තුර්කියේ "හගියා සොෆියා" බැසිලිකාව ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කෙරේ; "කිතුනු-ඉස්ලාම් සංවාදයට බරපතල හානි සිදු විය හැකියි" ඕතඩොක්ස් නායකයෝ කනස්සල්ල පළකරති

Turkey's Hagia Sophia Basilica converted to be a mosque

"හගියා සොෆියා"  බයිසන්තියාන බැසිලිකාව

(2020 ජූලි 11)
තුර්කියේ  හගියා සොෆියා ඓතිහාසික ස්මාරකය ඉස්ලාම් පල්ලියක් බවට පත් කරන බව එරට ජනාධිපති ටය්යිප් එර්ඩොගාන් අද ප්‍රකාශ කළේය. ඊට අදාළ ජනාධිපති නියෝගය ඔහු ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජූලි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගොඩනැගිල්ල තුළ ඉස්ලාම් ආගමික යාච්ඥා ආරම්භ කිරීමට අනුමැතිය දී තිබේ. 

ඔහු මෙම නියෝගය නිකුත් කලේ එරට ඉහළම පරිපාලන අධිකරණය ඉකුත් දා නිකුත් කළ තීන්දුවක් අනුව යමිනි. 1934 දී මෙම පෞරාණික ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කරනු ලැබීම නීතිවිරෝධී ක්‍රියාමාර්ගයක් බවට එම අධිකරණය තීන්දු කර තිබිණි.

හගියා සොෆියා - "දිව්‍ය ප්‍රඥාවේ" බැසිලිකාවේ ඉතිහාසය කෙටියෙන්

ක්‍රි. ව. 537 දී මෙම බැසිලිකා දෙව්මැදුර ඉදිකරන ලද්දේ ජස්ටීනියන් නමැති බයිසන්තියාන ක්‍රිස්තියානි අධිරාජයා විසිනි. ඔහු එය "දිව්‍ය ප්‍රඥාවට" (Hagia Sophia - Divine Wisdom) කැප කිරීම නිසා මෙම නාමය ඊට හිමිවිය.

1453 දී කොන්ස්තන්තිනෝපලය බිඳ වැටී එය ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වීමත් සමග කොන්ස්තන්තිනෝපලයේ නම ඉස්තාන්බුල් ලෙස වෙනස් කරනු ලැබිණි. ඒ සමගම දිව්‍ය ප්‍රඥාවේ බැසිලිකා දෙව්මැදුර ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කෙරිණි.

ඔටෝමාන් අධිරාජ්‍යයේ අවසානය සනිටුහන් කරන ලද්දේ තුර්කි ජාතික ව්‍යාපාරයේ නායකයා වූ මුස්තාපා කෙමල් ආටාටුක් විසිනි. 1934 දී ඔහු තුර්කි ජනරජයේ සමාරම්භක ජනාධිපතිවරයා වීමෙන් පසුව එතෙක් ඉස්ලාම් පල්ලියක් ලෙස පැවතුනු හගියා සොෆියාව කෞතුකාගාරයක් බවට පරිවර්තනය කළේය. ඉන් බොහෝ කාලයකට පසුව මෙම ගොඩනැගිල්ලේ ඓතිහාසික සහ පෞරාණික වටිනාකම පිළිගත් යුනෙස්කෝව විසින් එය ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් කරන ලද්දේ ය.

එතැන් සිට මේ දක්වා මෙය සාමයික සංහිඳියාවේ සෙල්මුවා නිකේතනයක් බවට පත්ව තිබුණේය. ලෝකයේ ප්‍රමුඛතම සංචාරක ආකර්ශනයක් වූ හගියා සොෆියාව වෙත 2019 දී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 35 ලක්ෂය ඉක්මවීය.

ඕතොඩොක්ස් සභාවල ශෝකය සහ අනතුරු ඇඟවීම 

ඓතිහාසික බැසිලිකා දෙව්මැදුර ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කරනු ලැබීම සියලු  ඕතොඩොක්ස් සභා නායකයන් ගේ ශෝකයටත් විරෝධයටත් හේතු වී තිබේ.

හගියා සොෆියාව අයිති වන්නේ හුදෙක් එහි රාජ්‍ය හිමිකාරයන්ට පමණක් නොව සමස්ත මානව ප්‍රජාවටම  බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කොන්ස්තන්තිනෝපලයේ පළමුවන බර්තොලොමිව් ඕතොඩොක්ස් පේත්‍රියාක් තුමා කියා සිටියේ ය. මෙම තීරණය හේතුවෙන් කිතුනු-ඉස්ලාම් සංවාදයට බරපතල හානි සිදු විය හැකි බවට ද එතුමා අනතුරු අඟවා සිටියේය.

"මෙම විශ්මිත ස්මාරකය සතු විශ්වීය බව බැබලවීම තුර්කි ජනතාවගේ  වගකීම ය. එසේ කිරීම ඔවුන් ගේ ගෞරවයට ද හේතුවකි," යි එතුමා කියා සිටියේ ය. "කෞතුකාගාරයක් ලෙස එය ක්‍රිස්තු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අතර මුණගැසීමේ , සංවාදයේ, සහයෝගිතාවේ  සහ අවබෝධයේ සංකේතාත්මක ස්ථානයක් ලෙස ක්‍රියා කළේය.  ...මේ අනුව එය ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කිරීමේ තීරණය නිසා ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත කිතුනුවන් ඉස්ලාම් ධර්මයට එරෙහිව ක්‍රියා කිරීමේ අවදානම පැන නැගී තිබේ," යි පළමුවන බර්තොලොමිව් පේත්‍රියාක් තුමා සඳහන් කළේය.

රුසියානු ඕතොඩොක්ස් සභාවේ නායක මොස්කව් නුවර කිරිල් පේත්‍රියාක් තුමා ද මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළේය. එතුමා කියා සිටියේ මෙම ස්මාරකය ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කිරීම ක්‍රිස්තු ධර්මයට තර්ජනයක් බවයි.

"මේ සම්බන්ධයෙන් කෝටි සංඛ්‍යාත කිතුනුවන් පලකල අදහස් වලට සවන් දීමක් සිදු වූයේ නැතැ" යි එතුමා කියා සිටියේ ය.

යුරෝපීය සංගමයේ කලකිරීම 

මේ තීරණය සම්බන්ධයෙන් යුරෝපීය සංගමය සිය කලකිරීම ප්‍රකාශ කළේය.
"නූතන තුර්කියේ අති වැදගත් තීරණයක් උඩු යටිකුරු කරමින් එරට අධිකරණය දුන් තීන්දුවත් මේ වැදගත් ස්මාරකය ආගමික කටයුතු යටතට පැවරීමට ජනාධිපති ගත් තීරණයත් අතිශයින් ඛේදජනක ය," යි යුරෝපීය සංගමයේ විදේශ කටයුතු ඇමැති ජෝසප් බොරෙල් වාර්තාකරුවන් අමතමින් කීවේය.

"ඒක අපේ ස්වෛරී භාවයේ අයිතියක්"- තුර්කිය 

මෙම විවේචන වලට ප්‍රතිචාර් වශයෙන් තුර්කි ජනාධිපති එර්ඩොගාන්  කියා සිටියේ මෙම තීරණය ගන්න ලද්දේ සිය රටේ ස්වෛරී අයිතිවාසිකම් වලට අනුව බවයි. මේ නිසා ඒවා විවේචනය කිරීම සිය ස්වාධීනත්වයට එල්ල කෙරෙන ප්‍රහාරයක් ලෙස හේ විස්තර කළේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය