"කොරෝනා එන්නතේ ප්‍රමුඛත්වය ධනවතුන් නොවිය යුතුයි - දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීම දේශපාලනය නොවේ; සුපුවතේ ඉගැන්වීමයි - සමාජ අසාධාරණත්වයේ වෛරස පරදවමු" : වසංගතයෙන් පසු 'ලෝකය සුවපත් කිරීම' ගැන සුදොතුම් පිය දැක්ම

 “Preferential option for the poor is not a political option; it is at the centre of the Gospel; while finding a cure for this small but terrible virus let us also curing the larger virus of social injustice" - Pope's vision for the post-pandemic world 

සුදොතුම් පියතුමා රෝමයේ දුප්පතුන් සමග නත්තල් දිවා කෑම වේලක් බෙදා ගත අවස්ථාවක්: 2018 දෙසැම්බර් 18


(2020 අගෝස්තු 8)

නූතන ලෝකයේ පවතින වඩාත් විශාල වෛරස වන, සමාජ අසාධාරණත්වයේ, විෂමතාවයේ, කොන්කිරීමේ සහ දුර්වල වූවන් ආරක්ෂා නොකිරීමේ 'වයිරස' සුවපත් කිරීමට පෙරමුණ ගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි. 

"දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම" (“preferential option for the poor.”)  යන සහා ධර්මය දේශපාලනික හෝ න්‍යායාත්මක හෝ  පක්ෂග්‍රාහී සටන් පාඨයක් නොව සුබ අස්නේ කේන්ද්‍රයෙන් ම ගලා එන ඉගැන්වීමක් බව එතුමා අවධාරණය කරයි. 

කොරෝනා වෛරස මර්දනයට සොයා ගනු ලබන එන්නත "මුදල් බහුලව ඇති ධනවතුනට" නොව "වැඩියෙන් ම එහි අත්‍යවශ්‍යතාව ඇති" ජනතාව වෙත ලැබෙන අයුරින් බහුල ලෙස ලබා ගැනීමේ අවකාශය ඇති කළ යුතු බව ද එතුමා පෙන්වා දෙයි. 

"දුප්පතුනට සහ දුර්වලයිනට අසාධාරණ ලෙස සලකන ලෝකයේ වෛරස යළිත් දරුණු ලෙස පැතිර ගියහොත් අප ලෝකය වෙනස් කල යුතු යැ"යි එතුමා කතෝලිකයනට අභියෝග කරයි. 

එතුමා මෙසේ ප්‍රකාශ කළේ අගෝස්තු 19 වැනි දින බදාදා පැවැති සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. 

කොරෝනා සීමා හේතුවෙන් සුදොතුම් පියතුමා තවමත් සිය බදාදා පොදු හමුව පවත්වන්නේ අපෝස්තලික මාළිගයේ පුස්තකාලය තුළ සිට ය. එතුමා ගේ නව පොදු හමු මාලාවේ තේමාව "ලෝකය සුවපත් කිරීම" යන්නයි. 

දුප්පතුනට සමීප වීම 

"ජේසු සමිඳුන් ගේ ආදර්ශය අනුව යමින් කිතුනුවන් හඳුනා ගනු ලබන්නේ ඔවුන් දුප්පතුනට, අල්ප ම වූවනට, රෝගීනට සහ සිරගත වූවනට,සමාජයෙන් කොන් කරන ලද්දනට, අමතක කරන ලද්දවුනට සහ ආහාර සහ ඇඳුම් නොමැති වුනට ඇති සමීපත්වය මගිනි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය ආරම්භ කරමින් කියා සිටියේ ය. 

"කිතුනු අව්‍යාජත්වයේ නිර්ණායකය එයයි.  දුප්පතුනට, දුර්වල වුවනට  සහ කොන්කරන ලද්දවුනට ඇති සමීපත්වය කිහිප දෙනෙකු ගේ යුතුකමක් නොව සෑම කිතුනුවෙකු විසින් ම ඉටු කල යුතු යුතුකමකි. එසේ ම එය සමස්ත සභාවේ ම දූත මෙහෙවර වේ," යි එතුමා පෙන්වා  දුන්නේ ය. 

"කිතුනු කමේ අව්‍යාජ නිර්ණායකය ජේසු සමිදුන් අනුව යමින් දුප්පතුනට සමීප වන ආකාරය යි"

දුර්වල ජනතාට සමීප වීම සහ ඔවුන්  ගේ පැත්ත ගැනීමට පදනම වන  කතෝලික සභාවේ සමාජ ධර්මය ගැන සුදොතුම් පියතුමා මෙහි දී විශේෂයෙන් කතා කළේ ය. සමාජ ධර්මයේ  මූලික ඉගැන්වීමක් වන (ඇතැම් රටවල ධනපති මානසිකත්වයෙන් යුත් රදගුරු සහ පුදැදුරු කණ්ඩායම් විසින් සඟවා යටපත් කරනු ලබන)  "දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම" ගැන එතුමා අවධාරණයෙන් සඳහන් කළේය.

"දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම, දේශපාලනික හෝ න්‍යායාත්මක හෝ  පක්ෂග්‍රාහී සටන් පාඨයක් නොවේ. එය  සුබ අස්නේ කේන්ද්‍රයයි"

"දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම, දේශපාලනික හෝ න්‍යායාත්මක හෝ  පක්ෂග්‍රාහී සටන් පාඨයක් නොවේ. එය  සුබ අස්නේ කේන්ද්‍රයයි" යි එතුමා අවධාරණය කලේ ය. "එය මුල් බැස ඇත්තේ විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය යන ධර්මගුණ තුළ ය."

"අවම අවශ්‍යතා වලින් ඔබ්බට යන එහි අදහස වන්නේ එක්ව ගමන් කිරීමයි; ක්‍රිස්තුන් වහන්සේ ගේ දුක් විඳීම ගැන හොඳින් දන්නා දුප්පතුන් විසින් අප ධර්මදානීය කිරීමට ඉඩ දීමයි;  ඔවුන් සතු  ගැලවීමේ අත්දැකීම්, ඔවුන් ගේ ප්‍රඥාව සහ නිර්මාණශීලීත්වයට අපව 'ආසාදනය' කිරීමට ඉඩ හැරීමයි," එතුමා පෙන්වා දුන්නේ ය.  

වසංගතයට පසු යළිත් "සාමාන්‍ය" තත්වයට? නැහැ .

වසංගතයෙන් පසුව සාමාන්‍ය තත්වයට පැනීම ගැන බොහෝදෙනෙකු කතා කරන බව සුදොතුම් පියතුමා කීවේ ය. එහෙත් එම "සාමාන්‍ය තත්වය" යනු මෙතෙක් පැවැති අයුක්තිසහගත ව්‍යුහ ආපසු නගා සිටුවීම නොවන බව එතුමා පෙන්වා දුන්නේ ය.

"වසංගතය යනු අර්බුදයකි. අප අර්බුදයකින් ගොඩ ආ යුත්තේ යළි  පෙර සිටි තත්වයට නොවේ. අප එයින් නැගී සිටිය යුත්තේ වඩා හොඳ ආකාරයෙන් හෝ  වඩා අයහපත් ආකාරයෙනි. එහෙත් ඇත්ත වශයෙන්ම, වඩා වෙනස් දෙයක් ගොඩ නගමින් වඩා  යහපත්ව අප එයින් නැගී සිටිය යුතු ය." 

"මේ නිසා වසංගතයෙන් පසුව ආපසු සාමාන්‍ය තත්වයට පැමිණීමට වෑයම් කරන අවධියේ දී "දුප්පතුනට සමීප වීම" යනුවෙන් තවත් දෙයක් අදහස කෙරේ. එනම් "අහිතකර සමාජ ව්‍යුහයන්" පැරදවීමට ක්‍රියා කිරීම යි." 

" මේ නිසා, අද්‍යතන සමාජය සනිටුහන් කරන සමාජ අසාධාරණත්වයන් සහ පාරිසරික පරිහානිය මේ නව 'සාමාන්‍ය තත්වයට' ඇතුළත් නොවිය යුතු ය" යි එතුමා පෙන්වා දුන්නේ ය. ජනතාවට වඩා ලාබය කෙරෙහි අවධානය යොමු කරන ආර්ථිකය ගැන එතුමා සිය කනගාටුව පළකළේය. 

"මේ නිසා  දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම, -දෙවියන් වහන්සේ ගේ ප්‍රේමයෙන් ගලා එන මෙම ශීල ධාර්මික සහ සමාජයීය අවශ්‍යතාව-  ජනතාව -විශේෂයෙන් දුප්පතුන් - කේන්ද්‍රීය වන නව ආර්ථික ක්‍රමයක් පිළිසිඳගෙන නිර්මාණය කිරීමට අපට අනුප්‍රාණය දෙයි." 

"කුඩා, ඇසට නොපෙනෙන වෛරසේ ආදීනව සුවපත් කිරීමට අප  ක්‍රියා කල යුතු ය. එසේ ම වඩාත් විශාල ඇසට පෙනෙන සමාජ අසාධාරණත්වයේ, විෂමතාවයේ, කොන්කිරීමේ සහ දුර්වල වූවන් ආරක්ෂා නොකිරීමේ 'වෛරස' සුවපත් කිරීමට ද අප  ක්‍රියා කල යුතු ය."

"මේ නිසා  කුඩා, ඇසට නොපෙනෙන වෛරසේ ආදීනව සුවපත් කිරීමට අප  ක්‍රියා කල යුතු ය. එසේ ම වඩාත් විශාල ඇසට පෙනෙන සමාජ අසාධාරණත්වයේ, විෂමතාවයේ, කොන්කිරීමේ සහ දුර්වල වූවන් ආරක්ෂා නොකිරීමේ 'වෛරස' සුවපත් කිරීමට ද අප  ක්‍රියා කල යුතු ය."

කොරෝනා එන්නතේ ප්‍රමුඛතාව ධනවතුන් නොවිය යුතුයි 

"කෝවිඩ්-19 වසංගතයට එන්නතක් සොයා ගෙන එය බහුලව නිෂ්පාදනය වීම ආරම්භ වූ විට එය ලබා දීමේ  ප්‍රමුඛත්වය හිමි විය  යුත්තේ එය වැඩියෙන් අවශ්‍ය වන ජනතාව වෙත ය එසේ නොමැතිව  මුදල් වැඩියෙන් ම ඇති පුද්ගලයන් නොවේ. කෝවිඩ්-19 එන්නතේ ප්‍රමුඛත්වය අතිශය ධනවතුනට ලැබුනොත් කෙතරම් කනගාටු දායක ද?" යි සුදොතුම් පියතුමා ප්‍රශ්න කළේය. 

වසංගත කාලය තුළ ආර්ථික සහන සැපයීමේ දී සිදු වූ අසාධාරණත්වයන් ගැන ද එතුමා සිය නොසතුට පළ කලේ ය. 

මෙවැනි සහන සැපයීමට කර්මාන්ත තොරා ගැනීමේ දී අනුගමනය කල යුතු නිර්ණායක සතරක් පවතින බව එතුමා පෙන්වා දුන්නේ ය. එනම් , සමාජයෙන් සහ ආර්ථිකයෙන් බැහැර කරන ලද්දවුන් ඇතුළත් කරගැනීමට දායක වීම, අල්ප වූවන් නගා සිටුවීමට ක්‍රියා කිරීම, පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම සහ මැවිල්ල රැකබලා ගැනීමට දායක වීමයි

"මෙම නිර්ණායක වලට ඇතුළත් නොවන  කර්මාන්ත සහ ව්‍යාපාර වෙනුවෙන් වසංගත සහන ලබා දීම අවාදර්ශයකි" යි එතුමා අවධාරණය කළේය.  

ලෝකය වෙනස් කරමු 

වෛරස් වසංගතයෙන් නැගී සිටින ලෝකය තව දුරටත් අයුක්ති සහගත එකක් වන්නේ නම් එම ලෝකය "වෙනස් කල යුතු" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය. 

"දුප්පතුන් සහ දුර්වල වුවනට අසාධාරණ ලෙස සලකන ලෝකය තුළ වෛරස යළිත් දරුණු  ලෙස පැතිර යාමට පටන් ගතහොත් අපි ලෝකය වෙනස කල යුත්තෙමු" යි එතුමා  කීවේය.

"සංකලිත දිවය ප්‍රේමයේ වෙදැදුරාණන් වන ජේසු සමිඳුන් ගේ ආදර්ශය ගෙන ඇසට නොපෙනෙන කුඩා වෛරස් වලින් හටගන්නා වසංගත වලින් මෙන් ම ඇසට පෙනෙන, බරපතල සමාජ අසාධාරණත්වයේ වෛරස් වලින් හටගන්නා වසංගත වලින් ද ලෝකය සුවපත් කිරීමට අපි ක්‍රියා කල යුතු වෙමු."

"සංකලිත දිව්‍ය ප්‍රේමයේ වෙදැදුරාණන් වන ජේසු සමිඳුන් ගේ ආදර්ශය ගෙන, ඇසට නොපෙනෙන කුඩා වෛරස් වලින් හටගන්නා වසංගත වලින් මෙන් ම ඇසට පෙනෙන, බරපතල සමාජ අසාධාරණත්වයේ වෛරස් වලින් හටගන්නා වසංගත වලින් ද ලෝකය සුවපත් කිරීමට අපි ක්‍රියා කල යුතු වෙමු.මෙය කල ඉටු කරගත හැක්කේ, දේව ප්‍රේමයෙන් ආරම්භ කර, පරිධියේ සිටින්නන් කේන්ද්‍රයේ තබමින්, අල්ප වුවන් ප්‍රථම ස්ථානයේ තැබීමෙනි" යි සිය ධර්මෝපදේශ දේශනය අවසන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 


Comments

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය