කෝවිඩ් 'රුදුරු හිංසනයෙන්' ලද තුවාල සමග සුදොතුම් පියතුමා ගේ ජපමාල යැදුමට පැමිණි රෝහල් උපාධ්‍ය පියතුමා: "මට කරන්න පුළුවන් වුනේ ඔවුන් ගේ වේදනාව දකිමින් හැඬීම පමණයි"

Hospital chaplain carries ‘tortured’ experience of COVID into Holy Father's Rosay evening


(2020 ජුනි 3)
ජෙරාර්ඩෝ  රෝද්රිගුවෙස් හර්නැන්ඩස් පියතුමා රෝමයේ ලසාරෝ ස්පැලන්සානි ජාතික බෝවන රෝග ආයතනයේ රෝහල් උපාධ්‍ය පියතුමා ය. ඉකුත් මාස දෙකකට අධික කාලය තුළ එම රෝහල පිහිටා ඇති ලසියෝ ප්‍රදේශය, ඉතාලියේ කෝවිඩ් වසංගතයේ අපි-කේන්ද්‍රය බවට පත් වී තිබුණේ ය.

රෝහල් උපාධ්‍ය වරයා ලෙස එතුමා ලද අත්දැකීම් නිසා මැයි 30 වැනි දා සන්ධ්‍යාවේ වතිකාන උද්‍යානයේ ලූර්දු ගුහාව අබියස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් මෙහෙයවන ලද ජපමාල යැදුමට ජෙරාර්ඩෝ හර්නැන්ඩස් පියතුමාට ද ආරාධනා කර තිබුණේ ය. ඊට සහභාගී වූ එතුමා එක් ජපමාල පන්තියකින් කොටසක් ද  මෙහෙය වීය.

ජෙරාර්ඩෝ හර්නැන්ඩස් පියතුමා වූ කලී කෝවිඩ් වසංගත කාලය තුළ කෙනෙකුට දරා ගත නොහැකි තරම් මරණ විශාල සංඛ්‍යාවක් කැටුව ගිය දයාර්ද්‍ර පුදැදුරු නමකි. "පාප් වහන්සේත් එක්ක ජපමාලය යදින්නට මා යන්නේ මා  ලැබූ ඒ අත්දැකීම් රැගෙනයි  යි ඊට සහභාගී වන්නට පෙර Cruxnow කතෝලික වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් එතුමා කියා සිටියේ ය.

සිත පිපිර වූ වේදනාව 

"පසුගිය මාස දෙකක කාලය මගේ ජීවිතයේ නොමැකෙන, අමතක නොවන කාල පරිච්ඡේදයක්" Cruxnow ලියුම්කරුට පිළිතුරු දෙමින් එතුමා කීවේය. "රෝගීන් වගේම ඔවුන් ගේ පවුල් වල සාමාජිකයිනුත් ස්පර්ශ කරන්නට නොහැකිව, ඔවුන් වැළඳ ගන්නට හෝ ඔවුන්  ගේ දෑත මගේ දෑතින් ගෙන ඔවුන් සනසා ඔවුන් තනි වී නොමැති බව සහතික කරන්නට හෝ නොහැකිව, ඔවුන් රිද වූ බරපතල කටුක වේදනා කැටුව යන්නට මට සිදු වුණා," යි එතුමා හැඟුම් බරව පැවසුවේ ය.

"මා තුළ මට දැනුණේ නිෂ්ප්‍රයෝජන බවක්.  කාත් කවුරුත් නොමැතිව හුදෙකලාව ම මිනිසුන් මිය යනවා බලා සිටීම ...? මට එය විස්තර කරන්න පුළුවන් වන්නේ වද හිංසාවක් ලෙස පමණයි. එය මතක් වන විටත් මට හැඬුම් එනවා. මේ තත්වය දකිමින්  මම ඇඬුවා. එය දරා ගන්නා අමාරුයි..."

සක්‍රමේන්තු දානය කිරීම 

ඉතාලිය කෝවිඩ් වසංගතයෙන් වැසී යද්දී මෙම බෝවන රෝග ආයතනය මුළුමණින් ම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කෙරිණි. එහි දී වරකට රෝගීන් 300කට අමතරව වෛද්‍යවරුන්, හෙද හෙදියන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලයට ද සිය සේවාව ලබා දීමට  හර්නැන්ඩස් පියතුමාට සිදු විය.

"කෝවිඩ් මුලින්ම ඉතාලියට පහර දුන් අවස්ථාවේ සිටම එය රෝහල්වල අප දන්නා සෑම රිද්මයක් ම බිඳ දැමුවා" එතුමා කීවේය.

කාමර වලට ඇතුළු වීමට හෝ රෝගීන් ස්පර්ශ කරන්නට හෝ පියතුමාට අවසර ලැබුණේ නැත. මේ නිසා මේ නිසා එතුමා රෝහල පුරා ඇති කොරිඩෝ වල ඇවිදින්නට පටන් ගත්තේ ය. ඉඳ හිට රෝගියකුට කතා කරන්නට එතුමා නැවතුනේ ය. එහෙත් එතුමා ඔවුන් සමග කතා කළේ ඔවුන් වෙන් කරන වීදුරු දොරෙන් පිටත සිටගෙන ය. ඇතැම් විට රෝගීන් සහ තමා අතර පරතරය ඇති කරන නාන කාමර බේසමක හිඳගෙන එතුමා රෝගීන්ට සවන් දුන්නේය.

රෝගීනට සිය අතින් ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දීමට නොහැකි වීම හර්නැන්ඩස් පියතුමා වේදනාවට පත් කළ තවත් අවස්ථාවක්  විය. සක්‍රමේන්තු දානය කරන්නට අවශ්‍ය වූ විට එතුමා කරන්නේ උදාසනින් ම රෝහලේ සේවය කරන කන්‍යා සොහොයුරියන් සිව් දෙනා සමග දිව්‍ය පූජාවක් පැවැත්වීමයි. ඉන්  පසුව එතුමා දිව්‍ය සත්ප්‍රසාදය ඉල්ලා සිටින රෝගීනට එය දානය කරයි. එහෙත්, රෝගය පැතිරීම වැලැක්වීම සඳහා,  එය ද අතින් ලබා දීම තහනම් කර තිබිණි. මේ නිසා එතුමා කරන්නේ සත්ප්‍රසාද වහන්සේ ගෝස් කැබැල්ලක් මත තබා රෝගීන් ගේ කාමරය ඉදිරිපිට තැබීම යි. ඔවුන් දිව්‍ය සත්ප්‍රසාදය වැළඳූ පසුව පියතුමා ඔවුන් සමග කෙටි යාච්ඥාවක් කරයි.

"මට මිනිත්තුවක්වත් නවතින්නට හැකියාවක් තිබුණේ නැහැ. මන්ද මට වැඩ කරන්නට තිබුණේ හුදෙක් රෝගීන් වෙනුවෙන් පමණක් නොවන නිසා," එතුමා කියා සිටියේ ය. රෝහල් උපාධ්‍ය වරයා ලෙස රෝහලේ පරිපාලක කාර්ය මණ්ඩලය, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්, පවිත්‍ර කිරීමේ කාර්ය මණ්ඩලය, මුළුතැන්ගෙය මෙන් ම රෝහල් තේ පැන් හලේ කාර්ය මණ්ඩලයට ද සේවාව කිරීමට තමන් බැඳී සිටින බව  හර්නැන්ඩස් පියතුමා කීවේ ය.

රෝගියකුට සමගි සන්ධානයේ දේවප්‍රසාද නිධානය අවශ්‍ය වූ විට අනිවාර්යයෙන් ම තමන් ඔවුන් හමුවීමට ගිය බව  පියතුමා පැවසුවේ ය. එහෙත් එවිට රෝගයෙන් ආරක්ෂා වීමට භාවිත කරන පූර්ණ ආරක්ෂක ඇඳුම් කට්ටලය  ඇඳගන්නට එතුමාට සිදුවේ. "ඒ හැරුණු කොට 'මට පියතුමෙකුට කතා කරන්නට අවශ්‍යයි' යයි රෝගීන් පවසන අවස්ථා ද තිබෙනවා. එවිටත් එසේම සැරසී මා ඔවුන් මුණගැසෙනවා."

පියතුමා අසරණ කළ කෝවිඩ් මරණ 

තමා මුළුමණින් ම අසරණ කළේත් වේදනාවට පත් කළේත් කෝවිඩ් රෝගීන් ගේ මරණ බව ජෙරාර්ඩෝ  හර්නැන්ඩස් පියතුමා පැවසුවේ ය. කාත් කවුරුත් නොමැතිව, ප්‍රේම කරන්නන්ගෙන් සමු ගැනීමට නොහැකිව, වැළඳ ගැනීමක් හෝ ස්පර්ශයක්  හෝ නොමැතිව ඔවුන් මිය ගිය අවස්ථාවල තමා හඬා වැටුණු අයුරු එතුමා විස්තර කළේ ය.

තමා සිය ජීවිතයේ අවසානයට පැමිණුනු බව හැඟී ගිය රෝගියකු කාර්ය මණ්ඩලය අතේ පණිවිඩයක් එවා තමන් ගෙන්වා ගත්  අවස්ථාවක් පියතුමා සිහිපත් කළේ ය.

"තමන් මිය යන්නට ආසන්න බවත් මේ නිසා පියතුමෙකුට කතා කරන්නට අවශ්‍ය  බවත් ඔහු කාර්ය මණ්ඩලයට පවසා තිබුණා.මා ඔහු ගේ කාමරයට ගිහින් ඔහු අසල හිඳ ගෙන ඔහුට කතා කළා.  ඔහුට කතා කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඔහු අංග චලන වලින් පෙන්නුම් කළා මා කියන  දේ ඔහුට තේරෙන බව. ඔහුට සිය පව් සිහිපත් කර මනස්තාප වන්නට උදව් වූ මම ඔහුට සමාව දානය කළා. පැයකින් පමණ ඔහු මිය ගියා."

ඒ අතරිනුත් වඩාත් වේදනාත්මක වූයේ තරුණ තරුණියන් මිය යනු දැකීම බව පියතුමා කීවේ ය. "එය හදවත බිඳ දමනවා," යි එතුමා සඳහන් කළේය .  නව කොරෝනා වෛරසෙන් මිය ගිය බහුතරය වැඩිහිටි ජනතාව වුව ද තරුණ තරුණියෝ රැසක් ද ඊට ගොදුරු වූහ.

යොවුන් මරණ 

තමාට අමතක නොවන එක් සිද්ධියක් හර්නැන්ඩස් පියතුමා විස්තර කළේ ය.

ඇය 28 හැවිරිදි තරුණ මවකි.  සිය දරුවා ලැබී යන්තම් මාස දෙකක් ගත වෙනවාත් සමගම  ඇයට කෝවිඩ් ආසාදනය විය. පසුව එම රෝගයේ සංකූලතා හේතුවෙන් සිය අලුත උපන් දරුවාත් සැමියාත් දෙමව්පියණුත් තනි කර ඕ මෙලොව හැර ගියා ය.

"ඇයගේ පියා මගේ වයසේ. ඇය මිය යන අවස්ථාවේ මා ඔහු සමග තනි වුණා. සිය 28 හැවිරිදි තරුණ දියණිය හුදෙකලාව මිය යනු දැකීමෙන් මේ තාත්තා මුළුමනින් ම බිඳ වැටුනා. මේ වෙලාවට මට පුරුදු විදියට ඔහු වැලඳගෙන ඔහු ගේ දුක බෙදා ගන්නට, ඔහුට එම සපර්ශය තුළ ශක්තිය ධෛර්යය  දෙන්නට මට ඕනෑ කම තිබුනත් එහෙම කරන්නට මට නොහැකි වුනා; මේ රෝගය හේතුවෙන්  පවතිනා සීමා නිසා. මට කරන්නට පුළුවන් වූ එකම දේ, ඒ පවුල සමග වැළපීම පමණයි."

තරුණ අය සම්බන්ධ මෙවැනි අවස්ථා ඉතා වේදනාකාරී යයි පියතුමා කීවේ ය. "එම පුද්ගලයා දන්නේ නැති නමුත් එම පවුලේ වේදනාව දැනී අප වැළපෙනවා. මා හිතන අන්දමට සෙසු අය වෙනුවෙන් වැළපීම ප්‍රේමයේ සහ සෙනෙහසේ සලකුණක්; දුෂ්කර අවස්ථාවල දෙවියන් වහන්සේගෙන් ලැබෙන තිළිණයක්."

"සෙසු අය වෙනුවෙන් වැළපීම ප්‍රේමයේ සහ සෙනෙහසේ සලකුණක්; දුෂ්කර අවස්ථාවල දෙවියන් වහන්සේගෙන් ලැබෙන තිළිණයක්."

බියක් දැනුණේ නැහැ 


රෝහලේ සිටින්නට සිදු වූවත් දිනපතාම රෝගීන් සමග සිටින්නට සිදු වූවත් වෛරස ආසාදනය වීම ගැන බියක් තමා තුළ කිසි සේත් නොවූ බව ජෙරාර්ඩෝ  හර්නැන්ඩස් පියතුමා කීවේ ය. "මා එය දකින්නේ එය මට  සේවාව කිරීමට ලැබී ඇති ජනතාව  වෙනුවෙන් ශක්තිමත්ව සිටීමට මට දෙවියන් වහන්සේගෙන්  ලැබුණු තිළිණයක් කියා යි".

ඉතාලිය වගකීමෙන් යුතුව ක්‍රියා කළා 

කෝවිඩ් වසංගත තත්ත්වය තුළ ඉතාලියේ කාර්යභාරය ගැන ඇසු ප්‍රශ්නයට  පිළිතුරු දෙමින් හර්නැන්ඩස් පියතුමා  ඉතාලි රජයේ ක්‍රියාමාර්ග ප්‍රශංසාවට ලක් කළේය.

"ඉතාලි ආණ්ඩුව වගකීමෙන් ක්‍රියා කළා. මට මේ  වචනය භාවිත කරන්නට අවසර දෙන්න. ඉතාලි රජය සිය ජනතාව වෙනුවෙන් දෙමාපියකු සේ ක්‍රියා කළා. අප ජීවත් වූ තත්වයට වඩා දරුණු තත්වයකට නොවැටෙන ලෙස ඔවුන් අප රැකබලා ගත්තා. රජයත් ඉතාලියේ කතෝලික සභාවත් නිතරම නිවැරදි තීරණ ගත්තා," යි එතුමා කියා සිටියේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පිය තුමාගේ පිය සෙනෙහස 

කෝවිඩ් සමාජ පරතර තත්වය තුළ තමාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවන්නට අවස්ථාවක් ලැබේ ද යන්න සැක සහිත බව පියතුමා කීවේ ය.

"එහෙත් එතුමා හමුවන්නට පුළුවන් වුනොත් මා කියනවා 'ඔබ ගේ පිය සෙනෙහසට ස්තුතියි' කියා"

"සුදොතුම් පියතුමා පියකු සේ ක්‍රියා කරමින් සිටිනවා"

"මා සිතනවා සුදොතුම් පියතුමා පියකු සේ ක්‍රියා කරමින් සිටිනවා කියා," යි මාර්තු 27 වන දා යැදුම් මෙහෙයේ  සිට එතුමා කටයුතු කරමින් සිටින ආකාරය ගැන විස්තර කරමින් පියතුමා කීවේ ය.

"ඒ හුදෙකලා බව තුළ, එතුමා ගේ මේ ක්‍රියාව සිත මෘදු කොට ප්‍රමූදීත කරනසුළුයි. මා එදා ඒ තුළ දුටුවේ, දෙවියන් වහන්සේ ගේ පිතෘත්වය මේ මිනිසා තුළින් පිළිබිඹු වන ආකාරය යි. ඉතින් මට එතුමාට  කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි: ඔබගේ පිය සෙනෙහසට ස්තුතියි. මේ වසංගතයේ ඉදිරි පෙරමුණේ සිටින අප වෙනුවෙන් නොකඩවා යාච්ඥා කරන්න."

(Cruxnow වාර්තාවක් ඇසුරිනි.)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය