ලි වැනි "මාෆියා" දේශපාලකයන් ගේ දායකත්වයෙනි. කතෝලික ජනතාව ගේ ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානවල මංගල්‍ය වල ඉදිරියේ මුල් පුටු අරා සිටින්නේ ද දේශපාලන සහ දුරාචාර මාෆියා නියෝජිතයෝය. 

"එවැන්නන්ට මා මෙසේ කියනවා. කරුණාකර ඔබේ චෙක්පත ආපසු රැගෙන ගොස් පුළුස්සා දමන්න. සභාවට කිලිටි සල්ලි අවශ්‍ය නොවේ." 

"කිලිටි සල්ලි සභාවට එපා!" යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් වරක් බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනයේ දී කීවේය.  "එවැන්නන්ට මා මෙසේ කියනවා. කරුණාකර ඔබේ චෙක්පත ආපසු රැගෙන ගොස් පුළුස්සා දමන්න. සභාවට කිලිටි සල්ලි අවශ්‍ය නොවේ.  සභාවට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවට විවෘත වූ හදවත්" යැයි  එතුමා එම දේශනාවේ දී අවධාරණය කළේය. 


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මූලිකත්වයෙන් ඉතාලියේ සිදුවන මාෆියා වලින් සභාවේ පූජනීය දේ නිදහස් කරගැනීමේ ආදර්ශයේ  සුළඟට ලංකාවේ කවුළු පියන්පත් විවර වනු ඇත්ද?  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය