" 'ලවුඩාටෝ සි' වසරක් ප්‍රකාශයට පත් කෙරේ ; වසර සඳහා විශේෂ යැදුමකුත්

Pope Francis declares a special "Laudato si" Year: Releases a special prayer


(2020 මැයි 24 )
ප්‍රැන්සිස් සසුන් පිය ධුර කාලයේ ප්‍රමුඛ මං සලකුණක් ලෙස ගැනෙන "වේ ප්‍රශංසා-අපගේ පොදු නිවහන රැක බලා ගැනීම" හෙවත් “Laudato si’: On the Care for our Common Home.” විශ්ව ලේඛනයේ පස් වැනි  සංවත්සරය මේ දිනවල සැමරේ. එම  විශ්ව ලේඛනය සුදොතුම් පියතුමකු විසින් මෙතෙක් නිකුත් කළ සුන්දර ම සහ අභියෝගාත්මක ම විශ්ව ලේඛනයකි.

මෙම සංවත්සර අවස්ථාව පදනම් කර ගනිමින් "වේ ප්‍රශංසා" වසරක් ප්‍රකාශට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කළේ ය. එතුමා "වේ ප්‍රශංසා" වසර ප්‍රකාශට පත් කළේ මැයි 24 වැනි ඉරිදා පාස්කු කාළයේ තුන් කාල ආරාධනා යැදුම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"ලවුඩාටෝ සී" විශ්ව ලේඛනයේ අරමුණ වන්නේ මිහිතලයේ විලාපයටත් දුප්පතුන් ගේ විලාපයටත් සියලු ජනතාව ගේ අවධානය යොමු කිරීම" යයි එතුමා කීවේ ය.

එම අරමුණ ලොව පුරා සියලු ජනයා තුළ කා වද්දමින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම "ලවුඩාටෝ සී' වසරේ අරමුණ වී තිබේ.

"ලවුඩාටෝ සී" වසර 2020 මැයි මස 24 වැනි දින සිට 2021 මැයි මස 24 වැනිදා දක්වා විහිදේ. එම වසරේ "ලවුඩාටෝ සී" ක්‍රියාකාරකම් සංවිධාන කරනු ලබන්නේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ ශුද්ධාසන දෙපාර්තමේන්තුව විසිනි.

පවුල්, මීසම්, පාසල්, (කතෝලික) විශ්ව විද්‍යාල හා අධ්‍යාපනික ආයතන සහ රදගුරු පදවි මට්ටමින් මේ වසර තුළ සංවිධාන කෙරෙන වැඩසටහන් මාලාවක් එම ශුද්ධාසන දෙපාර්තමේන්තුව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ. ( ශුද්ධාසන වෙබ් අඩවියේ පළකර ඇති එම තොරතුරු මෙම දිගුවෙන් කියවිය හැකිය.)

"අපගේ පොදු නිවහන වන මිහිතලයත්, අපගේ අතිශයින් ම දුර්වල සහෝදර සහෝදරියනුත් රැක බලා ගැනීම සඳහා මේ වැඩපිළිවෙලට එක් වන ලෙස සුසිත් ඇති සියලු ජනතාවට මම ආරාධනා කරමි" යි "ලවුඩාටෝ සි - වේ ප්‍රශංසා- වසර ප්‍රකාශයට පත් කරමින් සුදොතුම් පියතුමා ඇරියුම් කළේ ය.

මෙම වසර සඳහා විශේෂ යාච්ඥාවක් ද සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කළේ ය. එම යාච්ඥාව ද ඔප්පු කරන ලෙස එතුමා සියලු කතෝලික ජනතාවට  ඇරියුම් කළේ ය. 

වතිකානයේ නව ඉංග්‍රීසි පරිවර්තනය අනුව පරිවර්තනය කරන ලද "ලවුඩාටෝ සි" වසරේ යාච්ඥාව මෙසේ ය:


" පෙම්බර දෙවි ස්වාමීනි, 
ඔබ වහන්සේ අහස හා පොළොව ද එහි අඩංගු සියල්ල ද මවා වදාළ සේක.
ඔබ ගේ තිළිණය වන මැවිල්ලේ කොටසක් බවට පත්වීමට අපට හැකි වනු සඳහා 
අපගේ සිත් විවෘත කොට, අපගේ හදවත් ස්පර්ශ කළ මැනව. 

මේ දුෂ්කර කාලය තුළ, 
සියල්ලන් සමග, විශේෂයෙන් ම අතිශයින් ම දුප්පත් වූ ද දුර්වල වූ ද ජනතාව සමග වැඩ සිටිය මැනව. 
ගෝලීය වසංගතයේ ආදීනවවලට මුහුණ දෙන අතර 
නිර්මාණශීලී සහයෝගිතාව පෙන්වීමට අපට උදව් වුව මැනව. 
පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය වෙනස්කම් වැළඳ ගැනීම සඳහා 
අප දිරිමත් කළ මැනව. 
වෙන කවරදාටත් වඩා, මේ කාලයේ,  
අප අන්‍යෝන්‍ය වශයෙන් බැඳී සිටින බව ද   අන්‍යොන්‍ය වශයෙන් පරායත්ත බව ද තේරුම් ගැනීමට අපට වරම් දුන මැනව. 

මිහිතලයේ විලාපයට සහ  දුප්පතුන් ගේ විලාපයට සවන් දීමට ද 
සාර්ථකව ඊට ප්‍රතිචාර දැක්වීමට ද අප බලගන්වනු මැනව. 
ඔවුන් දැනට විඳින වේදනා 
වඩාත් සහෝදරාත්මක වූ ද වඩාත් තිරසර  වූ ද ලෝකයක 
ප්‍රසව වේදනාව වේවා! 

මේ කී දේ ක්‍රිස්තියානින් ගේ පිහිට වන මරිය මෑණියන් ගේ බැල්ම තුළ 
අපගේ ස්වාමීන්  වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ලැබේවා!

ආමෙන්. 

Loving God,
Creator of Heaven, Earth, and all therein contained.
Open our minds and touch our hearts,
so that we can be part of Creation, your gift.

Be present to those in need in these difficult times,
especially the poorest and most vulnerable.
Help us to show creative solidarity
as we confront the consequences of the global pandemic.
Make us courageous in embracing
the changes required to seek the common good.
Now more than ever, may we all feel interconnected and interdependent.

Enable us to succeed in listening and responding
to the cry of the Earth and the cry of the poor.
May their current sufferings become the birth-pangs
of a more fraternal and sustainable world.

We pray through Christ our Lord,
under the loving gaze of Mary Help of Christians,

Amen.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය