"පවුල් වලට ආදරයත්, ගෞරවයත්, මගපෙන්වීමත් ලැබෙන පිණිස යාච්ඥා කරමු." - සුදොතුම් පියතුමා ගේ 2020 ජූලි මාසයේ යැදුම් අදහස (වීඩියෝ)

Pope's prayer intention for July: that families be loved, respected, guided


(2020 ජූලි 20)
2020 ජූලි මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යාච්ඥා අදහස  :නූතන ලෝකයේ පවුල්" වෙනුවෙනි. ඒ අනුව "ආදරය , ගරුත්වය සහ මගපෙන්වීම තුළ පවුල් කැටුව යාමට"  සමාජයේ සෑම අංශයකටම හැකි වන පිණිස යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මාසික යැදුම් අදහස විස්තර කෙරෙන සුදොතුම් පියතුමා ගේ පණිවිඩය ඇතුළත් වීඩියෝව අද නිකුත් කෙරිණි. 'සසුන් පිය වීඩියෝව' ("The Pope Video") නමින් හැඳින්වෙන එය නිකුත් කරන ලද්දේ පාප් වහන්සේ ගේ යැදුම් අදහස සන්නිවේදනය කරන "අපෝස්තලික යැදුම පිලිබඳ ශුද්ධෝත්තම පියතුමා ගේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසිනි.

නූතන පවුල විවිධ අන්තරායන් සහ ආතතීන් වලට ගොදුරු වී ඇති බව සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් පෙන්වා දෙයි. "වේගවත් ජීවිතය" (fast pace of life) ඊට  හේතුව බව එතුමා සඳහන්න කරයි.   "ඇතැම් විට දෙමාපියන්ට  සිය දූ දරුවන්  සමග සෙල්ලම් කිරීමට ද අමතක වෙයි" යි එතුමා නූතන යථාවක් දෙස ලෝකයේ අවධානය යොමු කරයි.

"ආදරය , ගරුත්වය සහ මගපෙන්වීම තුළ පවුල් කැටුව යාමට"  සභාවත් රජයත් ක්‍රියා කළ යුතු බව එතුමා පෙන්වා දෙන්නේ ඒ නිසා ය.

සුදොතුම් පිය මෙවර මාසික යැදුම් අදහස සම්බන්ධයෙන්  ප්‍රැන්සිස් සුදොතුම් ගේ සම්පූර්ණ වීඩියෝ පණිවිඩය මෙසේය: (වීඩියෝව බලන්න )

"පවුල ආරක්ෂා කළ යුතු ය.

එය බොහෝ අන්තරායන් වලට මුහුණ පා සිටියි: එනම් ජීවිතයේ අධික වේගය, ආතතිය ...වැනි අන්තරායන් ය.

ඇතැම් විට සිය දූ පුතුන් සමග සෙල්ලම් කිරීමට පවා දෙමාපියන්ට අමතක වෙයි.

පවුල් සමග සිට මේ දුෂ්කරතා වලින් ජයගත හැකි මාර්ග සොයා ගැනීමට ඔවුනට උදව් වෙමින් ඔවුන් ධෛර්යවත් කිරීමට සභාව ක්‍රියා කළ යුතු ය.

නූතන පවුල් ආදරය, ගරුත්වය සහ මග පෙන්වීම තුළ කැටුව යන පිණිස ද , විශේෂයෙන් ම රජය විසින් ඔවුන් ආරක්ෂා කරනු පිණිස ද අපි යාච්ඥා කරමු".

"සෙල්ලම් කිරීමට" අමතක වීම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මේ පණිවිඩයේ පවසන්නේ දෙමාපියන්ට සිය දරුවන් සමග "යාච්ඥා කිරීමට" අමතක වන බව නොවේ.

'සෙල්ලම් කිරීමට' අමතක වන බව ය.

එහි අරුත කුමක්ද?

දෙමාපියන් හා දරුවන් එක්ව විවේකය ආදරයෙන් සහ  විනෝදයෙන් ගත කිරීමට අවස්ථාවක්, දිනයක්, වෙලාවක් නොමැති වීම නිසා නූතන සමාජය යාන්ත්‍රික  සමාජයක් බවට පත්ව තිබේ. මෙහි මනෝවිද්‍යාත්මක ආදීනව රැසක් තිබේ. නූතන සමාජය වහා කේන්ති යන, ඇහෙන්නට නොකීවත් පවුල් තුළ ආතතීන් පවතින තත්වයකට පත්ව තිබීම ඒ අතරින් කිහිපයක් පමණි.

රටේ  පවතින වාණිජත්වය සහ තරගකාරීත්වය පදනම් කරගත් වේගවත් ජීවිතය නිසා  දෙමාපියන් සහ  දරුවන්ට එකට විවේක ගැනීම තබා එක වෙලාවට එක මේසයක එකට හිඳගෙන ආහාර ගන්නට පවා වෙලාව අහිමි වී තිබේ. සතියේ දිනවල දෙමාපියන්ට රැකියා ය. දරුවනට උදේ වරුවේ පාසල් ය. ඊට අමතරව  උදේ පාන්දරත් මහා රාත්‍රිය දක්වාත් පෞද්ගලික පන්තිය. මහ පාන්දරින් ගෙදරින් පිටත් වන ඔවුන්  ගෙදරට එන්නේ මැදි රැයට ආසන්නව වෙහෙසට පත් වෙලාය. ඉරිදාට ද උදාසන දිව්‍ය පූජාවෙන් පසු දහම් පාසල් ය. සතියක් පුරා පාසල් යන සුදු ඇඳුමින් ම දහම් පාසල් ද යන දූ දරුවෝ ඉරිදා ද ගෙදර එන්නේ මධ්‍යහ්නය ආසන්නයේ හොඳටම හෙම්බත් වෙලා ය. දහම් පාසල් ගුරුවර ගුරුවරියන් වන දෙමාපියන්ට දිවා ආහාරය සකසා ගන්නට ද වෙලාවක් නැත. පාසල් නැති වුනත් නිවාඩු කාලයේ පවා පෞද්ගලික පන්ති සහ දහම් පාසල් පැවැත්වේ.  මේ නිසා පවුල එක්ව සිටින්නට වෙලාවක් ලැබෙන්නේ අහම්බෙන් වාගේ ය. "ඇතැම් විට සිය දූ පුතුන් සමග සෙල්ලම් කිරීමට පවා දෙමාපියන්ට අමතක වෙයි," යයි සුදොතුම් පියතුමා පවසන්නේ ඒ පසුබිමේ ඇති බොහෝ කරුණු මෙනෙහි කිරීමට ඉඩ තබමිනි.

කෝවිඩ් වසංගතය ලෝකය පුරා බිය සහ වේදනාව පැතිර වූවත් ඒ තුළ 'සැඟවුණු ආශීර්වාද' ද තිබුනේ ය. වේගයෙන් දුවන සමාජය සැනෙකින් නවත්වා තම පවුල් තුළට වී සිටින්නට  ඔවුනට "බල කරනු ලැබීම" ඒ අතරින් එකකි. බොහෝ රටවල පවුල් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ. දෙමාපියෝ දරුවන් සමග එක්ව "සෙල්ලම් කළහ". ගෙවල් තුල විනෝද වූහ. එය නව අත්දැකීමක් කර ගත්හ.

එම ව්‍යසනය තරමක් දුරට පාලනය වී ඉතා සෙමින් එයින් ගොඩ එන්නට ලෝකය උත්සාහ කරන අවස්ථාවේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම යැදුම් අදහස ඉදිරිපත් කිරීම කෙතරම් නම් කාලෝචිත ද?

මේ මාසය තුළ එතුමන් ගේ මේ යැදුම් අදහස ගැන මෙනෙහි කරමින්  යාච්ඥා කරන අතර එය ක්‍රියාවට නැංවීමට හැකි වන්නේ නම් පවුල් වල හෙට දවස වඩා සුන්දර වනු ඇත.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය