"ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ යාච්ඥාවේ, සමීපත්වයේ සහ යුක්තියේ මිනිසෙක්; එඬේරිකත්වයේ ආදර්ශයක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්වගාමියාගේ ගුණ පසසයි

St.John Paul II was a man of prayer, closeness and justice; a  model pastor - Pope Francis hails his predecessor


(2020 මැයි 18)
යාච්ඥාවේ මිනිසකු වූ, සිය ජනතාවට සමීප වූ, දයා කරුණාවෙන් යුතුව යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සභාව දෙවිඳුන් ගෙන් ලත් තිළිණයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "දෙවියන් වහන්සේ  සිය ජනතාවට ප්‍රේම කරන  නිසා උන්වහන්සේ සිය ජනතාව බැලීමට පැමිණි බව" ප්‍රකාශ කිරීම ඊශ්‍රායෙල් ජනතාව සතුටින් කළ දෙයක්  යැයි සුදොතුම් පියතුමා කීවේ ය. එතුමා පෙන්වා දුන්නේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් සම්බන්ධයෙන් ද සභාවට  සතුටින්  එම ප්‍රකාශය කල හැකි බව යි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ සිය වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව තුළ අද පවත්වන ලද දිව්‍ය පූජා යාගයේ මෙනෙහි කිරීම කරමිනි.

දෙවැනි ජුවාම් පාවුළු නමින් 1978 දී සසුනිසුරාණන් ලෙස තේරී පත් වූ කැරොල් යොසෙෆ් වොයිටිවා උපත ලැබුවේ 1920 මැයි මස 18 වැනිදා පෝලන්තයේ වැඩෝවිච් ගම්මානයේ දී ය.

වසර 26 කට වැඩි කාලයක් විශ්ව සභාවේ එඬේරාණන්  ලෙස සභාවට මග පෙන්වූ එතුමන් ගේ සිය වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් මෙම දිව්‍ය පූජාව අද  පවත්වනු ලැබිණි. දිව්‍ය  පූජාව සිදු කෙරුණේ  වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ බිම් මහලේ දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් මිහිදන් කර ඇති ස්ථානයේ ඉදි කර තිබෙන පුදසුන මත ය.

කෝවිඩ් වසංගතය නිසා ඉතාලි රජය විසින් පනවා තිබූ සීමා ලිහිල් කිරීම නිසා ප්‍රථම වරට මෙම දිව්‍ය පූජාව ජනතාවට විවෘත කර තිබිණි. එහෙත් ඊට සහභාගී වූ  සීමිත පිරිසට අසුන් පනවා තිබුනේ සමාජ පරතර සීමා වලට ගරු කරන ආකාරයෙනි. කිහිප දෙනෙකු මුහුණු ආවරණ පැළඳගෙන දිව්‍ය පූජාවට සහභාගී වන ආකාරය දක්නට ලැබිණි.

පාප් වහන්සේ පැවැත්වූ මෙම දිව්‍ය  පූජාව මාස දෙකෙකින් පසුව ප්‍රථම වරට පවත්වන ලද හවුල් දිව්‍ය පූජාව විය. සාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ අගපුදැදුරු ඇන්ජෙලෝ කොමැස්ත්‍රි සහ  සුදොතුම් පියතුමන් ගේ පුණ්‍ය සේවා අංශයේ  ප්‍රධානි පෝලන්ත ජාතික කොන්රඩ් ක්‍රජෙව්ස්කි යන කාදිනල් හිමිවරු ද, දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ ජනවන්දන පිළිවෙත් ප්‍රධානියා වූ  පියෙරෝ මරිනි සහ පෝලන්ත ජාතික මාරියෝ පව්ලොස්කි යන අගරදගුරු  හිමිවරු ද සුදොතුම් පියතුමන් සමග මෙම දිව්‍ය පූජාවට හවුල් වූහ.

"දෙවියන් වහන්සේ සිය ජනතාවට ප්‍රේම කරන සේක"

සුදොතුම් පියතුමා සිය මෙනෙහි කිරීම ආරම්භ කළේ මෙම දිව්‍ය පූජාවේ පිළිතුරු ගීයේ පිළිතුර වෙත අවධානය යොමු කරමිනි.

"දෙවියන් වහන්සේ සිය ජනතාවට ප්‍රේම කරන සේක. අප පිළිතුරු ගීයේ දී එසේ පිළිතුරු දුන්නා. එය තමයි සත්‍යය. ඊශ්‍රායෙල්  ජනතාව මෙය පුනරුච්චාරණය කිරීමට පුරුදු වී සිටියා. දුෂ්කර අවස්ථාවල උන්වහන්සේ එය ප්‍රදර්ශනය කළා. උන්වහන්සේ ගේ මෙම ප්‍රේමය විද්‍යමාන වන්නේ කෙසේදැයි දැකීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියා. දෙවියන් වහන්සේ ස්වකීය ප්‍රේමය තුළ දිවැසිවරයකු හෝ දෙවියන් වහන්සේ ගෙන් වූ මිනිසකු එවූ විට ජනතාව ගේ ප්‍රතිචාර වූයේ, 'දෙවියන් වහන්සේ සිය ජනතාව බලන්නට වැඩම කළ සේක; මන්ද උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා ය' යන්නයි. ජනතාව ජේසු සමිඳුන් අනුගමනය කරදීත් ඔවුන්  මේ සත්‍යය  ම ප්‍රකාශ කළා.'දෙවියන් වහන්සේ සිය ජනතාව බලන්නට වැඩම කළ සේක; මන්ද උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා ය' "

මෙම ප්‍රවිෂ්ඨයෙන්  පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙවැනි ජුවාම් පාවුළු සසුනිසුරු මතකය එය හා සම්බන්ධ කළේ ය.

"වසර 100කට පෙර දෙවියන් වහන්සේ සිය ජනතාව බලන්නට වැඩිය සේක කියා අද අපට කිව හැකියි. උන්වහන්සේ මිනිසකු එවුවා. උන්වහන්සේ  රදගුරු තුමකු වීමටත්, සභාවට මග පෙන්වන නියමුවකු වීමටත්  එම මිනිසා සුදානම් කළා. අද අප දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා ගේ මතකය සමරනවා. එතුමා සිහිපත් කරන අපි මෙය මතක තබා ගනිමු: දෙවියන් වහන්සේ සිය ජනතාවට ප්‍රේම කළ සේක; දෙවියන් වහන්සේ සිය ජනතාව බලන්නට වැඩිය සේක; උන්වහන්සේ එඬේරෙකු එවූ සේක."

දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් සම්බන්ධයෙන් කතා කරන විට අපට බොහෝ දේ කිව හැකි බව ප්‍රැන්සිස් සුතුම් පියතුමා කියා සිටියේ ය. යහපත් පුදැදුරුතුමෙකු ගේ, එඬේරෙකු ගේ ලක්ෂණ රැසක් එතුමන් තුළ දක්නට තිබිණි. අද ඒ අතරින් කාරණා තුනක් ගැන භාවනා කරමු යි එතුමා යෝජනා කළේය.

එනම්, යාච්ඥාව, ජනතාව වෙත සමීප වීම සහ යුක්තියට ආදරය කිරීමයි.

යාච්ඥාවේ රදගුරු තුමා


දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් තුළ වූ විශිෂ්ටතම ලක්ෂණය එතුමා යාච්ඥාවේ මිනිසකු - යාච්ඥාවේ රදගුරු තුමකු - වීම  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය.

"ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ දෙවිඳුන් ගේ මිනිසකු වන්නේ එතුමන් යාච්ඥා කළ නිසයි. එතුමා බොහෝ යාච්ඥා කළා. බොහෝ වෙලාවක් යාච්ඥා කළා. කරන්නට බොහෝ දේවල් තිබුණු මිනිසකු, සභාව මෙහෙයවීම සඳහා කරන්නට වැඩ රාශියක්  තිබුණු කෙනෙකු, යාච්ඥා කිරීම සඳහා මෙතරම් බොහෝ කාලයක් සොයා  ගන්නේ කෙසේ ද?"

"රදගුරු තුමකු ගේ ප්‍රථම කාර්ය භාරය යාච්ඥා කිරීම බව එතුමා දැනගෙන සිටියා. මෙම උපදේශය පැමිණියේ දෙවන වතිකාන කතිකාවෙන් නොවේ. එය පැමිණියේ ප්‍රථම පාප් තුමන් වූ ශු. පේදුරු තුමන්ගෙන් මයි. 'රදගුරු තුමකු ගේ ප්‍රථම කාර්ය භාරය යාච්ඥා කිරීම සහ දේව වචනය ප්‍රකාශ කිරීම යැයි   තේවාචාරීන් වර ගන්වන අවස්ථාවල පේදුරු තුමන් කියා සිටියා."

"දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් මෙය දැන  සිටියා. මේ නිසා එතුමා එය ඉටු කළා. ජුවාම් පාවුළු පාප්තුමන් රදගුරු හිමිවරුන් ගේ ආදර්ශයක්" යයි එතුමන් ගේ ගුණ වණමින් සුදොතුම් පියතුමා කීවේ ය.

"රදගුරු තුමකු දවස අවසානයේ සිය හෘදය  සාක්ෂිය පරීක්ෂා කරන විට අද දවස තුළ මා පැය කීයක් යාච්ඥා කළා දැයි තමා ගෙන් විමසිය යුතු බව දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් අපට ඉගැන්නුවා," යි එතුමා සඳහන් කලේ ය. 

ජනතාවට ලංව සිටි එඬේරා

ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් තුළ වූ දෙවැනි යහපත් එඬේරික ලක්ෂණය එතුමන් සිය ජනතාවගෙන් ඈත් නොවීමත්, නිරන්තරයෙන් ජනතාව ලංව සිටීමත් බව සිය පූර්වගාමියා වර්ණනා කරමින් ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා කීවේ ය.

"ජුවාම් පාවුළු පාප් තුමා ජනතාව සොයාගෙන ගියා. සමස්ත ලෝකය පුරා ගමන් කරමින්, සිය ජනතාව සොයා යමින්, එතුමා සිය ජනතාව බලන්නට ගියා. එසේ යමින් එතුමා සිය ජනතාවට සමීපව සිටියා."

"සමීපව සිටීම, ලංව සිටීම දෙවියන් වහන්සේ සිය ජනතාව සමග පවත්වන සම්බන්ධතාවේ ලක්ෂණයක්" එතුමා අවධාරණය කළේ ය.

"සිය ජනතාවට ලං නොවන පුදැදුරු තුමෙක්  එඬේරෙක් නොවේ. එවැනි කෙනෙක් ප්‍රධානියකු, නායකයකු, ඇතැම්  විට විශිෂ්ට පරිපාලකයකු විය හැකියි. එහෙත් ඔහු එඬේරෙක් නොවේ."

"ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් මෙම සමීපත්වයේ ආදර්ශය අපට දුන්නා. ලොකු මිනිසුන්ට මෙන් ම පොඩි මිනිසුන්ටත්, ළඟ සිටින අයට මෙන් ම ඈත දුර බැහැර සිටින ජනතාවටත් එතුමා ලංව සිටියා. නිතරම ඔවුන් තමන් වෙත ලං කර ගන්නට එතුමා උත්සාහ කළා."

යුක්තියට ප්‍රේම කිරීම


ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ තුළ වූ "යුක්තිය කෙරෙහි වූ, සම්පූර්ණ යුක්තිය කෙරෙහි  වූ  ප්‍රේමය" එතුමන් තුළ දක්නට ලැබුණු තවත් විශිෂ්ට කිතුනු ලක්ෂණයක් වූ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේ ය.

"ජනතාව වෙත යුක්තිය, යුද්ධය තුරන් කිරීමට වූ යුක්තිය. සමාජ සාධාරණත්වය. සිය ජනතාව වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය සම්පූර්ණ යුක්තිය.. මේ නිසා එතුමා දයා කරුණාවේ මිනිසෙක් ද වූවා. මන්ද යුක්තිය සහ දයා කරුණාව  ගමන් කරන්නේ එකටයි. ඒ දෙක අතර වෙනස හඳුනා ගන්නට නොහැකියි. යුක්තිය යනු යුක්තිය යි. දයා කරුණාව යනු දයා කරුණාව යි. එහෙත් එකකින් තොරව අනෙකට පැවතිය නොහැකියි," යි සුදොතුම් පියතුමා කියා සිටියේ ය.
දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා  රෝමයේ සිර ගෙදරට ගොස් තමාට වෙඩි තැබූ මෙහ්මට් අලි අග්කාට සෙනෙහසින් කතා  කොට ඔහුට සමාව දුන්නේ ය

"දයා කරුණාව වෙනුවෙන් දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන්  කළ මෙහෙවර කෙතරම් ද කියන්නේ නම් දේව දයාව ජනතාවට තේරුම් ගැන්වීම සඳහා එතුමා දැඩි වෙහෙසක් ගත්තා. මේ  අරමුණින් ශු. පවුස්තිනා තුමිය හඳුන්වා දුන් දේව දයාවේ භක්තිය පැතිර වීමට එතුමා කැපවී කටයුතු කළා. දෙවියන් වහන්සේ ගේ යුක්තිය තුළ මෙම 'දයාවේ වත මඬල' පවතින බව, මෙම 'දයාවේ ආකල්පය' පවතින බව එතුමා අවබෝධ කරගත්තා. යුක්තිය සහ දයා කරුණාව සහ කරුණාබර යුක්තිය: මෙය  එතුමා අප වෙත තබා ගිය තිළිණයක්'" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේ ය.

යැදුම

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය කෙටි  මෙනෙහි කිරීම අවසන් කළේ අප සියල්ලන් වෙනුවෙන් යාච්ඥා කිරීමට ආරාධනයක් කරමිනි:

" අපි අද ශු. දෙවැනි ජුවාම්  පාවුළු පාප්වහන්සේට යාච්ඥා කරමු. අප සියල්ලන්ට ම, විශේෂයෙන් සභාවේ එඬේරුනට, සහ අප සියලු දෙනාටම: යාච්ඥාවේ වරප්‍රසාදය, සමීප වීම සඳහා වරප්‍රසාදය, යුක්තිය සහ දයා කරුණාව සහ කරුණාබර යුක්තියේ වරප්‍රසාදය ලබා දෙන්නට ය කියා අපි එතුමාට අද යාච්ඥා කරමු."

සුදොතුම් පියතුමා ගේ උදාසන දිව්‍ය පූජා සජීවී විකාශය අවසන් වෙයි

කෝවිඩ් වසංගතය වැළක්වීමේ අරමුණින් ඉතාලි  රජය ප්‍රකාශයට පත් කළ නියෝග ලිහිල් කිරීම දැන් ආරම්භ  වී තිබේ.

ඒ අනුව, සමාජ පරතර සීමා අනුගමනය කරමින් දෙවම්දුරු වල දිව්‍ය පූජා පැවැත්වීමට එරට කතෝලික සභාව දැන් රජයේ අනුමැතිය ලැබී තිබේ. ඉතාලි රජය හා ඉතාලියේ කතෝලික රදගුරු සමුළුව විසින් ඉකුත් දා එළඹුණු සම්මුතියට අනුව අද සිට (මැයි 18 ) එරට දෙව්මැදුරු දිව්‍ය පුජා සඳහා විවෘත කළ හැකිය. සුදොතුම් පියතුමන් ගේ දිව්‍ය පුජා සජීවී විකාශ අවසන් වන්නේ එම නව තත්වය සැලකිල්ලට ගනිමිනි.

සුදොතුම් පියතුමා අද උදාසන ඔප්පු කළ මෙම දිව්‍ය පූජාවේ නිමාවත් සමගම සාන්ත පීතර බැසිලිකාව ද ජනතාව සඳහා විවෘත කෙරිණි.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය