බිය සහ පූර්ව විනිශ්චයන් ජය ගැනීමට "මුණ ගැසීමේ දේව දූතයන්" ඕනෑ කර තිබේ - ලෝක සරණාගත දින සුදොතුම් පිය පණිවිඩය

“Angels of encounter” are needed to overcome fear and prejudice - Holy Father's message for World Day for Migrants Refugees 


සුදොතුම් පියතුමා බංගලි දේශයට පැමිණි අවස්ථාවේ එරට රැකවරණ සොයා පැමිණ සිටි මියන්මාර් රෝහින්ග්‍යා සරණාගත මව්වරුන් පිරිසක් මුණගැසුණු අවස්ථාව 
(2020 මැයි 16)
වෙනත් පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින "බිය සහ පූර්ව විනිශ්චයන්" ගෙන්  මිදෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකයට ආයාචනයක් කරයි.

"බිය සහ පූර්ව විනිශ්චයන් -අති  බහුල වූ පූර්ව විනිශ්චයන් -අපව වෙනත්  අයගෙන් දුරස් කරයි. එසේම  ඔවුන් ගේ "අසල්වැසියන් වීමට" ද  ප්‍රේමයෙන් ඔවුනට සේවාව කිරීමට ද අපට ඇති අවස්ථාව ඒවා මගින් වලක්වනු ලබයි."

"වෙනත් අයට සමීප වීම යනු, මේ දිනවල වෛද්‍ය වරුන් සහ හෙද හෙදියන් විශාල සංඛ්‍යාවක් අපට උගන්වා ඇති සේ, අවදානමක් ගැනීමට  වුව ද ඇති සූදානම යි. ...සේවාව කිරීමට ඇති සූදානම යුතුකමකටත් වඩා ඔබ්බට ගමන් කරයි" යි එතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කරන්නේ 2020 වසරේ ජගත් සාංක්‍රමනික සහ සරණාගත දිනය  වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. ජගත් සාංක්‍රමනික සහ සරණාගත දිනය යෙදෙන්නේ සැප්තැම්බර 27 වන දා ට ය. ඒ නිමිත්තෙන් වන පාප් වහන්සේ ගේ පණිවිඩය ඊට වඩා කලින් නිකුත් කෙරේ. එහි අරමුණ  ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කතෝලික සභා සේවා අංශ වලට හැකියාව ලබා දීමයි. මෙම පණිවිඩය මැයි මස 15 වන දා වතිකානයේ දී නිකුත් කෙරිණි.

පූර්ව විනිශ්චයන් ගේ ආදීනව වතිකානයේ දොරකඩ ම

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම පණිවිඩය නිකුත් වන්නේ පූර්ව විනිශ්චයන් ගේ ආදීනව වතිකානයේ දොරකඩට ම පැමිණ ඇති මොහොතක ය.

පුර්වවිනිශ්චය විසින් ජනිත කරන ලද වෛරය සහ කොන් කිරීම එල්ල වී ඇත්තේ  කෙන්යාවේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් සිට ඉකුත් දා  නිදහස් කරනු ලැබූ ඉතාලි ජාතික කාන්තාව වෙත ය.

සිල්වියා රොමානෝ නමැති 25 හැවිරිදි ඉතාලි ජාතික තරුණිය 2018 අවසන් භාගයේ කෙන්යාවේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබුවා ය. පසුගිය දා නිදහස් කරනු ලැබූ ඇය ඉකුත් ඉරිදා ගුවන් මගින් ඉතාලියට ගෙන්වා ගනු ලැබුවා ය. ඇය ඉතාලියට පැමිණියේ සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසිලා ය. ඇය ඉස්ලාම් දහම වැළදගෙන තිබෙන බවට දා වාර්තා පැතිර ගොස් තිබිණි. මේ හේතුව නිසා මේ වන විට ඇයට එරෙහිව වෛරී සහගත ප්‍රහාරයන් ආරම්භ වී තිබේ. විශේෂයෙන් මුහුණු පොත හරහා ඇයට චෝදනා මෙන් ම ප්‍රචණ්ඩ පහර දීම් ද එල්ල වෙමින් ඇත. ඇය ත්‍රස්තවාදය ට සම්බන්ධ වී තිබෙන  බවත්, ඇය ආපසු කෙන්යාවට ම පිටත් කළ යුතු බවත් "බිය සහ පූර්ව විනිශ්චයන්" කෙරහි එල්බ ගෙන ඇයට පහර දෙන්නෝ පවසති.

එසේ ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම පණිවිඩය එළි දකින්නේ ශ්‍රී ලංකාවේ ද එවැනිම සිද්ධි රැසක් අත්දකින්නට ලැබෙන වකවානුවක ය.

අපට වඩා  වෙනස් අය ගැන නිසි දැනීමක් නොමැති වීම නිසා උපත ලබන පූර්ව විනිශ්චයන්

ජගත් සාංක්‍රමනික දිනය වෙනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ පණිවිඩය නිකුත් කරන ලද්දේ මැයි 15 වන දා වතිකානයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය.

"පූර්ව විනිශ්චය ඉතා සියුම් ආකාරයෙන් අපගේ සංස්කෘතිය තුළට රිංගා එයි. ඉන් පසුව  එය අප සිතන මතන ආකාරයේ කොටසක්  බවට පත්වෙයි" යි  එම මාධ්‍ය හමුවට එක් වූ  වතිකානයේ පූර්ණ මානව සංවර්ධනය පිලිබඳ දෙපාර්තමේන්තුවේ උප ලේකම් ෆැබියෝ බැගියෝ පියතුමා කියා සිටියේ ය.

"බොහෝ අවස්ථාවල එය වෙස් මාරු කර ගනියි. එය පෙනී සිටින්නේ පිටතින් පැමිණෙන තර්ජන සම්බන්ධයෙන් ගන්නා පියවර වල මුහුණුවර ලෙසයි.   මෙලෙස, බාහිරින් එන තර්ජන පිලිබඳ සිද්ධාන්ත අප තුළ සාමාන්‍ය කරණය වීමට ඉඩ තිබේ. එම තත්වය කිසියම් නිශ්චිත පුද්ගලයකු හෝ කණ්ඩායමක් සැක කිරීමට අප පෙළඹවිය හැකිය," යි පියතුමා කීවේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මීට පෙර අවස්ථා කිහිපයක දී කළ ප්‍රකාශයක් බැගියෝ පියතුමා උපුටා දැක්වීය. "බිය ජයගැනීමට අවශ්‍ය ධෛර්යය අප ඇති කර ගත යුතු ය. බිය අපගේ කිතුනු ජීවිතය ජීවත් කිරීමෙන් අප වලක්වාලයි."

වෙනත් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කෙරෙහි පවතින බිය නැති කර ගැනීම  පහසු කාර්යයක් නොවන බව පියතුමා පෙන්වා දුන්නේ ය. "බිය තුරන් කර ගැනීම අප විසින් ඉගෙන ගත යුතු  ක්‍රියාවලියක්. අප පූර්ව විනිශ්චයන්ට පෙළඹෙන්නේ  අනෙක් තැනැත්තන් හෝ කණ්ඩායම් පිළිබඳව අප තුළ නිසි දැනුමක් නොමැති වීම නිසයි."

"මුණගැසීමේ දේව දූතයන්' ඕනෑ කර තිබේ 

වතිකානයේ සාංක්‍රමනිකයන් සහ සරණාගතයන් පිලිබඳ කාර්යාලයේ උප ලේකම් ජේසු නිකායික මයිකල් සර්නි කාදිනල් හිමි ද සුදොතුම් පිය පණිවිඩය විස්තර කරමින්  මෙම මාධ්‍ය හමුවේ දී  කතා කළේ ය.

"ඉතාලිය වැනි සාම්ප්‍රදායිකව ම කතෝලික සංස්කෘතියක් සහිත රටක ඇතිවිය හැකි බිය ජය ගැනීම සඳහා 'හමුවීමේ දේව දූතයන්' අවශ්‍යව තිබෙනවා," යි එතුමා පෙන්වා දුන්නේ ය.

"බිය, අනෙක් තැනැත්තා ගේ මනුෂ්‍යත්වයට එරෙහි බාධාවක් පමණක් නොව, ඇදැහිල්ලට ද එරෙහි බාධාවකි. එය ජයගත හැක්කේ තර්ක විතර්ක හෝ විවාද වලින් නොවේ. එය ජයගත හැක්කේ මුණ ගැසීමෙනි. හමුවීමෙනි."

"මේ සඳහා අනෙක් තැනැත්තන් මුණ ගැසී,ඔවුන් අපගේ සහෝදර සහෝදරියන් ලෙස හඳුනා ගැනීමට  අපට මග පෙන්විය හැකි 'මුණ ගැසීමේ දේව දූතයකු' ගේ සහය ලබා ගැනීම අපට අවශ්‍ය වේ," යි එතුමා කියා සිටියේ ය.

සාංක්‍රමනිකයන්ට සරණ වීමේ නව යුගල ක්‍රියා පද හය

සාංක්‍රමනිකයන්  සහ සරණාගතයන් පිළිගෙන ඔවුනට සරණ වීමේ දී අනුගමනය කළ යුතු එළඹුම විස්තර කෙරෙන  ක්‍රියා පද සතරක් වතිකානය විසින් මේ දක්වා නිර්දේශ කර තිබිණි.

ඒවා නම්: "පිළිගන්න, ආරක්ෂා කරන්න, ප්‍රවර්ධනය කරන්න, අන්තර් ග්‍රහණය කර ගන්න," යන්නයි.

මෙම පණිවිඩය මගින් ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා ඊට තවත් යුගල ක්‍රියා පද සයක් එකතු කර තිබේ. ඒවා නම්:

තේරුම් ගැනීම සඳහා දැන ගැනීම; To know in order to understand;
සේවය කිරීම සඳහා සමීප වීම; to be close in order to serve;
සමගිසංධානය වීමට සවන් දීම අවශ්‍ය ය; to be reconciled requires listening;
වර්ධනය වීම  සඳහා  බෙදා ගැනීම අවශ්‍ය ය; to grow requires sharing;
ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධ වීම; to be involved in order to promote;
ගොඩනැගීම සඳහා සහයෝගය දීම; and to cooperate in order to build.

"සාංක්‍රමනිකයන් සහ අවතැන් වූවන් ගැන කතා කරද්දී අපි බොහෝ විට සංඛ්‍යා ලේඛන වල නැවතී සිටිමු. එහෙත් අප මේ කතා කරන්නේ සංඛ්‍යා ලේඛන පිලිබඳව නොවේ. මේ කතා කරන්නේ  සැබෑ පුද්ගලයන් පිලිබඳව ය. අප ඔවුන් මුණගැසුනොත්, ඔවුන් පිළිබඳව  වඩා හොඳින් දන ගැනීමට අපට හැකි වනු ඇත. ඔවුන් ගේ කතාව දැනගත් විට ඔවුන් තේරුම් ගැනීමට අපට හැකි වනු ඇත" යි සිය පණිවිඩයේ  සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

සවන් දීමේ වටිනාකම ගැන පහදා දෙන  සුදොතුම් පියතුමා මෙසේ  කියයි:
"අද ලෝකය තුළ පණිවිඩ දෙගුණ තෙගුණ වෙමින් පැටව් ගසමින් තිබේ. එහෙත් සවන් දීමේ පුරුද්ද නැති වී යමින් ඇත."

"අපට සැබෑ ලෙස සමගි සන්ධානය විය හැක්කේ නිහතමානීව  සහ සාවධානව  සවන් දීමෙන් පමණි."

" 2020 වසරේ මුල් කාලයේ සති ගණනාවක් පුරා  අපගේ මාවත් වල නිශ්ශබ්දතාව රජ කළේ ය. මෙය කරදරකාරී නිශ්ශබ්තාවකි. එහෙත් දුර්වල වූ , අවතැන් වූ සහ බරපතල ලෙස රෝගී වූ අපේ ග්‍රහ ලෝකයේ ආයාචනයට සවන් දෙන්නට අවස්ථාවක් එම නිශ්ශබ්දතාව අපට ලබා දුන්නේ ය" යි එතුමා එම නිවේදනයේ  පෙන්වා දෙයි.

උදව් ලබන තැනැත්තන් තුළ ඇති "පොහොසත් කම්" දකින්න 

යම් තැනැත්තෙකුට උපකාර කිරීමේ උත්සාහය  තුළ එම තැනැත්තා තුළ සිටින පුද්ගලයා අමතක නොකරන ලෙස  ද සුදොතුම් පියතුමා සිය පනිවිඩයෙන්  අවවාද කරයි.

"ඇතැම් සිට යම් තැනැත්තෙකුට උපකාර කිරීම තුළ එම තැනැත්තා තුළ පවතින පොහොසත් කම් අපට නොපෙනී යයි."

"අප උපකාර කරන තැනැත්තෙකු ප්‍රවර්ධනය කිරීමට අපට අවශ්‍ය නම්, අප ඔවුන්  ද ඊට සම්බන්ධ  කරගෙන ඔවුන් ද සිය විමුක්තියේ ක්‍රියාකාරීන්  කර ගත යුතු ය. සම-වගකීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් දැයි වර්තමාන වසංගතය අපට උගන්වා තිබේ. මේ අර්බුදය අපට ජයගත හැකි වන්නේ සෑම කෙනෙකු ගේ ම - නිතර අවතක්සේරුවට ලක්වන  තැනැත්තන් ගේ පවා - දායකත්වය ලබා ගනීමෙන් පමණි," යයි කෝවිඩ් වසංගත තත්වයේ නිදසුන් ද ගෙනහර් දක්වමින් ප්‍රැන්සිස් ඖදොතුම් පියතුමා පෙන්වා දෙයි.








Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය