"දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසා යාචකයෙකි." බදාදා පොදු හමුව: "යාච්ඥාව යනු විශ්වාසයේ හුස්ම යි. එය දෙවියන් වහන්සේ ගේ හදවත ස්පර්ශ කරයි."

Prayer is “the breath of faith"... It touches God’s heart : Pope says at the General Audience 


(2020 මැයි 6)
කොරෝනා වෛරස් වසංගත කාලය "අපගේ ජීවිතය තුළ යාච්ඥාවේ අවශ්‍යතාව යළි සොයා ගැනීමට යෝග්‍ය සමයක්" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "අපට සවන් දෙන අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය වෙත  අපි අපගේ හද දොරටු විවර කරමු" යි එතුමා කියා සිටියි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ මැයි 6 වැනි බදාදා පැවැත්වුණු  බදාදා අථත්‍ය (Virtual) පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. කෝවිඩ් -19 වසංගතය  වැළක්වීමේ අරමුණින් ක්‍රියාත්මක සමාජ පරතර නීති නිසා එතුමා පොදු හමුව පවත්වන්නේ වතිකානයේ අපෝස්තලික මාලිගාවේ සිට යි. එය රුපවාහිනී සහ සමාජ මාධ්‍ය ඔස්සේ  සජීවීව විකාශනය කෙරේ. ජනතාව  ඊට සහභාගී කර ගන්නේ නැත.

මැයි 6 වැනි දා සිට සුදොතුම් පියතුමා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනා සඳහා නව තේමාවක් තෝරා  ගෙන තිබේ. එනම් යාච්ඥාව යි.

"යාච්ඥාව යනු විශ්වාසයේ හුස්ම යි. හදවතින් නැගෙන මොරගැසීමක් වන එය විශ්වාසයේ අර්ථාන්විත ප්‍රකාශනය යි" යි එතුමා කීවේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙදින සිය ධර්මෝපදේශ දේශනයට පදනම් කර ගත්තේ  ශු.මාර්කු සුබ අස්නේ එන බාර්තිමේයස් නමැති අන්ධ සිඟන්නා ජේසු සමිඳුන් විසින් සුවපත් කරනු ලැබීමේ සිද්ධියයි. (මාර්කු 10: 46 - 52)

තමා හිඳගෙන සිටි මාවතේ ඈත සිට තමන්  සිටින දෙසට ජේසු සමිඳුන් ඇවිද ගෙන එමින් සිටින බව බාර්තිමේයස්ට අවබෝධ විය. මේ නිසා ජේසු සමිඳුන් ගේ අවධානය තමා වෙත යොමු කර ගැනීම සඳහා ඔහු මහ හඬ නගා ජේසු සමිඳුන්ට කතා කළේ ය. "සුපුවත පුරා සිටින ජේසු ගේ උදව් ඉල්ලූ චරිත අතරින් ඉතාමත් ප්‍රිය ජනකම චරිතය බාර්තිමේයස් " බව එතුමා පෙන්වා දුන්නේ ය.

" 'දාවිත් ගේ පුත්‍ර වූ ජේසුනි, මට කරුණා කළ මැනව' යි කියමින් මුළු ශක්තියෙන් ම හඬ නගමින් ඔහු ඉල්ලා සිටියා. නැවත නැවතත් ඔහු කෑ ගැසුවා. මෙය  ඔහු අවට සිටි ජනතාවට හිරිහැරයක් වුණා. මේ නිසා මේ කෑගැසීම නවත්වන ලෙස ඔවුන් ඔහුට බල කළා. එහෙත් ඔහු නොනවත්වා ම ජේසු සමිදුන්ට මොර ගැසුවා" 'දාවිත් ගේ පුත්‍ර වූ ජේසුනි, මට කරුණා කළ මැනව'"

"ජේසු සමිඳුන් ඔහු ඉදිරියේ නවතිනවා. එසේ නැවතී ඔහුට කතා කොට  ඔහුට අවශ්‍ය කුමක් දැයි ඔහුගෙන් විමසනවා. මෙය වැදගත්. මෙතැනදී බාර්තිමේයස් ගේ මොර ගැසීම ඉල්ලීමක් බවට පරිවර්තනය වෙනවා. 'මට දකින්නට ඕනෑ', ඔහු පිළිතුරු දෙනවා."

"අන්ධ යාචකයා ගේ යාච්ඥාව දෙවියන් වහන්සේ ගේ හදවත ස්පර්ශ කරනවා. එවිට ඔහුට සුවය ලැබෙනවා; එනම් ගැලවීමේ දොරටු ඔහුට විවෘත වෙනවා," යි සුදොතුම් පියතුමා කීවේ ය.

"විශ්වාසය ඉහළට එසැවුණු අත් දෙකකිනුත් ගැලැවීමේ තිළිණය අයැදිමින්  මොර දෙන හඬකිනුත් සමන්විත යි" යි එතුමා අවධාරණය කලේ ය

"කතෝලික සභාවේ ධර්මෝපදේශය උගන්වන අන්දමට අව්‍යාජ යාච්ඥාව සඳහා බැහැපත්කම අවශ්‍ය ය. මන්ද යාච්ඥාව ජනිත වන්නේ අපගේ අස්ථිර බව පිළිබඳව අප තුළ පවතින වැටහීම නිසා ය. එසේ ම දෙවියන් වහන්සේ කෙරෙහි අප තුළ පවතින අඛණ්ඩ පිපාසය නිසා ය."

"විශ්වාසය යනු මොරගැසීමකි. විශ්වාසයෙන් තොර වීම යනු එම මොරගැසීමේ හුස්ම සිර කිරීමකි. විශ්වාසය යනු අපට තේරුම් ගත නොහැකි වේදනාකාරී තත්වයකට එරෙහිව විරෝධය ප්‍රකාශ කිරීමකි. විශ්වාසයෙන් තොර වීම යනු අපට හුරු පුරුදු වූ තත්වයක් දරා ගැනීමට  අප සීමා කර ගැනීමකි. විශ්වාසය යනු අපට ගැලැවීම ලැබේ ය යන බලාපොරොත්තුව ය. විශ්වාසයෙන් තොර වීම යනු අප පීඩාවට පත් කරන අයහපතට හුරු වීමකි" යි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

නිසැකව ම, යාච්ඥා කරන්නේ කිතුනුවන් පමණක් නොවන බව සුදොතුම් පියතුමා කීවේ ය. මන්ද දයා කරුණාව සහ උපකාර ලැබීම සඳහා අභිලාශය සෑම මිනිස් පුද්ගලයකු ම සතුව පවතින බැවිනි. "දෙවියන් වහන්සේ ඉදිරියේ මිනිසා යාචකයෙකි."

"විශ්වාසයේ වන්දනා ගමන තුළ නොකඩවා ගමන් කරමින් සිටින අපි, බාර්තිමේයස් සේ  නොපසුබටව යාච්ඥාව තුළ රැඳී සිටිමු. විශේෂයෙන් ම අන්ධකාර මොහොත වලදී අපි නොසෙල්වී යාච්ඥාව තුළ සිටිමු. එසේ සිට විශ්වාසයෙන් සමිඳුන් ගෙන් මෙසේ ඉල්ලමු: 'ජේසුනි, මා වෙත කරුණා කළ මැනව! ජේසුනි අප වෙත කරුණා කළ මැනව!'"



 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය