අද: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග ජපමාලය යදින සන්ධ්‍යාව - තවත් සිද්ධස්ථාන රැසක් සජීවීව සම්බන්ධ වෙයි; නව තොරතුරු

Praying the Rosary with the the Holy Father tonight - New information 


(2020 මැයි 30)
ලොව පුරා විසිර ඇති දෙව් මවුන් වන මරිය මෑණියන්ට කැපවූ ප්‍රධාන සිද්ධස්ථාන සමග සම්බන්ධ වෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මැයි 30) සන්ධ්‍යාවේ ජපමාලය උච්චාරණය කරයි.

මැයි මාසයේ මරිය මව් බැතිය  පරිසමාප්තියට පත් කෙරෙන අද දිනයේ   ලෝකයේ මරිය මෑණියන්ට කැපවූ සිද්ධස්ථාන සමග සම්බන්ධ වී  ජපමාලය යාච්ඥා කිරීමට තමා හා එක්වන ලෙස එතුමා ඉකුත් සඳුදා සියලු කතෝලික ජනතාවට ආරාධනා කළේය.

මෙම ජපමාලය යැදුම සංවිධාන කරන්නේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසිනි. යැදුම් දිනයේ තේමාව ,"මරිය මෑණියන් සමග යාච්ඥාවට එක සිතින් සම්බන්ධ වෙමින්" (ක්‍රියා 1:14)  "Devoted and with one accord to prayer, together with Mary (Acts 1:14) යන්න යි.

"ආරක්ෂාව පතා අප කරන අයැදුම් අපගේ ස්වර්ගීය මෑණියන්  ප්‍රතික්ෂේප නොකරන බවට ඇති නිශ්චිත විශ්වාසය තුළ, කෝවිඩ් වසංගතයෙන් තවත් අයහපත් තත්වයට පත් වූ මානව වර්ගයා ගේ දුක්ඛ දෝමනස්ස,   සුදොතුම් පියතුමා එතුමිය ගේ පා මුල තබනු ඇත," යි මෙම දිනය ප්‍රකාශයට පත් කරමින් එම මන්ත්‍රණ සභාව නිකුත් කළ  නිවේදනයේ කියැවේ.

අද තවත් විශේෂ දිනයකි. 
එනම් ශුද්ධාත්ම ආගමනය සිහිපත් කෙරෙන පෙන්තකොස්ත මංගල්‍යයට පෙර දිනය යි. අපෝස්තුලුවරුන් මත ශුද්ධාත්මයාණන් වැඩම කළ දිනයේ ඔවුන් සිටියේ සේනාකුළු ශාලාව තුළ දේව මෑණියන් සමග යාච්ඥා කරමිනි. මෙම ශුද්ධාත්ම ආගමන මංගල්‍ය පූර්ව සන්ධ්‍යාවේ විශ්ව කතෝලික සභාව පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා ගේ නායකත්වයෙන් මරිය මෑණියන් තුළින් සමිඳුන් යැදීමට එක් වීම එවැනි ම තවත් නව ගමනක ආරම්භයක් විය හැකිය.

සබැඳි පුවත මෙතැනින්:මැයි 30 ගෙදර ඉන්න: සුදොතුම් පියතුමා ලොව පුරා මරිය මව් සිද්ධස්ථාන සමග එකම වෙලාවේ ජපමාලය යදියි. ලෝකයේ දුක්ඛ දෝමනස්ස මරිය මව් පාමුල තබයි

තැන සහ වෙලාව

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම  පියතුමන් ජපමාලය ආරම්භ කරන්නේ වතිකානයේ වේලාවෙන් සවස 5 ටයි. එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9 ටයි.

වතිකාන උද්‍යානයේ ඇති ලූර්දු ගුහාවේ සිට එතුමා ජපමාලය යාච්ඥා කරයි. 1902 දී මෙම ගුහාව ගොඩනැගීම ආරම්භ කළේ 13 වන ලියෝ පාප් වහන්සේ ය. 1905 දී 10 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා එය නිම කළේය.

ජපමාලයේ එක් එක් පන්ති යැදීම මෙහෙයවීම සඳහා නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව කෝවිඩ් වසංගත සමය නියෝජනය කරන පිරිසකට ඇරියුම් කර තිබේ. වෛද්‍යවරයෙක් සහ හෙදියක්, කෝවිඩ් වසංගතයෙන් සුවය ලැබූ කෙනෙක් සහ එම රෝගයෙන් තම පවුලේ සාමාජිකයකු අහිමි වූ තැනැත්තෙක් ඒ අතර වෙති. එසේ ම, රෝහල් උපාධ්‍ය පියතුමෙකු, පත්‍රකලාවේදියකු සහ  ඖෂධවේදියෙක් ද ,   සිවිල් ආරක්ෂක ස්වේච්ඡා සාමාජිකයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, මරණය පරාජය කරමින් ජීවිතයේ සහ බලාපොරොත්තුවේ ජයග්‍රහණය සංකේවත් කරමින්  කෝවිඩ් වසංගතය තුළ දරුවකු ලැබූ පවුලක් ද වතිකාන උද්‍යානයේ සිට සුදොතුම් පියතුමා සමග ජපමාලය උච්චාරණය කරනු ඇත.

එකම වෙලාවට සජීවීව සම්බන්ධ වන මරිය මවට කැප වූ සිද්ධස්ථාන 

මෙම ජපමාල උච්චාරණයට සම්බන්ධ වන ලෙස ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා කළ ආරාධනයට කතෝලිකයන් ගේ ගෞරවාදරයට සහ වන්දනාවට පාත්‍ර වූ මරිය මාතා සිද්ධස්ථාන රැසකින් ප්‍රතිචාර ලැබී ඇත. ඒ අනුව කළින් වාර්තාවේ සඳහන් ලේඛනයට තවත් දෙව් මැදුරු රැසක්  එකතු වී තිබේ. ඒවා මෙසේ ය:

මැක්සිකෝවේ ගුවාඩලූපේ, පෘතුගාලයේ පාතිමාව, ප්‍රංශයේ ලූර්දු සිද්ධස්ථානය, නයිජීරියාවේ ඊලි, පෝලන්තයේ චෙස්ටොකෝවා, එංගලන්තයේ වල්සිංහම් හි අප ස්වාමිදුව දෙව්මැදුර, ඉතාලියේ පොම්පෙයි සහ පියෙත්‍රෙල්චීනාහි ශු. පියෝ පියතුමා ගේ දෙව්මැදුර, කැනඩාවේ ක්විබෙක් පළාතේ ශු. ජුසේ මුනි මහ දෙව් විමන, ආජන්ටිනාවේ ලුජාන් සහ ප්‍රාතිහාර්යයේ අප ස්වාමිදු සිද්ධස්ථාන, බ්‍රසීලයේ ඇපරිසිඩා, අයර්ලන්තයේ නොක්, ස්පාඥ්ඥයේ කෝවඩොන්ගා, මොල්ටාවේ තා' පිනු, එක්සත් ජනපදයේ ජාතික බැසිලිකාව, අයිවරි කෝස්ට් හි නොත්‍රේ දාම් සහ ඊශ්‍රායෙලයේ දේව මාතා වහන්සේට මංගලම් කීමේ බැසිලිකාව එම දෙව් මදුරු අතර වේ.

වතිකාන උද්‍යානයේ සිට සුදොතුම් පියතුමා යාච්ඥා කරන අතර එම දෙව්මැදුරු වල යාච්ඥා ක්‍රමයෙන් කඩින් කඩ සජීවීව සම්බන්ධ කරගැනීමට විදි විධාන යොදා ඇති බව වතිකාන වාර්තා සඳහන්  කරයි.

සම්බන්ධ වන්නේ කොහොම ද? 

මෙම අවස්ථාව ලොව පුරා සජීවීව විකාශය කිරීමට වතිකානය සමග සම්බන්ධ රුපවාහිනි සහ රේඩියෝ නාලිකා රැසක් සූදානමින් සිටියි. ඒ හැරුණු කොට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීප්‍රවාහ (Live Streaming)  ද සූදානම් කර ඇත. ඒවා අතර මතු කියැවෙන සම්බන්ධතා වලින් ද ඊට සම්බන්ධ විය හැකිය.

වතිකාන පුවත් දොරටුව News Portal : මෙතැනින්
වතිකාන ඉංග්‍රීසි යූටියුබ් නාලිකාව: මෙතැනින්
වතිකාන මුහුණු පොතේ සජීවීප්‍රවාහය Livestream : මෙතැනින්
"Pope Visit Sri Lanka" මුහුණු පොත
වර්බුම් නාලිකාව: රාත්‍රී 11 ට ප්‍රචාරය කෙරේ








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය