"ශුද්ධාත්මයාණන් දකින්නේ වාමාංශික හෝ දක්ෂිනාංශික හෝ සම්ප්‍රදාය මතවාදී හෝ ලිබරල් හෝ ලෙස නොව දේව දරුවන් ලෙස ය" - ශුද්ධාත්ම ආගමන මහා මංගල්‍ය දින ධර්ම දේශනාව

"Holy Spirit doesn’t see ‘left’ and ‘right’ or "Conservative" and Liberal; He sees the Children of God": Pope Francis points out on the Solemnity of the Pentecost 


(2020 මැයි 31)
ගත වූ ශුද්ධාත්ම ආගමන සති අන්තය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කාර්ය බහුල සති අන්තයක් වූයේ ය.

එම සති අන්තය තුළ එතුමා රෝමයේ රදගුරු තුමන් ලෙස රෝම පදවියේ පුදැදුරු තුමන්ලා වෙත ලියුමක් නිකුත් කළේය. කොරෝනා  වසංගතය හේතුවෙන් මෙවර එම පදවියේ පියතුමන්ලා මුණගැසී එතුමන් අමතන්නට සුදොතුම් පියතුමාට අවස්ථාවක් ලැබුනේ නැත. මේ නිසා ශුද්ධාත්ම ආගමන මංගල්‍යයේ පණිවිඩය පාදක කර ගනිමින් එතුමා මෙම ලියුම ඔවුන් වෙත යැවුවේ ය.

කිතු දන පුබුදු ජාත්‍යන්තර සේවාවේ (Charismatic Renewal International Service- CHARIS)  පූර්ව-පෙන්තකොස්ත රාත්‍රී යැදුම වෙනුවෙන්  එතුමා විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළේ ය. එංගලන්ත සභාවේ ආධ්‍යාත්මික  නායක, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි හිමියන් ගේ "ඔබගේ රාජ්‍යය  පැමිණේවා!" නම් තේමාවෙන් යුත් පොන්තකොස්ත යැදුම් රැළිය වෙනුවෙන් ද සුදොතුම් පියතුමා වීඩියෝ පනිවිඩයක්  නිකුත් කළේය.

සෙනසුරාදා සන්ධ්‍යාවේ සුදොතුම් පියතුමා වතිකාන උද්‍යානයේ ලූර්දු ගුහාව අබියස සිට කෝවිඩ් වසංගතයෙන් වේදනාවට පත් වූ ලෝකය වෙනුවෙන් ජපමාලය යාච්ඥා කළේය. ලොව පුරා ඇති මරිය මෑණියන්ට කැප කරන ලද ප්‍රධාන සිද්ධස්ථාන ද එතුමා සමග සජීවීව එම යාච්ඥාවට සම්බන්ධ විය.

එතුමා මෙම කාර්ය බහුල සති අන්තය අවසන් කළේ සාන්ත පීතර බැසිලිකාවේ දී ශුද්ධාත්ම මංගල්‍ය දින දිව්‍ය පූජාව ප්‍රතිස්මරණය කරමිනි. ඉතාලියේ කෝවිඩ් නීති ලිහිල් කර ඇති බැවින්, සමාජ පරතර උපදේශ වලට ගරු කරමින් සීමිත විශ්වාසිකයෝ පිරිසක්  එම පූජාවට සහභාගී වූහ.

විවිධත්වය තුළ එක්සත් බව ඇති කරන ශුද්ධාත්මයාණෝ

ශුද්ධාත්මයාණන් වූ කලී දෙවියන් වහන්සේ වෙතින් පැමිණෙන  එක්සත්කමේ තිළිණයක් බව ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා එම දිව්‍ය පූජාවේ ධර්මදේශනය කරමින් කියා සිටියේ ය. එබැවින් ශුද්ධාත්මයාණන්ට "වම" හෝ "දකුණ" යන්නෙහි හෝ "සම්ප්‍රදාය මතවාදී" හෝ "ලිබරල් මත වාදී" යන්නෙහි හෝ තේරුමක් නොමැති බව එතුමා පෙන්වා දුන්නේය.

විවිධ ජනකොටස් සහ විවිධ වූ පසුබිම් වලට අයත් වූ ප්‍රථම ක්‍රිස්තු ශ්‍රාවකයන්,  'දේව දරුවන්" යන පොදු සාධකය තුළ ශුද්ධාත්මයාණන් විසින් එක්සත් කරන ආකාරය ශු. පාවුළු තුමා මෙදින දිව්‍ය පූජාවේ පළමුවන කියැවීමෙන් පෙන්වා දෙන බව සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

" 'කිතුනු සංඝය තුළ විවිධාකාර වූ තිලිණ තිබේ; එහෙත් සිටින්නේ එකම අත්මයාණෝ ය' යි ශු. පාවුළු තුමා කොරින්ති වරුනට කියයි. මේ මගින්  ශුද්ධාත්මයාණන් තුළ විවිධත්වය  ඒකත්වයක් වන ආකාරය එතුමා පහදා දෙයි. මෙම 'විවිධත්වය තුළ ඒකත්වය' අප ලජ්ජාවට පත් කරන බවත්  එකිනෙකට පරස්පර දෙයක් බවත් මුලින්  අපට පෙනී යා හැකි යැ"යි එතුමා කීවේ ය.

"ශු. පාවුළු තුමා මෙයින් අදහස් කළේ බොහෝ වූ දේ  එක්සත් කරන තැනැන්වහන්සේ ශුද්ධාත්මයාණන් ය  යන්නයි;  එසේ ම සභාව උපත ලැබූයේ මේ ආකාරයෙන් බවයි. අප සියලු දෙනා එකිනෙකාට වෙනස් ය; වෛවාරන්නය; එහෙත් එක ම  ශුද්ධාත්මයාණන් විසින් අපි එක්සත් කරනු ලබමු"
"සියලු දෙනා එකිනෙකාට වෙනස් ය; වෛවාරන්නය; එහෙත් එක ම  ශුද්ධාත්මයාණන් විසින් අපි එක්සත් කරනු ලබමු"

ජේසු සමිඳුන් විසින් තෝරා ගන්නා ලද අපොස්තුළුවරුන් එකිනෙකාට වෙනස් තැනැත්තන්  බව සුදොතුම් පියතුමා පහදා දුන්නේ ය.

"ඒ අතරින් ඇතැමෙක්  ධීවරයෝ ය; කිහිප දෙනෙක් බදු අයකැමියෝ ය; තවත් සමහරෙක් හදවතින් මොලොක් තැනැත්තෝ වූහ; තවත් කෙනෙක් ඉක්මනින් කලබල වන අය වූහ. ජේසු සමිඳාණන්  ඔවුන් වෙනස් කළේ නැත. උන්වහන්සේ  කළින් සකස් කරන ලද ආකෘතිවලට ඔවුන් පරිවර්තනය නොකළ සේක. උන්වහන්සේ ඔවුන් ගේ වෙනස්කම් එළෙසම පවතින්නට හැරිය සේක. එසේ කළ උන්වහන්සේ, දැන්, ශුද්ධාත්මයාණන් මගින් ඔවුන් ආලේප කරමින් ඔවුන් එක්සත් කරන සේක."

"අප සතුව ද වෙනස්කම් පවතියි. මතයන්, තෝරාගැනීම් සහ අදහස්  වලින් අප අතර වෙනස් කම් පවතියි. එහෙත් අපගේ අදහස් පමණක් සෑම කෙනෙකුට ම යහපත් බව විශ්වාස කරමින් ඒවා දැඩි ලෙස රැකගැනීමටත් අප හා සමාන අදහස් ඇති අය සමග පමණක් එකඟ වීමටත් ඇති පරීක්ෂාවෙන් අප පරෙස්සම් විය යුතු ය" යි එතුමා පෙන්වා දුන්නේ ය.

"එසේ කිරීම ඇදැහිල්ල අප විසින්  අපගේ ස්වරූපයට මවා ගැනීමකි. එය ආත්මයාණන්ට අවශ්‍ය දේ නොවේ. අප එක්සත් කරන්නේ අප විශ්වාස කරන දේ සහ අපගේ ශීල ධර්මය යයි අප කල්පනා කළ හැකිය. එහෙත් ඊට වඩා දෙයක් තිබේ: අපගේ එක්සත් කමේ මූලධර්මය ශුද්ධාත්මයාණෝ ය" යි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.
"අපගේ එක්සත් කමේ මූලධර්මය ශුද්ධාත්මයාණෝ ය" 

දෙවියන් වහන්සේ ගේ දරුවන් ලෙස එක්සත් කම

ලෝකය බලන ආකාරයෙන් නොව ශුද්ධාත්මයාණන් බලන ආකාරයෙන්  එකිනෙකා දෙස බලන්නැයි සුදොතුම් පියතුමා කතෝලිකයන් ගෙන් ඉල්ලා සිටියේ ය.

"ලෝකය බලන්නේ සම්ප්‍රදාය මතවාදීන් සහ ලිබරල් මතවාදීන්  වශයෙනි; එහෙත් ශුද්ධාත්මයාණන් දකින්නේ දේව දරුවන් ය."  

"ලෝකය එකිනෙකා  දෙස බලන්නේ 'වමේ ද දකුණේ ද' යන ආකාරයෙනි; එහෙත් ශුද්ධාත්මයාණන් අප දෙස බලන්නේ දෙවියන් වහන්සේ ගේ පුතුන් දූ වරුන් වශයෙනි. ලෝකය බලන්නේ සම්ප්‍රදාය මතවාදීන් සහ ලිබරල් මතවාදීන්  වශයෙනි; එහෙත් ශුද්ධාත්මයාණන් දකින්නේ දේව දරුවන් ය.  ලෝකය දකින්නේ වඩා කාර්යක්ෂම වීම සඳහා ව්‍යුහයන් සාදන්නට ය; එහෙත් ආධ්‍යාත්මික  බැල්ම දකින්නේ දයා කරුණාව ඉල්ලා ආයාචනා කරන  සහෝදර සහෝදරියන් ය. ශුද්ධාත්මයාණෝ අප සියල්ලනට ප්‍රේම කරති. මේ නිසා උන්වහන්සේ සිය මහා චිත්‍රය තුළ අප සෑම කෙනකු ගේ ම ස්ථානය දන්නා සේක. අප සුළඟට ගසා ගෙන යන සරුව පිත්තල කැබලි නොවේ. එහෙත් අපි උන්වහන්සේ ගේ මහා මොසෙයික් සිත්තමේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කොටස් වෙමු," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  කීවේ ය.

ශුද්ධාත්ම බලය ඉදිරියේ ව්‍යුහයන් ගේ නිෂ්ඵල බව

ශුද්ධාත්මයාණන් ගේ මග පෙන්වීමත් සුන්දර මවිත කිරීමුත් නොතකා නිතර දැඩි ව්‍යුහයන් කෙරෙහි විශ්වාසය තැබීමේ නිෂ්ඵල කම ගැන සිය ධර්ම දේශනයේ දී ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා  විස්තර කළේ ය.

"සුපුවත දේශනා කිරීමට පිටත්ව යන විට තමන් ගේ පොදු මූලයන් මත පදනම්ව කුඩා කණ්ඩායම් වලට බෙදී යන්නට මුල් ශ්‍රාවකයනට හැකියාව තිබිණි. ජේසු සමිඳුන් ගේ ඉගැන්වීම් තමන්ට හොඳින් අවබෝධ වන තෙක් රැඳී සිටින්නට ද ඔවුනට හැකියාව තිබිණි. එහෙත් සිදු වූයේ එය නොවේ."

"ශුද්ධාත්මයාණන්ට  අවශ්‍ය වූයේ ඉතා පහසුවෙන් 'කැදැල්ලක්' වීමට හැකියාව ඇති උඩු මහල තුළට වී  දොරගුළු ලා ගත්  කුඩා කණ්ඩායම් තුළ සිය ස්වාමියාණන් ගේ මතකය වර්ධනය වීමට ඉඩ හැරීම නොවේ. එහෙත්  ඒ වෙනුවට, උන්වහන්සේ දොරවල් විවර කොට, දැනටමත් කියා ඇති, කර ඇති දේවල් වලින් ඔබ්බට, බියගුළු සහ පරෙස්සම් සහගත ඇදහිල්ලක සීමාවලින් ඔබ්බට යන්නට අප තල්ලු කරන සේක. ලෝකය දකින ආකාරයට  දැඩි සංවිධානයත් පැහැදිලි ක්‍රමෝපයනුත් නොමැති දේ බිඳ වැටේ. එහෙත් සභාව තුළ  පණිවිඩය ප්‍රකාශ කරන්නන් ගේ  එක්සත් කම ශුද්ධාත්මයාණෝ සහතික කරති,' යි එතුමා කීවේ ය.

ස්ව-ත්‍යාජයේ  තිළිණය සහ සුපුවත ප්‍රකාශ  කිරීම 

සභාවේ ප්‍රථම කාර්ය භාරය සුපුවත ප්‍රකාශ කිරීම  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කළේය.
"පෙන්තකෝස්ත දිනයෙන් පසුව අපොස්තුළුවරුන්ට  ඉදිරියට යන්නට බලය දුන් එක කාරණයක් වූයේ තමන් ලැබූ තිළිණය දානය කිරීමට තිබූ අභිලාශය ය"
"පෙන්තකෝස්ත දිනයෙන් පසුව අපොස්තුළුවරුන්ට  ඉදිරියට යන්නට බලය දුන් එක කාරණයක් වූයේ තමන් ලැබූ තිළිණය දානය කිරීමට තිබූ අභිලාශය ය. ශුද්ධාත්මයාණෝ මෙලෙස පණිවිඩය ප්‍රකාශ කරන්නන් අතර එක්සත්කම සහතික කරන සේක. ..ශුද්ධාත්මයාණන්ගෙන් පැමිණෙන එක්සත් කමේ රහස තිළිණයකි. උන්වහන්සේ ද තිළිණයකි. මේ නිසා, දෙන්නට මිස ගන්නට ක්‍රියා නොකරන දෙවියන් වහන්සේ ද තිළිණයක් ය යන්න විශ්වාස  කිරීම වැදගත් ය"

" අප ලබා ඇති සියල්ල අපගේ සුදුසුකමක් නොමැතිව, නොමිලේ ම  උන්වහන්සේ ගෙන් අප ලැබූ දේ යන්න අප අවබෝධ කරගත් විට අපට ද අපවම තිළිණයක් කරගැනීමේ ඕනෑ කම දැනෙනු ඇත. බැහැපත් කමින් ප්‍රේම කිරීමෙන් සහ  නිදහසේ , ප්‍රීතියෙන්  සේවය කිරීමෙන්  අපි දෙවියන් වහ්ස්න්සේ ගේ අව්‍යාජ වූ ප්‍රතිරූපය ලෝකයට තිලින කරමු," යි එතුමා සඳහන් කලේ ය. 

ස්වත්‍යාජයේ තුන් සතුරෝ 

එහෙත් මෙම ස්වත්‍යාජ කිරීමට සතුරන් තුන් දනෙකු සිටින බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.
ආත්මරාගය (narcissism), ගොදුරක් වූ බවට මැසිවිලි නැගීම (victimhood) සහ සර්ව අශුභවාදය( pessimism) එම තුන් සතුරෝ ය.

ආත්මරාගය කිසියම් ක්‍රියාවකින් අපට ලාභ ලැබිය හැක්කේ කෙසේද යන්න කෙරෙහි  පමණක් අපගේ සැලකිල්ල යොමු කරයි නිදසුනක් ලෙස මෙම වසංගත කාලයේ අප කල්පනා කලේ අපගේ අවශ්‍යතා ගැන පමණක් නම් එය ආත්මරාගය යි.

ගොදුරක් වූ බවට මැසිවිලි නැගීම (victimhood) ද එලෙසින් ම අන්තරාදායක ය. තමන් 'ගොදුරු' බව සිතන්නෝ කිසිවෙකුත් තමන් තේරුම් නොගන්නා බවත්, කිසිවෙකුත් තමන් අත්දකින  දේ අත්නොදකින බවත් සියල්ලන් තමන්ට විරුද්ධ බවත්  පවසමින්  නිතරම සිය අසල්වැසියන් ගැන මැසිවිලි නගති; පැමිණිලි කරති.  'ගොදුරු චින්තනය' කෙතරම් අශෝභන දැයි මෙම අර්බුදය තුළ අපි අත්දකිමින් සිටිමු.

සර්ව අශුභවාදය( pessimism) යනු සමාජයේත්, දේශපාලනයේත් සභාව තුළත් කිසිවක් නිසි ලෙස සිදු නොවන බවට පැමිණිලි කිරීම යි. "සර්ව අශුභවාදියා ලෝකය සමග කුපිත වෙයි. එහෙත් ඔහු කිසිවක් නොකර අත් පා අකුලා ගෙන හිඳගෙන සිටියි. වර්තමාන අර්බුදය තුළ සියල්ල අයහපත් ම දෘෂ්ටි කෝණයෙන් බැලීමත් කිසිවක් යළිත් ආපසු යහපත් තත්වයට පත් නොවනු ඇතැයි සිතීමත් හානිකර" යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

අපෙන් බැහැරට යන්නට ....

මමත්වයෙන් නිදහස් වී, තමන් ගෙන් බැහැර වී බාහිර ලෝකයට යන්නට ශුද්ධාත්ම ආලෝකය ලැබේවා යි යාච්ඥා කරමින් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනාව අවසන් කළේය.

"දෙවියන් වහන්සේ මමත්වයේ පක්ෂාඝාතයෙන් සහාව නිදහස් කොට සේවය කිරීමේ සහ යහපත කිරීමේ අභිලාශය අප තුළ අවදි කරන සේක්වා! ..ශුද්ධාත්මයාණෝ අප එක්සත් කම ගොඩනගන්නන් කරන සේක්වා! අප වෙතින් බැහැරට ගොස්, පවුලක් බවට පත්වීම සඳහා, එකිනෙකාට ප්‍රේම කරමින් උදව් උපකාර කිරීමට උන්වහන්සේ සභාවට  ධෛර්යය දෙන සේක්වා!" 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය