කොරෝනා "සිරවීමට" විරාමයක්: ලූර්දුවෙන් ලොව ප්‍රථම අථත්‍ය වන්දනා ගමන ජූලි 16 දවස පුරා - ලූර්දු සිද්ධස්ථානයේ සිට සජීවීව ලොව පුරා

Lourdes hosts world's first ever virtual pilgrimage today 


(2020 ජූලි 15)
ප්‍රංශයේ ලූර්දු නම් පුංචි ගම්මානයේ බර්නදෙත් සුබීරු නම් 14 හැවිරිදි දැරිය එගම  ගල් ගුහාවක් මත දර්ශනය වූ දේවමාතා වහන්සේ ප්‍රථම වරට දුටුවේ  වසර 160කට පෙර 1858 ජූලි 16 වැනිදා ය. "මම ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය වෙමි" යි 17 වන දර්ශනයේ දී ඕ බර්නදෙත්ට පැවසුවා ය.

මේ "ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය" ගේ පෙම්බර අනුහසින් ලූර්දු ගම්මානය ලොව පතල වන්දනා ස්ථානයක් බවට පත් විය. එතුමිය දර්ශනය වූ ගුහාව අසලින් ගලා ගිය දිය පාරේ ජලය සුව කල නොහැකි ශාරීරීක රෝග සුව කරන ඔසුවක් ද ආත්මික ශාන්තිය දෙන අමාවක්  ද බවට පත් විය.

වසරේ දින 365 පුරාම වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගිය, කිසිදා  නොවැසුණු, මේ වන්දනා ස්ථානය කෝවිඩ් වසංගතය නිසා ප්‍රථම වතාවට වසා දමන්නට සිදුවිය. ප්‍රථම වතාවට එය වන්දනාකරුවන්ගෙන් හිස් වූ පින් බිමක් බවට පසුගිය මාස දෙක තුළ පරිවර්තනය විය. 

දැන් ප්‍රංශය කෙමෙන් සාමාන්‍ය ජීවිතයට විවර වෙමින් තිබේ. එහෙත් වෛරස මුළුමනින්ම මර්දනය වී නොතිබීමත් තවත් වසංගත රැල්ලක අවදානම පවතින නිසාත් සාමාන්‍ය ජන ගඟට මේ වන්දනා ස්ථානය යළිත් වහාම විවර කළ නොහැකිය. වෛද්‍ය විද්‍යාඥයෝ ඊට අවසර නොදෙති. එහෙත් ලොව පුරා කෝටි  සංඛ්‍යාත ජනතාවක් මේ වන්දනා ස්ථානයේ දහම් පහස ලබා ගැනීමේ අභිලාෂයෙන් පසු වෙති.

මේ නිසා වන්දනාකරුවන් ගේ මේ දහම් පවස  නිවීමට නූතන ජන සන්නිවේදන තාක්ෂණයේ සහය ලබා ගැනීමට ලූර්දු සිද්ධස්ථානයේ පාලක පියවරුන් තීරණය කර තිබේ.

මේ අනුව ලොව ප්‍රථම "අථත්‍ය වන්දනා ගමන"  (first ever worldwide virtual pilgrimage) සංවිධානය කරනු ලබන්නේ "ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය" වන දේව මාතා වහන්සේ දර්ශන වූ ලූර්දු සිද්ධස්ථානය විසිනි. එම අථත්‍ය වන්දනා ගමන එතුමිය දර්ශන වූ ප්‍රථම දිනය වූ  ජූලි 16 වන බ්‍රහස්පතින්දා (අද) දවස පුරා එම සිද්ධස්ථානයේ සිට පවත්වනු ලැබේ.

ලොව තමන් සිටින ප්‍රදේශ වල සිට රුපවාහිනී, රේඩියෝ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ඊට සජීවීව සහභාගී වීමේ අවස්ථාව කතෝලික සහ කතෝලික නොවන සියල්ලන්නට ලැබේ.

ලූර්දු සිද්ධස්ථානයේ සංවිධායකයන් විසින් මෙය හඳුන්වනු ලැබ ඇත්තේ "බහු- පරපුරු, බහු-සාංස්කෘතික 'ලූර්දු එක්සත්' ඊ-වන්දනා ගමන" ලෙසය. ( “Multi-generational and multi-cultural, the ‘Lourdes United’ e-pilgrimage) මේ යට‍තේ ලොව පුරා සියල්ලනට විවිධ මාධ්‍ය අවකාශ තුළ "බලාපොරොත්තුවේ සහ සහයෝගීතාවේ සලකුණ යටතේ" එක්රැස් විය හැකි බව මේ පිලිබඳ නිවේදනය කරන "ලූර්දු එක්සත්' ඊ-වන්දනා ගමන" වෙබ් අඩවිය  ප්‍රකාශ කරයි. මෙම වනදනා ගමන "ලූර්දුව, විශ්වාසයේ,කැපවීමේ, බෙදා හදා ගැනීමේ සහ බලාපොරොත්තුවේ පහන් ටැඹක්  ලෙස සලකන  ලොව සිව් දෙස වනසන ජනතාව" එකට එකමුතු කරනු ඇතැයි එම වෙබ් අඩවිය කියයි. 

"ලූඩ්ස් යුනයිටඩ්" ඊ වන්දනා ගමන ආරම්භ වන්නේ පැරිස් වේලාවෙන් උදාසන 7ට යි. රාත්‍රී 10 දක්වා ඊ වන්දනා ගමනේ වැඩසටහන් පැවැත්වේ. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදාසන 10.30 සිට 17 වැනිදා අලුයම 1.30 දක්වා).

උත්සව, පෙරහැර, ජපමාලය භාවනා කිරීම් සහා යාච්ඥා ඊට ඇතුළත් වැඩසටහන් අතර වේ. ඊට අමතරව ලූර්දු අත්දැකීම් පිළිබඳව ගිහියන් සහ පුදැදුරු-පැවිදි නියෝජිතයන් විසින් කරනු ලබන බෙදා ගැනීම් ද ඊට ඇතුළත් වේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය