මේ වසංගතය හැර තවත් වසංගත තිබේ ද...? කොරෝනා තුරන් කිරීම වෙනුවෙන් සර්ව ආගමික යැදුම් දින සුදොතුම් පියතුමා ගේ භාවනාව

Pope joins interreligious prayer, begging God to end "all pandemics" bringing death


(2020 මැයි 14)
කොරෝනා වෛරස නිසා ලෝකය පුරා "ඛේදජනක තත්වයකුත්, දුක වේදනාවත්" හට ගෙන ඇති මේ කාලයේ, ඒ මගින් ලෝකය මත ඇති කර තිබෙන දීර්ඝ කාලීන බලපෑම දෙස නෙත් යොමු කරමින් සෑම ආගමකම විශ්වාසිකයන් "සිය පියාණන් වන දෙවියන් වහන්සේ ගෙන් කරුණාව ඉල්ලා සිටිය යුතු" බව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

එතුමා මේ අනුශාසනය කළේ අද (මැයි 14) උදාසන සාන්තා මාර්තා ගෙදර පුංචි දෙව්මැදුරේ දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කරමින් කෝවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ පොදු අදහසින් අද දවසේ යාච්ඥාවෙන්, උපවාසයෙන් සහ දයාවේ ක්‍රියා (පුණ්‍ය ක්‍රියා) කිරීමට එක්සත් වූ ලොව පුරා සියලු ආගමික නායකයන් සමග එක් වූයේ ය. අද දවස මෙම පොදු අදහස වෙනුවෙන් සිය ආගමික වතාවත් වල යෙදීමේ දිනයක් කරන ලෙස මුලින් ම යෝජනා  කළේ "මානව සහෝදරත්වයේ උසස් කමිටුව" (Higher Committee for Human Fraternity) විසිනි. සුදොතුම් පියතුමා එම යෝජනාව පිළිගෙන කතෝලික ජනතාවට ද ඊට එක්වන ලෙස ඇරියුම් කිරීම නිසා ලොව පුරා ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබී තිබිණි.

" 'මේ  වසංගතයෙන් මට හානියක් නැහැ. මම ආරක්‍ෂිත යි,' යයි කෙනෙකු පවසන්නට පුළුවන්," යි සිය මෙනෙහි කිරීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේ ය. "එහෙත් සෙසු අය ගැන සිතන්න. මේ හටගෙන තිබෙන ඛේදනීය තත්වය ගැන සිතන්න. එසේ ම ආර්ථිකයටත් අධ්‍යාපනයටත් එයින් එල්ල වී ඇති අනිටු බලපෑම ගැන සිතන්න."

"සෑම කෙනෙකුම, සෑම ආගමික සම්ප්‍රදායකට ම අයත් සහෝදර සහෝදරියන්, අද දෙවියන් වහන්සේට යාච්ඥා කරන්නේ ඒ නිසයි."

ආගමික යැදුම් දිනය කැඳවූ  මානව සහෝදරත්වයේ උසස් කමිටුව පිහිටුවා ගන්නා ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් 2019 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කළ අපෝස්තලික සංචාරයේ දී ය. එහිදී ඊජිප්තුවේ ෂීක් අහ්මඩ් එල් -ටයෙබ්  අග්‍ර ඉමාම් තුමා සමග එතුමන් අත්සන් තැබු අවබෝධාත්මක ලියවිල්ලට අනුව  එම කමිටුව පිහිටුවනු ලැබිණි. සංවාදය  සහ "මානව සහෝදරත්වය" ප්‍රවර්ධනය කිරීම  කමිටුවේ අරමුණ වේ. පාප් වහන්සේ ඉස්ලාම් නායකයන් සමග හවුල් වී යාච්ඥා කිරීම ගැන අන්ත දක්ෂිනාංශික කතෝලික නායකයන් ගේ අප්‍රසාද ය මේ අතර එල්ල වී තිබුනේ ය.

"සෑම ආගමක ම විශ්වාසිකයන් එක් කරගෙන පොදු අරමුණක් වෙනුවෙන් යාච්ඥා කිරීම 'ආගමික සාපේක්ෂකරණයක්' ලෙස ඇතැමෙකු හඳුන්වන්ට පුළුවන්. මේ නිසා එවැන්නක් කළ නොහැකි බව ඒ අය පවසන ආකාරයත් මට සිතා ගන්නට පුළුවන්," සුදොතුම් පියතුමා  කීවේ ය.

"එහෙත් සියල්ලන් ගේ පියාණන්ට ඔබට යාච්ඥා කළ නොහැක්කේ ඇයි?" එතුමා ප්‍රශ්න කළේය. 

"අප සියල්ලන් මනුෂ්‍යයන් ලෙස එකම ජනතාවක්; සහෝදර සහෝදරියන්. එකිනෙකා තම තමන් ගේ සංස්කෘතියට, සම්ප්‍රදායට සහ විශ්වාස වලට අනුව දෙවියන් වහන්සේට යාච්ඥා කරනවා. එහෙත් සහෝදර සහෝදරියන් ලෙස දෙවියන් වහන්සේට යාච්ඥා කරනවා. මෙය වැදගත්: සහෝදර සහෝදරියන් උපවාසයේ යෙදෙමින්, සමිඳුන්  ගේ කරුණාව අපට ලැබී, අපට සමා වී, අපගේ පාප වලට සමාව දානය කර  දෙවියන් වහන්සේ මේ වසංගතය නතර කරන සේක්වා යි එක්ව  යාච්ඥා කරනවා."

තවත් වසංගත 

එසේ නමුත් කොරෝනා වෛරසෙන් වෛරසෙන් ඔබ්බට නෙත් යොමා වාර්ෂිකව දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මරු කැඳවන ලෝකයේ පවතින වෙනත්  වසංගත ද හඳුනා ගන්නා ලෙස එතුමා ජනතාව ගෙන් ඉල්ලා සිටියේ ය.

"මේ වසරේ මුල් මාස  තුළ මිලියන 3.4ක ජනතාවක් කුසගින්නෙන් මිය ගොස් තිබෙනවා. මේ නිසා කුසගින්නේ වසංගතයක් තිබෙනවා. මේ නිසා කෝවිඩ්-19 තුරන් කරන ලෙස දෙවියන් වහන්සේට යාච්ඥා කරන විට විශ්වාසිකයන් යුද්ධයේ වසංගතය, සාගින්නේ වසංගතය සහ මරණය පතුරුවන සියලු ම අයහපත් දේ ද අමතක නොකළ යුතු යි."

"දෙවියන් වහන්සේ මේ ඛේදනීය තත්වය අවසන්  කරන සේක්වා! මේ වසංගතය තුරන් කරන සේක්වා! දෙවියන් වහන්සේ අපට දයා වී, කුසගින්න, යුද්ධ, අධ්‍යාපනය නොමැති දරුවන් වැනි සියලු වසංගත අවසන් කරන සේක්වා! අප මෙය ඉලා සිටින්නේ සහෝදර සහෝදරියන් ලෙස සියලු දෙනා එක්ව යි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යාච්ඥා කළේය.

අන්ත දක්ෂිනාංශිකයන්  ගේ විරෝධය 

කෙසේ නමුත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පත් වූ දා සිට එතුමන් විවේචනය කිරීමටම කැපවී සිටින කතෝලික සභාවේ අන්ත දක්ෂිනාංශික පිරිස එතුමා  ගේ මෙම ක්‍රියාව ද විවේචනය කළහ. 

එක් සම්ප්‍රදාය මතවාදී කුප්‍රකට බ්ලොග් අඩවියක් ට්වීට් පණිවිඩ රැසක් නිකුත් කරමින් සුදොතුම් පියතුමා පොදු යාච්ඥාවට එක්වීම උපහාසයට ලක් කළේය. "ප්‍රැන්සිස්, මිථ්‍යා දෘෂ්ටිකයන් සමග උපවාස කරන්න" යයි එවැනි එක් ට්වීටර් පණිවිඩයක් සඳහන් විය. එම කතෝලික  යයි කියන බ්ලොග් පිටුවට අයත් තවත් ට්වීට් පණිවිඩයක රසැති බොජුන් වලින් පිරුණු මේසයක පින්තුරයක් පළකර තිබිණි. කතෝලිකයන් මෙදින උපවාස නොකර කුස පිරෙන්නට කෑම කමින් සතුටු විය යුතු යුතු යන්න ඔවුන් ගේ අදහස විය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අනුගමනය කරන දුප්පතුන් වෙනුවෙන් සහ දුප්පත් කම තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටීම, යුද්ධයට සහ ආයුධ වෙළෙඳාමට විරුද්ධ වීම, මනිසා ගේ පොදු නිවහන වන මිහිතලය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව  ශුද්ධ ලියවිල්ල මත පිහිටා ප්‍රබල ලෙස ඉගැන්වීම, දැඩි නීති මත එල්බ ගනිමින් ජනතාව සභාවෙන් ඈත් කරනු වෙනුවට දයා කරුණාව මත පදනම් ව ඔවුන් කැටුව යාම මෙන්ම මුස්ලිම් වරුන්ට එරෙහිව වෛරය පතුරුවනවා වෙනුවට ඔවුන් සමග සහෝදරත්වයේ සංවාදයකට පිවිසීම  වැනි කරුණු අවල විරුද්ධ  අන්ත දක්ෂිණාංශික සම්ප්‍රදාය මතවාදීහු එතුමාට පහර දෙමින් සිටිති. 

විවිධ කිතුනු නිකායිකයෝ ද එක්වෙති 

එසේ වුව ද ලොව පුරා කතෝලික, ක්‍රිස්තියානි, ජුදෙව් සහ මුස්ලිම් ආගමික ජනතාව සහ නායකයෝ ඉතා උනදුවෙන් මෙම දිනයේ යාච්ඥාවලට එක්වූහ.
#HumanFraternity ,  #PrayTogether වැනි හෑෂ් ටෑග් ඔස්සේ ද  ඔව්හු ඊට සම්බන්ධ වූහ.

කතෝලික සභාවේ ඇතැම් කොටස් වපරැසින් බලන මෝමොන් හෙවත් The Church of Jesus Christ of Latter-Day Saints නමැති ඉවන්ජලිකල් කිතුනු නිකාය මෙසේ ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි:
"මුස්ලිම්, කතෝලික සහ සෙසු ආගමික සම්ප්‍රදායයන්ට අයත් සහෝදර සහෝදරියන් සමග අපි ද හදවතින් එක් වෙමු."



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය