පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් මැනගුවා ආසන දෙව් මැදුරේ ඓතිහාසික සිරි කුරුසිය විනාශ වෙයි ; සුදොතුම් පියතුමා කම්පා වෙයි; ඔර්තේගා රෙජීමයේ "ත්‍රස්තවාදී" ක්‍රියාවක් - නිකරගුවා සභාව කියයි

Historical Crucifix in Managua cathedral torched in ‘hatred of"the Church - Holy Father expresses closeness to Nicaraguans 

දැවී ගිය කුරුස ප්‍රතිමාව ඉදිරිපස යාච්ඥා කරන පියතුමෙක් සහ කන්‍යා සොයුරියක් 

(2020 අගෝස්තු 2)
හඳුනා නොගත් පුද්ගලයකු විසින් එල්ල කරන ලද පෙට්‍රල්  බෝම්බ ප්‍රහාරයකින් නිකරගුවාවේ මැනගුවාහි ආසන දෙව්මැදුරේ ඇති ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව දැවී විනාශ  වී තිබේ. ඒ සමගම කුරුස ප්‍රතිමාව ඉදිරිපස තිබූ දිව්‍ය සත්ප්‍රසාද මංජුසාව ද දැවී ගොස්  ඇත. 

සිද්ධිය සිදු වී ඇත්තේ ඉකුත් සිකුරාදා (ජූලි 31) ය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන අන්දමට හිස සහ මුහුණ වැසෙන ආකාරයේ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු මැනගුවා නුවර ක්‍රිස්තුන්  වහන්සේ  ගේ ශ්‍රී රුධිරයේ ආසන දෙව්දුමැරට ඇතුළු වී තිබේ. එතුළ විනාඩි 20ක පමණ කාලයක් ගත කළ  ඔහු ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව ඇති කුඩා දෙව්මැදුර වෙත පිවිස ඇත. එහිදී "මම ආවේ ක්‍රිස්තුන් වහන්සේ ගේ රුධිරයටයි" යි හඬ නැගූ ඔහු එම ප්‍රතිමාව වෙත පෙට්‍රල්  බෝම්බයකින් පහර දුන්නේ ය. 

සැනෙකින් බෝම්බය පිපිරී හටගත් ගින්නෙන්  කුරුසිය සහ  අවට ප්‍රදේශය ගිණි ජ්වාලයකින් වැසී ගියේ ය. ඉතා ඉක්මනින් ගින්න මැඩ  පැවැත්විණ. මෙයින් කිසිදු කෙනෙකුට තුවාල සිදු වී නැත. 

කෙසේ නමුත් කුරුස ප්‍රතිමාව ගින්නෙන් දැවී මුළුමනින් ම විනාශ වී ගිය බව මැනගුවා අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. 

මෙම කුරුසිය වසර 380ක් පැරැණි ඓතිහාසික ප්‍රතිමාවකි. ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී රුධිරයට කැප කොට ඇති මැනගුවා ආසන දෙව්මැදුරේ ඇති මෙම කුරුසිය හැඳින්වෙන්නේ ද "ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී රුධිරයේ" ප්‍රතිමාව ලෙස ය. එය නිකරගුවා කතෝලික ජනතාව ගේ මහත් භක්තියට හා ආදරය ලක්වූ ප්‍රතිමාවකි. 

මේ ප්‍රහාරයෙන්  කිසිවෙකුත් තුවාල නොලැබුවත් නිකරගුවා කතෝලික සංඝය තුළ ගැඹුරු රිදුම් දෙන තුවාලයක් හටගෙන ඇතැයි මැනගුවා අගරදගුරු පදවිය පවසයි.   

"මෙම ගින්න හදිසි අනතුරකින් ඇති වුවක් නොවේ. මන්ද ඒ අවට ඉටි පහන් හෝ වෙනත් පහන් දැල්වී තිබුනේ නැත," යි මැනගුවා අගදරගුරු පදවිය නිකුත් කල එම නිවේදනය කියයි. "මෙය නින්දිත ක්‍රියාවකි. එය රටේ සියලු කතෝලිකයන් රිදවා ඔවුන් තුළ ගැඹුරු තුවාල ඇති කර තිබේ. මන්ද එය නිකරගුවා කතෝලිකන්ගේ ආදරයට, භක්තියට හා නමස්කාරයට පාත්‍ර වූ ප්‍රතිමාවක් බැවිනි" යි එහි වැඩි දුරටත් සඳහන් වේ. 

සුදොතුම් පියතුමා ගේ කම්පාව 

අගෝස්තු 2 වන දින  ඉරිදා තුන්කාල ආරාධනා මරිය දැහැනේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම සිද්ධියෙන් වේදනාවට පත්ව සිටින නිකරගුවා කතෝලික ජනතාවට සිය සමීපත්වය ප්‍රකාශ කළේය. එතුමා කියා සිටියේ මේ සිද්ධියෙන් තමා ද කම්පාවට පත්වී සිටින බවයි. 

"මැනගුවා ආසන දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරය නිසා වේදනාවට පත් වී සිටින නිකරගුවා ජනතාව සමග මම සිතින් සම්බන්ධ වෙමි," යි එතුමා කීවේ ය. "සියවස් කිහිපයක් පුරා එරට විශ්වාසිකයන් කැටුව ගියාවූත් ඔවුන් ගේ ජීවිතය පෝෂණය කළා වූත්, පුළුල් ගෞරවයට පාත්‍රව තිබූ ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රතිමාවකට මේ සිද්ධියෙන් බරපතල අලාබහානි - සම්පූර්ණයෙන් විනාශ වන තරමටම - සිදු වී තිබේ."

"නිකරගුවාවේ මාගේ දයාබර  සහෝදර සහෝදරියනි, මම ඔබට සමීපව සිටිමි. මම ඔබ වෙනුවෙන් යාච්ඥා කරමි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩිදුරටත් කීවේ ය. 

මේ ප්‍රහාරය එල්ල කිරීම පිටුපස සිටින්නේ කවුද? 

නිකරගුවා කතෝලික සභාව පවසන්නේ මෙම ප්‍රහාරය එරට ජනාධිපති ඩැනියෙල් ඔර්තෙගා, ඔහුගේ බිරිඳ, උප ජනාධිපති රොසාරියෝ මුරිල්ලෝ ඇතුළු සැන්ඩිනිස්ටා ආණ්ඩුව විසින් සිතා මතා, සැලසුම්කර කරන ලද්දක් බවයි. 

මෙම ගින්න හට ගත්තේ  දෙව්මැදුර  තුළ පවතින අනාරක්ෂිත තත්වය නිසා බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කල නිකරගුවා ආණ්ඩුව කියා සිටියේ ය. "ගින්න ඇති වූයේ පහර දුන් පුද්ගලයා විසින් එල්ල කරන ලද බෝම්බයෙන් නොවේ. බැතිමතුන් විසින් ප්‍රතිමාව අවට දල්වන ලද ඉටි පන්දම් නිසාය," යි සිද්ධි යෙන් පැය කිහිපයක් ඇතුළත ප්‍රකාශයක් කරමින් උප ජනාධිපති මුරිල්ලෝ පැවසුවා ය. 

එහෙත් මැනගුවා අගරදගුරු ලියෝපෝල්ඩෝ බ්‍රෙනෙස් කාදිනල් හිමි එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය. "මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ දෙව්මැදුරේ  හෝ කුරුස ප්‍රතිමාව අවට හෝ ඉටිපහන් හෝ වෙනත් ගිණි ඇවිලෙන සුළු දෙයක් දැල්වී තිබුනේ නැතැ" යි එතුමා අවධාරණය කලේ ය. "මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයකි. එය ශුද්ධ වූ දේ කෙළෙසීමේ සහ දුෂ්‍ය කිරීමේ අපරාධයකි" යි එතුමා සඳහන්  කළේය.  

කාදිනල් හිමි පෙන්වා දුන්නේ මෙම ක්‍රියාව කාලයක සිට නිකරගුවා කතෝලික සභාව ඉලක්ක කර  එල්ල කෙරෙන වෛරී ප්‍රහාර වැලක එක් රුදුරු අවස්ථාවක් බවයි. 

දැනට වසර  දෙකක සිට එරට කතෝලිකයන් සහ දෙව්මැදුරු ඉලක්ක කරගනිමින් පහර දීම් සිදු කෙරෙමින් තිබේ. ඒ පහරදීම් අතර, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙලෙසීම, සත්ප්‍රසාද කරඬු, පඬුරු පෙට්ටි සහ ප්‍රතිම  විනාශ කිරීම සහ සභාවට අයත් දයා සේවා මධ්‍යස්ථාන ඇතුළු වෙනත් දේපල වලට හානි කිරීම ද වේ. 

මෙම වෛරී  ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජනාධිපති ඔර්තේගා විසින් මහෙයවනු ලබන පිරිස් සහ ඔවුන්ගේ ආධාරකරුවන් විසිනි. 

සැන්ඩිනිස්ටා ආණ්ඩුව සභාවට මේ පහරදීම් කරන්නේ ඇයි?

නිකරගුවාව දූෂිත ඒකාධිපති නායකයන් විසින් පාලන වූ රටකි. ශිෂ්‍යයකු සමයේ වාමාංශික සැන්ඩිනිස්ටා සටන්කාකාමීන්ට එක්ව වූ ඩැනියෙල් ඔර්තෙගා පසුව කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝගෙන් සන්නද්ධ විප්ලවය ගැන ඉගෙන ගත්තේය. 1978-1979 වකවානුවේ ඔවුන් ආරම්භ කළ නිකරගුවා විප්ලවයට එරට කතෝලික සභාවේ ද සහය ලැබිණි. මන්ද ඒ වන විට තිබූ දූෂිත පාලනය නිසා සමස්ත රටම හෙම්බත්ව සිටි බැවිනි. 

එහෙත් බලයට පත් වී කලක් ගත වෙද්දී සැන්ඩිනිස්ටා පාලනය ජනතාව මත දැඩි පීඩනයක් එල්ල කළේය. ඒ පීඩනයට එරෙහිව ජනතාව පෙලෙගැසෙන විට ආණ්ඩුව කලේ ඔවුන්ට පහර දීමයි.  ජනතා විරෝධතා  වලට සැන්ඩිනිස්ටා පලනය එල්ල කල  වෙඩි තැබීම්  වලින් සිය ගණනක් මිය ගොස් තිබේ. 

මේ තත්වය තුළ ජනතාව ගේ ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට පැමිණියේ කතෝලික සභාවයි. එරට සභා නායකත්වය රෙජීමයේ ජන මර්දන  ක්‍රියා කලාපය දැඩි සේ විවේචනය කළේය. එපමණක් නොව රෙජීමයේ ප්‍රහාර සහ හිංසා වලින් පලා එන්නන් සඳහා සභාව සිය දෙව්මැදුරු සහ වෙනත් ගොඩනැගිලි විවෘත කොට ඒවායේ ඔවුනට රැකවරණ ලබා දුන්නේ ය. 

ඔර්තේගා රෙජීමය සභාව සමග කෝපයට පත්වීමට හේතුව එය ය. 

වෙනෙකක්  තබා ප්‍රබල සැන්ඩිනිස්ටා පාක්ෂිකයකු ද මුල් සමයේ සැන්ඩිනිස්ටා ආණ්ඩුවේ ඇමැති වරයකු ද වූ අර්නස්ටෝ කාදෙනාල් පියතුමා ද ඔර්තේගා පාලනය දැඩි ලෙස විවේචනය කළේය. ලතින් ඇමෙරිකාවේ ප්‍රකට දේව ධර්මවේදියකු ද කවියකු ද  වූ එතුමා මේ වසරේ මාර්තු මාසයේ ස්වර්ගස්ථ විය. ඔර්තේගා අධාරකරුවෝ එතුමන් වෙනුවෙන් පවත්වන ලද අවමගුල් උත්සවය කඩාකප්පල් කිරීමට ද උත්සාහ කළහ. 

දැවුණු කුරුසිය ප්‍රදර්ශනය කරන්නේ ජනතාවගේ වේදනාවයි 

"ඔවුන් ක්‍රිස්තු ප්‍රතිමාවට පහර දෙන්නේ උන්වහන්සේ කුරුසියට තබා ඇණ ගසා ඇති නිසාය. ඔවුන් සභාවට පහර දෙන්නේ සභාව ප්‍රචණ්ඩත්වය භාවිත නොකරන නිසාය. ඔවුන් ජනතාව මර්ධනය කරන්නේ ඔවුනට තමන් ආරක්ෂා කරගැනීමට නොහැකි නිසා ය," යි නිකරගුවාවේ සිල්වියෝ බයෙස් රදගුරු තුමා ට්වීටර් පණිවිඩයකින් කියා සිටියේ ය. සැන්ඩිනිස්ටා පාලනයෙන් එල්ල වූ  මරණ තර්ජන නිසා එතුමන්ට සිය රටින්  පලා යන්නට සිදු  විය. 

"ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී රුධිරයේ ප්‍රතිමාව පෙන්නුම් කරන්නේ  ජනතාව ගේ දුක් ගාවිනාවයි."

"ඔව්හු තමන්වම රවටා ගනිති. ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී රුධිරයේ ප්‍රතිමාව පෙන්නුම් කරන්නේ නිකරගුවා ජනතාව ගේ දුක් ගාවිනාවයි. ඔවුන් කෙදිනෙක හෝ උත්ථාන කරනු  ලබනු ඇත," යි එතුමා එම පණිවිඩයේ සඳහන් කරයි. 





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය